Thursday, May 2, 2024

බී ගත් ඥණසාර මැරයෝ අලුත්ගම පොලිසියේ 500ක් බලා සිටිය දී මුස්ලිම් ජනයාට පහර දුන් හැටි තෙවරප්පෙරුමගේ හඩින්!

තෙවරප්පෙරුම විශේෂ වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. ඔහු විශේෂ වන්නේ බොහෝ මන්ත්‍රීවරුන් වචනයක් යෝ නොකියන, නොකියපු ජාතිවාදී ප්‍රශ්න ගැන තෙවරප්පෙරුම කෙලින් කතා කළ හෙයිනි.

ඊට හොඳම උදාහරණය අලුත්ගම දර්ගා නගරයේ සිදුවීමයි. 2014 වසරේ ජුනි මාසයේ දී අලුත්ගම දර්ගගානගරය ආශ්‍රිතව වූ සිදුවීම තවමත් යුක්තිය නැති තවත් එක සිදුවීමක් වී හරමාය. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානත්වයෙන් අලුත්ගම නගරයේ පැවැති රැස්වීමකින් පසු ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවට අයත් නිවාස, කඩසාප්පු රැසක් ගිනිබත් කෙරිණි. හතර දෙනකු පමණ මරා දැමිණි. පොලිසිය සහ ආරක්ෂක අංශ බලා සිටියදී සිදුවූ එම සිදුවීම්වලින් විපතට පත්වූ මුස්ලිම් ජනතාව බේරා ගැනීමට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

පොලිසිය, ආරක්ෂක අංශ කළ යුත්ත නොකරන පසුබිමක එම කටයුත්ත කිරීමට සිදුවූයේ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාටය. ඔහු වින්දිතයන් කිහිප දෙනකු තම වාහනයේ දමාගෙන යමින් සිටියදී පොලිසිය සහ ආරක්ෂක අංශ බලා සිටියදී වාහනයට ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් වාහනයේ සිටි කිහිප දෙනකුට පමණක් නොව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාටද තුවාල සිදුවිය. එක් ඇසකට පවා හානි සිදුවී තිබියදී ප්‍රහාර මධ්‍යයයේ ඔහු තුවාලකරුවන් රෝහලට ගෙන ගොස් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ගත් උත්සාහය වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු තබා කිසිම පුද්ගලයකුවත් කරන්නට තියා හිතන්නටවත් උත්සාහ නොකරන දෙයකි.

තෙවරප්පෙරුම මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014 ජුනි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතා කළේය. ඔහු එදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය මෙසේය.

‘ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන් තත්ත්වය සොයා බැලීමට මහජන නියෝජිතයකු ලෙස මම ඉදිරිපත් වුණෙමි. එය මාගේ වගකීමක් ලෙස සැලකුවෙමි. එදින මෙම කලහකාරී තත්ත්වයට මැදි වී පාසල් දරුවන් තුන් දෙනකු නිවෙස්වලට එන්නට විධියක් නැතිව හොස්ටල් එකේ හිරවෙලා හිටියා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ දරුවන්ව ගෙන්වා දෙන්න කියලා ඒගොල්ලන්ගේ අම්මලා අදාල පොලිස් ස්ථානයට දැනුම් දුන්නා. වැලිපැන්න පොලිසියට දැනුම් දුන්නා. නමුත් ඒ අය මේ පිළිබඳව කිසිම උත්සාහයක් උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් ඒ දෙමාපියන් මට ඒ ගැන කිව්වට පස්සේ මහජන නියෝජිතයකු හැටියට මට බලාගෙන ඉන්න බැරි නිසා මම උදේ ගිහිල්ලා මේ පාසල් දරුවන් තුන් දෙනාව මගේ වාහනයට දාගෙන ආවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊට පස්සේ රැ වැලිපැන්න ප්‍රදේශයේ අබ්දුල්ලා කියලා මනුස්සයෙක්ව මේ කලහකාරී, නොසන්සුන්කාරී තත්ත්වයට බයේ හෘදබාධයක් හැදිලා මිය ගියා. මේ පුද්ගලයා මිය ගියේ වැලිපැන්න ප්‍රදේශයේදියි. ඔහුගේ අම්මලා හිටියේ අලුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය කියන ප්‍රදේශයේයි. මේගොල්ලන් ගෙනැත් දෙන්න කියා වැලිපැන්න පොලිසියට දැනුම් දීමක් කලා. වැලිපැන්න පොලිසියට දැනුම් දීමක් කලාම ඒ පොලිසියේ නිලධාරියකු ඒ අයට කියලා තිබෙන කතාව මට මෙතැන කියන්න බැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලුත්ගම පොසියටත් දැනුම්දීමක් කලා. නමුත් අලුත්ගම පොලිසියෙනුත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැහැ. පසුව මට ඒ කාරණය දැනුම් දුන්නා. ඒ ප්‍රදේශයේ අයකුගේ වාහනයක් අරගෙන මම වැලිපිටියට ගිහිල්ලා ඔහුගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් දහසය දෙනකු වාහනය ඇතුළට දාගත්තා. අත දරුවෝ පස් දෙනකුයි, බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා දෙන්නකුයි වයසක අම්මලා දෙන්නකුයි පොඩි ළමයෙකුයි ඒ අය අතර හිටියා. මම ඒ ස්ථානයට යන විට පොලිස් නිලධාරීන් 500ක් විතර දෙපැත්තේ හිටියා. අලුත්ගම පොළ ආශ්‍රිතව ෆිල්ම් හෝල් එකක් තිබෙනවා. ඒ දිගටම පොලිස් නිලධාරීන් හිටියා. මම මෙහෙම වැඩකට යනවාය කියලා පොලිසියට කියලයි ගියේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පොලිසියේ අය දන්නවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ඒ අය දාගෙන ඉස්සරහට එනකොට, ජනතාව පොලිසිය ඉස්සරහ කඩු, පොලු තියාගෙන ලොකු දිග පරාල තියාගෙන දිගටම ඉන්නවා මා දැක්කා. එස්ටීඑෆ් එක, පොලිස් නිලධාරීන් එතැනින් යනවා එනවා. එතැන ඒ අයගේ මොබයිල් සර්විස් එක ඉන්නවා. නමුත් කිසිම කෙනෙක් මේ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මට මේ ගැන සැක හිතිලා වාහනය පදවාගෙන ඇවිත් පොලිසියේ මොබයිල් රථයක් පිටුපස මගේ වාහනය තියාගත්තා. එහෙම තියාගෙන චුට්ට දුරක් එනකොට පොලිස් මොබයිල් රථය මගේ වාහනය දැකලා අයින් කර ගත්තා. අයින් කර ගත්තාම එතැනදීම ඒ කලහකාරී පිරිස් මා හිතන හැටියට අර බොදුබල සේනාවේ බීමත්ව හැසිරෙන මානසික රෝගියෙක් වන ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කට්ටිය වට කර ගෙන වාහනයේ සිටි අයට අමානුෂික විධියට පහර දුන්නා. වාහනය කුඩු පට්ටම්. මා වාහනය නැවැත්වුයේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වාහනය ඉස්සරහ  මාපට ඇඟිිලි තුඩක් විතර දාන්න පුළුවන්  හිලක් තිබුණා. ඒ හිලෙන් බලාගෙන තමයි මා වාහනය පදවාගෙන ආවේ. එහෙම කළේ නැත්නම් වාහනයේ සිටි 16් දෙනාම ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කට්ටිය විසින් මරා දානවා. අධික ලෙස බීමත්ව සිටි මේ අය කිසිම හේතුවක් නැතිවයි පහර දුන්නේ. පහර දෙන්න කිසිම හේතුවක් නැහැ. පොලිසියේ අය ඉස්සරහයි මේ අය පහර දුන්නේ. මම මේක වගකීමක් ඇතිවයි කියන්නේ. පොලිස් නිලදාරීන් 500ක් විතර ඉස්සරහදීයි පහර දුන්නේ. පොලිසිය නිශ්ශබ්දව සිටියා. අඩු ගණනේ මොකද කියාවත් ඇහුවේ නැහැ. මේ පහර දීම සිදු වුණේ 16 වන දායි. මා 17 වන දා පැමිණිල්ලක් දාන්න යනතුරුම පොලිසිය සොයා බැලුවේ නැහැ කාටද ගැහුවේ කියා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එදා ඒ ගමන යනතුරුම දිගින් දිගටම අපට පහර දුන්නා. මා ඒ අය නාගොඩ රෝහලට අරගෙන ගියා. මා හිතුවා වාහනය ඇතුළේ එක අම්මා කෙනෙක් මැරිලාය කියා. මුහුණට මහ විශාල කොන්ත්‍රීට් ගල් පාරක් වැදිලා ඒ අම්මා එතැනම සිහිය නැතිව වැටුණා. මුහුණෙන් ලේ වැක්කෙරුණා. ඒ අවස්ථාවේ මා ඇය උත්සාගෙන ගියා. ඇගේ පුංචි දරුවාට වයස මාස 09යි. ඒ පුංචි දරුවාගේ පිටුපසට ගල් ගෙඩි පහරක් වැදිලා ඒ වෙලාවෙම පුංචි දරුවා කොළඹ දැඩිසත්කාර ඒකකයට අරගෙන ගියා. ඒ දරුවාගේ අම්මා 22වැනි වාට්ටුවේ ඉන්නවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා හිතන හැටියට බොදුබල සේනාව මෙහෙයවන ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මානසික රෝගියෙක්. මේ රෝගියා කරන දේවල් නිසා අපේ බෞද්ධ ජනතාව අද බලු වෙලා තියෙන්නේ.ඒ මානසික රෝගියාට 15 වෙනිදා අලුත්ගම නගරයේ රැස්වීමක් තියන්න පොලිසිය අවසර දුන්නා. අලුත්ගම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙද්දී මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගිනි තියලා තියෙද්දි හාමුදුරුවරුන්ට ගහලාය කියා රාවයක් යද්දි පොලිසිය බොදුබලසේනාවේ මේ මානසික රෝගියාට මේ රැස්වීම තියන්න අවස්ථාව දුන්නා. මේ මානසික රෝගියා ඒ ස්ටේජ් එකට නැගලා කිව්වේ ‘සිංහල කෙනකුට හරි අත තිබ්බොත් මරක්කලයින් එකෙක් තියෙන්නේ නැහැ‘ කියලයි. ‘අද රෑට මරක්කලයින්ගේ සියලු දේපොළවලට දෙවියන්ගේ පිහිටයි‘ කිව්වා. 15 වෙනිදා උදේ එහෙම කිව්වා. රෑ සියලුම දේපොළ ගිනි තිබ්බා. කෝටි ප්‍රකෝටි ගණනක දේපොළ පොලිස් නිලධාරීන් බලා සිටිද්දී, පොලිස් නිලධාරීන් ඉස්සරහා පොලිස් නිලධාරීන් තල්ලු කර දාලා ගිනි තිබ්බා. 16 වනදා රැ මතුගම නගරයේ පොලිස් මෝටර්සයිකල් තිබෙද්දි කළ දේවල් වීඩියෝපටවල තිබෙනවා. ඒ කළේ බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ හාමුදුරුවන්ගේ කට්ටියයි. සියලු බෞද්ධයෝ නොවෙයි. සියලු සිංහල ජාතිකයෝ නොවෙයි මේක කළේ. මේක අසාධාරණ දෙයක්. මට අමානුෂික ලෙස පහර දුන්නා. පොලිසිය බලාගෙන සිටියදීයි මේක කළේ. මා කියන්නේ, බොදුබල සේනා සංවිධානයේ මානසික රෝගියාත්, රජයත්, පහර දුන් අයට ආරක්ෂාව දුන්නු පොලිසියත් මේ සිද්ධියට සම්පූර්ණයෙන් වගකීම භාර ගන්න ඕනෑය කියලයි. මා ඉල්ලීමක් කරනවා මීට පස්සේ මෙවැනි සිද්ධීන් සිදු නොවෙන්න මේ මානසික රෝගියා අත්අඩංගුවට ගෙන මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර මේ ප්‍රශ්නය විසඳන්න කියලා. එහෙම නැත්නම් මුළු රටේම ජාතිවාදය ඇවිළෙනවා.

මේ බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ පුංචි දරුවන්…‘ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ කතාව අදර මගින් නතර කර දැමීමට නියෝජ්‍ය කතානායකවරයා කටයුතු කෙළ්ය.

TheTime.lk වේබ් අඩවියෙහි තරිදු ජයවර්ධන විසින් පළ කරන ලද ලිපියකින්  උපුටා ගැනුණී.

 

Archive

Latest news

Related news