Friday, November 8, 2024

සුසමාදර්ශී වෙනසක් කළ යුතුයි, හැකියි; නොකළොත් ඛේදවාචකයක් වේවී! – සුනන්ද දේශප්‍රිය

මානව හිමිකම් ගැන නිරතුරවම හඬ නැඟූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විදෙස්ගතව සිටින අතර මේ දිනවල යළි දිවයිනට පැමිණ සිටී. ඔහු පාස්කු දා ප්‍රහාරය හා සම්බන්ධ විශේෂිත කරුණු අඩංගු කෘතියක්ද පසුගියදා එළි දැක්වූවේය. සිළුමිණ හා ඔහු කතා බහට එක් වූවේ මෙසේය.

ඔබ පාස්කු දින ප්‍රහාරය ගැන පොතක් ලියලා එළිදැක්වූවා. මොකද අවුරුදු 5කට පස්සෙ පාස්කු ප්‍රහාරය මතක් වුණේ?

පාස්කු ඉරිදා ප්‍රහාරය වෙද්දි මම හිටියේ ජිනීවාවල, පාස්කු දා ප්‍රහාරය වගේම අරගලය ගැනත් ලෝකෙම අවධානය යොමුවෙලා තිබුණෙ. මම දන්න බොහෝ දෙනෙක් මේ ගැන මගෙන් ඇහුව නිසා මමත් ඒ ගැන වැඩියෙන් හොයන්න ගත්තා. මම ක්‍රියාකාරීව මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන අයෙක් ඒ නිසා ඒ කටයුතු තුළින්ම වින්දිතයන්ට සාධාරණයක් ඉටුවේ යැයි බලාපොරොත්තු වෙනවා.

මොනවද පාස්කු ප්‍රහාරය ගැන ඔබට අලුතින් සොයා ගන්න පුළුවන් වුණේ?

වළක්වගන්න තිබුණු ප්‍රහාරයක් ඇයි වළක්වගත්තෙ නැත්තෙ කියන ප්‍රශ්නය තමයි ඉතිරි වෙලා තියෙන්නෙ.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ බුද්ධි ප්‍රධානියාගෙන් තමයි මේ තොරතුරු එන්නෙ. නමුත් ඒ සම්බන්ධයෙන් අපේ බුද්ධි අංශ විසින් නිසි පියවර අරගෙන නැහැ. තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දීලා විශාල බුද්ධි අංශයක් තියෙන අපට මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ඇයි කියන එකයි ප්‍රශ්නෙ.

ඔබ හිතනවද මේ ජනාධිපතිවරයා නැත්නම් මේ අලුත් වෙනසින් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් වෙයි කියල?

මම දකින්නෙ සරු බීජයක් සරු පසකට වැටුණු අවස්ථාවක් හැටියටයි. මම හිතනවා රටේ ජනතාව ඇති කළ වෙනස, නව දේශපාලන පෙරළිය ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනියි කියලා. ඒක එක පැත්තකින් වගකීමක්, අනෙක් පැත්තෙන් පොරොන්දු ඉටු කිරීමක්ද වෙනවා. ජනාධිපතිවරණයේදී පැහැදිලිවම ජාතික ජන බලවේගය කිව්වා පාස්කු ප්‍රහාරය, මාධ්‍යවේදීන් ඝාතනය වගේම තාජුඩීන් ඝාතනය ඇතුළු වසන් කළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කරනවා කියලා. ඒ වගකීම හා පොරොන්දුව ඉටු කළ යුතුමයි. ඒ පොරොන්දුව සමගි ජන බලවේගයත් දුන්නා. එයාලගෙත් වගකීමක් තමයි ඒ වෙනුවෙන් සහාය ලබා දීම.

රටේ බලයට පත්වෙන ජනාධිපතිවරු ආණ්ඩු විවිධ දේශපාලන පොරොන්දු දුන්නා, දෙනවා, ඒවයින් ඉටු වෙන්නෙ අතළොස්සයි. ඔබ හිතනවද මේ පාලනය යටතේ වින්දිතයන්ට සාධාරණයක් වෙයි කියල.

මට 100%ක් නිවැරැදිව ඒ ගැන කියන්න බැහැ. නමුත් මම කිව්ව වගේම ජනතාව බලාපොරොත්තු වුණේ වෙනසක්. දැන් ඒ වෙනස ලැබිල තියෙනවා. ඒ වෙනසට අනුව කටයුතු කිරීමයි දැන් කළ යුත්තෙ. ඒත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනතුරු සිටිය යුතුයි.

ඒත් එක්කම කියන්න ඕන. මේ කාර්යය ආණ්ඩුවේ නැත්නම් ජනාධිපතිවරයාගේ කාර්යයක් පමණක් නෙමෙයි. පක්ෂ විපක්ෂ දෙකේම සංයුක්ත ක්‍රියාවලියක් ලෙසින් තමයි මේ කාර්යය සිදු කළ යුත්තේ.

අපේ රටේ කොමිසන් පත් කරනවා. වාර්තා දෙනවා. වෙච්ච සුගතියක් නැහැ. එවන් තත්ත්වයක් තුළ ඔබ හිතන්නෙ නැද්ද, මෙවන් කාර්යයන් සඳහා නව යන්ත්‍රණයක් නැත්නම් නව ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා.

ඒක තමයි මම කිව්වෙ මේක ආණ්ඩුවෙ වැඩක්ම පමණක් නෙමෙයි කියල, මැතිවරණ වේදිකාවෙදි ජාතික ජන බලවේගය වගේම සමගි ජන බලවේගයත් පැහැදිලිවම කිව්වනෙ පාස්කු වින්දිතයන්ට, ඒ වගේම මාධ්‍යවේදීන් ඝාතනය හා පහරදීම් ආදිය ගැන විමර්ශන යළි අරඹනවා කියලා. ඒ වගේම තාජුඩීන් ඝාතනය ත්‍රිකුණාමලයේ තරුණයන් අතුරුදන්වීම් ගැනත් සෙවිය යුතුයි.

මේ කාර්යය සාර්ථකය කරන්න පුළුවන් වෙයිද? බලපෑම් එල්ල නොවෙයි කියල ඔබ හිතනවද?

විරුද්ධ වෙනව නම් විරුද්ධ වෙන්නෙ කුඩා කණ්ඩායමක් විතරයි. සත්‍යය සෙවීමත් වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමත් සිදුවිය යුතුමයි. මේ කාර්යය කරන්න යහපාලන ආණ්ඩුවත් උත්සාහ ගත්තා. නමුත් ඒ කාර්යය දිගටම කරගෙන යන්න බැරි වුණා.

විශේෂයෙන්ම අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට තියෙන බලය අනුව ඒවට ඇති කරන වගේම ඇතිවන බාධා වැඩියි. නමුත් මේ කාර්යය ආණ්ඩුවේ කාර්යයක් විදිහට සිදු නොවී සමස්ත ප්‍රජාවගේම සහාය අරගෙන කලොත් කවුරුත් කකුලෙන් අදින්නේ නැහැ.

මේ පරීක්ෂණ කොතනින් ආරම්භ කළ යුතුයි කියලද ඔබ යෝජනා කරන්නෙ?

අලුතින් පත්වුණු රජයේ තවමත් කැබිනට් ඇමැතිවරු තුන්දෙනයි ඉන්නෙ. ඒ නිසා ඒ අයට මේ ගමන එක්වරම ආරම්භ කරන්න අමාරුයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවල තමයි මේ කාර්යය ආරම්භ කළ යුත්තේ. ඊට කලින් මේ වගේ කාර්යයක් ආරම්භ කිරීම සුදුසුයි කියල මම හිතන්නේ නැහැ.

අනිත් එක ජනාධිපති බලතල මඟින්ම පමණක් මේ වගේ කාර්යයක් ආරම්භ කිරීම සුදුසුයි කියලත් මම හිතන්නේ නැහැ.

හොදම දේ සම්මුති බද්ධ ක්‍රියාවලියක් ආරම්භ කිරීමයි. හදිසියට ජනාධිපති කොමිසම් පත් නොකර, ඒ වගේම දේශීය මෙන්ම මේ රටේ ජනතාවට පිළිගත හැකි පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයකුගේ සහායෙන් හෝ උපදේශනයක් ඇතුව කළොත් විතරයි ජනතාවගේ විශ්වාසය ඇති වෙන්නෙ. මොකද අපි හොඳටම දන්නවනෙ මේ වගේ පත්කරපු කොම්සම්වලට කොමිසම් වාර්තාවලට මොකද වුණේ කියල. සමහර ඒවා හොඳ වාර්තා ඉදිරිපත් කරල තියෙනවා. නමුත් ප්‍රතිඵලයක් නැහැනෙ

පාස්කු ප්‍රහාරය අතුරුදන්වීම් වගේ චෝදනා එල්ලවන අපරාධ සම්බන්ධයෙන් රජය සම්බන්ධ නොවන විමර්ශනයක් සිදුවිය යුතුයි කියල ඔබ හිතන්නේ නැද්ද?

එවැන්නක් අවශ්‍යයි. ඒක තමයි මම කියන්නෙ මේක ජනාධිපතිවරයාගේ නැත්නම් ආණ්ඩුවේ කාර්යයක්ම නොවිය යුතුයි කියල, ස්වාධීන කාර්යාලයක් ඒ සඳහා අවශ්‍යයි. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ නැති ස්වාධීනව නඩු පැවරිය හැකි කාර්යාලයක් අවශයි. ඒ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීම සුදුසු නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව රජයේ නිලධාරීන් නැත්නම් හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. එම නිසා යන්ත්‍රණයක් පළමුව සකසා සිටියොත් එය ස්වාධීනව කටයුතු කරයි.

නව දේශපාලන පෙරළිය ඔබ දකින්නෙ කොහොමද?

හොඳ ප්‍රවණතාවක්, මේ රට පාලනය කරල තියෙන්නෙ පවුල් දෙකයිනෙ, ප්‍රේමදාස ජනාධිපතිතුමා විතරයි ප්‍රභූ පන්තිය කියන ලේබල් එකෙන් ආවෙ නැත්තෙ, ඒ වුණත් එතුමා ආවෙත් ප්‍රභූ පන්තිය දේශපාලන කොටස්කරුවෙක් හැටියටයි. සමාජයේ පහළ පන්තියේ බලය අතට ගත් පළමු අවස්ථාවක් මේක. ඒක ජන සමාජයටත් ලංකාවටත් දකුණු ආසියාවටත් ලැබුණු ලොකුම අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ප්‍රභූ පැළැන්තියෙන් පිට දේශපාලන බලය ලබා ගන්න පුළුවන් කියන එක දැන් පසක් වෙලා තියෙන්නෙ. ඒ තත්ත්වය චිලී රාජ්‍යයේ පෙන්නුවා. ලතින් ඇමරිකාවේ අවස්ථා කිහිපයක පෙන්වා දීල තියෙනවා. නමුත් ආසියාවේ ඒ වගේ තත්ත්වයන් දකින්න අඩුයි. ඒ අතින් ගත්තොත් මේ වෙනස ඓතිහාසික අවස්ථාවක්.

නමුත් වරප්‍රසාද ඒ වගේම බලය විසින් මිනිසුන් වෙනස් කරනවා නේද?

ඔව්, ව්‍යාපාර, ජනමාධ්‍ය ඇතුළු දේ නිසා මේ උරා ගැනීම ඇති වෙන්න පුළුවන්. උර­ුගුවේ හිටපු නායකයා තවම අක්කර භාගයක වගාවක් කරගෙනයි ජීවත් වෙන්නෙ. එයා වරප්‍රසාද පස්සෙ නොගියට එයාට වුණත් යන්ත්‍රණය වෙනස් කරන්න බැරි වුණා. මොකද පුද්ගලයො හොඳයි කියන සම්මුතියෙ අපි හිටියොත් එතැන කවදාවත් සාර්ථකත්වයක් වෙනසක් ඇති වෙන්නෙ නැහැ. අපි කළ යුත්තේ යන්ත්‍රණය වෙනස් කිරීමයි. ඒ නිසා විය යුත්තේ හොඳ පුද්ගලයො මත බලා සිටීම නෙමෙයි. හොඳ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි.

බලය විසින් දූෂණය ඇති කරනවා කියන ඒ කතාව සියයට සීයක් නිවැරැදියි. හොඳම උදාහරණයක් දෙන්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය බලයට පත්වූ විට මම තරුණ දේශපාලකයො දෙතුන් දෙනෙක් දුටුවා ඔවුන් කිසිවක් නොලියපු සුදු කොළ වගේ පිරිසිදු චරිත‍. ඒත් අවුරුදු 10ක් යනකොට ඒ අය වැටිච්ච තැන් මම කියන්න ඕන නැහැනෙ. හොඳ මිනිසුන් කියා සංස්කෘතියක් හදන්න බැහැ. අනිවාර්යෙන්ම සුදුසු යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි වැදගත් වෙන්නෙ.

ඔබ කියන්නෙ ජාතික ජන බලවේගයත් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලද?

ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරල පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරු තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් අද පක්ෂයේ නැහැ. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණු නන්දන ගුණතිලක අද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙක්. ඒක නිසා පුද්ගල චරිත අනුව නෙමෙයි නිවැරැදි යන්ත්‍රණයක් අවශ්‍යයි කියලයි මම කියන්නෙ. මේ අවස්ථාව මඟ හැරුණොත් ආයිත් සුදුසු යන්ත්‍රණයක් හදන්න අවස්ථාවක් එයි කියල හිතන්න අමාරුයි.

දේශපාලන අත්දැකීම් අඩු පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනැත් ජාතික ජන බලවේගයට පුළුවන් වෙයිද ජනතා අපේක්ෂා ඉටු කරන්න, නැත්නම් ඔය කියන යන්ත්‍රණය හදන්න‍?

ඒක එක්තරා අභියෝගයක් තමයි, ඒත් මම කියන්නෙ නැහැ ජාතික ජන බලවේගයට එය කරන්න බැහැයි කියල, අත්දැකීම් අඩු වෙලා ගමන අමාරුයි තමයි. ඒත් පත්තරේක වුණත් අලුතින් ආපු කර්තෘවරයකුට පුළුවන් හොඳ නිෂ්පාදනයක් එළියට දෙන්න.

ඒත් ඔහුට හොඳ කර්තෘ මණ්ඩලයක් ඉන්න ඕන, හොඳ විශේෂාංග ලියන්නන්, ප්‍රවෘත්ති සම්පාදකයන් ඉන්නවනම් ඒ කාර්යය අමාරු වෙන්නෙ නැහැ. නමුත් අභියෝගයක්.

ඒ වගේම විවේචනය කරන අය සුහදව පිළිගත යුතුයි. ඒ අය ද්‍රෝහියො කියන සංකල්පයෙන් බැහැරව විවේචන පිළි අරගෙන වැරැදි පෙන්වීම භාර ගත්තොත් ගමන් අසීරු වෙන එකක් නැහැ. ජනාධිපතිවරයාගේ පත්වීම ගැන මම නොහිතපු පිරිස් පවා අද අගය කරනවා. ඒ අගය කිරීම දිගින් දිගටම තබා ගැනීමට ක්‍රියා කිරීම කළ යුතුයි. අවසන්වරට මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් 4 දෙනාම මම ඇසුරු කරල තියෙනවා. නමුත් ඒ අයට බලය ලැබුණට පස්සෙ වෙනස් වුණා. සවන්දීමට නම්‍යශීලි වෙන්න ඕන.

ආණ්ඩුව තාම යන්නෙ පරණ ගමනමයි කියල ඇතැම් විචාරකයන් කියනවා. බලාපොරොත්තු වුණු කිසිම වෙනසක ආරම්භයක්වත් නැහැ කියලයි ඒ ඇතැම් අයගේ මතය වෙන්නේ?

දැන් පාර්ලිමේන්තුව විසුරුවලා තියෙන්නෙ. මන්ත්‍රීවරු 40ක් වත් හිටියනම් ඒක තව පහසු වෙන්න තිබුණා. ඒ වගේම අද තියෙන්නෙ ආර්ථික වශයෙන් දුර්වල වුණු ජනවාර්ගික වශයෙන් බෙදුණු, ආන්තික බලවේග ඉන්න සමාජයක් මේ සමාජය මෙතනින් ඉස්සරහට ගෙන යන එක ලොකු අභියෝගයක්. ඒක කළ යුතුයි. ඒත් ලේසි නැහැ.

ඔය කියන විදිහට ජනතා බලාපොරොත්තු ඉටු නොවුණොත්….

ඒක ලොකු ඛේදවාචකයක් වේවි. ජනතා අපේක්ෂා භංගත්වයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රතිපත්තිමය තීරණ ගත යුත්තේ ඒ නිසයි. ආණ්ඩු මාරු වෙනකොට මාරු නොවන ක්‍රියාදාම අවශයයි. මේ කාර්යයන් ක්‍රමවේද කොළවල තියෙනවා. ක්‍රියාත්මක නොකිරීමයි ගැටලුව වෙන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ යම් යම් කටයුතු ස්ථාපිත කෙරුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලයේ තොරතුරු පනත ගෙන ඒම වැනි කාර්යයන් සිදු වුණා. 2015 අපට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් අහිමි වුණා කිව්වොත් ඒකත් හරි. පක්ෂ දෙකම එකට එකතු වෙලා රට හදන්න ගත්ත යහපාලන ආණ්ඩුවේ උත්සාහය නිසි යන්ත්‍රණයක් ඔස්සේ දිගටම ගියා නම් සාර්ථක වෙනවා. අපට මඟ හැරුණු අවස්ථා වැඩියි.

අපි ආරම්භයේදී කතා කළ අතුරුදන්වීම් පාස්කු දා ප්‍රහාරය ගැන ආණ්ඩුව නිසි ලෙසින් සොයා බලයි කියා ඔබ සිතනවාද?

පාස්කු දා ප්‍රහාරය වගේම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඒ වගේම යාපනයේදී නිමලරාජන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, තාජුඩීන්ගේ අභිරහස් මරණය, මේ සියල්ල ආණ්ඩුව විමර්ශනය කළ යුතුමයි. බොහෝ ඒවා ගැන කරුණු දෙසායා ගෙන තියෙන්නෙ. යහපාලන ආණ්ඩුවත් යම් දුරකට මේ ගැන සොයා බැලුවා. නමුත් මේ පාරා රාජ්‍යය කියන එක හරි පුළුල් ඒ අයට තියෙන බලය වැඩියි. ඒක නිසා මේ පරීක්ෂණ හරහා බලපෑම් එන්න පුළුවන් ඒ අය ඒවා වළක්වන්න උත්සාහ කරනවා. මොකද එත තැනකින් අහුවුණොත් වැලටම අහුවෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට තියන තවත් වගකීමක් තමයි රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම.

ඔබ හිතනවද රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම කරයි කියල, නැත්නම් කළ යුතුයි කියලා.

මාධ්‍ය ඔස්සේ යන කරුණු ගැන ජනතා විශ්වාසයක් ඇති විය යුතුයි. මිනිසුන්ගෙ පිළිගැනීමක් ඇති වෙන්නෙ එවිටයි. ඇත්තෙන්ම රාජ්‍ය මාධ්‍ය කියන්නෙ මහජන දේපළ‍, මහජන දේපළ රජයට ඕන ඕන විදිහට හසුරුවන්න බැහැ.

රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ කමිටු වාර්තා ඕනතරම් තියෙනවා. 1994 කමිටු 4ක් පත් කළා. ඒ ධර්මසිරි සේනානායක මහතා මාධ්‍ය ඇමැති ධුරය ඉසිලූ අවදියේ. එහිදී ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර වාර්තාවේ මාධ්‍යවේදී වැටුප් ගැන පවා දැක්වෙනවා.

රජයට අයත් පුවත්පත් කර්තෘවරුන් පවා ව්‍යවස්ථාපිත මණ්ඩලයකින් තමයි පත්විය යුත්තේ.

ඔබ සමාජ මාධ්‍ය නාළිකාවට කියා තිබුණා ජනාධිපතිවරයාට අනතුරක් තියෙන බවක්…

ඔව් අනිවාර්යෙන්ම අනතුරක් තියෙන්න පුළුවන්, සුසමාදර්ශී වෙනසක් කරන්න යන අවස්ථාවන්හිදී එවන් අනතුරු තියෙනවා. ප්‍රභූ පන්තියෙන් බලය ඉවතට යාමෙන් එවන් අනතුරු ඇතිවෙනවා. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියල ඝාතනය කරපු බව අපි දන්නවනෙ. ඒ වගේ ස්නයිපර්කරුවකු යොදා ගන්න එක අසීරු දෙයක් නෙමෙයි. අද පාතාලය කියන්නෙ සන්නද්ධ හමුදාවක් කියන එක අපි අමතක නොකළ යුතුයි. කෝටියක් දෙකක් දීල රට පනින්න ටිකට් එකක් හදල දුන්නහම ඕන දෙයක් කරව ගන්න පුළුවන්. අද දේශපාලනය ධන උත්පාදන මාර්ගයක් වෙලා තියෙන්නෙ. අපිත් එක්ක ප්ලේන්ටිය ගගහ හිටපු අය දේශපාලකයො වුණාට පස්සෙ ගිහින් බැලුවහම වෙනස පැහැදිලියි. ඒ අයගෙ ගෙවල් මාලිගා වගේ. ඒ නිසා අපි කලින් තකා කරපු තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕන දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ අනතුර අනිවාර්යෙන්ම තියෙනවා. සුළු කොට තකන්න බැහැ.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නෙ

තාරක වික්‍රමසේකර

සිළුමිණ වෙතිනි

Archive

Latest news

Related news