Wednesday, July 17, 2024

ටයිටස් ප්‍රනාන්දු: පුරවැසි විකල්ප ඉතිහාසය

සටහන – සුනන්ද දේශප්‍රිය

ටයිටස් අයියා, බාල මහලු හුඟ දෙනෙක් අමතන ආදර නාමයයි

ටයිටස් අයියාට මතක මුල්ම දේශපාලන සිද්ධිය කුමක්දැයි ඇසීමි. ඔහු මනෝභාවය ක්ෂණයකින් වෙනන් වෙයි. වහා සිනහවක් කැන්දා ගමිනින් ඔහු මෙසේ කියයි.

‘‘ 1956 මහා මැතිවරණ කාලෙ. මගේ ලොකු අයිය සම සමාජ පක්ෂට වැඩ කරා. ඔහු දවසක් පත්‍රිකා මිටියක් අතට දීල මට කිව්ව ඔය ටික පල්ලිය වත්තේ ඉන්න මිනිස්සුන්ට බෙදල වරෙන් කියළ. මං ගිහින් කොළයක් දෙකක් බෙදන කොට මගේ කණ රත් වෙන්න පාරක් වැදුණූ. ‘ යක්ෂ පැටිය දීපං ඔය යක්ෂයින්ගේ කොළ’ කියා කෑ ගසමින් පල්ලියේ පූජකතුමා පත්‍රිකා මිටිය අරං ගියා. මං අඩාගෙන අයිය ළගට ගිහිං වෙච්ච දේ කිව්වම කට්ටියම මාලු බඩ කපල සුද්ද කරන නැවුනු තුඩ සහිත උල් පිහි අරගෙන කෑ ගහගෙන දුවල පූජකතුමාගෙ කාමරය වට කරා. බයෙන් ගැහුණූ පූජකතුමා කොළ මිටිය ජනේලයෙන් දීල ජනෙල් පියන් වහ ගත්ත.

ඔන්න මගේ මුල්ම මතක හිටපු දේශපාලන අත්දැකීම. මර්දනය සහ ඊට මුහුණ දීම. ඒ මැතිවරණයෙන් සමසමාජ පක්ෂයෙන් මීගමුවට තරඟ කලේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු ජය ගත්ත. අලුත් ආණ්ඩුවක් ඇති වුනා. අර පූජකතුමා සතියක් අගරදගුරු නිවාසයෙ හැංගිලා ඉදළ තමයි ආපහු ආවේ.

කාලයක් යනකන් පල්ලිය සම සමාජකාරයින්ට කිව්වේ යක්ෂයාගේ අවතාරය කියල. ඒ මතය වෙනස් වෙන්න පටන් ගත්තේ හැත්තෑ ගණන් වල විතර. ඔස්කා අබේරත්න පියතුමා ඒ වෙනසට දායක වුන එක් දේවගැතිවරයෙක්.

හැබැයි සම සමාජයට 1956න් පස්සේ කවදාවත් මීගමුව දිනන්න බැරිවුණා. ඒ වුනාට සම සමාජ ව්‍යාපාරය තිබුණ.

තවත් මතක හිටපු දේශපාලන සිද්ධියක් තමයි මගේ අයිය අැන්ජින් බෝට්ටුවක් ගෙනාපුවෙලේ ධීවරයො විරුද්ධ වුන හැටි. 1956 ආණ්ඩුවෙ මුදල් ඇමැති විලියම් සිල්වා ධීවරයින්ට යාන්ත්‍රික බොට්ටු දෙන්න ගත්තා. . ඒව හැදුවේ ටාඕස් එකෙන්. අඩි 18 ලී බොට්ටු. බෝට්ටුවක් රු.13.500යි. එකත් ණයක් විදිහට මහජන බැංකුවෙන් දුන්නා. මීගමුවෙ මුල්ම යාන්ත්‍රික බෝට්ටුව ගෙනාවේ ංංං ඒ වෙලේ ධීවරයො තෙප්පම් දාල බෝට්ටුව නැවැත්තුවා. ඒ ඇන්ජිමේ සද්දෙට මාලු දියඹට යනවයි කියළ බයේ. අයිය තමයි දෙවැනියට වගේ බෝට්ටුවක් ගෙනාවෙ. ඒ වෙලෙත් ලොකු විරෝධයක් තිබුණ. ඒත් මිනිහ චන්ඩිය. කොහොම හරි බෝට්ටුව දියඔට දා ගත්ත.

අද තියෙනව බෝට්ටු සිය ගණනක්. ඒත් මාලුත් ඉන්නව.

ඔය වගේ තවත් කතාවක් මගේ අක්ක මට කිව්ව. දැන් මගේ පුතා වැඩ කරන්නේ ජෙට් වින්ග් හෝටලේ. අක්ක දවසක් මට කියනව, ‘ මල්ලියෙ අපිත් දැන් ඔය පුතා වැඩ කරන හෝටලේ හදන කොට ගිහින් කම්බාය ගැලෙව්වනෙ ඒකට විරුද්ධව.’

මීගමුවෙ ගෑනු රෙද්දට උඩින් කම්බායක් හදිති. බ්ලූ ලැගූන් නමින් එම ස්ථානයේම මුල් හෝටලය සාදන විට අවට ගැහැණූ ‘මේ වැඩෙන් වෙන්නේ ගණිකා වෘත්තිය බෝ වෙන එකයි’ කියා එහි ගොස් කම්බා ගලවා පෙන්වමින් විරෝධතාවයක් පැවැත්වූහ.

තවමත් නම් එම පෙදෙසෙහි එවැනි ලිංගික ශ්‍රමික ව්‍යාපාරයක් හෝටලය නිසා ඇතිවී නැත. ‘එත් එක් දෙයක් කියන්න ඕන. සම සමාජකාරයො නම් ඒවට විරුද්ධ වුනේ නැහැ.’ ටයිටස් අයියා හඬ අවධි කරයි.

වසය 13 දි පල්ලියේදී ගුටි කෑව සිද්ධියෙදි වගේම මං පස්සෙ සමසමාජ ව්‍යාපාරයට ටිකක ඇදිල ගියා. හැබැයි මං මුලින් හිටියේ ඹස්කා ප්‍රනාන්දු පියතුමාගෙ තරුණ

ව්‍යාපාරයෙ. ඔස්කා පියතුමාට ලතින් ඇමෙරිකානු විමුක්ති දේව ධර්මයේ අභාශය ලැබිල තිබුණ. නමුත් ඔහු වමේ අදහස් පිළිගත්ත කෙනෙක් නොවෙයි. ඔහු සිටියේ මීගමුවේ ක්‍රිස්තු නිවසේ. අප කරේ සමූකාර ව්‍යාපාරය තුල තිබූ දූෂණ හෙළිදරව් කිරීම වැනි දේ.

1960 මැතිවරණයෙන් මීගමුවෙ සමසමාජය පැරදුනා. ඒත් හෙක්ටර් ප්‍රනාන්දු සමාජ සේවාවන්ගෙන් ඉවත් වුණේ නැහැ. පල්ලිය එක්ක සමසමාජ ව්‍යාපාරය දිගටම හැප්පුනා. ජනයගේ පැත්තේ ඉදල. අපේ ගමේ ඒ කියන්නේ පිටිපන දේශපාලන වශයෙන් හයිය තිබුණේ සම සමාජ ව්‍යාපාරයට. සම සමාජය පල්ලිය එක්ක හැප්පුණා.

ඒ කාලයේ ධිවරයින් ඔරු බෝට්ටු ගොඩට ගෙනැත් මාලු විකුණන ලෙල්ලම තිබුණෙ පල්ලියෙ ඉඩමක. පල්ලිය ධිවරයින්ගේ ආදායමෙන් සියයට 10ක් ගත්තා කතෝලික ලෙල්ලම වෙනුවෙන් කියල. ඒක තිබුණේ කුට්ටුදුවේ. සියයට 10ක් ගන්නව කියන්නේ ගසා කෑමක් බව කියමින් ජූසේ මරියෙල.. , මගේ අයියා ජේම්ස් ප්‍රනාන්දු වගේ යන සම සමාජ කණ්ඩායම වැල්ලේ කොටසක පටන් ගත්ත සමාගම් ලේලලමක්. ඒකේ අය කරේ සියයට 3යි. ක්‍රමයෙන් සමාගම සමූපකාරයක් බවට පත්වුණා. මේ වැඩේට මග පෙන්වීම ලැබුණේ සම සමාජයෙන්. දොස්තර හෙක්ටර්

ප්‍රනාන්දු තමයි ඒ සමූපකාරයේ මුල්ම සභාපති වුණේ. කාලයන්ම සමූපකාර ලෙල්ලම තිබුණෙ සම සමාජ කණ්ඩායම අතේ. 1970ගණන් වන විට සමූපකාර ලෙල්ලම තමයි ප්‍රධාන තැන ගත්තේ. පල්ලියේ ලෙල්ලම එන්න එන්නම කුඩා වුණා. අද මීගමුවේ පිටිපන තියෙන සමූපකාර ලෙල්ලමට අත්තිවාරම දැම්ම සම සමාජකාරයො. අදත් ලෙල්ලම තියෙන්නේ වමට බර අය අතේ. මේ ලෙල්ලමට ඕනම ධීවරයකුට ඇවිත් මාලු දෙන්න පුළුවන්. කොහොම හරි අන්තිමේදි කතෝලික ලෙල්ලමටත් ධීවරයින්ගෙන් අය කරන ගණන සියයට 05ට බස්සන්න සිද්ධ වුණා.

කොහොමද මහජන උද්ඝෝෂනවලට ඇදිල ගියේ කියළ ඇහුවම ටයිටස් අයියා වෙනම පරිච්ජෛ්දයක් පටන් ගත්ත.

අපේ ගමේ ගැහැණුන්ට කරන්න රස්සාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කල්පිටිය වගේ ඈත පැතිවල ගිය ධීවර රස්සාවට. ඕකෙන් ඇතිවුනා අලුත් ප්‍රශ්ණ. තාත්තල නැති දරැවෝ අරං ගෑහැණූ ආපහු ආව. ඒ පිට පළාත්වලදි පිරිම්න්ගෙන් ඇතිවන ලංගික අතවර ඉවරයක් නැති උනා. ඊට පිළියමක් විදිහට ඔස්කා පියතුමා යටතේ මගේ බිරිද එතල්, ඇනිටා ප්‍රනාන්දු වගේ අය ගෙදර ඉඳළම බීඩි ඔතන්න ඔවුන්ට අවස්ථාව දුන්න. අපිත් ඒ වැඩේට බැහැල උදව් කරා. අදත් අපේ ගමේ ඉන්නව බීඩි එතීමෙන් ආදායම් ලබන ගැහුණූ හය හත් සියයක්.

හොද කතෝලිකයෙක් කියන්නේ හොද සමාජ සේවකයෙක් කියන අදහස ඔස්කා පියතුමා අපට කාවද්දලයි තිබුණෙ. මේත් එක්ක අපි ඇනීටා ප්‍රනාන්දු ( පසුව මාලඹේ ප්‍රජා

අධ්‍යාපන මධ්‍යස්ථානයේ නායිකාව) මීගමුවෙන් ජන්දයට දාන්න වැඩ කරා. ඒ ශ්‍රිලනිපයෙන්. එත් ගැහැණියක්වීමත් එක් කාරණයක් වෙලා ඇය කැපුණා. ඒත් අප ඇය 1970 මහා මැතිවරණයේ කටාන, මීගමුව, වෙන්නප්පුව වගේ කතෝලික

ප්‍රදේශවල ප්‍රධාන පෙළේ කතිකාවියක් ලෙස ඉස්සරහ කරගෙන ගියා. 70 පොදු පෙරමුණ දිනුවනෙ. නමුත් අව්රැද්දක් යන කොට කැරැල්ල ආව. අපිත් එක්ක හිටපු තරැණයො කීප දෙනෙකුත් කැරැල්ලට හවුල්වෙලා අහුවුණා.

පසුව නව සමසමාජ ප්‍රධානියෙක් වුණ ලීනස් (ජයතිලක) ස්වාමි ජයතිලක ඒ වෙන කොට අපේ ආත්මික

අධ්‍යක්ෂක. ඔහු තමයි ජවිපෙ ගමට ගෙනැවිත් තිබුණෙ. පසු කාලයක රත්මලාන කම්කරු සෙවන පවත්වාගෙන ගිය කිංස්ලි පෙරේරාත් මීගමුවෙන් ජවිපෙට ගිහිං අහුවුණ කෙනෙක්. කොහොම හරි අපි එකුතුවෙලා බිෂොප් උන්නාසෙටත් කියළ ලීනස් ස්වාමි අත් අඩංඟුවට ගන්න නොදී බේර ගත්ත. නමුත් අව්රුද්දක් යන කොට තමන්ගේ සගයන් සිරගතවීම ගැන ඇතිවූ ආත්මඅනුකම්පාව නිසාද කොහේ ලීනස් ස්වාමි ලෝගුව අතහැරලා පල්ලියෙන් ගියා. ඔහු ගියේ කීර්ති බාලසූරියගේ නායකත්වයෙන් තිබුණු ‘කම්කරු මාවත’ එක්ක වැඩ කරන්න.

71 කැරැල්ල ඔස්කා පියතුමාගේ පුබුදුව සංවිධානයටත් බලපෑව. තරුණයින් ප්‍රචණ්ඩත්වයට ගියේ ංංංං අපත් ඒ සමිති සමාගම්වල වැඩ කරා. මං ඒ තාක් කල් වැඩ කරේ කතෝලික ප්‍රජාව එක්ක.

එතකොට නොහොමද ගොවි අරගලවලට සම්බන්ධ වුණේ කියළ ඇහුවම ටයිටස් අයියගේ ජීවිතේ තවත් පරිච්ජේදයක් විවෘත වුණා.

1980 වැඩ වර්ජනයෙන් පස්සේ රාජ්‍ය නොවන ක්ෂේත්‍රය හරහා තමයි බෞද්ධ ගැමි පිරිස් එක්ක වැඩට යොමු වුනේ කියළ පටන් ගත්ත ඒ පරිච්ජේදය.

ඇනීටා ප්‍රනාන්දු සහ පෝල් ප්‍රනාන්දු මූලිකත්වය ගත් මාලඹේ ප්‍රජා අධ්‍යපන මධ්‍යස්ථානය එකක මං එකතු වුණා. ඒ දෙන්නම ජ්‍රජා සංවිධානය පිළිබඳ පිටරටවල අත්දැකීම් ලබල තිබුණ. ඔවුන්ට විධි ක්‍රමයක් තිබුණ. අනෙක තමයි අපි හැම අරගලයකින්ම පස්සෙ ඒ ප්‍රජාවට ඉදිරියට ගෙන යන්න පුලුවන් සමිති සංවිධාන හදළ දුන්න.

අද වෙනකම් තියෙන වෙල්ලස්ස ගොවි සංවිධානය ඒ විදියට 80 ගණන් මැද ඇති වෙච්ච ජලබදු අරගලය ඇසුරෙන් හදපු එකක්. මුලින් පෙර පාසැල් සංවිධානය කරල පස්සේ ඒ වටා ගැමි කාන්තා සමිති හැදුව. ඒ වගෙම පැල්වත්ත උක්ගොවි අරගලයෙන් පසුසේ පැල්වත්ත එක්සත් කාෂිකාර්මික සංගමය හැදුවා.

පැල්වත්ත එක්සත් කෘෂිකාර්මික සංගමයට 1988 – 89 කාලයේ දරුණු මර්දනයක් ආව. එක්කොට පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා රංජන් විජේරත්න. ඔහු සමිතියේ සභාපතිට පහර දීල ඔහුගේ ඉඩම උදුර ගත්ත. අපි ඒකට නඩු ගියා. සම්තියේ ලේකම් අතුරුදහන් වුණා. අපි ඔහු සොයන කොට රංජන් විජේරත්න පණිවිඩයක් එවුවා ‘සොයන්න එපා. එයා නැහැ’ කියළ. ඔහු අතුරුදහන් වූ ලේකම්ගේ දරුවන්ට උදව් කරන්න පොරොන්දු වෙලා ඒ විදියටම කරා. පස්සේ ඒ උදව් ලබපු දරුවෙක් වෛද්‍යවරයෙක් බවට පත් වුණා. ඒත් එක්කම ආරක්ෂක ලේකම්බවට රංජන් විජේරත්න පත්වුනානෙ. ඔහු සභාපති සමඟ තිබූ නඩුව සාමදාන වෙලා වන්දියක් එක්ක ඉඩමත් ආපහු දුන්න. පැල්වත්ත සමිතිය වදිහට අපි ලොකු උපවාසයක් කරා 1992 කාලෙ. උක් ගොවීන්ගේ අයිතීන් ඉල්ලල. මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක් අප ගත්ත. මං ලොකු මාධ්‍ය කණඩායමක් එක්ක ගියා උපවාසය වාර්තා කරන්න. ඒ අරගලය අපි දිනුව. උක් ගොවීන්ගේ දරුවන්ට පාසල් බස්, පාසළක්, උක් වලට වැඩි මිලක් වගේ දේ ලැබුණ.

කන්තලේ වැව් බැම්ම කඩාගෙන මහ විපතක් වුන, 1987 මං හිතන්නේ, අවස්ථාවේ සහන වැඩට ගියා. එතකොට ආධාර බෙදීමේ දූෂණ තිබුණා. ඒ අවස්ථාවේ සංවිධාන ගණනාවක් එකතු වෙලා නිරීක්ෂන කණ්ඩායමක් ගියා ඒ දූෂණ සොයන්න. එස්.ජී. පුංචිහේවත් ඒ කණ්ඩායමේ උන්න. අපි දැක්ක එක සරම දෙකට කඩල දෙන්නෙකුට දීල තිබුණ. මේ ගැන අපි කොලඹ පුවත්පත් සාකච්ජාවක් පවත්වල දූෂණ හෙළිකරා. ඇත්තටම නම් ඒ අවස්ථාවේ අගමැති ප්‍රේමදාස දූෂණ නැති කරන්න මැදිහත්වුණා.

පස්සේ ඒ වැඩ හරහා ලද සම්බන්ධකම් මගින් කන්තලේ එක්සත් කාන්තා සමිතිය ගොඩ නැගුවා. අද එහි සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඉන්නවා. අද ඒ කාන්තා සමිතිවල පිරිස ස්වාධීන කන්ඩායමක් විදිහට කන්තලේ ප්‍රාදේශීය සභාවට තරඟ කරනවා. එහි නායිකාව දෙමළ කාන්තාවක්. ඒ වගේම මොනරාගල දිසාවේ හැචිච්ච කාන්තා සමිති නායිකාවෝ හතර දෙනෙක් විවිධ පක්ෂ වලින් තරඟ කරනවා.

කාතෝලික ප්‍රජාව අතරයි බෞද්ධ ප්‍රජාව අතරයි වැඩ කරන කොට දැකපු වෙනස මොකක්ද? කියල ඇහුවම අපූරු උත්තරයක් ලැබුණ.

වෙනස තමයි මීගමුවෙ කතෝලික ප්‍රජාව අතර දැක්කට වඩා සටන්කාමීකමක් බෞද්ධ පිරිස් අතර තිබුණ එක. ඒ වගේම තවත් දෙයක් දැක්ක. අපි හදපු පිරිමි සංවිධාන දිය වුණා. නැත්නම් දේශපාලන පක්ෂවලට යට වුණා. එත් ගැහැණු එක්ක වැඩ කරල හදාපු සමිති සංගම් දිගටම පැවතුනා. අද දක්වාම අපේ මැදිහත්වීමක් නැතිව මේ කාන්තා සංවිධාන පවතිනවා.

Archive

Latest news

Related news