Thursday, November 21, 2024

2024 පෙරළිය සහ ඒකේඩී ආණ්ඩුව: ජයගත යුතු අභියෝග කිහිපයක් – සුනන්ද දේශප්‍රිය

මෙරට දේශපාලන ශබ්ද කෝෂයේ 56 පෙරළිය යනුවෙන් හැඳින්වෙන සිදුවීම් දාමයක් තිබේ. ඒ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වීමයි. එහි විරුද්ධවාදීන් එය දුටුවේ සරම් බැනියම්කාරයින් පාර්ලිමේන්තු ඒමක් ලෙසය. එසේ නමුත් මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් එය දුටුවේ ‘බමුණූ කුලය බිඳ වැටීම’ ලෙසය. සිංහල උගතුන් ලෙස පසු කලෙක බිහිවූ සමාජ තීරුව හඳුන්වන ලද්දේ 56 දරුවන් ලෙසය. 56 මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බවට පත් විය.

1956 දී මෙන්ම අද ද පාර්ලිමේන්තුවට දැන් නිකමුන් පත් වී එනු ඇතයි ප්‍රභූ පංතීන් අදෝනා නැඟීමට පටන් ගෙන තිබේ. මේ බල වෙනස ප්‍රභූ බලවේගයන්ට අදහා ගත නොහැකි පෙරළියකි.

24 පෙරළිය:  ප්‍රභූ දේශපාලන පරාජය වීම

පසුගිය සැප්තැම්බර් 21 දා ද  මෙරට දේශපාලනයේ එවැනි මහා පෙරළියක් සිදු විය. එය සංකේතවත් වූයේ 1948 දී බ්‍රිතාන්‍ය රජය මෙරටට ‘නිදහස’ ලබා දීමෙන් පසු එදා මෙදා තුර මෙරට පාලනය කළ ප්‍රභූ දේශපාලන පංතිය අතින් බලය මෙරට ධනවත් නොවන පීඩිත සමාජ කණ්ඩායම් නියෝජනනය කරන දේශපාලන ව්‍යාපාරයක් වෙත මාරුවීමෙනි. එහි සංකේතාත්මක ප්‍රතිරූපය අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත්වීමයි. එය සතුටු විය යුතු ඉතිහාසීය වශයෙන් ප්‍රගතිගාමී වර්ධනයකි.

1956 දී මෙන්ම අද ද පාර්ලිමේන්තුවට දැන් නිකමුන් පත් වී එනු ඇතයි ප්‍රභූ පංතීන් අදෝනා නැඟීමට පටන් ගෙන තිබේ. මේ බල වෙනස ප්‍රභූ බලවේගයන්ට අදහා ගත නොහැකි පෙරළියකි.

“අරගලය” නැත්නම් පෙරළියක් නැහැ!

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමට දායක වූ ප්‍රධානතම දේශපාලන සංසිද්ධිය ද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එනම් දශලක්ෂයක් ඉක්මවූ ජනයා ස්වේඡාවෙන් සහ දේශපාලන පක්ෂයක නායකත්වයකින් තොරව වීදි අරක්ගත් ‘ ජන අරගලය’යි. එවැනි දේශපාලන සංසිද්ධියක් ඊට පෙර මෙරට ඇති වී නැත.

එසේ නමුත් ඒ හා සැසඳිය හැකි සිදුවීමක් වන්නේ 53 හර්තාලයයි. එයට එකල පැවැති වමේ පක්ෂ  නායකත්වය දුන් අතර බණ්ඩාරනායද බැරිම තැන එයට  සහය දැක්වීය. 56 පෙරළියට දායක වූ සමාජ ගතිකත්වය නිර්මාණය වූයේ 53 හර්තාලය සමඟය. බල වෙනසකට නායකත්වය දීමට වමේ පක්ෂ අසමත් වූ අතර, බණ්ඩාරනායක එය සිය දේශපාලන අවස්ථාව ලෙස යොදා ගත්තේය. බණ්ඩාරනායකගේ  දේශපාලන ගමන තෙවසරකදී අවසාන කිරීමට ඔහු ඝාතනය කළ පිරිස් සමත් විය. අනතුරුව ඔහුගේ ස්ථානය ගත්තේ ඔහුගේ බිරිඳ, දියණියන් සහ පුත්‍රයා විසිනි. සේනානායක පවුලට විරුද්ධ දේශපාලනය බණ්ඩාරනායක පවුල් විසින් අල්ලා ගත්තේය. අභ්‍යන්තර කුළල් කා ගැනීම් නොවන්නට 24 පෙරළියට දශක හයකට පෙර  වාම බලවේග සහ පීඩිත ජනතීරු මෙරට බලයට ඒමට ඉඩ තිබුණි.

ඉතිහාසයේ අරුමයක් මෙන් 24 පෙරළියේ ප්‍රධාන ඉලක්කයක් බවට 56 පෙරළියට නායකත්වය දුන් බණ්ඩාරනායකගේ පවුල් දේශපාලනයද පත්විය. 56 පෙරළිය ප්‍රභු දේශපාලනය විසින් අවශෝෂනය කර ගත්තේය. ජාතික ජන බලවේගය එම නිශේධාතමක වර්ධනයෙන් නිසි පාඩම ඉගෙන ගත යුතුය.

ක්‍රම වෙනසක් සඳහා වූ ජන අරගල සටන

24 වෙනස ද යම් අන්දමකින් 56 පෙරළිය හා සමානය. ජනතා විමුක්ති පෙරමුණ ‘ජන අරගලය’ට මුලදී විරුද්ධ වු නමුත් පසුව එහි ප්‍රධාන පෙළේ  ක්‍රියාකාරී කණ්ඩායමක් බවට පත් විය. ‘ජන අරගලය’ විසින් ජනිත කරවන ලද සමාජ ගතිකත්වය වුයේ ක්‍රම වෙනසක අවශ්‍යතාවයයි.  කුඩා කණ්ඩායමක් විසින් දියත් කරන ලද ‘ගෝටා ගෝ හෝම්’ ආරම්භක  සටන් පාඨය පසුව ක්‍රම වෙනසක් සඳහා වූ පුළුල් ජනතා අවශ්‍යතාවය නියෝජනය කළ දැවැන්ත අභිලාශයක් බවට පත්විය.

24 පෙරළියේ දේශපාලන නියෝජිතයා වන්නේ ජාතික ජන බලවේගයයි. එහි නායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටින්නේ මහා මැතිවරණ දිනය වන නොවැම්බර් 14 වැනි දිනය පාර්ලිමේන්තුව සුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයක් බවට පත් කරන ලෙසයි. එම සටන් පාඨයද ජනගත කරන ලද්දේ 225ම එපා යැයි කී ගෝල්ෆේස් අරගලකරුවන් සහ අරගලකාරියන් විසිනි.

‘ගැහුවෙ එක කතිරයයි, 50ක්ම විශ්‍රාම ගියා” යැයි තවත් ජනප්‍රිය සටන් පාඨයක් අද තිබේ. එය ඇත්තය. මෙරට දේශපාලනයේ සෙලවිය නොහැකි බලකණු යැයි සැලකුණු බොහෝ දෙනෙක් දැන් කතිර බලයට බිය වී දේශපාලනයෙන් සමුගෙන සිටිති. කලකට පෙර මෙරට දේශපාලනයේ ප්‍රබල සංකේත දෙක වූ ‘අත’ සහ ‘අලියා’ පමණත් නොව පසුව ඒ තැනට පැමිණි ‘පුටුව’ සහ ‘බුලත් කොළය’ ද අද ආගිය තැනක් නැත.

ක්‍රම වෙනසක් යනු හිස්ගෙඩි මාරු කිරීමක් නම අපට මේ සිදුවන විශ්‍රාම යෑම් දෙස බලා හුරේ දැමිය හැකිය. නමුත් ‘ජන අරගලය’ ඉල්ලා සිටි ක්‍රම වෙනස හුදෙක් ඔලුගෙඩි මාරු කිරීමක් නොවේ.

දැනට පෙනෙන ලකුණු අනුව ජාතික ජන බලවේගයට මහා මැතිවරණයෙන් බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇත.  සැබෑ වෙනසක් ඇති කිරීමේ දේශපාලනය පටන් ගැනීමට ඉන්පසු ජාජබයට අවස්ථාව සහ අභියෝගය උදා වෙයි.  ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ දූෂිතයින්ගෙන් තොර විනයානුකූල පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කිරිමෙන් ක්‍රම වෙනස සඳහා අවස්ථාව උදා කර දෙන ලෙසයි. එහි වරදක් නැත.

හොඳ පුද්ගලයින්ද? ක්‍රම පද්දතියක්ද?

ජාතික ජන බලවේගයේ මදය නැත්නම් අරටුව වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව රහසක් නොවේ. එබැවින් ප්‍රථම කොටම එහි සූත්‍ර පාඨය වන හොඳ පුද්ගලයින් යන සංකල්පය විමසා බැලීම වැදගත්ය. ජනතා විමුක්ති පෙරමුණෙන් වරින් වර පාර්ලිමේන්තුවට පත් වූ බහුතරයක් පිරිස අද එය සමඟ නැත. එහි ජනාධිපති අපේක්ෂකයකු වූ නන්දන ගුණතිලක අද රනිල් වික්‍රමසිංහ අනුගාමිකයෙකි. විජේවීගෙන් පසු එහි නායකයා වූ සෝමවංස අමරසිංහ පක්ෂයෙන් බිඳී ගොස් රාජපක්ෂවාදී වෙනත් කණ්ඩායමක් ගොඩ නැගුවේය. කලක් එහි ජනප්‍රිය ප්‍රචාරක ලේකම් වූ විමල් වීරවංශ දූෂිත සහ භීෂිත රාජපක්ෂ දේශපාලනයේ ප්‍රධානියකු බවට ක්‍රියාවෙන්ද න්‍යායෙන්ද  පත් විය. ඔහු ද දැන් විශ්‍රාම ගොස්ය. ඔවුන්ගේම නිර්වචනය අනුව ජවිපෙ තුලින්ම බොහෝ ද්‍රොහීන් බිහි වී තිබේ.

මේ වනාහී ජනතා විමුක්ති පෙරමුණට පමණක් සුවිශේෂි තත්වයක් නොවේ. පිරිසිදු පුද්ගලයින් ලෙස දේශපාලනයට පැමිණ මන්ත්‍රී ධූර සහ ඇමතිකම් ලද පුද්ගලයින් අන්ත දූෂිත සහ භීෂණකාරී දේශපාලනඥයින් බවට පත්වීමම, ‘ජන අරගලය’ බිහිවීමේ එක් සාධකයක් බවට පත් විය.

විවේචනය සහ ස්වයං විවේචනය

තවද මාඕ සේතුං කී පරිදි නිතිපතා නොසෝදන මුහුණු කිළුටු වන්නා සේ විවේචනයට හසු නොවන දේශපාලනඥයා ද කුණු වීමට බර වැඩිය.  තමන්ගේ පාර්ශවයෙන් සිදුවන අඩුපාඩු සහ වැරදි පිළිගැනීමට නොහැකි  දේශපාලනඥයින් ඉක්මනින් අපකීර්තියට පත්වෙයි. විවේචනය සහ ස්වයං විවේචනය යනු ජාජබය විසින් ඉහළින් ලියා තබා ගතයුතු ආදර්ශ පාඨයකි. එහි යම් යම් ප්‍රධානීන් පෙන්වන අහංකාරකම සහ බලාධිකාරිත්වය ඉක්මනින්ම වෙනස් කර ගැනීම වටී. ‘අප ආවහම වැඩ වර්ජන ඉවරයි’ වැනි කතා බලාධිකාරත්වයේ ප්‍රකාශනයන්ය.

දූෂණය මගින් මුදල් උපයා නොගෙන විසිවසරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව පූර්ණ කාලීන දේශපාලනයේ යෙදෙන  අයකුට නිසි විශාම වැටුපක් නොලැබෙන්නේ නම් ඔහු හෝ ඇය ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ කෙසේද?

වැටුප් නැතිව වැඩ කළ හැකිද?

යහපත් පුද්ගලයින් යනු වැටුප් නොලබා සේවය කරන පුද්ගලයින්ය යන්න අද ජනගත කරමින් ඇති තවත් සංකල්පයකි. දේශපාලඥයින් ජනතා ඡන්දයෙන් පූර්ණකාලීන මන්ත්‍රීවරුන් බවට පත්වන්නේ නම් ඔවුන්ට එම සේවය වෙනුවෙන් සාධාරණ වැටුපක් ලැබිය යුතුය. පක්ෂයක් වුව සිය පූර්ණකාලීන සේවකයිනට වැටුප් ගෙවිය යුතුය.  එය අද සෑම ප්‍රජාතන්ත්‍රවාදී රටකම ඇති ක්‍රමයයි. වැටුපක් නැතිව පූර්ණකාලීන සේවයක් කරන්නේ කෙසේද? එක්කෝ ඔවුන් ධනවත් පුද්ගලයින් විය යුතුය. නැත්තම් සිය සහකරු/සහකාරියගේ වැටුපෙන් ජීවත්වන පර පෝෂිතයින් විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවීම වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව සැබෑය. එනමුත් මූලික පහසුකම් නොමැතිව කිසිදු අයකුට පූර්ණකාලීන ජනතා සේවය කළ නොහැකිය.  ජාතික ජන බලවේගයට මෙම යතාර්ථයට පිටු පෑමට නොහැකි වනු ඇත. දූෂණය මගින් මුදල් උපයා නොගෙන විසිවසරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව පූර්ණ කාලීන දේශපාලනයේ යෙදෙන  අයකුට නිසි විශාම වැටුපක් නොලැබෙන්නේ නම් ඔහු හෝ ඇය ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ කෙසේද?

සුපිරිසිදු සටන් පාඨ මහපොළවට වැටුණූ පසු දූවිලිවලින් නැහැවෙන බව යථාර්තයකි. පුද්ගලයින් වෙනස් විය හැකිය. වෙනස් නොවන්නේ නිසි ලෙස පිහිටුවන ක්‍රම සහ විධි, නීති සහ රීතීන්ය.

ක්‍රම වෙනසක අඩිතාලම වන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමයි. දූෂණයට සහ භීෂණයට ඉඩ නොතබන නීති රීති පැනවීමත් රාජ්‍යයේ බලය තුලනය සහ  සංවරණය කරන යාන්ත්‍රණයක් සවිමත්ව පිහිටුවීමත් ඒ සඳහා අවැසිය. අද පවත්නා මූලික තුලන සහ සංවරණ යාන්ත්‍රණයන් වන ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා මණ්ඩලය 17 වන සංශෝධනය හරහා 2004 වර්ශයේදී පිහිටුවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙනි. කල්යත්ම වඩා බලවත් විය යුතුව තිබූ එම යාන්ත්‍රණයන් 21වන සංශෝධනය කරා ගමන් කර ඇත්තේ පසු පසටය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රථම දේශපාලන ක්‍රම වෙනස විය යුත්තේ එම දොස් නිදොස් කොට සැබවින්ම ස්වාධීන ව්‍යවස්ථා මණ්ඩලයක් හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමයි.

නීතිපති සහ ස්වාධීන අභියෝජක කාර්යාලයක්

නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර වූ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ස්වාධීනත්වය ඇති නඩුපවරන්නකුගේ එනම් අභියෝජක බලවත් කාර්යාලයක් පිහිටුවීම, ව්‍යවස්ථා මණ්ඩලයට අලුතින් එක් කළ යුතු අංගයකි. රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගෙන් අල්ලසට සහ දූෂණයට විරුද්ධව නඩු පැවරීම හොරාගේ පියාගෙන් පේන ඇසීම හා සමාන වනු ඇත.

දෙවනුව එය පොරොන්දු වී ඇති පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සිය මාර්ග සැලැස්ම රටට ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය මුල් පියවර දියත් කළ යුතුය. 1994 සිට සෑම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු පිටාර ගැලුවේය. ඊට හේතුව වූයේ මෙරට අත්තනෝමතික දේශපාලන වර්ධනයන්හි පදනම විධායක ජනාධිපති ක්‍රමය වූ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩිතාලම වන නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ කල් දැමීමට ජේ.ආර්. ජයවර්ධනත් ඔහුගේ බෑණා වූ රනිල් වික්‍රමසිංහත් යොදා ගත්තේ මේ විධායක බලයයි. චන්ද්‍රිකා කුමාරතුංගත් මහින්ද රාජපක්ෂත් එම බලය යොදා ගෙන මැතිවරණ සමය යුද පිටි බවට පත් ක‍ළෝය.

මෙම ක්ෂේත්‍ර තුනෙහිම ප්‍රබල වෙනස්කම් කිරීමට නම් අත්‍යවශ්‍ය සාධකයක් තිබේ. ඒ සම්මුතිබද්ධ දේශපාලනයයි. ඊට හේතුව වන්නේ මෙම ක්ෂේත්‍ර තුනම හුදෙක් ආණ්ඩු පක්ෂයට පමණක් මුහුණ දිය නොහැකි බලගතු මාෆියාවන්ට නතු වී තිබීමයි.

එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදය

ඉහළ තලයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් මහජනයාගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක කැරෙන වෙනස්කම් මගින් ඌණපූරණය කිරීම ජාතික ජන බලවේගය මුහුණ දෙන විශාලතම අභියෝගය වනු ඇත. එම ක්ෂේත්‍ර තුන නම් අධ්‍යාපනය,පොදු ප්‍රවාහනය සහ සෞඛ්‍යයයි.

මෙම ක්ෂේත්‍ර තුනෙහිම ප්‍රබල වෙනස්කම් කිරීමට නම් අත්‍යවශ්‍ය සාධකයක් තිබේ. ඒ සම්මුතිබද්ධ දේශපාලනයයි. ඊට හේතුව වන්නේ මෙම ක්ෂේත්‍ර තුනම හුදෙක් ආණ්ඩු පක්ෂයට පමණක් මුහුණ දිය නොහැකි බලගතු මාෆියාවන්ට නතු වී තිබීමයි. ටියුෂන් මාෆියාව, බස් මාෆියාව සහ චැනල් මෆියාව යනු කිසිදු තනි දේශපාලන පක්ෂයකට වෙනස් කළ හැකි සාධක නොවේ. එම ක්ෂෙත්‍රයන්හි කළ යුතු ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් මෙම මාෆියා අධිරාජ්‍යයන් බිඳ දැමීමට පමණක් සීමා වන්නේ නැත. කළයුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් පවා ආණ්ඩු පක්ෂ – විපක්ෂ එකඟතාවයන් ගොඩ නඟා ගැනීම ජාතික ජන බලවේගයට සැබෑ ක්‍රම වෙනසක් ඇති කිරීමේදී අත්‍යවශ්‍ය වනවා ඇත. මෙම වෙනස්කම් වෙන වෙනම ලිපි මගින් සාකච්ජා කිරීමට තරම් බරපතලය.

මේ සියළු අභියෝගයන් තරමටම බරපතල වනු ඇත්තේ තිස් අවුරුදු යුද්ධයේ විපාකයක් ලෙස පවත්නා ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලබා දීමයි. යුද්ධය 2009 දී අවසන් විය. එනමුත් ගැටුම අවසන්ව නැත. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයා ස්වකීය දුක් ගැනවිලි සම්බන්ධයෙන් විසඳුම් අපේක්ෂා කරති.

දුර්වලම පුරුක

මෙම ගැටුමට මුලපුරන ලද්දේ අභ්‍යාගයකට මෙන්  24 පෙරළියේ පූර්වගාමියා වූ 56 පෙරළිය විසිනි. සිංහල පමණක් රජබස කිරීමේ බණ්ඩාරනායක පිළිවෙත නිදහසින් පසු සිංහල දෙමළ විරසකය සන්නද්ධ ගැටුමක් කරා ගමන් කිරීමේ ආරම්භය විය. දෙමළ ජනයා එදා සිට මුහුණ දුන් භාෂාව, රැකියා, ඉඩම් සහ ආරක්ෂාව යන ප්‍රශ්න අදටත් එලෙසම නැතත් තවමත් පවතී. යුද්ධයේ විපාක ලෙස සිදු වූ බරපතල මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ ප්‍රශ්නය අද මෙරට දේශසීමාවෙන් ඔබ්බට ගිය අන්තර්ජාතික කාරණයකි. එය කාලයේ වැලිතලාවෙන් වැසී නොයන එකකි.

ජාතික ජන බලවේගයේ දේශපාලනයෙහි ඇති දුර්වලම පුරුකක් වන්නේ මෙයයි. නමුත් එය ජය ගත නොහැකි එකක් නොවේ.

ස්ත්‍රීන් ඇතුළත් කර නොගන්නා දේශපාලනයකට ඔවුන් මුහුණ දෙන පීඩාවන් තේරුම්ගත නොහැක්කා සේම දෙමළ සහ මුස්ලිම් ජනයා ඇතුළත් නොවන දේශපාලනයකට ඔවුන් මුහුණ දෙන පීඩාවන් තේරුම් ගත නොහැක. එනයින් ජනවාර්ගික සාමය පිහිටුවීමෙහිලා ජාතික ජන බලවේගය ආරම්භ කළ යුතු ස්ථානය වන්නේ සුලුතර ජනයාගේ සැබෑ නියෝජනයක් ඇති කර ගැනීම විය හැකිය. තවද 2012 උගත් පාඩම් සහ ප්‍රතිසංන්ධාන කොමිසමේ සිට 2021 සත්‍ය සෙවිමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම ( එනම් නවාස් කොමිසම) දක්වා සිදුව ඇති විවිධ උත්සාහයන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව ඉදිරියට ගෙන යෑම සඳහා පෙර කී පරිදිම සම්මුතිබද්ධ ප්‍රවේශයක් ඇති කර ගැනීම ජනවාර්ගික විශ්වාසය ගොඩ නැගීම සඳහා පාදක කර ගැනීමට නව ආණ්ඩුවට උත්සාහ ගත හැකිය. එම ව්‍යායමය ද දුර ගමන් කළ යුතු එකකි.

මෙම ලිපිය මොනරා පුවත්පතෙහි ද ද ලිඩර් වෙබ් අඩවියෙහි ද කලින් පළ කරන ලදී.

Archive

Latest news

Related news