Sunday, July 21, 2024

2022 දේශබන්දුට නඩු දැමූ නීතිපති 2024 දේශබන්දු වෙනුවෙන් උසාවි එයි!

සිරි ලංකාවේ නීතිය පුදුමාකාරය. නීතිපති දෙපාර්තමේන්තුව ඊටත් වඩා පුදුමාකරය.

2022 මැයි 09 දා රාජපක්ෂ බැලයින් සාමකාමී ගෝටා ගෝ ගමට පහර දුන්නේ එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ දේශබන්දු තෙන්නකෝන් බලා සිටියදීය. එම මැර බලකායේ ප්‍රධානියකු වූ සනත් නිශාන්ත සමඟ දේශබන්දු සතුටු සාමීචියේ ද යෙදුණේ ප්‍රහාරය අතරතුරය.

එම ප්‍රහාරය වළක්වන සේ ගෝඨාභය රාජපක්ෂ දී තිබූ නියෝගය දේශබන්දු තෙන්කෝන් පිළිපැද්දේ ද නැත.

එම තත්වය යටතේ එම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුවන්ට නඩු පැවරුවේ ය.

දේශබන්දු තෙන්නකෝන් එම නඩුවේ 15වන විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් නම් කරන ලදී,

එසේ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සතුව සාක්ෂි තිබිය යුතුය.

දේශබන්දු තමන් සැකකරුවකු කිරීමට විරුද්ධව අභියාචනාධිකරණයට ගියේය. අභියාචනාධිකරණ දේශබන්දු එම නඩුවෙහි සැකරුවකු කිරීමට විරුද්ධව වාරණ නියෝගයක් දුන්නේය.

නීතිපතිවරයා එම වාරණ නියෝගයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එම නඩුව තවම අවසන් වී නැත.

2024 රනිල් රාජපක්ෂ විසින් දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී. ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් විය.

එම පෙත්සම් අනුව නඩුකරයක් ඇද්ද යන්න පිළිබඳ මූලික විභාගය පසුගිය සතියෙහි පවත්වන ලදී. එම විභාගයේ තීරණය ජූලි 24 වන දින ප්‍රකාශයට පත් කැරෙනු ඇත.

මෙම නඩු විභාගයේ දී නීතිපති පෙනී සිටියේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම සාධාරණ කිරීමටය.

ඉන් කියවෙන්නේ, 2022 මැයි 09 වන දින සාමකාමී ගෝටා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නීතිපති විසින්ම නම් කරන ලද පුද්ගලයා පොලිස්පති තනතුර දැරීමට සුදුසු බව නිතිපති දැන් කල්පනා කරන බවයි.

නඩු විභාගයේ දී නීතිපතිවරයා කියා සිටියේ පොලිස්පතිවරයා පත් කිරීමේ බලතල ජනාධිපති සතු බැවින් එම පත් කිරීම නිවැරදි බවයි.

දේශබන්දු වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම වරදකරු කර දඩුවම් නියම කර තිබියදීත් ඔහු පොලිස්පති ලෙස පත් කිරීම නීතිපතිවරයා විසින් සාධාරණ කිරීම තේරුම් ගැනීමට මොළ හතක් තිබුණත් මදිය.

නීතිය බූරුවෙක් යැයි කියමනක් ඇත්තේ මෙන්න මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විය යුතුය.

අසෝක ජයවර්ධන

Archive

Latest news

Related news