පසුගියදා පැවති ආරක්ෂක කවුන්සිලයදී ආරක්ෂක ප්‍රධානීහු විසින් පාතාල මර්දනයට කැපවුණු
නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝගවලින් ඔවුන්ව මුදාහැර දෙන්නැයි ආරක්ෂක ප්‍රධානීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලු බවත් ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත්වන්නැයි නීතිපතිට දැනුම්දී තිබීම භයානක වර්ධනයක් බව සිරකරු සුරැකීමේ කමිටුව ප්‍රකාශ කරයි.
එළෙස ඉල්ලීමක් කර ඇතයි ඔක්තෝබර් 20 වැනිදා මාධ්‍ය වාර්ථා කර තිබුණි.
මෙම කරුණ සත්‍ය නම් එය ඉතාම භයානක තත්වයක් බව ප්‍රකාශ කරන එම සංවිධානය තව දුරටත් මෙසේ කියා සිටී.
“නීතියේ ආධිපත්‍ය රකින්නට සහ පුරවැසියාගේ ආරක්ෂාව සහතික කිරීමට සිටින ආයතන වල ප්‍රධානීහු නීතිය ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට පෙළ ගැසීම සහ ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය පැතීම අභාග්‍යසම්පන්න තත්වයකි. කාලාන්තරයක් තිස්සේ මානව හිමිකම් යනු ආරක්ෂක අංශ එතරම් තැකීමකට ලක් නොකළ සහ අමු අමුවේ උල්ලංගනය දෙයක් බව නොරහසකි. ශ්‍රී ලංකාව සම්බන්ධව අන්තර්ජාතිකව වගවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේද මේ හේතුව නිසාම බව සියලු දෙනා දන්නා කරුණකි. මෙතෙක් කාළයකට කලේ එල්ල වන චෝදනා වලට චෝදනා කරමින් චූදිත නිළධාරීන් ආරක්ෂා කිරීමේ න්‍යායක් රජය අනුගමනය කිරීමය. එහෙත් ජනාධිපතිවරයා ලෙස පාලනයේ වෙනසක් උදෙසා ජනතාව නව ජනාධිපතිවරයා තෝරාපත්කරගනු ලැබුවේ අපරාධකරුවන්ට දඬුවම් දීමට විනා ඔවුන් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසීමට නොවන බව නව ජනාධිපතිවරයා පිළිගන්නා බව අපි සිතමු. නව ජනාධිපතිවරයා චූදිත නිළධාරීන් ආරක්ෂා කරන්නේ නම් ඔහු සිදු කරන්නේ ජනවරමට පිටුපෑමක් බවද මේ අවස්ථාවේදී මතක් කරනු කැමැත්තෙමු.
වසර ගණනාවක අරාජික තත්වයක තිබූ රටක “මානව හිමිකම්” යන වචනය පාලකයන්ට නයාට අඳුකොළ වැනි තත්වයකට පත්ව ඇත. ඒ ඔවුන් අමු අමුවේ මානව හිමිකම් උල්ළංගනයන්ට උඩ ගෙඩි දුන් නිසාම නොව එය ඔවුන්ගේ පාලනයටද අවශ්‍යාටද දෙයක් වූ බැවිනි. මේ නිසාම මානවහිමිකම් පිළිබඳව කතා කිරීම ජනප්‍රිය මාතෘකාවෙන් පරිබාහිර කරුණක් බව නව ජනාධිපතිවරයාද පිළිගනු ඇත. එහෙත් එය පිළිබඳව කතා කිරීමත් එය දිනා ගැනීමට කටයුතු කිරීමත්නව ජනාධිපතිවරයා මඟ නොහරිනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ පසුගිය වසර ගණනාව පුරාවටම ඔහුගේ දේශපාලන වේදිකාවල ඔහු ද ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ද “මානවහිමිකම්” ගැන කතා කළ බැවිනි. එසේම ඔහු අද දිනා ඇති ජනග්‍රහනයට පාර කැපීමට “මානවහිමිකම්” පිළිබඳ කතිකාවතද ඉවහල් වූ බැවිනි. එසේම යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණය යනු මානවහිමිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයද වන බැවිනි.
අරාජික රටක, සිවිල් ජනතාව පමණක් නොව ඕනෑම අයෙක් , ඕනෑම ආයතනයක්ද අරාජික වීම නැවැත්විය නොහැකිය. ආරක්ෂක අංශ කියාද වෙනසක් නැත. පාලකයාට අනුව ඇතැම් නිළධාරීන් දූෂිත විය. මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකර මිනිසුන් වඳහිංසාවට පත් කළේය, ඝාතනය කළේය. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ආයුධ පෙන්වන්නට ගොස් මරා දැමූ ප්‍රමාණය සුලුපටු නොවේ. මේ මිනීමැරුම් සම්බන්ධව කෙතරම් අසීරු අඩියක වුවද යුක්තිය ඉල්ලා හඬ නැගූ පිරිසක් සිටියේය. බලයට පත්වීමට පෙර නව ජනාධිපතිවරයාද නියෝජනය කළේ ඒ කණ්ඩායම බව අපට මතකය. එසේම රාජපක්ෂවරුන්ගේ සිට ගෙන ආ අධම, කූර, ප්‍රචන්ඩ, අශීලාචාර පාලනයකට ඇතැම් පිරිස් තවමත් ඉව අල්ලන බව නොරහසකි.
ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් 2023 වසරේ නිකුත් කරන ලද පොලිස් අත්අඩංගුවේදී සිදුවන ඝාතන සහ නීතියෙන් පිටත සිදුවන ඝාතන වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට නිකුත් කළ පොදු මාර්ගෝපදේශ වාර්ථාවට අනුව වාර්තා වූ මරණවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන හෝ කොට්ඨාශ ආශ්‍රිතව වාර්තා වී ඇත. කොළඹ ප්‍රදේශයෙ නඩු තුනක් විශේෂ කාර්ය බළකාය (STF) සම්බන්ධ වූ ඒවාය. වාර්තා වූ සියලුම මරණ සිදුවී ඇත්තේ අත්අඩංගුවට ගැනීමකදී හෝ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්නුම් කරන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී පොලිසිය ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම් වලදීය.
එසේම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට විසින් ලැබුණු පැමිණිලි සහ විමර්ශන මත පදනම්ව, 2020 ජනවාරි සහ 2023 අගෝස්තු අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මරණ විසි හතරක් සිදුව ඇති අතර නීතියෙන් පිටත ඝාතන දහතුනක් සිදුව ඇත. එසේම 2023 පළමු මාස හය තුළ පොලිස්අත් අඩංගුවේදී මරණ හයක් සහ නීතියෙන් පිටත් ඝාතන දෙකක් සිදුවී ඇත.
මේ පොලිස් ඝාතන වල බරපතල කම පෙන්වන මහාධිකරණ තීන්දුවක් 2024 මාර්තු 04 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් දෙනු ලැබීය. එහිදී පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් සැරයන් අනුර වීරවර්ධන එරෙහිව මරණ දඬුවම දෙනු ලැබූ අතර ඒ අනීතික ලෙස රඳවාගෙන අමානුෂික ලෙස පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවටය. එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කලේ, නිරෝගි පුද්ගලයකු ලෙස දෙපයින් ඇවිද පොලිසියට ගිය පුද්ගලයකු ඉන් පැය 24ක් ඉක්ම යෑමටත් පෙර මළ මිනියක් බවට පත්වීමම විත්තිකරුවන් සිදුකර ඇති එම ප්‍රහාරයේ කුරිරු බව හා බරපතළකම කොතරම් දැයි පසක් කරන බවත්, නිරායුධ සිවිල් පුරවැසියකුට එලෙස පහරදීම ශිෂ්ට සමාජය කිසිම දිනක අනුමත නොකරන බවත් නිසි නඩු විභාගයකින් අනතුරුව වරදකරු කරනා අයකුට පමණක් දඬුවම් ලබාදීමට අධිකරණයට බලයක් ඇතත් පොලිස් නිලධාරීන්ට ඔවුනගේ අභිමතය පරිදි දඬුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවත්, නිසි අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිසිය සිදුකර ඇති එම දඬුවම් ලබාදීම මගින් පොලිසිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය කඩවන බවත්ය.
එසේම පසුගිය වසර කිහිපය තුළ ආරක්ෂක අංශ විශේෂයෙන්ම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය මැදිහත්ව සිදුකරන මානවහිමිකම් උල්ලංගනය කිරීම බොහෝ ප්‍රමාණයක් වාර්ථා විය. ඒ අතර මනුෂ ඝාතනද වේ. ඒවායින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමියුව විසින් මැදිහත් වී ඇති නඩු කිහිපයක් මෙසේය.
රාජේන්ද්‍රන් රාජ්කුමාරි ඝාතනය, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක – SC/FR/15/24
මෙම කාන්තාව වැලිකඩ පොලිසියේ නිළධාරීන් විසින් සිදුකළා ඝාතනයක් බවට චෝදනා එල්ල වී ඇත. ඇය සොරකමක් සම්බන්ධව අත් අඩංගුවට ගන්නා අතර වැලිකඩ පොලිස් ස්ථානයේ රඳවා තිබියදී මේ මරනය සිදුවනු ලැබිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (අංක 4) 2023 අගෝස්තු 25 දින නිකුත් කරන ලද නියෝගයට අනුව, මරණයට හේතුව වන්නේ “මොට ආයුධයකින් සහ/හෝ බලයකින් මාංශ පේශිවලට තුවාල වීම නිසා ඇතිවන අභ්‍යන්තර රුධිර වහනය සහ කම්පනය”යි.
සමන්ත ප්‍රීතිකුමාර ඝාතනය, නඩු අංකය – B1360/23
සමන්ත සතුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාර්සලයක් ඇතැයි පවසමින් 2023 ජනවාරි 08 හෝ ඊට ආසන්න දිනකදී සමන්ත ප්‍රීතිකුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පැහැරගනු ගනු ලැබීය. පසුව ඔහු මරදාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගියේය. බලහත්කාරයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා ඔහුට වධ හිංසා කර ඇති අතර ඒ හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට සැක කෙරේ. ඊට අමතරව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ ඔහුගේ මරනයට හේතුව වඳහිංසාව බවයි. 2023 ජූනි 06 දින මාලිගාකන්දේ මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය අනුව එම මරණය පොලිස් අත්අඩංගුවේ දී සිදු වූවක් බව වාර්තා වී ඇති බැවින් ඊට වගකිව යුතු සියලූම පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත.
රොෂාන් චතුර්ක පැහැර ගැනීම, නඩු අංකය – MC3662/23
2023 නොවැම්බර් 01 වැනි දින කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ කාර්ය බළකාය විසින් රොෂාන් චතුර්ක අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු අත්අඩංගුවට ගැනීමමෙන් පසු ඔහු පිළිබඳව කිසිවෙකුට තොරතුරු වාර්ථා නොවූ අතර ඔහු රැගෙන ගිය ස්ථානය හෝ තත්ත්වය පිළිබඳව පොලීසිය හෝ විශේෂකාර්යය බළකාය විසින් හෙළිදරව් කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදු නොකළේය. අවසානයේ සිවිල් මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු අධිකරනයට ඉදිරිපත් කිරීමට පොලීසිය ක්‍රියා කළේය.
සංජීව ප්‍රේමකුමාර ඝාතනය , නඩු අංක – AR 3186/23
සංජීව ප්‍රේමකුමාර අතුරුදන් වූයේ 2023 ඔක්තෝබර් 10 වැනිදාය. පසුව 2023 ඔක්තෝබර් 12 වන දින පොලිස් නිලධාරීන් සමඟ ඇති වූ ගැටුමකදී සංජීව ඝාතනය කර ඇති බව වාර්තා විය. මෙම ඝාතනය පොලිස් විසින් සිදු කරන ලදැයි සැක පළ කරයි.
යසිල් තනුර දිසානායක නඩු අංකය -B9320/2/24
2023 දෙසැම්බර් 22 වැනි දින බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් 27 හැවිරිදි යසිල් තනුර නමැති තරුණයා දරුණු වධ හිංසනයට ලක් කරන ලදී.
කපිල කුමාර අතුරුදහන් කිරීම – නඩු අංකය – AR/327/24
පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පැහැරගෙන් ගොස් දින 27 අතුරුදහන් කිරීම සහ රඳවාගෙන සිටි බවට චෝදනා කරමින් මෙම පුද්ගලයාගේ මව විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඉදිරිපත් කළ පළමු පැමිණිල්ල වන අතර එම පැමිණිල්ල සිදු කර දින දෙකකට පසු එනම් ජුනි 15 වනදා අතුරුදන් වූ අයගේ පවුලේ සමාජිකයින් වෙත නිර්ණාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන එල්ල විය.
ඉහත කරුණූ සලකා බලා අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන එමින් වැඩිදුර විමසා බැලීම් සිදුකරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
නීතීඥ සේනක පෙරේරා,
විධායක අධ්‍යක්ෂ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.