Tuesday, July 16, 2024

නඩුවෙන් නිදහස් වුවත් ඇත්ත මිනීමරුවා ඔහුයි ; මේ රතුපස්වල ගැන කතාව (ඡායාරූප සහිතයි)

(තරිඳු ජයවර්ධන – 2024 මැයි 18)

රතුපස්වල තීන්දුවෙන් පසු බොහෝ දෙනෙක් කතා කර ඒ ගැන විමසූහ. මිනීමරුවකු නිදොස්කොට නිදහස ලැබීම ගැන දුක්වූහ. නඩුවේදී කියවුණේ පැමිණිල්ල එනම් නීතිපතිවරයා තමාගේ කාර්ය වගකීමෙන් ඉටු කර නැති බවයි. මිනීමරුවාට එරෙහිව තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්නට පැමිණිල්ල එනම් නීතිපතිවරයා අපහොසත් වූ බව අධිකරණය ප්‍රකාශ කළේය. එසේ හෙයින් අවසානයේ මිනීමරුවා නිදොස් කොට නිදහස් විය. අවසානයේ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ සාමකාමී ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමටත්, පහරදීමටත්, තිදෙනකු ඝාතනය කිරීමටත් තවත් 50කට ආසන්න පිරිසක් තුවාල කිරීමටත් පියවර ගත් කෙනකු නැත.

රතුපස්වල අවසන් සටන 2013 ජූලි 27 ආරම්භ වූ දිනයේ සිට මේ වනතෙක් ගත වූ වසර 11ක කාලය තුළ මමත්, දීපා අධිකාරී මාධ්‍යවේදිනියත්, ගයාන් මධුසංඛ මාධ්‍යවේදියාත් අවස්ථා 200 ගණනකට වඩා අදාල ප්‍රදේශයේ කරක් ගසා තිබේ. තුවාල කරුවෝ, වින්දිතයෝ විශාල පිරිසක් සමග සාකච්ඡා කරනු ලැබූහ. ඇතැම් සිදුවීම්වල අපිද ඇසින් දුටු සාක්කිකරුවෝ වීමු. ඇතැම් සිදුවීම්වල අපි ඇසින් නුදුටුවද කනින් ඇසූ සාක්කිකරුවෝ වීමු.

අපරාධය සහ දඩුවම

මේ වසර 11 පුරාවට අපි ඇසින් දුටු, කනෙන් ඇසූ සත්‍යයක් තිබේ. අපරාධකරුවෝ නිදොස්කොට නිදහස් වුවද අපි ඇසූ, දුටු  සත්‍ය වෙනස් වෙන්නේ නැත. අපරාධකරුවෝ නිදහස්වූ පමණනින් අපේ සත්‍ය, අසත්‍යයක් බවට පත්වන්නේ නැත. රතුපස්වල යනු දැනටමත් ජයග්‍රාහී සටනකි. වතුර අපවිත්‍ර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකාවේ ධන කුවේරයන් අතර ඉදිරියෙන්ම සිටින, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සමග ළඟම කුලුපගකම් ඇති ධම්මික පෙරේරාට වැඩිම කොටස් හිමිව තිබූ ආයතනයක කර්මාන්ත ශාලාව ගලවාගෙන  යන්නට සිදු විය. වෙඩි කෑ තුවාලකරුවන්ට වන්දි ලැබිණි. තවත් බොහෝ දෑ සිදුවිය. වන්දි ලැබීම සහ අනිකුත් සියලුම දේවල් යුක්තියේ කොටස් වේ. නමුත් අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම යුක්තියේ ප්‍රධානම අංගයකි. රතුපස්වල සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් සහ වෙඩි තැබූ පිරිස ශ්‍රී ලංකා යුද හමුදාවේ වූ පමණින් ඔවුන්ට විනිරුමුක්තියක් එසේත් නැත්නම් දඩුවම්වලින් ගැලවීමක් ලැබීමට හැකියාවක් නැත.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිට අපි බල කර සිටිමු. එසේම අපිද අභියාචනයක් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සොයා බලමින් සිටිමු. එම අභියාචනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කරන්නේ නම් එයින් තහවුරු වන්නේ මෙම නඩුවේ පැමිණිල්ල වන නීතිපතිවරයාගේ වගකීම් විරහිත දුෂ්ඨ ක්‍රියාකලාපය ගැනයි. අපරාධකරුවන්ට බේරී යාමට හැකිවන පරිදි සාක්කි වසං කළ පොලිසියේ සහ නීතිපති දෙපාර්තතමේන්තු නිලධාරීන්ට එරෙහිව එසේ නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

රතුපස්වල වෙඩි තිබ්බේ, පහර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් ජනරාල් ධුරයට උසස් කරනු ලැබූ දේශප්‍රිය ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් සහ ඔහුගේ අනුදැනුමෙන් ඔහුත් සමගම පැමිණි නිලධාරීන් බවට වන සත්‍ය කිසිදා වෙනස් කළ නොහැකිය. රතුපස්වල දී වෙඩි තැබුවේ, පහර දුන්නේ, පල්ලියට පැන පහර දුන්නේ යුද හමුදාව බවට වන සත්‍ය ද කිසිදා වෙනස් කළ නොහැකිය.

දැක්කේ නෑ, මතක නෑ, අඳුරන්නෑ‘

මෙහිලා තවත් යමක් සඳහන් කළ යුතුය. ඒ පහරකෑ සහ සිද්ධියේ බොහෝ දෑ ඇසින් දුටු ජනමාධ්‍යවේදීන් දෙදෙනකු අධිකරණය ඉදිරියේ ලබා දුන් සාක්කියයි. ‘දැක්කේ නෑ, මතක නෑ, අඳුරන්නෑ‘ යැයි කියමින් සත්‍ය යටපත් කිරීම කිසිසේත්ම මාධ්‍යවේදියකුගේ තබා සාමාන්‍ය පුරවැසියකුගේවත් යුතුකම හෝ භූමිකාව නොවේ. වර්තමානය අතීතය ලෙස සනිටුහන් කරන ජනමාධ්‍යවේදීන් ඒ වර්තමානයේ සිට අනාගතයට යද්දී එදා වර්තමානය විකෘත්ති කර අතීතයට යැවීමතුලින් නැති කරන්නේ වින්දිතයන්ගේ යුක්තිය පමණක් නොව සහෝදර ජනමාධ්‍යවේදීන්ගේ අනාගතයයි. ඊට හේතුව අද යුක්තිය ඉටු නොවන තැනකදී අනාගතයේ මෙවැනිම සිදුවීම් යළි සිදුවීමට ඇති ඉඩ වැඩි හෙයිනි. රාජපක්ෂලාගේ ධනයට බලයට යටවී සාමකාමී නිරායුධ ප්‍රදේශවාසීන් පිට වරද පැටවීමට උත්සා ගනිමින් පත්තර පිටු පිරවූ ඇතැම් ජනමාධ්‍යවේදීහු අද පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස සමාජ මාධ්‍ය වීරයන් සේ පෙනී සිටිති.

රතුපස්වල ‘ඇත්ත‘ කතාව මුල සිට කෙටියෙන් මෙසේය.

ඒ 2013 වසරයි. උතුරේ සිවිල් යුද්ධය අවසන්වී වසර 05ක් පමණ ගතවී තිබිණි. එපමණක් නොව යුද්ධය කාලයේදී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු කතා බහක් ඇතිවී තිබුණු සමයකි. 2013 වසරේ ජූලි 27 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වලට සහ නැදුන්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව බැලුම්මහර-වැලිවේරිය පාරේ රතුපස්වල මංසන්ධියට පැමිණියේ වසර 15කටත් වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් ගණනාවකට ඉදිරිපත් කළ තම ගැටලුවට විසඳුමක් නොලැබුණු හෙයිනි.

නැදුන්ගමුව ග්‍රමායේ 1994 වසරේ ඉදි කළ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපජලය නිසා භූගත ජලය අපවිත්‍රවී ඇති බවත්, ඒ අනුව තමන්ගේ ළිංවල ජලය පානය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ අඳෝනාව විය. මෙම කර්මාන්ත ශාලාවේ අප ජලය පිරිපහදු පද්ධතියක් සකස් කරන තෙක් වැඩකටයුතු ආරම්භ නොකරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික බලපත්‍රය ලබා දෙද්දී පැනවූ කොන්දේසිය කඩ කර ඇති බව සහ කම්හල පිටකරන අප ජලයේ ගුණාත්මක බව නියමිත ප්‍රමිතියේ නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රබර් පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන 1996-2000 වසර හතර ඇතුළතදී ලබා දී ඇති වාර්තා අනුව රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වසර 15ක් පුරා මෙම ගැටලුව ඇදී ගොස් තිබිණි. ඒ වෙනුවට කළේ කම්හල අයත් සමාගමේ වැඩිම කොටස් අයිතියක් හිමි ධම්මික පෙරේරා කම්හල ගැන තීන්දු තීරණ ගන්නා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ඉහළම පුටුවටත් ඉන් පසුව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු පත් කළ යුතු ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් තනතුරටත් පත් කරනු ලැබිණි.

ජූලි 27 වැනිදා පාරට බට ජනතාව හමුවීමට එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පමණක් දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පැමිණි අතර ඔහු එවකට පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මෙම කම්හල වසා දමන ලෙස පොලිසියට උපදෙස් දුන් බවට දැනුම්දී පිටව ගියේය. කෙසේ වෙතත් කම්හල සවස්වරුවේත් ක්‍රියාත්මක වීම මත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කරන්නට වූහ. එවකට ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන ජයසිරි කොඩිතුවක්කු පැමිණ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසු දින අදාල බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දෙන බවට දැනුම් දී පිරිසට විසිර යන ලෙස ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම පිළීගනිමින් පිරිස විසිර ගියහ.

බලධාරීන් සමග සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන් පසුදින එනම් ජූලි 28 වැනිදා 3000කට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් රතුපස්වලට පිට්ටනියට පැමිණි අතර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න ඇතුළු උසස් පොලිස් නිලධාරීහු පිරිසක් ද එහි පැමිණියහ. කර්මාන්ත ශාලාවේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබිණි. ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කිරීමට දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් මැලිකමක් දක්වන බවට පොලිසිය කළ දැනුම්දීම මත විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කිරීමට ප්‍රදේශවාසීහු තීරණය කළහ. එසේම විසඳුම් ලැබෙන තෙක් මාරාන්තික උපවාසයක් අරඹන බව ප්‍රදේශයේ හිමිනමක වන තෙරිපැහැ සිරිධම්ම හිමියෝද ප්‍රකාශ කළහ.

ඒ අනුව ප්‍රදේශවාසීහු රතුපස්වල පිට්ටනියේත් නැදුන්මගමුවේ අදාල කම්හල ඉදිරිපිටත් උයාගෙන කමින් එක දිගට විරෝධතා කළහ. කම්හලට එක වැලි කැටයකින් හෝ පහර දෙමින්වත් අලාබ හානියක් නොකළ ප්‍රදේශවාසීහු තම විරෝධතාවය සාමකාමීව කරගෙන ගියහ. 29 වැනිදාත්, 30 වැනිදාත්, 31 වැනිදාත් සමකාමී උද්ඝෝෂණය කරගෙන ගියහ. ජූලි 31 වැනිදා වන කර්මාන්ත ශාලාවට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ප්‍රමුඛ හමුදා කණ්ඩායමක්ද පැමිණියේය.

සාමකාමී උද්ඝෝෂණය

සාමකාමී විරෝධතාවයේ පස්වැනි දිනය වූ අගෝස්තු පළමු වැනිදා නැනුද්ගමුව සහ රතුපස්වල විරෝධතාවයට සහයෝගය පල කරමින් වැලිවේරිය නගරයේ කළු කොඩි දමා ප්‍රදේශවාසීහු 1000ක් පමණ උදෑසනම විරෝධතා ආරම්භ කළ අතර බැලුම්මහර මිරිස්වත්ත ඇතුළු ස්ථානවලට ද අවට ප්‍රදේශවාසීහු එක්වෙමින් විරෝධතා කරන්නට වූහ. මධ්‍යහන්න වන විට වැලිවේරිය නගර මධ්‍යයට ප්‍රදේශවාසීහු 5000ක් පමණ එක්ව සිටියහ. ඔවුහු පොලිසිය සමග කිසිම ගැටලුවක් නැතිව සාමකාමීව තම විරෝධතාවය කරගෙන ගියහ. පොලිසිය ද ඔවුන්ට බාධා නොකර විරෝධතාවය කරගෙන යෑමට ඉඩහැරිය. පාසල් වෑන් රථවලට, ගිලන් රථවලට යෑමට මාර්ගගයේ ඉඩකඩ ලබා දුන්නේ උද්ඝෝෂකයන් ස්වේච්ඡාවෙන්මය. ඒ සඳහා පොලිසියේ මැදිහත්වීමක් අවශ්‍ය නොවීය.

රතුපස්වල විරෝධතාවය අවට වෙනත් ප්‍රදේශවලටත් විහිදෙද්දී මේ ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සූදානම් බවට පණිවිඩයක් ලැබුණු අතර එදින සවස ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කරන සාකච්ඡාවකට ගමේ නියෝජිතයන් පිරිසක් රැගෙන යෑම සඳහා බස් රථයක්ද පැමිණ තිබිණි. සවස තුනට තුනනයි තිහට පමණ ගමේ නියෝජිත පිරිසක් එම සාකච්ඡාව සඳහා බස් රථයේ නැගී පිටව ගියහ.

වේලාව පස්වරු හතරට පමණ ඇත.  නිසි විසඳුමක් නොලැබෙද්දී විරෝධතාවය කොළඹ මහනුවර මාර්ගයේ බැලූම්මහර, මිරිස්වත්ත, සහ  ගම්පහ අලූත්පාරට හැරෙන හංදියටද ව්‍යාප්ත වෙමින් තිබිණි. තවත් පැය බාගයක් පමණ ගත වෙද්දී බැලුම්මහර හංදිය දෙසට යතුරුපැදි හා වාහනවලින් එමින් සිටියේ යුද හමුදා භට කණ්ඩායමකි. භට ඛණ්ඩය සමග පැමිණි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ බැලුම්මහර හංදියෙන් ඉවත් වන ලෙසයි. ඉවත් නොවුනහොත් තල්ලූ කරන්නට සිදුවන බව  ඔහු කීවේය.

’අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.‘

ගම්වැසියන්ගේ අයදිද්දී සිදුවුණේ කිසිවකු අපේක්ෂා නොකළ ප්‍රතිචාර දැක්වීමකි. ගිනි අවි උර දරා සිටි හමුදා සෙබළු පොළු මුගුරු අත දරා හතර වටේට ගුටි පූජාවක් ආරම්භ කළේ ගම්වැසි යාදින්න විලාපයක් බවට පත් කරමිනි.  ඔවුන්ගේ ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන්ට ද ගැලවීමක් නොවීය.  එතැන සිටි අජිත් මදුරප්පෙරුම සහ ගයාන් මධුසංඛ යන මාධ්‍යවේදීන් දෙදෙනා දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. චානුක කුලසේකරට තුවාල සිදුවිය. දුමින්ද සිල්වාට මෙන් ඔහුට ද ‘අමතකවීමේ‘ රෝගය වැළඳ ඇති බව පසුව දැනීමට ලැබිණි.

බැලුම්මහර යුද පිටියක් වෙද්දී ලියුම්කරු (මම) යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩීය රුවන් වනිගසූරියට ඇමැතුමක් ගත්තේ ඇතිව තිබෙන අවාසනාවන්ත තත්ත්වය ඔහුට දැනුම් දීමටය. එහෙත් ඔහුගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි. ඔහු පැවසුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේදී මේ ගැටළුව ගැන ඒ වන විටත් රැස්වීමක් පැවැත්වෙන බවයි.  එලෙස තිබියදී නුවර පාර හරස් කරමින් විරෝධය පෑම නීති විරෝධී බවත්, ඔවුන් ඉවත් කිරීමට පහර දෙන බවත්, මාධ්‍යවේදීන්ට ගුටි කෑමට සිදුවූයේ නම් ඊට කළ හැකි දෙයක් නැති බවත් ඔහු කීවේය. දේශප්‍රිය ගුණවර්ධන ආවේ ගෝඨා සමග පැවැති රැස්වීමේ තීන්දුව දැනුම්දීමට බවට පසුව ප්‍රකාශ කිරීම තඩි බොරුවකි.

බැලූම්මහර සිටි පිරිසට පහර දී එළවා දැමූ යුද හමුදාව වැලිවේරියට ගියේය. ලියුම්කරුට (මට) වැටහුණේ ඊළඟ නිමේෂයේ දී ඇතිවන්නට යන බිහිසුණු තත්ත්වය ගැන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට නැවත නැවතත් දුරකතන ඇමැතුම් මගින් හෝ දැනුම්වත් කිරීම ඒ මොහොතේ කළ හැකි එකම කාර්ය ලෙසයි. ඒහෙත් ප්‍රතිචාරය පෙර පරිදිම විය. මෙය සැලසුම්සහගත ප්‍රහාරයක් බව කීමට මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රතිචාරය හොඳමටම ප්‍රමාණවත්වය.

ඒ වන විට වැලිවේරිය නගර මධ්‍යයේ ප්‍රධාන පාර හරහා ලණුවක් ඇද පොලිසියේත් තමන්ගේත් සීමා මායිම් ලකුණු කර ගන්නට උද්ඝෝෂකයෝ ස්වේච්ඡාවෙන්ම කටයුතු කළහ. පාසල් වෑන් රථවලටත්, ගිලන් රථවලටත් ගමනාගමනයට ඉඩ පහසුකම් සලසා තිබිණි. මේ වෙද්දී බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන පෙරටුකරගත් හමුදා භට කණ්ඩායම් වැලිවේරිය නගරයට අවතීර්ණ වෙමින් සිටි අතර මාර්ගය දෙපස ගස්වලින් පොලු කඩාගන්නට විය. නීත්‍යනුකූලව රාජකාරි කරන ආරක්ෂක අංශ මාර්ගය දෙපස ඇති ගස්වලින් පොලු කඩා ගැනීම යනු එම හමුදා කණ්ඩායමද නීති විරෝධී රැස්වීමක් බවට පත්ව තිබෙන බව නීතිඥවරුන්ගේ අදහසයි. එම නීති විරෝධී රැස්වීමේ ප්‍රධානියා වූයේ අරුණ දේශප්‍රිය ගුණවර්ධනයි.

වැලිවේරියට ගිය  දේශප්‍රිය ගුණවර්ධන මුලින්ම පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි සමග කතා කළේය. ඉන් අනතුරුව මෙගා ෆෝනයෙන් විරෝධතාකරුවන් ඇමතූ හේ වහාම පාරෙන් ඉවත් වන්නැයි දැන්වීය. ඊට පෙර ජනමාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කෙරිණි. ජනමාධ්‍යවේදීන්ගේ කැමරා හමුදාවෙන් පැහැර ගැණිනි. ජනමාධ්‍යවේදීන්ට දිවි ගලවා ගැනීමට වහලවල් උඩනැගීමටත්, නිවාසවල සැඟවීමටත්, කුකුළුකොටුවලට පැන සැඟවීමටත් සිදුවිය. ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදීනි දීපා අධිකාරි පෙන්වමින් ‘අර පට්ට බැල්ලිව ගෙනෙං‘ යැයි හමුදාවේ අණ දෙන්නා පැවසූ බව සිද්ධිය දුටු ප්‍රදේශවාසියෙක් මානව හිමිකම් කොමිසමේදී ප්‍රකාශ කළේය.

’අපට පාරෙන් අයින් වෙන්න විනාඩි 10ක් දෙන්න සර්.‘  යැයි ගම්වැසියකු මෙන්ම විශ්‍රාමික හමුදා සෙබළකු වූ ජූඩ් පෙරේරා ඉල්ලා සිටියේය. ඔහු එලෙස ඉල්ලද්දී වතුර ප්‍රශ්නයෙන් බැට කමින් සිටි ගම්වාසීහු තම දුක කියන්නට පටන් ගත්හ.

පයර් කී බ්‍රිගේඩියර්

ඒ සමගම බ්‍රිගේඩියර්වරයාට දුරකතන ඇමතුමක් ලැබුණු අතර ඉන් පසු උද්ඝෝෂණය විසිරුවා හැරීමට නියෝග කෙරෙිණි. බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ‘ෆයර්‘ කියනවා ඇසුණු බව මෙම සිදුවීම ගැන ගම්පහ මහේස්ත්‍රාත්ව සිටි (දැන් මහාධිකරණ විනිසුරු) ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයේදී නැදුන්ගමුවේ කිංස්ලි පෙරේරා 2013 අගෝස්තු 29 වැනිදා සාක්කි දෙමින් පැවසීය. එසේම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ 2022 ජනවාරි මාසයේ දී සාක්කි දුන් යාපා අප්පුහාමිලාගේ රොමේෂ් සංජීවද බ්‍රිගේඩියර් ‘ෆයර්‘ කියනු ඇසුණු බව සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

 කිසිදා උතුරේ යුද පිටිය නුදුටු, අවසන් යුද්ධයේදී මුල්ලිවයික්කාල් යුද මුක්ත කලාපයේ කොටුවී සිටි අහිංසක දෙමළ සිවිල් පුරවැසියන්ට අත්වූ ඉරණම නුදුටු දකුණේ ජනයාට මේ අමුතු අත්දැකීමට මුහුණ දෙන්නේ කෙසේදැයි අදහසක් නොවිණි. යුද හමුදාව ඉවක් බවක් නොමැතිව පොළු මුගුරෙන්, තුවක්කුවෙන් පහර පිට පහර එල්ල කරද්දී හිස හැරුණු අතේ දිවීම හැරුණු කොට ප්‍රදේශවාසීන්ට වෙන විකල්පයක් නොවීය. රතිඤ්ඤා හඩින් වෙඩි පත්තු වෙද්දී වැලිවේරිය එකම ලතෝනියක් විය. අඳුර වැටෙද්දී ලයිට්වලට වෙඩි තබා ප්‍රදේශය අඳුරු කළ හමුදාව නිරායුධ සිවිල් වැසියන්ට අතුරු පාරවල්වල් ඔස්සේ පන්න පන්නා වෙඩි තබමින් ඉදිරියට ඇදුණේ ත්‍රස්ත ග්‍රහණයට ලක් වූ නගරයක් මුදා ගන්නට මෙනි. එම ස්ථානයේ දේශප්‍රිය ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිටි හමුදා සාමාජිකයන්ගේ ම්ල්ච්ඡත්වය එදින රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවලට ද පෙන්වීය.

එම ම්ලේච්ඡත්වය ලංකාදීප වෙබ් අඩවියේ මොහොතෙන් මොහොත වාර්තා කරද්දී ජනාධිපති කාර්යාලයෙන් කතා කර එය නතර කරන ලෙස ඉල්ලා සිටි බව ලංකාදීප වෙබ් කර්තෘව සිටි ඩබ්ලිව් ජී ගුණරත්න මහතා කීවේය. ‘උන්ට වෙඩි තියන්න හොඳයි, අපි ඒක දාන එකයි වැරදි. අහිංසක මිනිස්සුන්ට මුං කරන හැම දෙයක්ම අපි දාමු. උං කියන විදිහට අපි නතර කරන්න ඕන නෑ. අපි උංගේ වර්ෂන් එකත් අරගෙන දාමු බැලන්ස් වෙන්න.‘ ගුණරත්න මහතා කීවේය.

බැතිමත්හු ද වෙඩි කෑවෝය

වැලිවේරිය නරයේ කිතුණු දේවස්ථානයට ද හමුදා උණ්ඩයෙන් ගැලවීමක් නොවීය. පල්ලියේ සිටි බැතිමත්හු ද වෙඩි කෑවෝය. බියගම රස්සාව කර නවාතැනට එමින් සිටියදී හමුදා ප්‍රහාරය නිසා යෑමට නොහැකිව පල්ලියට කොටු වූ නිලන්ත පුෂ්පකුමාර හමුදා සාමාජිකයන් විසින් පහර දී මරා දැමුවේ පල්ලියේදීය. දරුවන්, ාකන්තාවන් ඇතුළු පිරිසකට හමුදා සාමාජිකයෝ පොලිම්කර පහර දුන්හ. නගරයේ තිබූ ටෙලිකොම් ආයතනයට කඩා වැදී පහර දුන්හ. මහාධිකරණයේදී සාක්කි දුන් ප්‍රදේශවාසියකු පැවසුවේ හමුදාව පල්ලියේ සිටි පියතුමන්ලා දෙදෙනකුට ද පහර දුන් බවයි.  හමුදා ප්‍රහාරය හා ඈඳුණු බොහෝ කතා වල ඇත්තේ තිරස්චීන භාවයක් පමණි. එකිනෙකට වෙනස් සිදුවීම් හැරුණු විට ඒ සියල්ලක් තුළම අන්තර් ගත වූයේ රාජ්‍ය මර්දනයේ රුදුරු භාවයම පමණි. උතුරු යුද්ධයේ තරම නුදුටු දකුණට එහි බිහිසුණුකම සහ නිරායුධ සිවිල් පුද්ගලයන්ට අත්වූ ඉරණම ගැන සිතා බැලීමට යම් කඩක් විවර කිරීමට රතුපස්වල හොඳම උදාහරණ සැපයීය.  මහජන විරෝධතාවක් විසිරුවාලීමේ අලුත්ම පාඩම කියා දෙන්නට මෙන් ඒ බිහිසුණු විනාෂය අවසානය සනිටුහන් කරන්නට මෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල විය.

රාත්‍රී 10 පමණ වන තුරු ගැටුම පැවැතිණි. ඉන් පසු ආරම්භ වූයේ පොලිසියේ භූමිකාවයි. පොලිස් සොකෝ නිලධාරීහු පැමිණ පරීක්ෂණ ඇරැඹූහ. එදින මුළු රැයම වැලිවේරිය පැවැතියේ යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේය. පසු දිනට පහන් වන්නට පෙර හමුදාවෝ කඩිමුඩියේම හැම තැනම විසිර තිබූ උණ්ඩ එකතු කර ඉවත් කළහ. පිරිසක් පාරේ තිබූ ලේ සොදා හැරියහ. රාත්‍රී එක පමණ වට විට වැලිවේරිය පොලිසිය ඉදිරිපිට හමුදා සෙබළු සිය ගණනක් වැතිර සිටියේ මත්වූවන් මෙනි. එම අවස්ථාවේ ලියුම්කරු (මම) පොලිසියට යන විට එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු සිවිල් ඇදුමෙන් පොලිසියේ සිට පිටතට පැමිණ පිටව ගියහ. හමුදාවේ පරීක්ෂාවෙන් බේරීම සඳහා අපේ වාහනය ද ඔහුගේ වාහනය පිටුපස තබාගෙන පිටව ගියෙමු.

අගෝස්තු දෙවැනි දිනට වැලිවේරියට හිරු උදාවුණේ මුළු රැයක් පුරා ගලා ගිය රුධිරය සේදී පොළොව මත පතිත පතුරොම් කොපු අතුරුදන්වීමෙනි.

පල්ලියේ සිටිය දී පොලිසියට ගෙන ගොස් නිර්වස්ත්‍රකර පහර දුන් පුද්ගලයකු ද ඇතුළුව පිරිසක් උදෑසන වන තුරු පොලිසියේ රඳවාගෙන සිටියහ. පල්ලිය පුරා තිබුණු ලේ සලකුණු ද බොහෝමයක් උදේ වනවිට  නොතිබිණි.  වතුර ගසා ලේ සලකුණු රැසක් සෝදා හැර තිබිණි. මකාලිය නොහැකි ලේ පැල්ලම් කිහිපයක් හැරුණු කොට ශේෂව තිබුණේ බිත්තිවල වෙඩි සලකුණු පමණි.

නැතිවුන පතුරම්

යුද හමුදාව වැලිවේරියට ආවේ රතුපස්වල කම්හලේ වැඩ නවත්වන බවට ගෝඨාභය රාජපක්ෂගේ තීරණය දැනුම් දීමට බව යුද හමුදාව හා රජය එකල කීවේය. යුද හමුදාව වැලිවේරියට ඒම සඳහා ඊට පෙර බැලූම්මහර හංදියට එද්දී ගෝඨාභය සමග පැවැත්වෙන රැස්වීමට ගම්මුන් පිටවී ගොස් වැඩි වේලාවක් නොවීය. ඒ වන විට ගෝඨාභය රාජපක්ෂගේ සාකච්ඡාව ආරම්භ වී නොතිබිණි.

වැලිවේරියට එල්ල වූ යුද හමුදා ප්‍රහාරයෙන් අහිංසක ජීවිත තුනක් රටට අහිමි විය. ඉතාම ඛේද ජනක කාරණය වන්නේ ඉන් දෙදෙනෙකුම උසස් පෙළ සිහිනය අභිමුවෙහි අධ්‍යාපනය නිරත පාසල් දරුවන් වීමයි.  මේ නිසා කිසිදු බේදයකින් තොරව මුළු මහත් ජාතියක්ම හඩා වැටෙන තත්ත්වයක් නිර්මාණය විය. 17 හැවිරිදි කේ ඒ ඩී අකිල දිනේෂ් ඝාතනයට ලක් වූ එක් දරුවෙකි. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච් පී ඒ හේවගේ මහතා සඳහන් කර ඇත්තේ මරණයට හේතුව ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයකින් පපු ප්‍රදේශයට හා උදරයට සිදුවූ හානි බවයි. එච් එස් රවිෂාන් පෙරේරා ද පාසල් සිසුවෙකි. ඔහු 2013 අගෝස්තුවේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා නිගමනය කර ඇත්තේ රයිෆල් ගනයේ ගිනි අවියකින් දුර සිට සිදු කළ වෙඩි තැබීමක් නිසා මරණය සිදුවී ඇති බවයි. 29 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාරගේ පෂ්චාත් මරණ පරීක්ෂණය 2013 අගෝස්තු පස් වැනි දා පස්වරු 1.30ට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා සිදු කර ඇත. වෛද්‍ය නිගමනය අනුව නිලන්තගේ මරණය සිදු වී තිබුණේ මොට අයුධයකින් හිසට පහරදීමෙන්ය. නිලන්ත පුෂ්පකුමාර ගම්පොළ තරුණයෙකි.    රාත්‍රී වැඩ මුරය සඳහා රැකියාවට යන අතරතුරේදී වැලිවේරිය දේවස්ථාන භූමියේදී පහර කෑමට නිලන්ත මිය ගියේ දින තුනක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.

දීපා අධිකාරී, චානුක කුලසේකර, අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, උපාලි රණවීර, සුනිල් සිරිලංකා, බෙනට්, ප්‍රේමලාල් ඇතුළු මාධ්‍යවේදීහු රැසක් ප්‍රහාරයට කොටුවූහ. චානුකට සහ දීපා අධිකාරිය තුවාල සිදුවිය. සිද්ධිය ගැන දීර්ඝ ප්‍රකාශයක් මානව හිමිකම් කොමිසමට ලබා දුන් දීපා අධිකාරිට මහාධිකරණයේ සාක්කි දීම සඳහා කැඳවීමක් ලැබුණේ නැත.

රතුපස්වල සටන එයින් නිමාවූයේ නැත. ප්‍රශ්න සහගත කම්හල එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් තවත් මාස ගණනක් පුරා වරින් වර විරෝධතා කළහ. අවසානයේ කම්හල ප්‍රදේශයෙන් ඉවත් කරගෙන යෑමට සිදුවිය. ඉන් පසු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධාන එක්ව මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස පොලිස්පතිට පැමිණිලි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරැඹීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කළහ. විමර්ශනවලින් පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. විශේෂත්වය යුද හමුදාව විසින්ම කළ පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු කර තිබීමයි. එම වාර්තා ද සීඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළේය.

සියලු සාක්කි සලකා බැලූ නීතිපතිවරයාගේ ඉල්ලීමක් මත අගවිනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළ අතර එම විනිසුරු මඩුල්ල ඉදිරියේ වසර දෙකකට වැඩි කාලයක් පුරා නඩුව විභාග විය.

නීතිපති ගේ වැඩකිඩ

වෙනත් නඩුවලදී දැක නැති ලෙස මෙම නඩුවේදී වරින්වර නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු මෙහෙයවන්නා වෙනස් විය. අවස්ථා හය හතකදී මෙම නඩුවට අදාල කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ පිරිස් වෙනස් විය. අවසානයේ නඩුවේ සාක්කි මෙහෙයවූයේ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාය. නඩුවේ තීන්දුවෙන් චූදිතයෝ නිදොස් කොට නිදහස් කෙරිණි.

ජයග්‍රාහී අරගලයකි

කෙසේ වෙතත් රතුපස්වල යනු පරාජිත සටනක් නොවේ. එය ජයග්‍රාහී අරගලයකි. කම්හල ඉවත් කෙරිණි. විමර්ශන රහස් පොලිසියට පැවරිණි. සිව් දෙනකු අත්අඩංගුවට ගැණිනි. තුවාල ලැබූවන්ට වන්දි පිරිනැමිණි. ප්‍රදේශයට නල ජලය ලබාදීම සිදු විය. මේ සියල්ල සිදුවූයේ දීර්ඝ අරගලයක ප්‍රතිඵලයක් ලෙස වීම විශේෂත්වයකි. නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම ඊළඟ කටයුත්තයි. අරගලය අවසන් නැත.

medialk.com

Rathupaswala MediaLK
වැලිවේරියට එද්දී පාර දැපැත්තෙන් පොලු කඩා ගනිමින් මුහුණු රෙදිවලින් බැඳගන්නා හමුදාව
Rathupaswala MediaLK
හමුදාව වැලිවේරියට පැමිණෙමින්… රතු පාටින් රවුම් කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලිය.
Rathupaswala MediaLK
හමුදාව වැලිවේරියට එන විට සාමකාමීව විරෝධතාවයේ යෙදෙන ප්‍රදේශවාසීන්
Rathupaswala MediaLK
හමුදාව වැලිවේරියට එනවිට සාමකාමීව විරෝධතාවයේ යෙදෙන ප්‍රදේශවාසීන්
Rathupaswala MediaLK
සාමකාමී විරෝධතාකරුවන් අසලට පැමිණි යුනිකෝන් රථ දෙකක් සහ සාමකාමී විරෝධතාකරුවන් අමතන බ්‍රිගේඩියර් දේශප්‍රිය
Rathupaswala MediaLK
දින පහක් තිස්සේ කම්හල අසල උයාගෙන කමින් සාමකාමීව විරෝධයේ යෙදුණු ප්‍රදේශවාසීන්
Rathupaswala MediaLK
බැලුම්මහර මංසන්ධියේ විරෝධතාකරුවන්ට පහරදී එළවා දැමීමට පෙර
Rathupaswala MediaLK
බැලුම්මහර මංසන්දියේ සාමකාමී උද්ඝෝෂකයන් එළවා දැමීමට පොලු මුගුරු ඇතැතිව පැමිණි හමුදාව
Rathupaswala MediaLK
වැලිවේරිය දේවස්ථානයේ වෙඩි තැබීම ගැන ස්ථානීය පරීක්ෂණ
Rathupaswala MediaLK
බැලුම්මහර මංසන්ධියේ සාමකාමී විරෝධතාකරුවන් එලවා දමන හමුදාව
Rathupaswala MediaLK
හමුදාව වෙඩි තබනතුරු බලා සිට පසුව දේහයට ගෞරව කරන අනුර සේනානායක ඇතුළු පොලිසිය
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
තුවාලකරුවන් ගම්පහ රෝහලේදී
Rathupaswala MediaLK
ප්‍රහාරයෙන් පසු තුර්කි තානාපති කාර්යාලයේ සේවයට යැවූ දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඔහු ලංකාවට එද්දී තෙරිපැහැ හිමි ගුවන්තොටුපොළ අසල විරෝධතාවයේ
Rathupaswala MediaLK
පාසල් ළමයින් දෙදෙනකු ඝාතනය කිරීම සහ පාසල් ළමයින් රැසකට තුවාල සිදුකිරීම ගැන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසම් ස්ටාලින් ඇතුළු පිරිස මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දක්වා පිටව යමින්
19143349_1705701286125456_1270952174224191352_o
10(1)(1)
9(1)

 

Archive

Latest news

Related news