Image from Linkedin.
සුනන්ද දේශප්‍රිය.
(Sri Lanka Brief/21.11.20242024) පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා දින සිට හතරවන සතිය දක්වා විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයන් තුළ දේශපාලන පක්ෂ සඳහා වෙන්වූ කාලය සහ ඉඩ පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින් නිරීක්ෂණයක් සිදු කර තිබේ.
එම සමීක්ෂණය විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයන් හා ඒවායේ බලපෑම පිළිබඳ විමසා බලා ඇත.
මේ අනුව ඉතාම පැහැදිළිව මහා මැතිවරණය සඳහා තරඟ වැදුණූ පක්ෂ සඳහා ජනමාධ්‍ය සමබිමක් නිරිමානය නොකළ බවත්, ජනාධිපතිවරණයෙන් ඒ වන විටත් ජය ලබා තිබූ ජාතික ජන බලවේගයට අති විශාල ඉඩක් වෙන් කර දී ඇති බවත් පෙනේ.
ඊට ප්‍රතිවිරුද්ධව ජනාධිපතිවරණයෙහි දී ජනමාධ්‍ය ආවරණය වඩාම ලැබී ඇත්තේ එවකට ජනපතා වූ රනිල් වික්‍රමසිංහට සහ විපක්ෂ නායක වූ සජිත් ප්‍රේමදාසටය.
එහෙත් මහා මැකිවරණ වාර්තාකරණයේ මෙම වාසිදායක ආවරණය ජාතික ජන බලවේගයේ රජය අනිසි ලෙස බලය යොදා ලබා ගත් එකක් ලෙස දැක්විය නොහැක. මෙම වාර්තාකරණ පෙන්වන්නේ ජාජබයේ අගතිගාමීත්වයක් නොව ජනමාධ්‍ය අගතිගාමීත්වයයි.
එසේ නමුත් රාජ්‍ය මාධ්‍ය ජනපති අනුර කුමාර යටතේ ජාතික ජන බලවේගයට වාසිදායක අයුරින් ක්‍රියා කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර ඇති මැතිවරණ ජනමාධ්‍ය ආචාර ධර්ම අතර මෙසේ ද දැක්වේ.
“02 ඡන්ද විමසීමක් වෙනුවෙන් ඉදිරිපත්වන සියලුම දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ට මැතිවරණ ක්‍රියාවලියේ දී හිමිවන සම අයිතිවාසිකම් සෑම පියවරක දීම ආරක්ෂා කිරීම.
03. සියලුම දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයින්ට හිමිවන අයිතිවාසිකම් හා ඡන්දදායකයින් දැනුවත් කිරීමට ඇති අයිතියට ගරු කරමින් විරුද්ධ මතධාරීන්ට ඔවුන්ගේ මතය දැරීමට හා ඒ වෙනුවෙන් නීත්‍යානුකූලව ප්‍රචාරක කටයුතු/ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට ඇති අයිතියට බාධා නොකිරීම.”
කිසිම ජනමාධ්‍ය ආයතනයක් හෝ යූ ටියුබ්කරුවකු මෙම මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ජනමාධ්‍යට නීති පැනවිම දුෂ්කරය.
ජනප්‍රිය යූ ටියුබ්කරුවන් අතර කිහිල දෙනෙක් තනිකරම වාගේ ජාජබ වෙනුවෙන් පෙනී සිටියේ, සමහර විට වැඩිපුර පාඨක සමූහයක් දිනා ගැනීම මගින් සිය අදායම ඉහළ නංවා ගැනීමට විය හැකිය.
රෑපවාහිනී සහ පුවත් පත් සම්බන්ධයෙන් සළකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ වෙන වෙනම ඒ ඒ නාලිකා සහ පුවත්පත් ලබා දුන් ආවරණයයි. උදාහරණයක් ලෙස හිරු නාලිකාව සජබට වැඩි ඉඩක් දුන් අතර සියත සහ සිරස නාලිකා ජාජබට වැඩි ඉඩක් දුන්නේය.
තවද හුදෙක් ප්‍රමාණාත්මක නිරීක්ෂනයන් නියම චිත්‍රය ලබා නොදෙයි. මන්ද යත් ඒ ඒ නාලිකා කොපමණ ප්‍රේක්ෂකයින් කරා යන්නේ ද යන්නත්, වාර්තාකරණය නිශේධාත්මක ද සාධනීයද යන්නත් සළකා බැලිය යුතු නිසාය. පුවත් පත් සම්බන්ධයෙන්ද එම සාධක සළකා බැලිය යුතුය.
තවත් විශේෂ නිරීක්ෂනයක් විය යුත්තේ රාජ්‍ය පාලිත ජනමධ්‍ය මැතිවරණ සමයෙහි හැසිරුණූ ආකරයයි.
ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානයක ජය දිනා ගැනීමෙන් පසු රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති ආවරණය, රනිල් වික්‍රමසිංහගේ සිට ජාජබට පක්ෂව වෙනස් වූ ආකාරය පහත රෑප සටහනින් දැක්වේ. ජනාධිපතිවරණයේ දී සියයට 14ක් වූ එය මහා මැතිවණයේ දී සියයට 49ක් ක්වා වර්ධනය වී තිබේ. මෙය පැහැදිළි අගතියකි.
පුද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා ද එම ප්‍රවණතාවයම පෙන්වන නමුත් එතරම්ම අගතිගාමී නැත. එහි කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට සියයට 21ක කාලයක් ලැබීමයි. එය සජබට මෙන්ම ගෑස් සිලින්ඩරයට වඩා වැඩිය.
පහත පළවන ප්‍රස්තාර මෙරට මැතිවරණ සමයෙහි ජනමාධ්‍ය සමබිමක් වෙනුවට ගැතිබිමක් තිබූ බව තව දුරටත් පෙන්වා දෙයි.
ගුවන් විදුලි ප්‍රවෘත්ති ජාජබයට සියයට 52ක් විය.
ප්‍රවෘත්ති වෙබ් අඩවි ජාජබයට 39% ද දෙවැනි පක්ෂය වූ සජබට 17% ලබා දුන් අතර තෙවැනි පක්ෂය වූ ගෑස් සිලින්ඩරයට සියයට 18ක් ලබා දුන්නේය.
පුවත්පත් මුල් පිටු මගින් ජාජබයට 52% ලබා දී සජබට ලබා දුන්නේ 07%කි.
රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති සමස්තයක් ලෙස ජාජබට 41% ද සජබට 17ක් ද ලබා දුන්නේය.