Saturday, May 18, 2024

ශානි අබේසේකරගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් නඩුව විභාග කිරීමට අවසර ලබා දුන්නේ විජිත් මලල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

2019 නොවැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දින හතරකට පසු තමා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාලු දිසාවෙහි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ස්ථාන මාරු කර ඇති බවට දුරකථන පණිවුඩයක් ලැබුණු බව පෙත්සම්කාර ශානි අබේසේකර සිය පෙත්සමින් ප්‍රකාශ කර තිබේ.

තමා දන්නා පරිදි ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරවරයෙකු ලෙස පත්කළ පළමු අවස්ථාව මෙය බව ශානි අබේසේකර සිය පෙත්සමින් පවසයි.

තමා ස්ථාන මාරු කිරීමට හේතුව තමන් නොදන්නා බවත් එම තත්ත්වය යටතේ තමාගේ එවැනි ස්ථාන මාරුව, හේතුවක් නොමැතිව කරන ලද ස්ථාන මාරුවක් ලෙස පවතින බවත් ශානි අබේසේකර සඳහන් කරයි.

එය වරදකි.

2020 ජනවාරි 7 දිනැති ලිපිය මගින් ජාතික පොලිස් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කරු පොලිස් මූලස්ථානයට මාරු කිරීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව පෙත්සම්කාර ශානි අබේසේකර පවසා තිබේ.

 ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් මිලියන 10 ක  වන්දියක් ශානි අබේසේකර ඉල්ලා සිටියි.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු පෙත්සම්කරු විසින් නම් කර ඇත.

ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

ශානි අබේසේකර මාරු කරන ලද්දේ තමන් විසින් බව ගෝඨාභය රාජපක්ෂ සිය ක්‍රමන්ත්‍රන පොතෙහි  නොකියා කියා සිට තිබේ. ඔහු කියා ඇත්තේ ශානි අබේසේකර මාරු කරන ලද්දේ පාස්කු ප්‍රහාර සම්බන්ධ සැකකරුවන්ගේ බී වාර්තා කලට වේලාවට ඉදිරිිපත් නොකල නිසා බවයි. ගෝඨාභය රජය  ඔයට පෙර කියා සිටියේ ශානි අබේසේකර මාරු කරන ලද්දේ රංජන් රාමනායක සමඟ පැවැත් වූ දුරකථන සංවාද නිසා බවයි.

ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීමෙන් නොනැවතී ඔහුට බොරු නඩුවක් පටලවා දිර්ඝ කාලයක් සිර ගත කිරීමට ද ගෝඨාභය රජය පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන්ද ශානි අබේසේකර මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

( ශ්‍රී ලංකා බ්‍රිෆ්)

 

Archive

Latest news

Related news