Saturday, July 27, 2024

මිනීමැරීම සදහා පැහැර ගැනීම: රනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි පස්වසරක සිර දඬුවම ස්ථිර වෙයි

ඡායාරූපය: ඩග්ලස් පීරිස්. (දිවයින අනුග්‍රහයෙනි)

තරිඳු ජයවර්ධන/https://medialk.com.

ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16ක ළමයකු පැහැරගෙන බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසකට ලබා දුන් තීන්දුව ස්ථිර කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (25) නියෝග කළේය.

තමන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලමින් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු එම තීන්දුවට එරෙහිව 2009 වසරේදී අභියාචනාධිකරණයට අභියාචනා කර තිබුණු අතර එහි තීන්දුව පෙරේදා ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය පස් වෙනි චූදිත බද්දේගම රංජිත් ජයසේකර පමණක් මුදා හැරීමට නියෝග කළේය.

මේනකා විජේසුන්දර සහ විකුම් ඒ කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ. පිටු 37කින් සමන්විත දීර්ඝ තීන්දුවේදී අභියාචනාධිකරණය මහාධිකරණයේදී ලැබුණු සාක්කි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

රත්නචන්ද්‍ර ලියනගේ නම් 16 හැවිරිදි පාසල් සිසුවකු සිටි දෙල්ගොඩ නිවසට පොලිස් නිලඇඳුම් සහිත නිලධාරියකුගෙන් ද සමන්විත කණ්ඩායමක් 1989 ජූලි හත් වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දීමට බව කියමින් එම සිසුවා රැගෙන ගොස් ඇති බව සාක්කිවලදී අනාවරණය වී ඇතැයි අධිකරණය සඳහන් කරයි. එම කාලයේදී එම 16 හැවිරිදි පාසල් සිසුවාගේ වැඩිමහළු සහෝදරයා රැකියාවට යෑමේ පහසුව පිණිස ඊට හැතැප්ම 2.5ක් පමණ දුරින් වූ ඔහුගේ මස්සිනා කෙනකු වූ යසවර්ධන ලියනගේගේ නිවසේ පදිංචිව සිට ඇත.  එදින ඔහු මෙන්ම මස්සිනා ද නිවසේ සිට ඇති අතර ඔහුට නින්දෙන් තම සහෝදරයා ‘සිකුරු අයියේ.. සිකුරු අයියේ..‘ යනුවෙන් කතා කරනු ඇසී තිබේ.  ඒ අනුව ඔහු සහ මස්සිනා යන දෙදෙනාම ජනේලය විවෘත කර ඇති අතර තම සහෝදරයයා නිල ඇඳුම් සහිත කණ්ඩායමක් සමග සිටුණු ඔවුන් දැක ඇත. එම පිරිස අතර මෙම මහාධිකරණ නඩුවේ දෙවැනි චූදිතගේ සිට පස් වැනි චූදිත දක්වා පිරිස් සිටි බවට සහෝදරයා හඳුනා ගත්තේය.

අනතුරුව ඔවුන් දොර විවෘත කර තිබේ. ඉන් පසු නිල ඇදුම් සහිත කණ්ඩායමේ සිටි පුද්ගලයකු 16 හැවිරිදි සිසුවාගේ සහෝදරයා පෙන්වා ඇති අතර ඒ අනුව ඔහුට පහරදී බලහත්කාරයෙන් පාරේ නතර කර තිබූ වෑන් රියකට නංවාගෙන ඇත. එම වෑන් රියේ නිල ඇදුම් සහිත තවත් නිලධාරියකු සිට ඇත. එම වෑන් රියටම ඔහුගේ සහෝදරයා වූ පාසල් සිසුවාද නංවාගෙන ඇති පිරිස බටලංද නිවාස සංකීර්ණයේ නිවසකට ඔවුන් රැගෙන ගොස් තිබේ. 16 හැවිරිදි සිසුවාගේ සහෝදරයා මහාධිකරණයේ සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ඇස් බැද එම නිවසේ කාමරයකට රැගෙන ගිය අතර තම සහෝදරයාද එම කාමරයට රැගෙන ආ බවට ඔහුගේ කටහඬ අනුව හඳුනා ගත් බවයි.

ඉන් පසු තමාට පහරදීමට පටං ගත් බවත් එම අවස්ථාවේ තමාගේ ඇස් බැඳ තිබූ රෙදිකඩ පහත් වූ බවත් එවිට තමා දෙවැනි සහ හතරවැනි වගඋත්තරකරුවන් දුටු බවත් එම ස්ථානයේ දවසක් පමණ තබාගෙන පසුව තමා පෑලියගොඩ පොලිස් ස්ථානයට රැගෙන ගොස් මාස දෙක හමාරක් රඳවාගෙන සිටි බවත්, එම කාලයේ දී එක් අවස්ථාවක පමණක් මහේස්ත්‍රාත්වරයකුට තමාව ඉදිරිපත් කළ බවත්, එම කාලයේදී කිසිම අවස්ථාවක තම සහෝදරයා මුණ නොගැසුණු බවත්  ඔහු මහාධිකරණයේ සාක්කි දෙමින් ප්‍රකාශ කර තිබේ.

16 හැවිරිදි පාසල් සිසුවාගේ පියාගේ සාක්කිය අනුව එම සිදුවීම සිදුවී ඇත්තේ රාත්‍රී 11ට පමණය. පසුව පාන්දර 5ට පමණ පොලිස් ජිප් රියක් පැමිණි බවත්, ලලිත් මහානාම නම් මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා එහි සිටි බවත්, ස්ථානාධිපති මහානාම විසින් සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්  නම් පුද්ගලයකු එම අවස්ථාවේ තමාට හඳුන්වා දුන් බවත් පෙරදින රාත්‍රියේ තම පුතා රැගෙන යෑමට නිවසට පැමිණි කණ්ඩායම අතර ඔහුද සිටි බවට තමා හඳුනාගත් බවත් පියා සාක්කි දෙමින් සඳහන් කර තිබේ.

තමාට ඩග්ලස් නිමල්ට හඳුන්වා දුන් පසු තම පුතා රැගෙන ගියේ ඇයිදැයි  පියා විමසා ඇති අතර  එවිට 16 හැවිරිදි දරුවා පොලිස් බාරයෙන් පැන ගොස් ඇති බවට ඩග්ලස් පීරිස් ප්‍රකාශ කර ඇත. ඒ අනුව තම දරුවා අතුරුදන්වීම සම්බන්ධයෙන් එම පියා අභියාචනාධිකරණයේ හෙබෙයාස් කෝපුස් නඩුවක් ඩග්ලස් පීරිස්ට එරෙහිව පවරා තිබේ.  කෙසේ වෙතත් ඔහුට තම දරුවා ලැබී නැත.  ඒ අනුව නීතිපතිවරයා විසින් ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව  මිනීමැරීම සඳහා පැහැර ගැනීම යන වරද යටතේ  ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

2009 වසරේ දී ගම්පහ මහාධිකරණය මෙම චෝදනාවලට  ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසක වැරදිකරුවන් බවට තීන්දු කරමින් වසර පහක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කිරීමෙන් පසු ඊට එරෙහිව ඔහු ඇතුළු පිරිස අභියාචනාධිකරණයට අභියාචනා කර තිබේ. පෙරේදා ප්‍රකාශයට පත් කළේ එම අභියාචනයේ තීන්දුවයි.

බටලන්ද නිවාස සංකීර්ණයේ පිහිටි වධකාගාරය බාරව සිටි බවට කියැවෙන වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරයකු වූ ඩග්ලස් පීරිස්ට  සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව පොලිස් අධිකාරීවරයකු ලෙස විශේෂ උසස්වීමක් ලබා දීමට 1990 මාර්තු 14 වැනිදා අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය.

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු ලෙස ප්‍රඛට ඩග්ලස් පීරිස්ට එම විශේෂ උසස්වීම ලබා දෙන ලෙසට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාය. ජනාධිපතිවරයා එම කැබිනට් පත්‍රිකාවට අත්සන් තබා ඇත්තේ 1990 පෙබරවාරි හය වැනිදාය.  එම විශේෂ උසස්වීමත් සමග ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය දක්වා උසස්වීම් ලබා තිබේ.

බටලන්ද  වධකාගාරය සම්බන්ධයෙන් 1994 ආණ්ඩු මාරුවෙන් බසු ජනාධිපති කොමිෂන් සභාවක් විසින් කරුණු පිරික්සා ඇති අතර එම වාර්තාව අනුව එවකට ඇමැතිවරයකු වූ රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම මත බටලන්ද වධකාගාරය ක්‍රියාත්මක වී තිබේ. එම නිවාස සංකීර්ණයේ රනිල් වික්‍රමසිංහ නිතර යන එන නිවසක් තිබුණු බව ද කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.

medialk.com

දිවයින පුවත්පත මෙසේ වාර්තා කරයි

තරුණයකු මරණයට පත් කිරීමේ අරමුණින් 1989 වසරේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෝශප් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට නියම කොට තිබූ වසර පහ බැගින් වූ සිර දඬුවම් ස්ථිර කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ සිර දඬුවම් වහාම ක්‍රියාත්මක කිරීමට  නියෝග කළේය.

1989.01.01 වැනිදා නිල ඇඳුමින් සැරසී දෙල්ගොඩ ප්‍රදේශයේදී රත්නචන්ද්‍ර ලියනගේ නමැත්තා මරණයට පත් කිරීමේ අරමුණින් පැහැරගෙන යෑම ඇතුළු අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට වසර පහ බැගින් සිර දඬුවම් 2009.08.26 වැනිදා නියම කොට තිබිණි.

එකී දඬුවමට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ඊයේ නිකුත් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ 1, 2, 3, 4 යන විත්තිකාර පොලිස් නිලධාරීන් හතර දෙනාට ලබාදී තිබූ තීන්දුව නීතියට අනුකූල බවය. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

 

Archive

Latest news

Related news