Wednesday, October 2, 2024

පරිගණක අපරාධ කොට්ඨාසය සහ ආගමන විගමන පාලක එක්වී නතාෂාගේ අයිතිවාසිකම් කඩලා

තරිඳු ජයවර්ධන.

පරිගණක අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ලකී රන්දෙණිය, එහි සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම, අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒ්කකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් එම් සුබසිංහ සහ අගමන විගමන පාලක ජනරාල්වරයා ප්‍රහසන ශිල්පිනී නතාශා ඉදිරිසූරියගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය, සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමප්පෙරුම සහ උප පොලිස් පරීක්ෂක එස් එම් සුබසිංහ යන තිදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නිසි පියවරක් ගන්නා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇති අතර විමර්ශන වාර්තාවේ පිටපතක් පොලිස්පතිටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශයටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත් යොමු කර තිබේ.

2023 අප්‍රේල් මස පළමු වැනිදා කලම්බු කොමඩි සෙන්ටර් විසින් සංවිධානය කරන ලද ප්‍රහසන වැඩසටහනකදී නතාශා එදිරිසූරිය විසින් කළ ඉදිරිපත් කිරීම පාදක කරගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2023 මැයි 27 වැනිදා ඇය අත්අඩංගුවට ගනු ලැබීය. පරිගණක අපරාධ කොට්ඨාසය ඇය අත්අඩංගුවට ගත්තේ ඇය විදේශගතවීම සඳහා ගුවන්තොටුපොළට පැමිණී අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගැනීමෙන් පසුවය.

ඇය මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇත්තේ තමා කළ ඉදිරිපත් කිරීම පාදක කරගෙන 2023 මැයි මස 24 වැනිදා තමා බුදුදහමට අපහාස කළ බව දක්වමින් සමාජ මාධ්‍යවල ඇයට විරුද්ධව විවිධ මත පලවූ බවයි. එසේම ප්‍රධාන මාධ්‍යවල ද ඇය හිංසාවට ලක්වන ආකාරයේ ප්‍රවෘත්ති පලවිය.  තමා කිසිම වරදක් නොකළ නමුත්  තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය හරහා දියත් වූ විරෝධය හේතුවෙන් මානසික පීඩාවට පත්වූ බවත්, ඉන් මිදීම සඳහා ටික දිනකට විදේශගතවීමට තීරණය කර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් තමන් රදවා ගත් බවත්, කෙසේ වෙතත් රඳවා තබා ගැනීමට අදාලව කිසිම ලේඛයක් ඉදිරිපත් නොකළ බවත් නතාෂා එදිරිසූරිය මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

ආගමන විගමන නිලධාරීන් තමන් රඳවා තබා ගෙන සිටියදී රාත්‍රී 11.10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ තමා එහි ප්‍රධාන කාර්යාලයට ගෙන ගිය බව ද, තමා අත්අඩංගුවට ගැනීම අවාරණය කිරීම සඳහා ජනමාධ්‍ය එම ස්ථානයට පැමිණ සිටි බව ද, මුලින්ම තමාට කිසිවකු හමුවීමට අවස්ථාව නුදුන් බවත්, අවසානයේ 28 වැනිදා තමාගේ සහකරු පමණක් හමුවීමට අවස්ථාව දුන් බවද, නීතිඥවරයකු හමුවීමට අවස්ථාව නුදුන් බවද, එදින තමා නිවසට ගෙන ගොස් තමන් විසින් රචිත පොත් කිහිපයක් නිලධාරීන්ගේ බාරයට ගත් බවද, එම ස්ථානයටද මාධ්‍ය පැමිණ සිටි බවතද ඇය සඳහන් කර ඇත.

2023 මැයි මස 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඇය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර කොළඹ මහාධිකරණයෙන් තමන්ට ඇප නියම වන තෙක් ජූලි 05 වැනිදා තෙක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ බව ද ඇය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම පැමිණිල්ල ගැන විමර්ශනය කරද්දී අනාවරණය වී ඇත්තේ පළමුවෙනි වලඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය මහතා ඇය විදේශ ගතවීමට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන ඉදිරිපක් කරන ලෙසට හතරවරනි වගඋත්තරකාර ආගමන විගමන පාලකට දැනුම්දී ඇති බවයි. ඇය විදේශගතවීම වැලැක්වීම සඳහා නීත්‍යනුකූල අධිකරණ නියෝගයක් තිබී නැති බව කොමිසම නිරීක්ෂණය කර තිබේ.  ඇගේ ගමන් නවතා ඇත්තේ සාධාරණ නොවන පූර්ව උපකල්පයක් මත පිහිටා බවත්, නීතිය මගින් ඉඩ සලසා නොමැති ක්‍රමවේදයකට එලෙස කටයුතු කිරීමට හැකියාවක් නැති බවත් කොමිසම සඳහන් කරයි.

මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයේදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ නතාෂා එදිරිසූරියට එරෙහිව පරිගණක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ල ලැබී ඇත්තේ 2023 මැයි 27 වැනිදා උදෑසන 9.30ට බවයි. පැමිණිල්ල ලැබීමෙන් පසු පෙරවරු 10.40ට ඇය සම්බන්ධයෙන් සොයා බැලීම ආරම්භ කර ඇති බවටත්, එදින පස්වරු 2.00 ඇයගේ වෙනත් වැඩසටහනක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව නිලධාරීන් යොමු කළ බවටත් සටහන්  යොදා ඇති බවත් අනාවරණය වී තිබේ.  ඇය විදෙස් ගත වන බවට පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් අනුව ඇය රඳවා තබා ගන්නා ලෙස දුරකතන පණිවුඩයක් යොමු කළ බවත් එදින පස්වරු 4ට උප පොලිස් පරීක්ෂක සුබසිංහ සටහන් යොදා තිබී ඇත. ඒ් අනුව පැමිණිල්ල ලද වාහම කිසිම විමර්ශනයක් නැතිව ඇය රඳවා තබා ගන්නා ලෙසට ආගමන විගමන පාලක ජනරාල්ට පළමු වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙනිය නැමැත්තා දැනුම්දී ඇති බවට හෙළිදරව් වී තිබේ.

පරිගණක අපරාධ කොට්ඨාසයේ නතාෂා එදිරිසූරියගේ ප්‍රකාශයේ සුළු කොටසක් පමණක් සලකා බලා ඇති බව ද, ඇගේ සම්පූර්ණ ප්‍රකාශය සලකා බලා නැති බව ද මානව හිමිකම් කොමිසමේදී හෙළිදරව්වී ඇත.

දීර්ඝ විමර්ශනයකින් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ පරිගණක අපරාධ කොට්ඨාසයේ වගඋත්තරකරුවන් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.1, 12.1 සහ 14.1.අ ව්‍යවස්ථාවන් උල්ලංඝණය කර ඇති බවත්, ආගමන විගමන පාලක ජනරාල්වරයා 12.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීන්දු කර තිබේ.

ඒ අනුව පරිගණක අපරාධ කොට්ඨාසයේ එවකට සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්දෙණිය මහතා ඇතුළු තිදෙනාට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසට කොමිසම නිර්දේශ කර ඇති අතර පුද්ගලයකුගේ ගමන් තහනම් කිරීම නීත්‍යනුකූලව කිරීමට අවශ්‍ය ක්‍රමවේදය ගැන පොලිස්පති සමග සාකච්ඡා කර මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස ආගමන විගමන පාලකට නිර්දේශ කර තිබේ.

එසේම නකාෂා එදිරිසූරියට රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසට ද පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනාට නිර්දේශ කර ඇත.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියටම බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගත් අතර මේ දෙදෙනාටම එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා කළ දැනුම්දීමක් මත ඔවුන් මුදා හැරිණි.

https://medialk.com

Archive

Latest news

Related news