Thursday, June 20, 2024

පොලිස් අපරාධ අධ්‍යක්ෂවරයා රාජ්‍ය සේවයට ගැලපෙන්නේ නෑ : පොලිස් භයානක ආකල්ප ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

  • තරිඳු ජයවර්ධන

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 31දා තීන්දු කළේය.

වන්දි නියෝග

ඒ අනුව එම කාන්තාවට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසත්, ඇයට තවත් රුපියල් දස දහසක් රජය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති අරමුදල්වලින් ගෙවන ලෙසත් නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වාට සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.

එසේම මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බව තම තීන්දුවේ සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට උපදෙස් දී ඇත්තේ පොලිසියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අධිකරණයේ කළ ප්‍රකාශයක් ගැන සඳහන් කර ඇති අධිකරණය අවධාරණය කර ඇත්තේ මෙවැනි නිලධාරීන්ගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ නිලධාරීන් තුල ඇති භයානක ආකල්ප බවයි.

මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට නුසුදුසු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ. එසේම වගඋත්තරකාර නිලධාරීන් තව ගැලවීම සඳහා අධිකරණය ඉදිරියේ දක්වා ඇති විහිළු සහගතක කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය බුද්ධියට ද කරන නිග්‍රහයක් බව වැඩිදුරටක් දක්වා තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා වන අතර මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම තීන්දුවට එකගත්වය පල කර තිබේ. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටි කරුණු දක්වා ඇති අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වූවාය.

2016 සැමියා වෙනුවට බිරිඳ පැහැර ගැනීම

රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරට එරෙහිව 2019 ජනාධිපතිවරණයෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කළේය.  2019 ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ පුද්ගලයන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදු කිරීම සඳහා එවකට රජය වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නෙවිල් සිල්වා යන පොලිස් නිලධාරීන් හරහා කොළඹ අපරාධ කොට්ඨාසය යොදා ගත් බවට පසුගිය කාලයේ චෝදනා එල්ල විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ද කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

විදුලිබල මණ්ඩලයට අනියුක්ව සිටි දිලුම් තුසිත කුමාර මහතා 2016 වසරේ දී පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු ලෙස කටයුතු කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වී මාසයකට පමණ පසු එනම් 2019 දෙසැම්බර් 15 වැනිදා නිල ඇඳුම් සහිත සහ සාමාන්‍ය ඇඳුම් සහිත කොළඹ අපරාධ කොට්ඨාසයට සහ ඉමදූව පොලිසියට අනියුක්ත යැයි ප්‍රකාශ කළ පොලිස් නිලධාරීන් පිරිසක් එම දිලුම් තුසිත කුමාරගේ බිරිඳගේ මවගේ නිවසට ගොස් තිබේ. ඒ වන විට බිරිඳ තම අවුරුදු දෙකක් පමණ වන සිඟිත්තා සමග මවගේ නිවසේ සිටියාය.

අධිකරණයට කී  බොරු

රාත්‍රී 9.30ට පමණ නිවසට ගිය එම පොලිසියේයැයි කියන පිරිස බිරිඳට දැනුම් දී ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බවයි. ඔහු නිවසේ නැති බව ප්‍රකාශ කළ විට ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගන්නා ලෙස ඔවුන් දැනුම් දී තිබේ.  ඒ අනුව සැමියාට දුරකතන ඇමතුමතක් ගත් විට තම දුරකතනයෙන් පොලිසිය ඔහු සමග කතා කළ බවත්, තමා බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ සිටින බවට සැමියා පොලිසියට දැනුම් දුන් බවත්, ඊට පිළිතුරු දෙමින් ‘ඔයාගේ වයිෆ් සහ ළමයා පව්‘ යනුවෙන් ප්‍රකාශ කර ඔහු ප්‍රකාශය ලබාදීමට පැමිණෙන තෙක් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කර තබන ලෙසට පොලිසිය දැනුම් දුන් බවත් පෙත්සම්කාර බිරිඳ තම පෙත්සමේ සඳහන් කර තිබේ.

පොලිසිය සහ රියදුරුගේ දුරකතන සංවාදය අතරතුර රියදුරුගේ දුරකතනයේ බැටරි අවසන් වී ඇමතුම විසන්දි වී ඇති අතර සැමියා දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට නොහැකි නිසා ඇයට කොළඹට යාමට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී ඇත. තම කුඩා දරුවා නිවසේ දමා තමාට කොළඹ යෑමට පැමිණිය නොහැකි බව ඇය පොලිසියට දැනුම් දුන් පසු පොලිසිය යළිත් දැනුම් දී ඇත්තේ දරුවා රැගෙන කොළඹ යාමට පැමිණෙන ලෙසයි. තම සිගිත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනා බැවින් දරුවා කැටුව යාමට නොහැකි බව ඇය යලිත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් පොලිසිය තමන් සමග යාමට පැමිණෙන ලෙස ඇයට බලෑම් කර ඇති අතර අවසානයේ ඇය තම මව සහ දරුවා කැටුව පොලිසිය සමග ගොස් ඇත.

පැය තුනක් මහ පාරේ

ඒ අනුව මධ්‍යම රාත්‍රී 12.45ට පමණ ඔවුන් කැටුව පොලිසිය පිටත්ව ගොස් ඇති අතර අලුයම 4.30ට පමණ බත්තරමුල්ල ජයන්තිපුරට ළඟා වී ඇති බව පෙත්සමේ සඳහන් වේ. එතැන් සිට පැය තුනක් පමණ ජයන්තිපුර නතර කර තිබූ පොලිස් වාහනය උදෑසන 7.45ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගොස් තිබේ.  ඉන් පසු උදෑසන 10ට පමණ යළිත් වරක් මෙම පිරිස රැගෙන දෙමටගොඩින් පිටත්ව දහවල් 12ට පමණ ඉමදූවේ ඔවුන්ගේ නිවසට ළඟවී ඇති පොලිසිය පසුව ඔවුන් නිවසින් බස්සවා පිටව ගොස් ඇත.

එදිනම ඇගේ නීතිඥවරයා මෙම පැහැර ගැනීම/අතුරුදන්වීම සම්බන්ධයෙන් 23783/04 නඩුව යටතේ කොළඹ අතිරේක මේහ්ස්ත්‍රාත්වරයාට වාර්තා කර තිබේ.

එවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා  මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෙසේ ප්‍රකාශ කර තිබේ.

‘උගත් නීතිඥ මහත්තයා පැහැර ගැනීමක් ගැන සඳහන් කළා. තුසිත කුමාර යන අයගේ ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා මේ විමර්ශනයේ. අපි ඔහු ගැන සොයා බැලුවා. සොයා බලන අවස්ථාවේදී ඔහුගේ ලිපිය වශයෙන් සඳහන් වුණේ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ. පසුව ඉමදූව ප්‍රදේශයට ගියාම බිරිඳ හිටියා. අපි ගියේ අපේ පොලිස් වාහනයකින්.. අපි පිළිගන්නවා මෙත්තානන්ද කියන පොලිස් පරීක්ෂකවරයා ගියා ඒ නිවසට. නිවසේ බිරිඳ හිටියා. ඇයගේ මව හිටියා. කුඩා දරුවා හිටියා. බිරිඳට දැනුම් දුන්නා ඇයගේ දුරකතනයෙන් තමන්ගේ පුරුෂයාට දුරතන ඇමතුමක් ලබා ගන්න කියලා. ඇමතුම ලබා ගත්තට පසු ඔහු කිව්වා, මම ඉන්නවා, එන්න ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක කියලා. නමුත් ඒ ස්ථානය හරියට ඔහුට කියන්න බෑ කියලා දැනුම් දුන්නා. ඒ අනුව ඔහුගේ ඉල්ලීම මත බිරිඳ, පොඩිදරුවා අරං හේතුව තමයි අම්මත් එක්ක දරුවා එන්න ඕනෑ. ඒ තැනැත්තියගේ, අපිට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය අයගේ බිරිඳගේ මවත් ඒ එක්කම ලබා ගත්තා. ඒ අනුව ඔහුගේ කැමැත්තෙන් මේ ගමන පිටත් වුණේ. ඒ අතරේ කාන්තා පොලිස් නිලධාරීන් ද සිටියා. විමර්ශනය සඳහා සහාය වීමක් සඳහා තමයි පැමිණියේ. ඒ අවස්ථාවේ දී ඔහු දුරකථනය විසන්ධි කිරීම, ආයේ සන්ධි කළේ නෑ. නමුත් මේ මොහොත වන විටත් ඉතා නිරුපද්‍රිතව වගකීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සදහන් කරනවා ඒ සඳහා කල තිදෙනාම ගාල්ල ඉමදූව නිවසේ ඉන්නේ. අපි කිව්වා රෑ ගෙනාවා කියලා. අපි කිව්වේ නෑ ගෙනාවේ නෑ කියලා. අපි පිළිගන්නවා විමර්ශනයක් සදහා රැගෙන ඇවිල්ල තියනවා. අවශ්‍යතාව ඉටු වුණේ නෑ. නැවත අවශ්‍ය ස්ථානයට ගිහින් අපේ පොරොන්දුව මත ඇයගේ ඉල්ලීම මත ආවේ. කිසිදු හොරකම්, පැහැර ගැනීමක් නෑ. මවාපෑම් කරන්න උත්සාහ කරන්නේ. අපි විමර්ශනයක් කරන්නේ. පැහැදිි විමර්ශනය කර ඔබතුමියගේ අධිකරණයට කවුද සැකකරුවන් කියලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් ඉන්නවා. ඒකට විමර්ශනයක් කරන්න ඕනෑ. ඇත්ත තත්ත්වය ඒක. කිසිදු පැහැර ගැනීමක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කර නෑ. මේ වෙනකොටත් එම අය නිරුපද්‍රිතව එම නිවසේ ඉන්නවා. පොඩි දරුවා ගෙනාවේ අම්මත් එක්ක කුඩා දරුවා එන්න ඕනෑ නිසා. මව ගෙනාවේ තවත් ආරක්ෂාව අවශ්‍ය නිසා. කාන්තා පොලිස් නිලධාරීන් දෙනෙක් හිටියා… මේක තමයි සත්‍ය කතාව. තරයේ ප්‍රතික්ෂේප කරනවා උගත් නීතිඥමහතුන්ගේ මේ ප්‍රකාශ. මිනිස්සු පැහැර ගත්තේ ඔහොම නොවේ. පැහැර ගන්නවා නම් එළිපිට ජීප් එකේ ගිහින් පැහැර ගන්නේ නෑ. අපි කිව්වා පැහැදිලිව අපි අරං ආවා කියලා.‘

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වාගේ බොරු

ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව මගින් කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වාගේ මෙම කරුණු දැක්වීම දැඩි ලෙස විවේචනය කර තිබේ. මෙය උගත් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කිරීමට උචිත කරුණු දැක්වීමක් යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සිතන්නේ කෙසේද යන්න පවා ගැටලු සහගත බව විනිසුරු තුරේරාජා මහතා තීන්දුවේ සඳහන් කර තිබේ. බරපතල විෂමාචාර ලෙස සැලකිය යුතු මෙවැනි තත්ත්වයන් හමුවේ උපහාසය සහ නොසැලකිල්ල සහිත මෙම වචන මගින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තුල පවතින භයානක ආකල්පය පෙන්නුම් කර බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

පොලිස් කතාව අධිකරණයට නිග්‍රහයක්

කෙසේ වෙතත් වගඋත්තරකාර නිලධාරීන් තම ලිඛිත දේශනවලින් අධිකරණයට කියාපෑමට උත්සාහ කර ඇත්තේ පෙත්සම්කාර කාන්තාව තම කැමැත්තෙන්ම නිලධාරීන්ට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් සමග ගිය බවයි. තම සැමියා සොයා ගැනීමට පොලිසියට සහයෝගය පලකිරීම පිණිස පිරිමි පොලිස් නිලධාරීන් වැඩිපුරම සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග රාත්‍රියේදී කිලෝමීටර් සිය ගණනක් ගමන් කිරීමට කාන්තාවක් තම කුඩා දියණිය සමඟ ඇගේම කැමැත්තෙන් ඉදිරිපත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නොකරන බව විනිසුරුවරයා තීන්දුවෙන් කියා ඇත.  වගඋත්තරකරුවන් තම ආරක්‍ෂාව වෙනුවෙන් ගන්නා ස්ථාවරය හාස්‍යජනක පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය බුද්ධියට කරන නිග්‍රහයක් බවත් තීන්දුවේ සඳහන්වේ. ‘වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි ඉතා විශ්වාස කළ නොහැකි බව  මම දකිමි. එනිසාම, සාමාන්‍ය බුද්ධිය මට බලකර සිටින්නේ, සිදුවීම්වල මෙම විකාර සහගත කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටයි.‘

“තම ස්වාමිපුරුෂයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නිලධාරීන්ට සහාය වීමට පෙත්සම්කාරිය බැඳී සිටින බවට වගඋත්තරකරුවන්ගේ තර්කය හාස්‍යජනක හා විකාර සහගත බව නිසා මම ප්‍රතික්ෂේප කරමි.” – අධිකරණය

‘1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 19 වැනි වගන්තියට අදාළ මතභේදය සම්බන්ධයෙන්, වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද අර්ථකථනය, මගේ මතය අනුව, තාර්කික හෝ යුක්ති සහගත නොවේ. වගඋත්තරකරුවන්ගේ ඉදිරිපත් කිරීම වූයේ, “ශාරීරික හානි සිදුවීමේ සැලකිය යුතු අවදානමක්” පවතින විට හැර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහය වීමට 19 වැනි වගන්තිය පුද්ගලයෙකුට යුතුකමක් පනවා ඇති බවයි. 19 වැනි වගන්තියේ මෙම අර්ථකථනය සමඟ කිසිඳු ප්‍රමාණයකට එකඟ වීමට මා කැමති නැත. පුද්ගලයෙකු ආධාර කිරීමට බැඳී සිටින්නේ එවැනි ඉල්ලුමක් මෙන්ම එවැනි ඉල්ලුමේ තත්වයන් සාධාරණ ලෙස එවැනි පුද්ගලයෙකුට උපකාර කිරීමට හැකි වූ විට පමණි. සාධාරණ දේ, ඇත්ත වශයෙන්ම, එක් එක් සිද්ධියේ තත්වයන් මත රඳා පවතී. නිසැකවම සාධාරණ නොවන දෙය නම් සාම නිලධාරීන් සැකකරුවෙකුගේ මිතුරන් සහ පවුලේ අය ඔවුන් වෙනුවෙන් වෙහෙසෙනු අපේක්ෂා කිරීමයි. තම ස්වාමිපුරුෂයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නිලධාරීන්ට සහාය වීමට පෙත්සම්කාරිය බැඳී සිටින බවට වගඋත්තරකරුවන්ගේ තර්කය හාස්‍යජනක හා විකාර සහගත බව නිසා මම ප්‍රතික්ෂේප කරමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය තුළ සලකා බලා ඇති පරිදි වගඋත්තරකාර නිලධාරීන්, පෙත්සම්කරු සමඟ කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා සිටීමෙන්, පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ තත්වයක් යටතේ රඳවා තබා ඇති බව මගේ අදහසයි. ‘

පැය 12ක් නිරාහාරව

පෙත්සම්කාර බිරිඳ, ඇගේ සිගිත්තා සහ ඇගේ මව පොලිස් බාරයේ තබාගෙන සිටි පැය 12කට ආසන්න කාලය තුලදී ඔවුනට කෑම බීම හෝ වෙනත් කිසිම දෙයක් පොලිසිය ලබා නුදුන් බව ද පෙත්සමේ සඳහන්වේ.

ගේම  දේශබන්දුගේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයේ දී 14 වැනි වගඋත්තරකරු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශකය සඳහන් වන්නේ තමා මෙම නඩුවේ 11 වැනි වගඋත්තරකරු වූ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත 13 වැනි වගඋත්තරකරු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මුණ ගැසීමට ගිය බවයි. ඉන් පසු නෙවිල් සිල්වාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මදුරංග සහ පොලිස් කොස්තාපල් රියදුරකු සමග ඉමදූවට ගිය බවයි. පසුව ඉමදූව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂා ද මෙම ගමනට සම්බන්ධ කර ගත් බව ඔහු කියයි.

අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේදී සහ පුද්ගලික නිදහසට බාධාවක් විය හැකි අනෙකුත් සියලුම ක්‍රියා කිරීමේදී සියලු නිලධාරීන් ව්‍යවස්ථාපිත නීතිමය ක්‍රියා පටිපාටිය දැඩි ලෙස අනුගමනය කළ යුතු බවට ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන බවත්, පුද්ගල අභිමානය සහ නිදහස සියලු මූලික අයිතිවාසිකම්වල හදවත වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවේ සඳහන් කර තිබේ.  පුද්ගලයකු නීතියෙන් නියම කර ඇති කාර්ය පටිපාටියට හැර අත්අඩංගුවට ගැනීම පමණක් නොව බාරයට ගැනීමටවත් 13 වැනි ව්‍යවස්ථාව අනුව හැකියාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

යම් පුද්ගලයකු බලය යොදා හෝ නොයොදා අත්අඩංගුවට ගැනීමක් නොකළ ද යම් ඉඟියක් මගින් හෝ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම කළ හැකි බවත්, සාම නිලධාරියකුගේ උපදෙස් පිළිපදින්නේ නැතිව තමන්ට රිසි සේ තම ගමන යන්නට හැකියාවක් ඇතැයි යන මතයට සාධාරණ පුද්ගලයකු පත් වන්නේ නම් එහි අත්අඩංගුවට ගැනීමක් නැතත් එවැනි තත්ත්වයකින් තොරව  බලහත්කාරයෙන් යම් පුද්ගලයෙකුගේ කීම තමාට පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සාධාරණ ලෙස වටහා ගන්නා විට  13 වැනි ව්‍යවස්ථාව යටතේ සලකා බලන පරිදි අත්අඩංගුවට ගැනීමක් නිසැකවම සිදුව ඇති බවත් අධිකරණය කියයි.

ඒ අනුව මෙම සිද්ධීයේදී පෙත්සම්කාර බිරිඳ පමණක් නොව ඇගේ සිගිත්තා සහ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන බවත්, එසේ වුවත් දරුවා සහ මවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙත්සම්කාරියගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා නොමැති නිසා එම චෝදනාවට පිළිතුරු දීමට වගඋත්තරකරුවන්ට සාධාරණ අවස්ථාවක් ලැබී නොමැති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් වැලකී සිටින බව අධිකරණය ප්‍රකාශ කරයි.

ඒ අනුව පෙත්සම්කාර බිරිඳ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීළඟට සලකා බැලුවේ එම අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලද යන්නයි.  ‘මෙය සැකකරුවෙකුට භාර වීමට පොළඹවා ගැනීම සඳහා ඥාතියෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකි. ඛේදජනක ලෙස, එවැනි අවස්ථා අසාමාන්‍ය නොවේ.‘ යනුවෙන් අධිකරණය තම තීන්දුවේ සඳහන් කළේය.

ලක්ෂ්මන් ද සිල්වා එදිරිව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති නම් 09/2011 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේදී එච් එන් ජේ පෙරේරා විනිසුරුවරයා 2017 මාර්තු තුන කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් විනිසුරු තුරෙයිරාජා මහතා සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියද එම විනිසුරුවරයා ප්‍රකාශ ආකාරයේ පැහැර ගැනීමක් බවයි. ‘

ඥාතීන් අත්අඩංගුවට ගැනීම පිළිකුල් සහගතයි

‘සැකකරුවන්ට යම් ආකාරයකට ක්‍රියා කරන ලෙස බලකිරීම සඳහා ඥාතීන් අත්අඩංගුවට ගැනීමේ මෙම පිළිකුල් සහගත ක්‍රියාව නීතියේ පාලනය ආරක්ෂා කිරීම සඳහා හෙළා දැකිය යුතුය. පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙනයෑමේදී, පොලිස් නිලධාරීන්ට සාමාන්‍ය මැරයන් මෙන් ක්‍රියා කිරීමටත්, සැකකරුවන්ගේ ඥාතීන් භීතියට පත්කිරීමටත්, නීත්‍යානුකූල බලයක් නැත. නීතියට පමණක් නොව යහපත් බුද්ධියට සහ සදාචාරයට ද පිළිකුලක් වන මෙවැනි ක්‍රියා ඇත්ත වශයෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදයට සමානය. එවැනි පිළිකුල් සහගත පිළිවෙත්වලට තැනක් නැති අතර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ එවැනි ක්‍රියාවන් කිසිසේත්ම ඉවසිය යුතු නැත. මෙය ඉතා කුඩාම වැරදිවල සිට ඉතාමත් කුරිරු සහ ම්ලේච්ඡත්වය දක්වා මුළුමනින් ම අදාළ වේ.  නීතියෙන් පිළිගත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් ඔවුන්ගේ පෞද්ගලික අභිමානයේ අත්‍යවශ්‍ය කොටසක් වේ. ‘ යනුවෙන් තීන්දුවේ සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම පෙත්සම්කාර කාන්තාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.1 ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා ඇත්තේ මෙම පෙත්සම්කාරිය නීති විරෝධී රඳවා තබා ගැනීමකට ලක් කර ඇත්ද යන්නයි. එහිදී අධිකරණය සඳහන් කරන්නේ නීතියේ සඳහන් පැය 24ක කාලය යනු නීත්‍යනුකූල රැඳවුම් නියෝගයක් නැතිව රඳවා තබා ගතහැකි උපරිම කාලසීමාව බවයි. ඇතැම් අවස්ථාවලදී අත්අඩංගුවේ සිට පැය 24කට වඩා අඩු කාලයක් වුවද එය සාධාරණ කාලයකට වඩා වැඩි කාලයක් නම් එම රඳවා තබා ගැනීම නීත්‍යනුකූල නොවන බව අධිකරණය සඳහන් කරයි.  එහෙත් මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් නොකර පැය 24ට අඩු කාලයක් රඳවා තබා ගැනීම 13(2) වගන්තිය උල්ලංඝණය කිරීමක් බවට පත්වන්නේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් බව ද අධිකරණය අවධාරණය කරයි.

සැකකරුවකු සම්බන්ධයෙන් කරන විමර්ශනයකට ඊට කිසිසේත්ම අදාලත්වයක් නැති ඔවුන්ගේ ඥාතියකු අත්අඩංගුවට ගැනීම නියත වශයෙන්ම සුවිශේෂී අවස්ථාවක් බවත්, මෙම සිද්ධියේදී පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන ඇගේ දරුවා සහ ඇගේ මව සමග කිලෝමීටර සියයට වඩා වැඩි දුරක් රැගෙන ගොස් මහ රෑ කෑම, බීම හෝ වැසිකිලි පහසුම් නැතිව වාහනයක් තුල රඳවා තබා ගෙන ඇති බවත්, එවැනි තත්ත්වයක් අපහසුවෙන් හෝ විඳදරා ගැනීමට වැඩිහිටියන්ට හැකියාවක් තිබිය හැකි නමුත් මනස වර්ධන අවස්ථාවේ සිටින ළදරුවකු මෙවැනි වේදනාවන්ට ගොදුරු කිරීම අමානුෂික බවත්, පොලිස් අත්අඩංගුවේ තබා පාසලේ දිගු කාලයක් පවා තබා ගැනීමට කුඩා දරුවන්ට බල නොකළ යුතු බවත්, එවැනි කම්පනයක් දරුවාගේ මානසික යහපැවැත්වම දීර්ඝකාලීනව බලපෑම් ඇති කළ හැකි බවත් අධිකරණය සඳහන් කරයි.

කෙසේ වෙතත් දරුවාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර නැති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නොහැකි බව අවධාරණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර බිරිඳ රඳවා තබා ගත්තේ පැය 24ට අඩු කාලයක් වුවද එය අනවශ්‍ය දීර්ඝ කාලයක් බවත්, එබැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.2 මගින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලා තිබුණේ 14.1.ඌ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ශ්‍රී ලංකාව තුළ යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස උල්ලංඝනය කර තිබේද යන්නයි.

මෙය කලාතුරකින් අර්ථ දක්වා ඇති අයිතිවාසිකමක් බවත්, ගමන් කිරීම නීත්‍යනුකූල නොවන ලෙස අවහිර කිරීමෙන් මෙන්ම බලහත්කාරයෙන් ගමන් කරවීමකදී ද යන අවස්ථා දෙකෙහදීම මෙම නිදහස උල්ලංඝනය විය හැකි බවත්, ජාතික ආර්ථිකයේ අවශ්‍යතා මත, ජාතික ආරක්ෂාව වෙනුවෙන්, සහජන සාමය සහ  මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීමට 15 වැනි ව්‍යවස්ථාව අනුව සීමා කිරීම් කළ හැකි නමුත් එය කළ හැක්කේ නීතිය මගින් නියම කළ හැකි පරිදි පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි.

මාර්ගයක් අසල සිටගෙන සිටින පුද්ගලයකු නීත්‍යනුකූල හේතුවක් ඇතිව සහ සාධාරණ හේතුවක් ඇතිව මිස ඉවත් වීමට බල කළ නොහැකි බවත්, එවැනි හේතු උසාවියේදී සාධාරණීකරණය කළ හැකි හේතු විය හැකි බවත්, මෙම සිද්ධියට අදාලව වගඋත්තරකරුවන් ඉදිරිපත් කරන හාස්‍යජනක සාධාරනීකරණය කිරීම් අධිකරණයට පිළිගත නොහැකි බවත්, ඒ අනුව පෙත්සම්කාරියගේ 14.1.ඌ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකම් ද උල්ලංඝණය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම සිද්ධියට අදාලව (නිවසට යෑමට සහ කාන්තාව රැගෙන ඒමට) තමා මැදිහත් වූ බව 14 වැනි වගඋත්තරකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද පිළිගෙන ඇති බවත්, ඔහු කටයුතු කර ඇත්තේ 13 වැනි වගඋත්තරකාර නෙවිල් සිල්වා පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව බවට වගඋත්තරකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශවලින් තහවුරු වන බවත් තීන්දුවේ සදහන් වේ.

තමන් යටතේ සිටින නිලධාරීන් නීතියට අනුව කටයුතු කරන්නේදැයි අධීක්ෂණය කිරීමට උසස් නිලධාරීන්ට යුතුකමක් ඇති බවත්, තම අධීක්ෂණයට යටත්වන නිලධාරීන්ගේ හැසිරීම සියුම් ලෙස නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ යුතුකමක් බවත්, යටත් නිලධාරීන් මූලික අයිතිවාසිකම් කඩ කරද්දී ඔවුන් වගවීමකට ලක් නොකරන උසස් නිලධාරීන් ද එම මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වගකිව යුතු බවත්, වගවීමකට යටත් නොකිරීම මගින් දණ්ඩ මුක්තියේ පරිසරයක් ඇති කරන බවත්, එවැනි නිලධාරීන්ට විනය පියවර නොගැනීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම උල්ලංඝණය කිරීමක් පවා විය හැකි බවත් අධිකරණය සඳහන් කරයි.

ඒ අනුව 13 වැනි වගඋත්තරකාර නෙවිල් සිල්වා ද මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ජාතික පොලිස් කොමිෂන් සභාවට  එරෙහිව කරුණු ඉදිරිපත් නොකරන බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා සදහන් කළ බවත්, එසේ වුවද  පොලිස් බළකායේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාතික පොලිස් කොමිසමට උපදෙස් දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

දීර්ඝ ලෙස කරුණු විශ්ලේෂණය කළ ශ්‍රේස්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ මෙම නිලධාරීන් රාජ්‍ය සේවයට පවා නොගැලපෙන බවයි.

‘අත්අඩංගුවේ පසුවන අයගේ මූලික අවශ්‍යතා ගැන පවා ඔවුන් බොහෝ අසංවේදීව සිටින විට ඔවුන්ගේ තර්කවලට අපි අනුකම්පා කරන්නේ කෙසේද? පෙත්සම්කරුට වාහනය තුළදී දරුවාට මව්කිරි දීමට සිදුවීමෙන් අපට කියාපාන්නේ වගඋත්තරකරුවන් ඇයගේ ගරුත්වය සහ මානව විනීතභාවයේ මූලික කරුණු පවා නොසලකන බවයි.‘ යැයි ද අධිකරණය සඳහන් කරයි.

සියලු කරුණු සලකා බලා ඇති අධිකරණය පෙත්සම්කරුට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ලක්ෂ පහක මුදලක් තම පෞද්ගික මුදලින් වන්දි වශයෙන් ගෙවන ලෙස  මූලික අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ. එසේම මෙවැනි නිලධාරීන් කරන වැරදිවලට බදු ගෙවන ජනතාව වන්දි ගෙවිය යුතු නැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති අරමුදල්වලින් රුපියල් දස දහසක් ද රජය වෙනුවෙන් වන්දි ලෙස පෙත්සම්කාරියට ගෙවන ලෙසත් නියෝග කර ඇත.

එසේම මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ද අධිකරණය ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය.

­­­­­උපුටා ගැනීම https://thetime.lk/?p=9542  වෙතිනි.

Archive

Latest news

Related news