Wednesday, December 4, 2024

රුසියානු විප්ලවයෙන් ශ්‍රී ලංකාවට ගත හැකි පාඩම්: ජාතීන්ගේ ප්‍රශ්ණය අවුල්කර ගැනීම[i] – ලයනල් බෝපගේ (01)

(Sri Lanka Brief/02.12.2024) 1917 ඔක්තෝබර් විප්ලවයේ 107 වැනි සංවත්සරය (ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව නොවැම්බර් 6-7 දින) මේ මස පැවැත්විණි. “මිනිසා විසින් මිනිසා” සූරාකෑම අවසන් කරන විමුක්ති යුගයක් කරා මග පෙන්වමින් එය මනුෂ්‍යත්වයට ආලෝකයක් වූයේය. සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් එකල විශ්වාස කළේ විප්ලවය ඉක්මනින් සමාජවාදී අවධියකට සංක්‍රමණය කරවන්නට තරම් අවශ්‍ය වන ආර්ථික පදනම සපයන්නට සාර් අධිරාජ්‍යයේ දේශපාලන අනු පිළිවෙලට සහ ගොවීන් මත පදනම් වුනු කෘෂිකාර්මික ආර්ථිකයට නොහැකි බවයි. ලෙනින් එම මතය හා එකඟ නොවීය.

ලෙනින් සහ ධනවාදය

ධනවාදයේ වත්මන් ආධිපත්‍යය හමුවේ, අධිරාජ්‍යවාදී ධනේශ්වර සමාජයට ප්‍රමාණාත්මක ව මෙන්ම තිරස් අතට ද ප්‍රසාරණය වන්නට තිබෙන අවස්ථා ගැන ලෙනින් අවතක්සේරු කලේ ද?

එසේ වුවද, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ සහාය ඇතිව බොල්ෂෙවික් පක්ෂය විප්ලවයට නායකත්වය දුන් බව අපි දනිමු. දෙවන ජාත්‍යන්තරයේ[ii] සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයට එරෙහි අරගලය ලෙනින් අතරම සමාදානයෙන් තොරව ඉදිරියට ම ගෙන ගියේය. විශේෂයෙන්ම, පෙබරවාරි විප්ලවයෙන් පසු රුසියාවේ කෙරෙන්ස්කි ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බලයේ සිටියේය. ලෙනින් සහ ඔහුගේ අනුග්‍රාහකයින්ට අනුව, ඔක්තෝබර් විප්ලවය විසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ අවස්ථාවාදී ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශය නිමාවට පත් කර දැම්මේය.

ඔක්තෝබර් විප්ලවයේ අත්දැකීම්වල අදාල බව

ඔක්තෝබර් විප්ලවය, ගෝලීය වශයෙන්, විශේෂයෙන් බටහිර ලෝකයේ වරප්‍රසාදිත සමාජ ස්ථරයන් අතර වියරුවක් නිර්මාණය කළේය. එය ඒ සමම ලොව පුරා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ සිහිනය ගැන අපරිමිත ශුභවාදී බලාපොරොත්තු සහ අපේක්ෂාවන් උපදවා ලීය. මිනිසා විසින් මිනිසා සූරාකෑමෙන් තොර සමාජයක් වෙත යන ගෝලීය ගමනක් ආරම්භ වී තිබුණි. අළුත් ලෝකයක් බිහි වන්නට බලාපොරොත්තුවෙන් සිටියේය.

ඔක්තෝබර් විප්ලවය එහි නිර්මාතෘවරුන්ගේ දේශපාලන අපේක්ෂාවන් ඉටු නොකලේ වූවද, ඉතිහාසය නැවත හැඩ ගස්වන්නට එය මං පෑදීය. ඔක්තෝබර් විප්ලවය පැවතුන වසර 74 තුළ, “පසුගාමී” රටක් වැඩවසම්වාදය රැජයූ සමාජයක සිට දියුණු කාර්මික ජාතියක් බවට පත් කරන්නට එය සමත් වූයේය. එය හිට්ලර් සහ ඔහුගේ සහචර නට්සි වාදීන් විසින් නායකත්වය දෙන ලද දියුණු ධනේශ්වර රටක් පරාජය කර දැම්මේය. කෙසේ වෙතත්, දශකයන් ගෙවී යද්දී සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය (CPSU) ජනතාව විස්ථාපනය කර දමා දැවැන්ත නිලධාරිවාදී මෙවලමක් බවට පත් විය. සෝවියට් සභා අභාවයට පත් වූයේය.

සෝවියට් සංගමය සහ ජාතීන්ගේ සිරගෙය

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (USSR) බිහි වූයේ 1922 දී යි. සමාජවාදී අනාගතයක් ද, එම සංගමය සමන්විත කළ එක් එක් ජාතියේ සහ ජාතිකත්වයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ද ප්‍රතිඥා දුන් එය බහු වාර්ගික රාජ්‍යයක් වූයේය. උග්‍ර ජාති භේද වාදය අව්‍යාජ වම හෙළා දුටු ලෙනින් රුසියානු සහ රුසියානු නොවන ජනයා “ජාතීන්ගේ සිරගෙය” ක් තුල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් සාර්වාදී රුසියාව හෙළා දුටුවේය. පැරණි සාර්වාදී අධිරාජ්‍යයේ සූරාකෑමට ලක් කරන ලද ජනතාව “ආකෘතියෙන් ජාතික, එහෙත් අන්තර්ගතයෙන් සමාජවාදී” වන දේශයක් තුල එක්සත් කරන්නට ඔහු ප්‍රතිඥා දුන්නේය. එක් එක් සෝවියට් සමූහාණ්ඩුවල සංස්කෘතිය හා සම්ප්‍රදායයන්ට මල් පල ගන්නට ඉඩ සලසා දෙමින් ආර්ථික හා දේශපාලන ක්‍රම පද්ධති සමාජවාදී සංවර්ධන මාවතක් ඔස්සේ ගමන් කළ යුතු වූයේය.

මොස්කව්හි පක්ෂ පරිපාලන නිලධරය

කණගාටුවට මෙන්, කාලයාගේ ඇවෑමත් සම සෝවියට් සංගමය මෙම පරමාදර්ශයන් ට අනුකූල ව කටයුතු නොකළ අතර, පක්ෂය දශ ලක්ෂ ගණන් ජනයා මුලින් රුසියාව, යුක්‍රේනය, බෙලරූස් සහ ආර්මේනියාව, අසර්බයිජානය සහ ජෝර්ජියාව යන ට්‍රාන්ස්කොකේසියානු සමූහාණ්ඩුවලින් සැදුම් ලද ෆෙඩරේෂනයක් වෙත බලෙන් ගොනු කර ලීය. ස්වයං නිර්ණයට ඇති අයිතිය මත පදනම් වෙනවාට වඩා, බෝල්ටික් රාජ්‍ය වැනි ඇතැම් සමූහාණ්ඩු 1939 මොලොටොව් – රිබෙන්ට්‍රොප් ගිවිසුමේ කොටසක් වශයෙන් බලයෙන් ඇතුල් කොට ගෙන තිබුණි. ලෙනින් යටතේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මුලින් අත් දැක්කේ ජාතික සංස්කෘතීන්ට අයත් ජාතික භාෂාවන් හඳුනා ගෙන ඒවා භාවිතාවේ යොදමින් ඒ සංස්කෘතීන් මල් පල දරනා බවයි. එහෙත් පසු කාලීනව තිස් ගණන්වල දී, ස්ටාලින් මෙම ප්‍රතිපත්තියෙන් බැහැරව ගොස්, අධිකාරය මධ්‍යගත කොට මොස්කව්හි පක්ෂ පරිපාලන නිලධරය අත බලය වැඩි වැඩියෙන් ගොනු කර ලීය.

ප්‍රගතිය සහ පරිහානිය වෙත වැටුණු මාවත

ජනයා නිදහස් කර ලීමේ ප්‍රතිඥාවක් සහිතව සෝවියට් සංගමය බිහි වුන නමුත් එය කෙළවර වූයේ බලවත්, නිලධාරිවාදී සහ අධිකාරවාදී රාජ්‍යයක් නිර්මාණය කරමිනි. එය රුසියානු කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පමණක් නොව ලොව පුරා වැඩ කරන ජනයාගේ ද බලාපොරොත්තු සහ අභිලාෂයන් වනසා දැම්මේය. එම සන්දර්භය තුළ රුසියානු විප්ලවයේ උරුමයෙන් අප ඉගෙන ගත යුතු වේ. එහි සම්භවය සැමරීම හෝ එහි කැඩී බිඳී යෑම පිළිබඳව ශෝක වීම හා සමඟ එහි කිසිදු සම්බන්ධයක් නොමැත. ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් බොහෝ මෑතකාලීන අත්දැකීම් පෙන්නා දෙන අන්දමට ජනයා නව ලොවක උපත බලාපොරොත්තුවෙන් සිටිති. ඔක්තෝබර් විප්ලවයේ අදහස්, භාවිතාවන් සහ ප්‍රතිපත්ති තුළ සමානාත්මතාවය පදනම් කර ගත්, සමාජීය ලෙස සාධාරණ වන, විනීත සහ පරිසර හිතකාමී සමාජයක් නිර්මාණය කිරීමේ ශක්‍යතාවයන් පවතින්නේ ද යන සනාතන දේශපාලන ප්‍රශ්නය තවමත් විසඳා ලීමට ඇත.

විප්ලවීය නිමේෂයන් ගෙන් ඉගෙන ගත යුතු නම්

අපට ඉතිහාසයේ විප්ලවීය නිමේෂයන් ගෙන් ඉගෙන ගත යුතු නම්, වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම පිළිබ සිහින අලුත් කර ගැනීම සඳහා ඔක්තෝබර් විප්ලවය මෙන්ම පසු කාලීනව සිදු වුන අනෙකුත් විප්ලවවල ජනනාත්මක හා නිෂේධාත්මක අත්දැකීම් අපක්ෂපාතී ලෙස තක්සේරු කිරීම සඳහා සන්සුන් ලෙස විශ්ලේෂණය කර අධ්‍යයනය කළ යුතුය.

එම වසරේ ම පෙබරවාරි විප්ලවය උපත ලද්දේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා සොල්දාදුවන්ගේ ස්වයංමය උද්ඝෝෂණ හා විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසට යි. කලින් කරන ලද සූදානමක් නොමැතිව පැන නැඟුණු විරෝධතා ව්‍යාපාරයක් වූ එය නිර්පාක්‍ෂික එකක් ද වූයේය. ඔක්තෝබර් විප්ලවය වෙනස් ආකාරයේ එකකි. ලෙනින්ගේ නායකත්වය යටතේ (එවකට සුළුතරයක් වූ) රුසියානු බොල්ෂෙවික් පක්ෂය විසින් සැළසුම් කොට මනාව සම්බන්ධීකරණය කරන ලද උපාය මාර්ගයක් විසින් එයට මඟ පෙන්වන ලදී. එහි පරමාර්ථය වූයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය මග හැර සමාජ සංවර්ධනයේ සමාජවාදී අවධිය වෙත ගමන් කිරීම සදහා තාවකාලික ආණ්ඩුව වෙතින් බලය අත් කර ගැනීමයි. ඒ අදහසින් ගත් විට, ඔක්තෝබර් විප්ලවය පෙබරවාරි විප්ලවය මෙන් ජනතා සහය ලැබූ මහජන නැගිටීමක් හෝ කුමන්ත්‍රණයක් හෝ නොවේ.

‘සාමය, ඉඩම් සහ පාන්’

‘සාමය, ඉඩම් සහ පාන්’ යන්න ඔක්තෝබර් විප්ලවයේ සටන් පාඨය විය. මෙම සටන් පාඨය එවකට රුසියානු ජනතාවට තිබුනු මූලික අවශ්‍යතාවයන් ප්‍රකාශයට පත් කළේය. යුද්ධය අවසන් කිරීමට ඇති අපේක්ෂාව (සාමය), ගොවීන් අතර පැවතුන දැවෙන ඉඩම් අවශ්‍යතාවය (ඉඩම්) සහ නගරවල සාගින්නෙන් පෙළෙන ජනයා තෘප්තිමත් කිරීමේ අවශ්‍යතාවය (පාන්) එම සටන් පාඨයෙන් පිළිබිඹු විය. 1917 සරත් සෘතුව වන තෙක් මෙම සටන් පාඨය දුක් විඳින ජනතාව සමඟ ගැඹුරින් දෝංකාරය දෙන්නට පටන් ගෙන තිබුනේ නැත; ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පණ ගැන්වූයේ නැත. එසේ වුවද, 1917 නොවැම්බරයේ පැවති පළමු නිදහස් මැතිවරණයේ දී බහුතරයක් ජනයා ලෙනින්ගේ අදහස් පිළි ගත්තේ නැත. සමාජ විප්ලවවාදීන් සියයට හැටකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අතර බොල්ෂෙවිකයන්ට ලැබුණේ ඡන්ද සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණි.

“රතු භීෂණ” ව්‍යාපාරය

කම්කරුවන්ගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කලේ බොල්ෂෙවික්වරුන් පමණක් බව ලෙනින් තරයේ විශ්වාස කළේය. රුසියාවේ සමාජවාදය ස්ථාපිත කිරීම වෙත ඔහු සපුරා ම කැපවී සිටියේය. නොවැම්බරයෙන් පසු ලෙනින් විරුද්ධ පාර්ශ්වයේ පුවත්පත් කිහිපයක් තහනම් කොට “සියලු පන්ති සතුරන්ට” එරෙහිව “රතු භීෂණ” ව්‍යාපාරයක් මුදා හැරියේය. මේ අනුව, සමාජ විප්ලවවාදීහු ඔවුන්ගේ පළමු ඉලක්කය බවට පත් වූහ. චිකා (Cheka ) නමැති මුල්ම සෝවියට් රහස් පොලිස් බලකාය මෙම භීෂණ ව්‍යාපාරයේ පෙරමුණේ සිටියේය. අවසාන‌යේදී මෙය ස්ටාලින් යටතේ නැගී එන පරිපූර්ණ පොලිස් රාජ්‍යයකට ඉඩකඩ සලසා දුන්නේය. කම්කරුවන් නිෂ්පාදන මාර්ග පාලනය කිරීමේ සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත මත පදනම්ව නව සමාජ පිළිවෙලක් පිහිටුවීමේ මුල් අදහස, “නිර්ධන පංති ආඥාදායකත්වය” නමැති සංකල්පය යටතේ පස් යට කර දමන ලදී.

“යුද කොමියුනිස්ට්වාදය”

නිදසුනක් වශයෙන්, ඔක්තෝබර් විප්ලවයේ ප්‍රබලතම ආධාරකරුවන් වුනු ක්‍රොන්ස්ටාඩ් නාවික බල ඇණියක්, බොල්ෂෙවික් පාලනයට ත්, ලෙනින්ගේ “යුද කොමියුනිස්ට්වාදය” පිළිබඳ සංකල්පයට ත් එරෙහිව කැරලි ගැසූහ. කැරැල්ල ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සඳහා පාලන තන්ත්‍රය 1921 දී කුරිරු ලෙස රතු හමුදා ඒකක යොදා ගත්තේය. “පෙරටුගාමී පක්ෂය” සහ “නිර්ධන පංති ආඥාදායකත්වය” රට තුළ කිසිදු ආකාරයක විසම්මුතිය ක් සදහා ඉඩ ලබා දුන්නේ නැත. එසේ සිදු වූයේ ලෙනින්ගේ නායකත්වය යටතේ යි. ඔවුන්ට අවශ්‍ය වූයේ ‘සමාජවාදී දේශපාලන සමාජය’ ඒක පක්ෂ පාලනයක් මත පදනම් කිරීම යි.

බොල්ෂෙවික්වරු සියළු දෙනා යුද කොමියුනිස්ට්වාදය” හෝ නව ආර්ථික ප්‍රතිපත්තිය ගැන ලෙනින් දැරූ අදහස් බෙදා හදා ගත්තේ නැත. ඔවුන් එය දුටුවේ ඔක්තෝබර් විප්ලවය පාවා දීමක් ලෙසිනි. “යුද කොමියුනිස්ට්වාදය” පිළිබඳ ඔහුගේ පිළිවෙත සම්පූර්ණ ව්‍යසනයක් වූ බව 1921 ඔක්තෝබරයේ දී ලෙනින් පිළි ගත්තේය. වැඩවසම් වාදී සමාජ ක්‍රමයේ සිට සෘජු ලෙසම කොමියුනිස්ට්වාදි නිෂ්පාදනය හා බෙදා හැරීම කරා සංක්‍රමණය වෙන්නට තීරණය කිරීමෙන් වැරැද්දක් කළ බව ඔහු පිළි ගත්තේය. නව ආර්ථික ප්‍රතිපත්තියේ මුවාවෙන් 1920 ගණන්වල දී ආර්ථිකයට නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ වෙළද පොළ ක්‍රමය වෙත අඩ වශයෙන් ආපසු ගමන් කිරීමට ඉඩ සලසන්නට ලෙනින්ට සිදු වූයේය.

ස්ටාලින්, “ඉහළ සිට කරවන විප්ලවය” සහ පරිහානිය

1928 දී ස්ටාලින් “ඉහළ සිට කරවන විප්ලවයක්” පැනවූ අතර සාමූහික කරණය කිරීමේ සහ නිර් කුලක කරණය[iii] කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීය. මෙම ක්‍රියාවලියේදී ඔහු සමූහ අත්අඩංගුවට ගැනීම්, පිටුවහල් කිරීම් සහ ගොවීන් ඝාතනය කිරීම් කෙරෙහි මඟ පාදමින් රාජ්‍ය මර්දනය යොදා ගත්තේය. සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ නිදහසෙන් සමන්විත දේශයක් පිළිබඳව පැවති සිහිනය බොඳ වී ගියේය. සෝවියට් පාලන තන්ත්‍රයේ පාලන ක්‍රමය, විශේෂයෙන්ම ස්ටාලින් වාදී යුගයේ ම්ලේච්ඡ හා මිනීමරු එකක් බවට පත් වූයේය. ලෙනින්ගේ ජාතිකත්වයන් පිළිබඳ කොමිසාර් වූයේ ස්ටාලින් ය. රුසියානු නොවන සමූහාණ්ඩු ස්වාධීන සමූහාණ්ඩු වශයෙන් රුසියානු සෝවියට් ෆෙඩරල් පන්නයේ සමාජවාදී සමූහාණ්ඩුවකට ඒකාබද්ධ කිරීම සඳහා ස්ටාලින් ගත් උත්සාහය සමඟ ලෙනින් ගැටුණේ ය. සමූහාණ්ඩු වල නායකයෝ රුසියානු මැදිහත් වීම් පිළිබඳව බියට පත්ව සිටියහ.

විශේෂයෙන්ම, සෝවියට් සංගමයෙන් වෙන්වීමට ජනතාවට තිබෙන අයිතිය රටේ මූලික නීතිය මගින් සෛද්ධාන්තික ව අයිතියක් ලෙස පිළි ගෙන තිබුණද, ඔවුහු ඒ අයිතිය ගැන සැලකිල්ලෙන් සිටියහ. එහෙත්, ඇත්තටම වෙන්වීමට තිබෙන අයිතිය ඉවත් කර දමා තිබිණි. සමූහාණ්ඩුවල නායකයන් රුසියානු ආධිපත්‍යය ගැන දැක් වූ සැලකිල්ල ගැන ලෙනින් අනුකම්පා සහගත වූයේය. පවසන ලද සෝවියට් බලය පැවරීමේ ස්වභාවය පැවතුන ද, සැබෑ බලය රැඳී තිබුනේ පක්ෂය අත යි.

ජාතික ස්වයං නිර්ණය සඳහා තිබෙන අයිතිය

විප්ලවයට පෙර, ලෙනින් සහ ස්ටාලින් ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්වරු ජාතික ස්වයං නිර්ණය සඳහා තිබෙන අයිතිය කෙරෙහි ඔවුන් දැක්වූ කැපවීම සහතික කර සිටියහ. ජාතිකවාදය පිළිබඳව බොල්ෂෙවික් පක්ෂය දැරූ දේශපාලන පිළිවෙත ගැන ඉතා දැඩි විවාද සිදු වෙමින් පවතී. 1913 පළ කරන ලද මාක්ස්වාදය සහ ජාතික ප්‍රශ්නය නමැති ලිපියේ ස්ටාලින් තර්ක කළේ “ජාතියකට නිදහසේ තමන්ගේ ඉරණම තීරණය කිරීමට අයිතිය තිබේ. ඇත්තෙන්ම වෙනත් ජාතීන්ගේ අයිතිවාසිකම් පාගා දැමීමෙන් තොරව, තමාට සුදුසු යැයි පෙනෙන පරිදි තම ජීවිතය පිළියෙල කර ගන්නට ඊට අයිතියක් තිබේ. ඒ සම්බන්ධයෙන් ආරවුලක් නැත.” (https://www.marxists.org/reference/archive/stalin/works/1913/03a.htm). 1916-17 පළ කරන ලද අධිරාජ්‍යවාදය: ධනවාදයේ උච්චතම අවස්ථාව නමැති කෘතියේ, පළමුවන ලෝක යුද්ධය හෙළා දකිමින් ලෙනින් පැවසූයේ “යුද්ධය දෙපැත්තෙන් ම ගත් විට අධිරාජ්‍යවාදී (එනම්, ඈඳා ගැනීමේ, කොල්ලකෑමේ පැහැර ගන්නා යුද්ධයක්) වේ; එය ලෝකය බෙදා ගැනීම සඳහා සහ මූල්‍ය ප්‍රාග්ධනයේ [සහ] බලපෑම් පවතින ක්ෂේත්‍ර සහ යටත් විජිත බෙදා ගැනීමට සහ යළි බෙදා ගැනීමට කරන යුද්ධයක් වූයේය.” (https://www.marxists.org/archive/lenin/works/1916/imp-hsc/pref02.htm) යනුවෙනු යි.

ජාතික දේශ සීමාවලින් ඔබ්බෙහි පවතින බාහිර ආයතන විසින් සිය පාලනය බලෙන් පටවා ලන්නට සහ බලපෑම් කරන්නට ලෙනින් සහ ස්ටාලින් යන දෙදෙනාම මුලදී විරුද්ධ වූහ. කෙසේ වෙතත්, සංගමයේ සහ සංගමයේ ගිවිසුම පිළිබඳ ප්‍රකාශනය (https://soviethistory.msu.edu/1921-2/transcaucasia/transcaucasia-texts/formation-of-the-ussr/) මගින් සෝවියට් සංගමය පිහිටුවා ලීමෙන් අනතුරුව, බොල්ෂෙවික් ස්ථාවරය ක්‍රියාවේ නැංවීම සඳහා ප්‍රතිපාදන තිබුණේ නැත.

ඇත්ත වශයෙන්, සෝවියට් සංගමය පිහිටුවා ලීමේ දී රුසියාවට සම්බන්ධ වූ සමූහාණ්ඩු, වඩ වඩාත් මොස්කව් පදනම් කර ගත් පක්ෂ ධුරාවලියේ ත්, එහි නිලධරයේ ත් අධිපතිවාදී පාලනයට නතු වූහ. 1920 ගණන්වල මුල් භාගයේ පවා සෑම සමූහාණ්ඩුවක ම සිටි තම භාෂාව භාවිතා කළ, තම සංස්කෘතිය ප්‍රගුණ කළ සහ සිය අධ්‍යාපනය ලැබූ සෑම ජාතියක් ම සමෘද්ධිමත් බවට පත් වූයේය.

සෝවියට් සංගමයේ ආඥාදායක පාලනය

කෙසේ වුවද, ඊළඟ දශකය තුළ, ඔවුන්ගේ ජාතික අනන්‍යතාවයන් වෙත පනවන ලද සීමාවන් හේතුවෙන් ඔවුන්ගේ තත්වය වඩාත් නරක අතට හැරුණි. ස්ටාලින් කාලය ගත වී යද්දී, සමූහාණ්ඩුවල පාලනය මධ්‍යගත කළ අතර, සෝවියට් සංගමයේ ආඥාදායක පාලනය ක්‍රියාවට නැංවීමේ දී ඒ සමූහාණ්ඩුවල දේශීය කටයුතුවලට පක්ෂය මැදිහත් වීමට ප්‍රමුඛත්වය දුන්නේය.

පෙර වසර පහේ සිදු වූ කැලඹීම සිවිල් යුද්ධයෙන් පසු පැවති වඩා සාමකාමී යුගය දක්වා දිගටම පැවතුන නමුත් මෙම ගැටුම බොල්ෂෙවික් පක්ෂය වෙනස් වීමට භාජනය කොට තිබුණි. එය දැන් වඩාත් මිලිටරි කරණයට ලක් වී තිබුන අතර, නොයෙක් ගැට‍ළුවලට විසඳුමක් ලෙස බොහෝ විට බලහත්කාරය යෙදවීම දක්නා ලදී. සෝවියට් සංගමයේ බිහි වීම ත්, 1930 ගණන්වල ස්ටාලින් වාදී මධ්‍යගත කිරීම ත් විසින් මිලියන සංඛ්‍යාත ජනතාවක ගේ ජාතික ස්වයං නිර්ණය පිළිබඳ සිහින අවසන් කර දැමූ අතර අවසානයේ 1917 සිටි විප්ලවවාදීන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු හා ජීවිත විනාශ කර දමන්නට ද ආධාරකාරී වූයේය.

දෙවන කොටස: ශ්‍රී ලංකාවට ඇති අදාලත්වය

මෘතෘකා යොදන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රිෆ් විසිනි.

Archive

Latest news

Related news