Tuesday, April 30, 2024

ඉසයිප්‍රියා, කර්නල් රමේෂ් සහ බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ මරණ යළි විමර්ශනය කරන ලෙස ගෝටාගේ කොමිසමක් නිර්දේශ කරයි!

ජායාරූපය: ඉසයිප්‍රියා ඝාතනය‌ට පෙර.

සුනන්ද දේශප්‍රිය.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස්  කොමිසම මෙරට යුද සමයේ වගවීම සහතික කරනු පිනිස ශෝබනා ධර්මරාජා නොහොත් ඉසයිප්‍රියා, ටී. තුරෙයිරාජසිංහම් නොහොත් කරනල් රමේශ් සහ බාලචන්ද්‍රන් ප්‍රභාකරන්ගේ මරන සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කළ යුතු බව නිර්දේශ කරයි.

මෙම ඉල්ලීම් දීර්ඝ කාලයක් පුරා මානව හිමිකම් ව්‍යාපාරයන් විසින් ඉදිරිපත් කර තිබේ.

Isaipriya 222

එල්ටීටීඊ ප්‍රවෘත්ති අංශයේ හිටපු රූපවාහිනී නිවේදිකාවක් වූ විසිහත් හැවිරිදි ඉසයිප්‍රියා සිංහල සොල්දාදුවන් හතර දෙනෙකු ඉදිරියේ යටත් වී අඩ නිරුවතින් උතුරු ශ්‍රී ලංකාවේ වගුරු බිමක වාඩි වී සිටින අයුරු  ප්‍රසිද්ධියට පත් විය. එමෙන්ම ඇය  ඝාතනය කර තිබෙන ජායාරූප ද ඒ සමඟම ප්‍රසිද්ධ විය.

isaipriya 3
ඝාතනයෙන් පසු

එමෙන්ම වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුතා වූ බාලචන්ද්‍රන් ප්‍රභාකරන්  යුද හමුදා බංකරයක වාඩි වී බිස්කට් කමින් සිටින සහ පසුව මරා දමා තිබෙන ජායාරූපද ප්‍රසිද්ධියට පත් විය.

බාලචන්ද්‍රන් ප්‍රභාකරන් යුද හමුදා බංකරයක

කර්නල් රමේශ් අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සාමාජිකයින් කණ්ඩායමක් සමග  සිටින ජායාරූපයක් ද පසුව ඔහු ඝාතනය කර පුලුස්සා දමන ලද ජායාරූප ද ප්‍රසිද්ධියට පත් විය.

රමේශ් යුද හමුදා අත් අඩංගුවෙහි දී

මෙම තිදෙනා ම යුද හමුදා අත්අඩංගුවෙහි පණ පිටින් සිටින දර්ශන බ්‍රිත්‍යානයේ චැනල් 4 රෑප වාහිනී නාලිකාව විසින් නිපදවන ලද ‘ ශ්‍රී ලංකාව – ඝාතන භූමිය’ නම් චිත්‍රපටයේ තිබේ.

එය මෙහි නැරමිය හැක: https://www.channel4.com/programmes/sri-lankas-killing-fields/on-demand/51949-001 

මෙම නවාස් කොමිසම පත් කරන ලද්දේ ගෝඨාභය ලංකාණ්ඩුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරන ලද ප්‍රකාශයක් මත පදනම්වය.

එම කොමිසම පත් කරන ලද්දේ මේ තාක් ශ්‍රී ලංකා ආණ්ඩු විසින් යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් සොයා බැලීම සඳහා පත් කරන ලද සියලුම කොමිෂන් සභාවන්හි නිර්දේශ සලකා බලා ඉදිරියට ගත යුතු පියවර සම්බන්ධයෙන්  පියවර නිර්දේශ කිරීමටය.

එය පත් කරන ලද්දේ 2021 ජනවාරි 21 වන දිනය. කොමිසමේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) සහ සමාජික සාමාජිකාවන් වූ  චන්ද්‍රා ප්‍රනාන්දු (හිටපු පොලිස්පති), නිමල් අබේසිරි (විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්) සහ යෝගේශ්වරී පතුනරාජා මෙනවිය ( පොදු ජන පෙරමුණේ දේශපාලන නායිකාවකි) කොමිසමේ සෙසු සාමාජිකයන් වූහ. එම සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ විසින්  සිය කැමැත්ත පරිදි තෝරා ගත් අය වූහ. වන්ද්‍රා ප්‍රනාන්දු ද කුප්‍රසිද්ධ රාජපක්ෂවාදියෙකි. නිමල් අබේසිරි ද ගෝටා යටතේ පත්වීම් ගණනාවක් ලැබුවේය.

මෙම කොමිසමේ නිර්දේශ කුතුහලය දක්වන්නේ, රාජපක්ෂවාදී පුද්ගල කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද නිසාය.

රනිල් රාජපක්ෂ ද කොමිසමේ  ක්‍රියාවලියට  සිය අනුමැතිය ලබා දෙමින් එහි නිල කාලය 2023 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කළේය.

මෙම කොමිසමේ වාර්තාව රනිල් රාජපක්ෂ වෙත බාර දී මාස ගණනාවක් ගත වුවද එය ප්‍රසිද්ධ කර නැත. එය බාර දෙන ලද්දේ 2023 පෙබරවාරි 06 දාය. එම වාර්තාවෙහි ස්කෑන් කරන ලද පිටපතක් අප වෙත ලැබී තිබේ.

කොමිෂන් සභාවේ ප්‍රධානතම  නිර්දේශය වන්නේ රනිල් රාජපක්ෂ දැනටමත් පෙර සූදානම් කමිටුවක් පත් කර ඇති ශ්‍රී ලංකාවේ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටු වීමයි.

කොමිසම කර ඇති නිර්දේශ අතර එවැනි සත්‍ය සෙවීමේ කොමිසමක් මගින් ඉසයිප්‍රියා, කර්නල් රමේෂ් සහ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව ද වේ. (වාර්තාවෙහි1088 ඡේදය)

නාවාස් කොමිෂම තව දුරටත් කියන්නේ සුදු කොඩි රැගෙන ආ එල්ටීටීඊ නායකයින්ට වෙඩි තබා මරා දමන ලද්දේය යන චෝදනාවද විමර්ශනය කළ යුතු බවයි.

එවැනි සත්‍ය සෙවිමේ කොමිසමක් මගින් පහත සඳහන් සිදුවීම් විමර්ශනය කළ යුතු බවද එය කියා සිටී. එමෙන්ම එම නිර්දේශ ඉදිරිපත් කරන ලද පෙර කොමිෂන් සභා ද එය උපුටා දක්වයි.

  1. ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයින් පස්දෙනා ඝාතන නඩුව (උදලාගම කොමිසම)

  2. ACF නම් ප්‍රංශ සහනාධාර සේවයේ සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම (උදලාගම කොමිසම)

  3. රෝහල්වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කුමන පාර්ශ්වයක් වැරදිකරුද යන්න වැදගත් නොවන බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ප්‍රකාශ කළද, විමර්ශනයෙන් පසු විපතට පත් වූවන්ට සහන සැලසීමට පමණක් නිර්දේශ කර ඇති නමුත්, ඉහත සිදුවීම් පිළිබඳව යලි යලිත් විමර්ශනයක් කිරීමට කොමිසම නිර්දේශ කරයි.

  4. යුද්ධයේ අවසන් දිනවල ගැටුම් ඇති ප්‍රදේශවල සිවිල් වැසියන්ට වෛද්‍ය සැපයුම් සැපයීද මානුෂීය ප්‍රශ්නය පිළිබඳ පරීක්‍ෂණයක් තක්සේරු කළ හැකි අදාළ සියලු සාධක සලකා බැලීම.

  5. ශ්‍රි ලංකා යුද හමුදාව වෙත යටත් වූවන් අදාල නිශ්චිත ක්ෂේත්‍ර පිළිබඳ පරීක්ෂණයක් සහ විමර්ශනයක් කිරීම. නිල වශයෙන් බාර දීමෙන් දීමෙන් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සාක්ෂි තිබේ නම්, වැරදිකරුවන්ට නඩු පැවරිය යුතු බව ද කොමිසම නිර්දේශ කරයි.

  6. සිවිල් වැසියන්ට හිතා මතා ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ වාර්තා වූ සිද්ධීන් විමර්ශනය කිරීම සහ සාක්ෂි හෙළිදරව් වූ පසු වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු අතර එවැනි වාර්තා වූ සිද්ධීන් LLRC වාර්තාවේ 4.359 ඡේදවල සඳහන් වේ.

මෙම කොමිසම හමුවේ පරණගම කොමිසමේ ප්‍රධානියා වූ මැක්ස්වෙල් පරණගම දුන් සාක්ෂිය මෙම නවාස් කොමිසමේ මෙම නිර්දේශයන්ට අත්වන ඉරණම පිළිබඳ සංඥාවක් සපයයි. ඒ මෙසේය.

පරණගම කොමිසම එයට ලැබුණූ පැමිණිලි විභාග කිරීමට පරීක්ෂකවරුන් ගණනාවක් පත් කර තිබුණි.  ඔහු කියා සිටියේ ඔවුන් විසින්  කරන ලද පරීක්ෂණවල  සටහන් කිසිදු අවධානයකට ලක් නොවී  තවමත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි පුස් කමින් පවතින බවයි.  පරණගම කොමිසම පත් කර දැනට වසර දහයකට වැඩිය. එම තොරතුරු අතර යුද අපරාධ සම්බන්ධ සාක්ෂිද තිබිය හැකිය.

නවාස් කොමිසම කියන්නේ එම පරීක්ෂක තොරතුරු නීතිපති කාර්යාලයට භාර දිය යුතු බවට කරන ලද නිර්දේශය තවම ක්‍රියාත්මක වී නැති බවයි.

එළඹෙන සැප්තැම්බරයේ දී   ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට ඉදිරිපත් කර ඇඟ බේරා ගැනීමට උත්සාහ කරනු හැරෙන්නට මෙම කොමිසමේ නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැගෙනු ඇතැයි සිතීමට නොහැක.

Archive

Latest news

Related news