Friday, May 3, 2024

සාගලගේ නීති විරෝධී ද්විත්ව රංගනය ගැන පියවර ගන්නැයි ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිසමට ලියයි!

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ව්‍යවස්ථාවෙන් නියම කර ඇති දේශපාලන අසිතිවාසිකම් නැති තනතුරක් දරමින් සාගල රත්නායක යූඇන්පී දේශපාලන වේදිකාවල කතා පැවැත්වීම ප්‍රශ්න කරමින් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවා තිබේ.

මේ  සම්බන්ධයෙන් අවධානය යොමුකර සාගල රත්නායක නම් රජයේ නිලධාරියා සම්බන්ධයෙන් හා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ලසන්ත රුහුණ‍ගේ එමගින් ඉල්ලා සිටී.

එම දේශපාලන රුස්වීම නම් පසුගිය මාර්තු 10වන දින කුලියාපිටිය නගරයේ දී පැවැත් වූ යූඇන්පී ප්‍රචාරක රැලියකි.

ඊට අමතරව දේශපාලන පක්ෂ රුස්වීමක දී රජයේ  අරමුදල් වලින් කර ගෙ න අස්වැසුම සහනාධාර දෙගුණයක් කරන බවට දෙන ලද  පෙරොන්දුව ද එම ලිපිය මගින් ප්‍රශ්න කරයි.

ලිපිය පහත දැක්වේ.

2024.03.23
ලසන්ත රුහුණගේ
745 අලුත්මාවත පාර
මෝදර, කොළඹ 15.
ආර් එම් ඒ එල් රත්නායක මහතා
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව
රාජගිරිය.
මහත්මයාණෙනි,
රජයේ නිලධාරියෙකු ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීම සහ රජයේ මුදල් අවභාවිතා කිරීම
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ ප්‍රථම ප්‍රචාරක රැලිය ලෙස හඳුන්වමින් එක්සත් ජාතික පක්ෂය 2024 මාර්තු මස 10 දින කුලියාපිටිය නගර සභා පිටියේදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එයට සහභාගිවෙමින් කතාවක් ද පැවැත්වීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (3) ව්‍යවස්ථාව අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිලධාරියෙකු ලෙස සැලකෙන අතර එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරකි. රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිලධාරින් යනු ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති පිරිසකි.

එවැනි තත්වයක් තුළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඔහුට හිමි නැති නීති විරෝධී කාර්යයක නිරත වී තිබේ. තවදුරටත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද හඳුන්වා ඇති අතර රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරක් දැරිය හැකිද යන ප්‍රශ්නයද මෙහිදී මතු කරයි.

ඊට අමතරව එම රැලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී රජයේ අස්වැසුම ප්‍රතිලාභය දෙගුණයකින් වැඩිකර ලබාදෙන බවට පොරොන්දුවක්ද ලබාදේ. අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙනු ලබන්නේ රජයේ මුදල්වලින් වන බැවින් දේශපාලන පක්ෂයක ප්‍රචාරක රැලියකදී එවැනි පොරොන්දුවක් ලබාදීමද රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා නාම යෝජනා කැඳවා එය බාරගෙන ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයද නාම යෝජනා බාරදී තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ එම රැලිය පවත්වා ඇත්තේද මැතිවරණ කාලය ලෙස හැඳින්වෙන වකවානුවකය.

මා විසින් ඉහත සඳහන් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර සාගල රත්නායක නම් රජයේ නිලධාරියා සම්බන්ධයෙන් හා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ මගින් ඉල්ලා සිටින අතර එම පියවර සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.
ස්තූතියි
ලසන්ත රුහුණගේ

Archive

Latest news

Related news