Wednesday, July 17, 2024

රනිල් රාජපක්ෂගේ යෝජිත පනත් කෙටුම්පත ජනාධිපතිවරණ ක්‍රියාවලිය පීලිපැන්නවීමේ ප්‍රයත්නයක් – නීතිඥ සාමූහිකය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  රනිල් රාජපක්ෂ විසින් ගෙන එන විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන නීතිඥ සාමූහිකය එම යෝජිත පනත් කෙටුම්පත මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමෙ ප්‍රයත්නයක් ලෙස හෙළා දකිමින්  එයට විරුද්ධ වන ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් ඉල්ලා සිට තිබේ.

ජනාධිපතිවරණය කල් දැමීමට ගෙන එන ලද පෙත්සම් දෙකක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි කරන ලද්දේ විමසීමටවත් නොගෙනය.  අධිකරණ බලය ඇත්තේ පාර්ලිමෙන්තුවට බැවින් එහි කටයුතු වලට මැදිහත් නොවන ලෙස රනිල් රාජපක්ෂ අනතුරු හැඟවීමක් කළේ එම දෙවන  පෙත්සම විසි කළ 15දාය. එයට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය හැදින්වූයේ “මිනීමස්කෑමක්-Judicial cannibalism” ලෙසය!

රනිල් රාජපක්ෂ විසින් මෙම යෝජිත සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ එම පසුබිම මැදය. ජාඩියට මූඩිය මෙන් වන අමාත්‍ය මණ්ඩලය එය සම්මත කළේය.

ජනාධිපතිවරණයට දින දීම ළඟා වෙමින් ඇති තත්වයක් තුළ ජනමත විචාරණයක් අවශ්‍ය වන පනත් කෙටුම්පතක් රනිල් රාජපක්ෂට අවශ්‍ය වූයේ ඇයි? ජනමත විචාරණයක් පැවැත්වීමට රුපියල් බිලියනයක් අවශ්‍ය වේ. පළාත් පාලන මැතිවරණ කල් දැම්මේ එවැනි මුදලක් නැතැයි කියමිනි. පළමුව ජනාධිපතිවරණයකින් තමන් කුජීත වන බව රනිල් රාජපක්ෂ ද සහ කුක්කන් ද දන්නා නිසාය. එබැවින් කෙසේ හෝ අවුලක් ඇති කිරීම රනිල් රාජපක්ෂගේ දුෂ්ට සැලැස්මය. මුදලට විකිණෙන දේශපාලනඥයින් මෙරට සුලබය.

වත්මන් පාර්ලිමේන්තුවෙහි රනිල් රාජපක්ෂට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් නැත. මංත්‍රීවරුන් විසි දෙනෙකු මුදලට ගත හැකි නම් ඔහුට තුනෙන් දෙකක් කරා ළගා විමට ඉඩ තිබේ. රාජපක්ෂ පවුලද මෙම පනත් කෙටුම්පතට පක්ෂ වනු ඇත. මන්ද යත් ජනාධිපතිවරණය කල්දමා ගැනීම ඔවුන්ටත් අවශ්‍ය නිසාය.

ඒ සියලු කපටි සැලසුම් මගින් ජනමත විචාරණයක් කරා යෑමට රනිල් රාජපක්ෂ කල්පනා කරන්නේ නම් එහිදී ඔහු ලබනු ඇත්තේ නීච පරාජයකි.  මෙැවනි කූඨ දේශපාලන සැලසුම් ජේආර් ජයවර්ධන ද ක්‍රියාවට නැගුවේය.

මෙම දුෂ්ට සැලසුම පරාජය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ අදින් පසු බලය ලැබෙන මැතිවරණ කොමිසම ලවා වහාම ජනාධිපතිවරණය ලබා ගැනීමයි. නමුත් පෙනෙන විදිහට රනිල් රාජපක්ෂගේ තනුවට නටන කොමිසම එවැනි ජනතාවාදී පියවරක් ගන්නා පාටක් නැත. කොමිසමේ සභාපති රත්නායක හැකි ඉක්මනින් ජනාධිපතිවරණය පවත් වන සේ ඉල්ලා සිටින බලවේගයන්ට තර්ජනය කරමින් කියන්නේ තමන්ට අවශ්‍ය නම් ජනාධිපතිවරණය කැඳවීම අගෝස්තු 20 දා දක්වා කල් දැමීමට තමන්ට බලය ඇති බවයි.

නීතිඥ සාමූහිකයේ ප්‍රකාශයට අත්සන් තබන ලද නීතිවේදීන් අතර ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර,ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ජනාධිපති නීතිඥ දුලින්ද්‍ර වීරසූරිය, මැද්දෙගොඩ, ජනාධිපති නීතිඥ අනුර බී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මහාචාර්ය දීපිකා උඩගම යනාදීහු වෙති.

එම ප්‍රකාශය  මෙසේ සඳහන් කරයි:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එහි නෛතික බලපෑම වනුයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හෝ පාර්ලිමේන්තු කාලය වසර පහකට වැඩි කාලයක් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන පනත් කෙටුම්පතකට  පියවර දෙකක් අවශ්‍ය වීමයි. එනම්  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය සහ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබා ගැනීමයි.

මෙම පනත් කෙටුම්පත මගින් වර්තමාන 83(ආ) ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කිරීමට අපේක්ෂා කරයි. එම වගන්තියට  අනුව ජනමත විචාරණයකින් තොරව ජනාධිපති  ධූර කාල සීමාව හෝ කාල සීමාවක් දීර්ඝ කළ හැකි උපරිම කාලය වසර හයකි.

ජනමතවිචාරණයක් නැතිව බෑ

83 වැනි ව්‍යවස්ථා වගනතිය සංශෝධනය කිරීමට උත්සාහ කරන ඕනෑම පනත් කෙටුම්පතකට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් අනුමැතිය අවශ්‍ය වන බව ද 83 ව්‍යවස්ථා වගන්තියෙහි සඳහන් වේ. මේ අනුව, යෝජිත පනත් කෙටුම්පතට තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන බව සැකයෙන් තොරව පැහැදිලිය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය වසර හයේ සිට පහ දක්වා අඩු විය. ඒ වෙනසට ජනමත විචාරණයක් අවශ්‍ය වුණේ නැත. කෙසේ වෙතත්, දහනව වන සංශෝධනයෙන් වසර හයේ ඉහළ සීමාව එලෙසම ඉතිරි වූයේ 83 ව්‍යවස්ථා වගන්තිය සංශෝධනය කර ධූර කාලය වසර 5කට අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බැවිනි.

යෝජිත සංශෝධනය ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති වික්‍රමසිංහගේ පක්ෂයේ සහ ඔහුගේ හිතවතුන්ගේ ප්‍රකාශයන් සමඟ සම්පාත වෙයි.

එකී ප්‍රකාශයන්, කල්දැමූ පළාත් පාලන මැතිවරණය සහ දිගු කලක් ඉකුත් වූ පළාත් සභා මැතිවරණ ඇති මහජන ප්‍රතිචාර අමතක කළද. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ගැන උනන්දුවෙන් බලා සිටින ජනතාවගෙන් කෝපයට පත් ප්‍රතිචාර ඇති කළේය.

මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමට ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය තරයේ ප්‍රතික්ෂේප කළේය. එම නඩු විභාගයේදී, දහනව වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ අවස්ථාවේදී අධිකරණය සහ නීතිඥවරයා විසින් අධිකරණයේ පූර්ව විනිශ්චයන් පිළිබඳව සඳහන් කරන ලදී. එනම් ජනාධිපති සිරිසේන ඔහුගේ ධුර කාලය සම්බන්ධයෙන් අධිකරණයේ අදහස් විමසා සිටි අවස්ථාවයි.

ජනාධිපතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ මැතිවරණ කොමිසමේ නියෝගය ජූලි මස අග හෝ අගෝස්තු මස මුලදී බලාපොරොත්තු වේ. මැතිවරණය සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මස මුලදී පැවැත්වීමට ඉඩ ඇත.

යෝජිත පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් දින තිහක් ඇතුළත ජනමත විචාරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට නියෝග කළ යුතුය. මේ අනුව නුදුරේදීම සිදුවන සමාන්තර ජාතික මැතිවරණ දෙකක්  රට මත පතිත වනු ඇත. අවුල් ඇති කරනු ඇත.

පළාත් පාලන මැතිවරණයට මුදල් නැතැයි රජය කියන නමුත් මෙවැනි ජනමත විචාරණයකට රුපියල් බිලියන කිහිපයක් වැය වනු ඇත.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලවල ඉහළ සීමාව පහත දැමීමේ කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බව නීතීඥ සාමූහිකය අවධාරණය කරයි.

අවුල් කිරීමේ උත්සාහයක්

යෝජිත සංශෝධනය අනවශ්‍ය ලෙස කරුණු සංකීර්ණ කරමින් මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමේ උත්සාහයක් විය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය ද ඇත්ත වශයෙන්ම  ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙයි.

ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය, බලය බෙදා ගැනීම, මූලික අයිතිවාසිකම් සහ අධිකරණයට අදාළව ව්‍යවස්ථාමය වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිබඳ ශක්තිමත් සාකච්ඡාවක් ඇති වී තිබේ. බිහිවන නව පාලනය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයකට අවතීර්ණ වීමට ඉඩ ඇති අතර, කෙසේ වෙතත්, අර්ථවත් වෙනසක් සඳහා මහජන බලපෑමක් එල්ල වනු ඇත.  එය 2022 මහජන නැගිටීමේ අරගලයේ ඉල්ලීමකි.

මෙම වෙනස්කම්වලින් සමහරක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වනු ඇත. එම අදියරෙහි දී ධූර කාල ඉහළ සීමාව නිසැකවම පහත දැමිය හැකිය.

එම යෝජිත පනත් කෙටුම්පත මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමෙ ප්‍රයත්නයක් ලෙස හෙළා දකිමින්  එයට විරුද්ධ වන ලෙස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් නීතිඥ සාමූහිකය ඉල්ලා සිටී.

ඔබගේ විශ්වාසි,
නීතිඥ සාමූහිකය වෙනුවෙන්

ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා
ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, නීතීඥ
ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් මහතා
ජනාධිපති නීතිඥ දුලින්ද්‍ර වීරසූරිය මහතා
ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා
මහාචාර්ය දීපිකා උඩගම
මහාචාර්ය කැමේනා ගුණරත්න

ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග,
ජනාධිපති නීතිඥ චන්ද්‍රා ජයසේකර මහතා
ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා
ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා
නීතීඥ චන්දිම මුතුකුමාරණ මහතා
නීතීඥ නොයෙල් ඩයස් ගරු පියතුමා

නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා
නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා,
නීතීඥ නාලනී මනතුංග මෙනවිය
නීතීඥ අකලංක උක්වත්ත මහතා
නීතිඥ Ermiza Tegal මෙනවිය
නීතිඥ දර්ශන කුරුප්පු මහතා
නීතීඥ සඳමාල් රාජපක්ෂ මහතා
නීතීඥ රාජිත ලක්මාල් මහතා
නීතීඥ මනෝජ් නානායක්කාර මහතා
නීතිඥ M N Zeinul Luthufi මහතා
නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා

(ප්‍රකාශයේ  සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news