Tuesday, September 3, 2024

ගෝඨාභයගේ රැල්ල සහ මාලිමාවේ රැල්ල – රමිදු ලක්තිලක පෙරේරා

මේ වනවිට ජාතික ජන බලවේගය කෙරෙහි විශාල මහජන ආකර්ෂණයක් හා අවධානයක් ලැබී තිබෙන බව පැහැදිලිය. මෙවර මැතිවරණ ප්රචාරක ව්යාපාරය දෙස බලන විට, යම් අනුරාගී හැගීමකින් යුක්තව පොදු ජනයා සම්බන්ධ වන්නේ මාලිමාවේ මැතිවරණ ව්යාපාරය වටේය. මාලිමාව ජනතාව අතරට ගොස් තිබෙන ප්රමාණය එක්තරා ආකාරය පෙර නුවූ විරූ දෙයකි ;

ගම්වල ජනයා ස්වේච්ඡාවෙන් කණ්ඩායම් හැදී කැන්වසින් යති, ත්රී රෝද රියැදුරන් මාලිමාවට ඡන්දය දිය යුත්තේ ඇයිදැ‘යි නගින නගින මගියා සමග කථා කරති ; මීට පෙර, ජවිපෙ සාමාජිකයෙක් පවා සොයාගත නොහැකිව තිබූ පැතිවල මාලිමාවේ මැතිවරණ කාර්යාල විවෘත වෙයි. මෙය අති විසාල මහජන ප්රවාහයකි.

මෙම මහජන ප්රබෝධය හෑල්ලු කිරීම සඳහා මාලිමාවේ ප්රතිවාදීන් භාවිතා කරන පරිහාසාත්මක වචනය නම්, ‘රැල්ල’ යන්නය. ඔවුන්ට අනුව මෙය හුදු රැල්ලකි. මෙබඳු රැලි කලින් කලට එයි. ඊට නොරැවටිය යුතුය. මෙය ඔවුන් සංසන්දනය කරන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ ව්යාපාරය වෙත වූ ‘රැල්ල’ සමගය. ගෝඨාභය රාජපක්ෂ පසුපස ගොස්, ඇණ ගත් ලෙසට, මාලිමාවේ රැල්ල පසුපස ද ගොස් වරද්දා නොගන්නා ලෙසට මේ අනුව උපදෙස් නිකුත් වනු දැකිය හැක.
සිත්ගන්නා සුලු කාරණාව නම්, මෙම ‘රැලි විරෝධයට’ දක්ෂිණාංශයේ මෙන්ම උග්ර වාමාංශයේ ද අය කිටි කිටියේ එකතු වී සිටින ආකාරයයි. මාලිමාව කෙරෙහි ඇතිව තිබෙන ජනතා උද්යෝගය රැල්ලක් ලෙස පරිභවාත්මක ලෙස බැහැර කරන්නේ දකුණු ඉවුරට අයත් ලිබ්බන් පමණක් නොවේ ; ‘ජනතා අරගලය’ නියෝජනය කරනවා යැයි කියන, සාධාර්මික වාමාංශිකයන් ද ඒ අතර වෙති.
මුල් බැල්මට, 2019 දී ගෝඨාභය ගැන ඇති වූ ජනතා උද්යෝගය සහ මේ වනවිට මාලිමාව ගැන ඇතිව තිබෙන උනන්දුව අතර සමානතා තිබෙන බව සත්යයකි. ගම් නියම්ගම්වල ජනතාව අතර තිබෙන ආස්වාදසහගත හැගිම, අපේක්ෂාව, විදෙස්ගත ලාංකික ප්රජාව තුල දක්නට ලැබෙන ප්රබෝධය ආදිය මේ අවස්ථා දෙක තුලම දැකගත හැක. ආකෘතිය අතින් සමාන ලෙස පෙනුනත්, හරය අතින් මෙම අවස්ථා දෙක අතර බරපතල සහ තීරණාත්මක වෙනසක් තිබේ.
ගෝඨාභයගේ ව්යාපෘතිය ‘ජනතාව’ යන්න ගොඩ නැගුවේ ප්රධාන වසයෙන් සිංහල ස්වෝත්තමවාදය මුල් කරගෙනය. එම අවස්ථාවේ ජනතා අනුරාගය සංවිධානය කරන ලද්දේ, සිංහල ජනතාවගේ පැවැත්මට තර්ජනය කරන ‘බාහිර සතුරා’ ලෙස ගෝඨාභය ව්යාපෘතිය විසින් නාමකරණය කළ, මුස්ලිම් ජනතාවට සහ එම මුස්ලිම් ව්යාප්තිවාදය ඉදිරියේ නිහඩව සිටි ලෙසට නිර්වචනය වූ එවකට පැවැති යහපාලන ආණ්ඩුවට එරෙහිවය. ගෝඨාභය විසින් ජනතාව සංවිධානය කල ආකාරය තුල ප්රගතිශීලී, ඉදිරිගාමී අන්තර්ගතයක් නොවීය.
ගෝඨාභය බලය ගත්තේ සිංහල ජනයාට එරෙහිව සිංහල ජනයාගේ සතුරා නම් පසමිතුරුතාවය මූලික කොට ගෙන නිසා, බලය පවත්වා ගෙන යාමට ද සිදු වූයේ එම පසමිතුරුතාවය නඩත්තු කිරීම මගින්ය. කෝවිඩ් වසංගතය බඳු සමස්ත සමාජයට උවදුරක් වූ ආපදා අවස්ථාවක පවා, ‘මුස්ලිම් සතුරා’ පිලිබඳ කතිකාව පවත්වා ගැනීමට ගෝඨාභය ආණ්ඩුව කටයුතු කළේ මේ නිසාය.
මේ වනවිට මාලිමාව ගැන ඇති වී තිබෙන ජනතා උද්යෝගය මීට සපුරා වෙනස් එකකි. එහි මූලය තිබෙන්නේ 2022 මාර්තු-ජූලි ජනතා උද්ඝෝෂණ තුලය. 2022 අරගලය විසින් මෙරට දේශපාලනයේ තීරණාත්මක ඛණ්ඩනයක් සනිටුහන් කළේය.
ආර්ථික අර්බුදයත් සමග, මෙතෙක් රට පාලනය කළ ප්රභූ දේශපාලන සංස්ථාපිතය ගැන විසාල කලකිරීමක්, ආවේගයක් පොදු ජන කොටස් අතර පැතිරී ගියේය. රනිල් වික්රමසිංහ බලයට පත් වූ පසුව, අරගලය නිසා ඇති වූ එම ජනතා ආවේගය කෘතිමය ලෙස යටපත් කෙරුණි. මේ වනවිට මාලිමාව කෙරෙහි ඇති වී තිබෙන ‘රැල්ල’ යනු අන් කිසිවක් නොව, 2022 වීදි උද්ඝෝෂණ සමයේ පාලක සංස්ථාපිතය ගැන පොදු ජනයා අතර ඇති වූ, එහෙත් කෘතිම ලෙස යටපත් කිරීමට ලක් කළ, විරෝධාකල්පීය මනෝභාවයේ දේශපාලන ප්රකාශනයයි.
ජාතික ජන බලවේගයේ සමර්ථතාවය වන්නේ, එම විරෝධාකල්පීය මනෝභාවයට, ප්රතිජනනීය (positive) අර්ථයක් දීමට හැකි වී තිබීමයි. මාලිමාවේ මහජන ආමන්ත්රණය තුල, පවතින පාලක සංස්ථාපිතය ප්රතික්ෂේප කිරීමේ ප්රතිශේධනීය පණිවුඩය වගේම යහපත, සමාජ සාධාරණත්වය සහ ප්රගතිය පිලිබඳ ප්රතිජනනීය පණිවුඩයක් ද පවතී.
මීට අවුරුදු පහකට පෙර, සහෝදර ජන කණ්ඩායම්වලට එරෙහිව ගෝඨාභය විසින් ස්වෝත්තමවාදීව සංවිධානය කළ දකුණු ලංකාවේ ගම් බිම්වල ජනතාව යහපත හා සමාජ සාධාරණත්වය පිලිබඳ විකල්ප භාෂාවක්, විකල්ප පණිවුඩයක්, විකල්ප පරිකල්පනයක් තුල ඒකරාශී කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. සිංහල එරෙහිව සිංහල නොවන නම් බෙදුම් ඉර වෙනුවට, සිංහල-දෙමල-මුස්ලිම් පොදු ජනයාට එරෙහිව පාලක ප්රභූ සංස්ථාපිතය යන නව දේශපාලන බෙදුම් ඉර සාර්ථක ලෙස ස්ථාපිත කිරීමට ඊට පුලුවන්කම ලැබී ඇත.
බඩු බෙදන, ප්රාදේශීය දේශපාලකයන්ට කප්පම් දෙන අනුග්රාහක-සේවාදායක දේශපාලන සංස්කෘතිය වෙනුවට, ජනතා නියෝජිතත්වය යන්න රැඩිකල් ලෙස ප්රති-අර්ථකථනය කිරීමේ අවශ්යතාවය එය විසින් ඉදිරියට ගෙන එනු ලැබ ඇත.
එම විකල්ප කතිකාව ලංකාවේ ජන මනස තුල ජනප්රිය කතිකාව බවට පත්වීම සරල ලෙස සැලකිය හැකි කරුණක්ද? මෙය දේශපාලන වශයෙන් ‘පරිවර්තනයක්’ ලෙස නොදැක සිටිය හැකිද? තමුන් මෙතෙක් කල් ඉසිලූ ආධිපත්යය බිඳ වැටෙන නිසා, මෙම ජනතා ප්රවාහය හුදු රැල්ලක් ලෙස හෙලා දැකීමට දක්ෂිණාංශයේ දේශපාලනඥයන් හා විචාරකයන් කලබල වීම තේරුම් ගත හැක.
අවාසනාව නම්, දේශපාලන කට්ටිවාදයේ හා කුඩා කල්ලිවාදී මානසිකත්වයේ ප්රතිඵල ලෙස, ඇතැම් වාමාංශික පිරිස් ද මෙම දක්ෂිණාංශික පෙරහැරේ බෙර ගසන අය ලෙස එකතු වී සිටීමයි. මෙම පෙරහැරේ රග බැලීමට ඔබ මේ දවස්වල ‘හිරු’ ප්රවෘත්තී නැරඹිය යුතුය ; මාලිමාවේ බයියන්ට රටක් කල නොහැකි බව කියන සුජීව සේනසිංහ, මාලිමාව බලයට පත් වූ පසුව බුදු දහම විනාශ වන බව කියන පාහියංගල ආනන්ද සාගර සමග එක පෙලට මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශනය සහ ගෝඨාභයගේ ප්රකාශනය එක වගේ බව ඔප්පු කිරීමට උත්සාහ කරන නුවන් බෝපගේ ද සිටී.

කවර තේරුමින් ගත්තත්, වත්මන් දේශපාලන මොහොත තීරණාත්මක සහ ඓතිහාසික මොහොතකි. ප්රභූ පන්තිය තුල නොව, මෙරට පොදු ජන පන්තීන් තුල දේශපාලන අක් මුල් හා පදනම් තිබෙන, ජාතිවාදය වෙනුවට යහපත සහ සමාජ සාධාරණත්වය පිලිබඳ භාෂාවක් තුලින් ජනතාව සංවිධානය කරන, ග්රාම්ය අනුග්රාහක-සේවාදායක දේශපාලන සංස්කෘතිය වෙනුවට නූතනවාදී දේශපාලන සංස්කෘතියක් අභ්යාස කරන බලවේගයක් ඉතිහාසයේ පලමු වතාවට ආණ්ඩු බලය ගත හැකි තැනකට ලගා වී සිටී.

මාලිමාවේ රැල්ලෙන් රට බේරා ගැනීම සඳහා රනිල් වික්රමසිංහ සහ සජිත් ප්රේමදාස එකතු විය යුතු බවට විදේශ තානාපති කාර්යාලවල අයගේ සිට, දක්ෂිණාංශයට අයිති චිනතකයන්, ඇතැම් දේශපාලනඥයන් ප්රකාශ නිකුත් කරමින් සිටිති.සැප්තැම්බර් 21 දා මාලිමාව ජයගැනීම යනු මෙරට ප්රගතිශීලී දේශපාලනයේ අවසාන සාක්ෂාත් වීම නොවේ ; එහෙත් පැහැදිලිවම, එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්යයකි ; මංසන්ධියකි.

Ramindu Lakkhika Perera/මුහුණූ පොතනි

Archive

Latest news

Related news