Friday, May 3, 2024

නීති විරෝධී තීන්දු දෙන උපාලි අබේරත්න තොරතුරු අභියාචනා වලින් ඉවත් කරන්න – තරිඳු ජයවර්ධන ඉල්ලයි

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවෙහි අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, සිය තොරතුරු ඉල්ලීම් සම්බන්ධ අභියාචනාවන්හිදී එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න ඉවත් කරන සේ ඉල්ලා සිටී.

ඊට හේතු වහයෙන් ඔහු දක්වන්නේ උපාලි අබේරත්න පළිගැනීමේ කොමිෂමේ සභාපති ලෙස කැන ලද අනීතික ක්‍රියාදාමය සහ තොරතුරු කොමිසමෙහි ඔහු දක්වන අගතිගාමී අකල්පයන්ය.

එම ලිපිය පහත දැක්වේ.

2024 අප්‍රේල් 04 වැනි දා
අධ්‍යක්ෂ ජනරාල්,
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව.
අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

මා විසින් ඉදිරිපත් කර ඇති/ඉදිරිපත් කරන අභියාචනා උපාලි අබේරත්න ඉදිරියේ විභාගයට නොගන්නා ලෙසට ඉල්ලා සිටීම

මා ජනමාධ්‍යවේදියකු ලෙස 2011 වසරේ සිට කටයුතු කරන අතර 2017 පෙබරවාරි මස තුන් වැනිදා තොරතුරු අයිතිය බලාත්මක වීමෙන් පසු මේ දක්වා මම සහ මාගේ මෙහෙයවීම යටතේ තොරතුරු ඉල්ලීම් 6000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ විවිධ පොදු අධිකාරීන්වලට යොමු කර ඇත. එම තොරතුරු ඉල්ලීම්වලට අදාල අභියාචනා රැසක් ද තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ. මා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා කිහිපයක් තවදුරටත් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින අතර තවත් අභියාචනා කිහිපයක් නුදුරේදීම කොමිසම වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.
පුරවැසියන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගනිමින් පලවා හරිනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පලිගැනීම් සෙවීම් කොමිෂන් සභාවේ සභාපතිව සිටි උපාලි අබේරත්න නැමැත්තා තොරතුරු කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා පත් කර තිබුණේ 2021 දෙසැම්බර් මාසයේ වන අතර ඔහුගේ පත්වීමට මුල් අවස්ථාවේ සිට අපි විරුද්ධ වීමු. ඒ සම්බන්ධයෙන් මා විසින් සංකරණය කරනු ලබන ඵැාස්ඛණගජදප වෙබ් අඩවියේ ද ලිපි පළ කර තිබේ.

උපාලි අබේරත්න තොරතුරු කොමිසමේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ 2021 දෙසැම්බර් මාසයේ වුවද මාගේ අභියාචනයක් මුල්වරට ඔහු ඉදිරියේ විභාගයට ගනු ලැබුවේ 2022 මාර්තු මස දෙවැනිදාය. මා එම තොරතුරු ඉල්ලීම යොමු කරන ලද්දේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනාවකට අදාලව කරුණු සොයා බැලීමට වන අතර අභියාචනය කැඳවූ අවස්ථාවේදීම මාගේ තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් උපාලි අබේරත්න අප්‍රසාදය පළකරමින් තොරතුරු ඉල්ලා සිටීමට හේතු විමසීය. මා එම අවස්ථාවේදී උපාලි අබේරත්නට විරෝධය පළ කළ අතර එය 2022 මාර්තු මස 03 වැනිදා එනම් ඊට පසු දිනයේදීම ලිඛිතව ද දැනුම් දුන්නෙමි.

මා පෙනී සිටි අභියාචනා කිහිපයකට අදාලවම උපාලි අබේරත්න එම අභියාචනා විභාග කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ අතර ඇතැම් අවස්ථාවලදී විරෝධය නොතකා ඔහු විසින් අභියාචනයට අදාලව පොදු අධිකාරියට තොරතුරු නොදීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. මාගේ අංක 552/2023 දරණ අභියාචනයට අදාලව පොදු අධිකාරිය තොරතුරු ලබා දීමට එකඟතාවය පළකරද්දී උපාලි අබේරත්න එය වැලැක්වීමට උත්සාහ ගත්තේය.

ඊට අදාලව තොරතුරු පනතේ 39 වගන්තිය යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු කොමිසමට පැමිණිල්ලක් ද කරනු ලැබුවෙමි.

උපාලි අබේරත්නගේ පුතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වන අතර උපාලි අබේරත්න නොමැතිව පාර්ලිමේන්තුවට අදාල අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී (තරිඳු ජයවර්ධන එ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව) පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාගේ ක්‍රියාකලාපය තොරතුරු කොමිසමේ සෙසු කොමසාරිස්වරුන්ගේ දෝෂදර්ශනයට ලක්විය.

එදින එම අභියාචනය ආවරණය කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ද පැමිණ සිටි අතර එය ජනමාධ්‍යවල පල විය. ඊට කිසිම අදාලත්වයක් නැති වෙනත් අභියාචනයක් ඊට පසු දිනක විභාගයට ගත් අවස්ථාවේදී උපාලි අබේරත්න ජනමාධ්‍යවල එලෙස පලවීම සම්බන්ධයෙන් මා හට අවවාද කරන බව ප්‍රකාශ කළේය.

අබේරත්න සහභාගී නොවූ අභියාචනයකට අදාලව කටයුතු කිරීමට ඔහුට ඇති නෛතික හැකියාව සහ පුද්ගලයකුට අවවාද කිරීමට ඔහුට ඇති නෛතික හැකියාව ගැන එම අවස්ථාවේදී ප්‍රශ්න කළ මම තම පුතා සම්බන්ධයෙන් පළවූ වාර්තා ගැන කොමිසමේ සභාපති ලෙස තාත්තා එලෙස අවවාද කිරීම බරපතල ගැටලු වක් බව පෙන්වා දුනිමි.

ඇතැම් අභියාචනාවලදී උපාලි අබේරත්නගේ හැසිරීම අභියාචකයන්ට සහ පොදු අධිකාරීන්වල නිලධාරීන්ට දැඩි පීඩාවක් ගෙන දීමක් වන බවට ප්‍රකාශ කරමින් ඔහුට විරෝධය දක්වා අභියාචනා විභාගයෙන් මම නැගිට ගියෙමි.

මෙවැනි වාතාවරණයක උපාලි අබේරත්න වගඋත්තරකරුවකු වූ රිට් පෙත්සම් රැසක තීන්දුව පසුගිය දිනෙක අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේය. උපාලි අබේරත්න වගඋත්තරකරුවකු වූ අංක WRT-0026-22, WRT-0135-21, WRT-0166-20, WRT-0167-20, WRT-0173-21, WRT-0297-21, WRT-0331-21 සහ WRT -0364-21 දරණ රිට් පෙත්සව්ල තීන්දුව මගින් ඔහු සභාපතිත්වය දැරූ ජනාධිපති කොමිෂන් සභාවේ නිගමන සහ නිර්දේශ අහෝසි කර ඇති අතර කොමිසමේ ක්‍රියාකලාපය නීති විරෝධී බව අභියාචනාධිකරණය සඳහන් කර තිබේ.

 විශේෂයෙන්ම ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එදිරිව උපාලි අබේරත්න නඩු තීන්දුවේ දී අධිකරණය ප්‍රකාශ කරන්නේ උපාලි අබේරත්න කොමිසම ජයම්පති වික්‍රමරත්න මහතා දේශපාලනිකව ගොදු කර ගැනීම සඳහා අයථා චේතනාවක් ඇතිව කටයුතු කර ඇති බවයි. එම WRT-0331-21 දරණ එම නඩුවේ මෙසේ සඳහන් වේ.

‘The Commission comprising the 1st to 3rd Respondents have conducted themselves in a grossly unlawful and unreasonable manner, with improper motives, and without even a semblance of fair hearing, natural justice or fairness being afforded to the Petitioner. It is manifest that the political victimization commission has acted to politically victimize the Petitioner. In the aforesaid the findings in the Commission of Inquiry Report are liable to be quashed by the issuance of mandates in the nature of writs of certiorari.’

සිංහල පරිවර්ථනය: 1 සිට 3 දක්වා වගඋත්තරකරුවන්ගෙන් සමන්විත කොමිෂන් සභාව, අයථා චේතනාවන් ඇතිව, සාධාරණ විභාගයක්, ස්වභාවික යුක්තියක් හෝ සාධාරණත්වයක් පෙත්සම්කරුට ලබා නොදී දැඩි ලෙස නීති විරෝධී සහ අසාධාරණ ලෙස කටයුතු කර ඇත. දේශපාලන පළිගැනීම් කොමිසම ක්‍රියා කර ඇත්තේ පෙත්සම්කරු දේශපාලනිකව ගොදුරු කර ගැනීමට බව පැහැදිලිය. ඉහත කී පරිදි පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ සොයාගැනීම්, සහතික පත්‍රවල රිට් ආඥාවේ වරම මගින් අවලංගු කෙරේ.’ (එම ජේදයේ ඉහත සඳහන් සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

එසේම ශානි අබේසේකර එදිරිව උපාලි අබේරත්න නඩුවට අදාලව අභියාචනාධිකරණය විසින් පසුගියදා ලබා දුන් තීන්දුවේ සඳහන් වන්නේ උපාලි අබේරත්න කොමිසමේ සොයා ගැනීම් පදනම් විරහිත බවයි. උඍඔ-0026-22 දරණ එම අභියාචනාධිකරණ තීන්දුවේ මෙසේ සඳහන්වේ.

‘Despite this clear mandate that has been vested upon the said Commission of Inquiry under and in terms of Commission of Inquiry Act No. 17 of 1948 (as amended), the said Commission has taken the law into their own hands and usurped the powers of the Hon. Attorney General and the powers of the Supreme Court by deciding upon the course of action that is to be taken against the Petitioner, totally exceeding their jurisdiction. Therefore, the said Report that has been concocted by the 1st to 3rd Respondents us inter alia, ultra vires and unlawful.
The recommendation and findings in the said Report that has been concocted admittedly has adverse effects on the character, conduct and the reputation of the Petitioner and the persons subjected to it and reeks of political bias against the Petitioner and the other persons mentioned in the said report, and is thereby bad in law. Thus, the Commission has exceeded the jurisdiction conferred upon the Commission under and in terms of the Act.’

‘1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනත යටතේ සහ ප්‍රකාරව (සංශෝධිත පරිදි) එකී විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම පැහැදිලි ජනවරම ලැබී තිබියදීත්, එම කොමිසම නීතිය අතට ගෙන ගරු නීතිපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල බලතල පැහැරගෙන ඇත්තේ  ඔවුන්ගේ අධිකරණ බලය මුළුමනින්ම ඉක්මවා පෙත්සම්කරුට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීමෙනි. එබැවින්, 1 සිට 3 දක්වා වගඋත්තරකරුවන් විසින් සම්පාදනය කර ඇති එම වාර්තාව අන්‍යෝන්‍ය වශයෙන්, නීතියෙන් පරිබාහිර සහ නීති විරෝධී වේ.
සකස් කර ඇති එම වාර්තාවේ නිර්දේශ සහ සොයාගැනීම් පෙත්සම්කරුගේ සහ එයට යටත් වූ පුද්ගලයන්ගේ චරිතයට, හැසිරීමට සහ කීර්තිනාමයට අහිතකර බලපෑම් ඇති කරන අතර, පෙත්සම්කරුට සහ එම වාර්තාවේ සඳහන් අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂග්‍රාහී බවක් ඇති බව පිළිගත හැකිය. , සහ එමගින් නීතියෙන් නරක ය. මේ අනුව, කොමිෂන් සභාව පනත යටතේ සහ ප්‍රකාරව කොමිෂන් සභාව වෙත ලබා දී ඇති අධිකරණ බලය ඉක්මවා ගොස් ඇත.’  (එම ජේදයේ ඉහත සඳහන් සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

මීට අමතරව තවත් නඩු තීන්දු කිහිපයක් උපාලි අබේරත්න කොමිසමට අදාලව ලබාදී තිබෙන අතර ඒ සියල්ලෙහිදිම අදාල කොමිසමේ නීති විරෝධී ක්‍රියාකලාපය පැහැදිලි කර ඇත.

රජයේ මුදල් අවභාවිත කරමින්, බලය අවභාවිත කරමින් සහ නැති බලයක් ආරෝපණය කර ගනිමින් දේශපාලන වුවමනාවත පුද්ගලයන් සිර ගත කිරීමටත්, ඔවුන් අපහසුතාවට පත් කිරීමටත්, ඔවුන්ගේ කීර්තිනාමයට හානි කිරීමටත්, පුද්ගලයන් දේශපාලනිකව ගොදුරු කර ගැනීමටත් උත්සාහ දැරූ බවට අධිකරණය විසින් තහවුරු කර ඇති දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපතිවරයාට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම වැනි කොමිෂන් සභාවක සභාපති ලෙස කටයුතු කිරීමට කිසිම සුදුසුකමක් හෝ සදාචාරාත්මක හැකියාවක් නොමැති බව මම විශ්වාස කරමි.

ජනමාධ්‍යවේදියකු සහ මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රියාකාරිකයකු ලෙසත්, පුරවැසියකු ලෙසත් එවැනි පුද්ගලයකු ඉදිරියේ විභාගයට ගන්නා අභියාචනා සඳහා පෙනී සිටිමින් කරුණු දැක්වීම ඔහු නිසා වින්දිතත්වයට පත්වූවන්ට කරන බරපතල අගෞරවයක් ලෙස ද මම සලකමි. එසේ හෙයින් උපාලි අබේරත්න ඉදිරියේ මාගේ කිසිම අභියාචනයක් විභාගයට නොගන්නා ලෙසත්, උපාලි අබේරත්න නොමැතිව සෙසු කොමසාරිස්වරුන් ඉදිරියේ පමණක් මාගේ අභියාචනා විභාගයට ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

මීට පෙර එක්තරා අභියාචනයකට අදාලව කොමිසමේ උපදෙස් මත යැයි කියමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පොලිස් ස්ථානාධිපතිවරයා මාගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර එය සිදු කරනු ලැබුවේ ද උපාලි අබේරත්නගේ උපදෙස් බවටත්, කුරුණෑගල ප්‍රදේශවාසීන් පිරිසකට අභියාචනා භාර දීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමධෑමට කොමිසමේ උපදෙස් මත යැයි කියමින් පොලිසිය වැලැක්වූයේ ද ඔහුගේ උපදෙස් මත බවටත් මම විශ්වාස කරමි. එසේ හෙයින් මෙම ලිපිය හේතුකරගනිමින් යලිත් එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

එසේම මෙම ලිපිය හේතුවෙන් මාගේ අභියාචනා අනවශ්‍ය ලෙස ප්‍රමාධ කිරීමකට ලක් නොකරන ලෙසද ඉල්ලා සිටිමි.
උපාලි අබේරත්න සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දු කිහිපයක්, ඔහු සම්බන්ධයෙන් ඵැාස්ඛණ වෙබ් අඩවියේ පළ කර ඇති ලිපි කිහිපයකුත් මේ සමග අමුණා ඇත.
ස්තුතියි.
තරිඳු ජයවර්ධන
176/3,
ඔරුතොට,
ගම්පහ.
පිටපත්
1) සභාපති සහ සියලු සාමාජිකයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව.
2) ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය.

Archive

Latest news

Related news