මානව හිමිකම් කවුන්සිලය පසුගිය අප්‍රේල් 05දා පලස්තීන අයිතිවාසිකම් සහ ගාසා ජන සංහාර සම්බන්ධ හතරක් සම්මත කළේය .
මෙම යෝජනා මගින් ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර ඊශ්‍රායලය ගාසා තීරය අවහිර කිරීම සහ අනෙකුත් සියලු ආකාරයේ සාමූහික දඬුවම් වහාම ඉවත් කරන සේ ඉල්ලා සිටී .
එම යෝජනා ගාසා තීරය තුළ හෝ ඉන් පිටත පලස්තීනුවන් එක දිගට බලහත්කාරයෙන් විතැන් කිරීම වැළැක්වීමට සහ ඊශ්‍රායලයට ආයුධ, පතොරම් සහ වෙනත් හමුදා උපකරණ විකිණීම, ලබා දීම සහ හරවා යැවීම නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස මානව හිමිකම් කවුන්සිලය සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.
මෙම යෝජනා හතර සම්මත වූයේ නැගෙනහිර ජෙරුසලම ඇතුළු ඊශ්‍රාලය වාඩිලාගෙන සිටින පලස්තීන භූමියේ මානව හිමිකම් තත්ත්වය, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය, ඊශ්‍රාලය වාඩිලාගෙන සිටින සිරියානු ගෝලාන් කඳුවැටියේ මානව හිමිකම් සහ නැගෙනහිර ජෙරුසලම ඇතුළු ඊශ්‍රාලය වාඩිලාගෙන සිටින පලස්තීන භූමියේ ඊශ්‍රායල ජනාවාස සම්බන්ධයෙනි.
මෙම යෝජනා හතරටම ඇමෙරිකා එක්සත් ජනපදය විරුද්ධ වූ අතර ජර්මනිය තුනකට විරුද්ධ විය. ඊටත් වඩා පුදුමාකාර ලෙස, පලස්තීන අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉදිරිපත් වූ යෝජනාවට පවා ඇමෙරිකාව, ජර්මනිය සහ බටහිර යුරෝපා රටවල් ගණනාවක් විරුද්ධ විය. නැත්නම් ඡන්දය නොදී සිටියේය.
පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීම පිළිබඳ සහ ද්වි රාජ්‍ය විසඳුම සඳහා වූ යෝජනාවට ඇමෙරිකාව සහ පැරගුවේ විරුද්ධ වූ අතර බටහිර යුරෝපා රටවල් ඇතුළු රටවල් 42ක් ඊට පක්ෂව ඡන්දය දුන්හ.
මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ ඉතාම වැදගත් යෝජනාවක් වූයේ නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලය ඇතුළු ඊශ්‍රාලය වාඩිලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසමෙන් එම ප්‍රදේශයන්හි බලහත්කාර පදිංචිකරුවන්ගේ මෙන්ම එම පදිංචිකරුවන්ගේ කණ්ඩායම් සහ ඔවුන්ගේ සාමාජිකයින්ගේ අනන්‍යතාවයන් පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස ඉල්ලා සිටීමයි.
පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි භීෂණය, ප්‍රචණ්ඩත්වය හෝ බිය ගැන්වීම් සහ ඊශ්‍රායලය සහ තුන්වන රාජ්‍යයන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වාර්තාව කවුන්සිලයේ පනස් නවවැනි සැසියේදී ඉදිරිපත් කිරීමද එම යෝජනාවෙහිම කොටසක් විය.
මෙම යෝජනාවට පින්ලන්තය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් හැර බටහිර රටවල් සියල්ලම විරුද්ධ විය.
මෙම බොහෝ බටහිර රටවල් සියල්ල වෙනත් බොහෝ රටවල බරපතල මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි පෙරමුණ ගෙන සිටිති.
එනමුත් පලස්තීන ජනයාගේ අයිතීන්ට වඩා මෙම රටවල්ට වැදගත් වන්නේ ත්‍රස්ත රාජ්‍යක් වන ඊශ්‍රාලය ශක්තිමත් වීමයි.ඊට හේතුව නම් මැද පෙරදිග සිය ඒජන්තයා ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රාලය නිසාය.
ඊශ්‍රාලය විසින් පලස්තීන භූමියේ කර ගෙන යනු ලබන නෑසු විරෑ ජන සංහාරයට සහාය දීම නිසා බටහිර රටවල් මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී තනි විය. වෙනත් රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් කවුස්සිලය තුළ කටයුතු කිරීමට බටහිර රටවල ඇති හැකියාව මෙමගින් මොට වී තිබේ.
තවද පසුගිය සිකුරාදා අවසන් වූ එම සැසිවාරය පෙන්නුම් කළේ මැද පෙරදිග සහ ඉස්ලාමීය රටවල් මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය ඇති කණ්ඩායම අතර ශක්තිමත් වී ඇති අන්දමයි. පොදු වශයෙන් එම රටවල් මානව හිමකම් ආරක්ෂා කිරීමේ යෝජනාවලට විරුද්ධය.
ගාසා තීරයේ බලයේ සිටි හමාස් සංවිධානය ද මානව හිමිකම් සංකල්පයන්ට විරුද්ධ ඉස්ලාමීය අන්තවාදී මත දරයි.
ගාසා යුද්ධය ලෝක මානව හිමිකම් බලතුලනයේ තීරනාත්මක වෙනස්කම් වලට මඟ පෑදිය හැකිය. වර්තමානයෙහි පලස්තීන ජනයාගේ අයිතීන්. බටහර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් අතහැර දමා තිබේ. ඒ වෙනුවට පලස්තීන ජනයා වෙනුවෙන් අන්තර් ජාතික තලයේ පෙනී සිටින රටවල් බොහොමයක් මර්දනකාරී පාලනයන්ය. ඉරානය, රැසියාව, තුර්කිය, වෙනිසුයිලාව, කාම්බෝජය, යේමනය වැනි රටවල් ඒ අතර වේ.
සේ. පියවර්ධන විසිනි.