Monday, July 15, 2024

ජනතා විමුක්ති පෙරමුණ සහ ලිංගික සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම (2) –   ලයනල් බෝපගේ

ඡායාරූපය: 1971 අත්අඩංඟුවට ගත් සැකකාර කරුලිකරුවන් කණ්ඩයමක් අතර එක සැකකාරියක සිටී.

පීතෘමූලිකත්වය සහ ධනවාදය

පීතෘමූලික සමාජ සහ විවාහ තුළ කාන්තාවන් සූරාකෑමට ලක් කිරීම නොකඩවා සිදුවේ. බලහත්කාරයෙන් කරනු ලබන විවාහ, වඩා කුප්‍රකට උදාහරණවලින් එකක් වෙයි; මෙහි වඩාත්ම ආන්තික සංස්කරණය, නූතන වහල්භාවයේ හැඩයක් ගනියි. 2017 දී, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මෙය පළමු වරට සිය සංඛ්‍යා ලේඛනවල නම් කළේය. ගෝලීය වශයෙන් මිලියන 22 ක ජනතාවක් බලහත්කාර විවාහ යටතේ ජීවත් වෙන බව මෑත කාලීන ඇස්තමේන්තු පෙන්වා දෙයි. වර්තමාන ලිංගිකත්ව අනුපිළිවෙළ සාමාන්‍ය සහ ස්වාභාවික එකක් ලෙස පෙනෙන්නට සැලැස්වීමෙන්, පීතෘමූලික සමාජය විසින් ලිංගික වෙනස්කම් නිසාවෙන් අනෙක් කොටස් කල් පවතින මානසික හානියකට ලක් කර තිබේ. එය කර ඇත්තේ බලයේ සිටින්නවුන් විසින් පන්ති සහ වාර්ගික පීඩාව “ස්වාභාවික” බවට ඓතිහාසික වශයෙන් රාමු ගත කර ඇති ආකාරයට සමාන වන අන්දමට යි. මෙම සමාජ සම්මත අද වන විට ලිංගික ඒකාකෘති බවට පත් ව ඇත.

පුරුෂයන් ප්‍රචණ්ඩ සහ වඩාත් යුද කිරීමට සුදුසු වන අතර කාන්තාවන් සමස්තයක් වශයෙන් කරුණාවන්ත රැක බලා ගන්නා වර්ගයක්ය යන අදහස මෙහි අඩංගු වේ. හිතාමතාම පුද්ගලයන් පටු ලිංගික භූමිකාවන් වෙත කොටු කිරීමෙන්, පීතෘමූලිකත්වය කාන්තාවන්ට පමණක් නොව බොහෝ පුරුෂයන්ට ද අවාසි ගෙන දෙයි. අරමුණ වූයේ පීතෘමූලික මානසිකත්වය තහවුරු කිරීම සඳහා සේවය කිරීම පමණකි.

ධනවාදය වර්ධනය වී නොනැසී පවත්වා ගෙන ඇත්තේ ලොව පුරා සිටින මනුෂ්‍යත්වය පරිහානියට පත් කර ඔවුන්ව සූරාකෑමට ලක් කිරීමෙනි. “යටත්විජිතවාදී ප්‍රතිපත්තිය සම්ප්‍රදායේ නාමයෙන් ධූරාවලියේ පැරණි ස්වරූපයන් අත් හිටුවා, නව ස්වරූපයන් නිර්මාණය කරමින් බොහෝ විට සමාජ සංවර්ධනය කෙරෙහි දැඩි බලපෑම් කළේය. ඊට සමගාමීව, යටත්විජිතවාදී ප්‍රතිපත්තිය සමාජය දිළිඳු බවට පත් කොට, සමාජ සම්පත් කොල්ලකා, ඒ සම්පත් උතුරු අත්ලාන්තික් රාජ්‍යයන් වෙත යොමු කොට, කලෙක සමෘධිමත් සංස්කෘතික ගතිකත්වයන් හා සමාජ සංවර්ධනය සඳහා විභවයක් පැවති ප්‍රදේශවල සමාජ කාන්තාර නිර්මාණය කලේය.” (ත්‍රෛමහාද්වීපකය 2021, අරුණෝදය: මාක්ස්වාදය සහ ජාතික විමුක්තිය).

මෙම යටත්විජිතවාදී බලවත්තු බලය පවත්වා ගැනීම සඳහා බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ යටත් විජිත සමාජවල ජීවත් වූ වංශාධිපතියන්, ඉඩම් හිමියන්, පූජකයන් සහ සම්ප්‍රදායික බුද්ධිමතුන් වැනි ඉතා නරක කොටස් සමඟ සහයෝගයෙන් කටයුතු කළ හෙයින්, යටත්විජිතවාදී මැදිහත්වීම ඒ සමාජවල ධනවාදී සමාජ සංවර්ධනය සඳහා ප්‍රගතිශීලී එකක් වශයෙන් දුටුවේ කිහිප දෙනෙක් පමණි.

ධනේශ්වර ජාතිකවාදීහු මෙයට අභියෝග කලේ එය ප්‍රතික්ෂේප කොට, පූර්ව යටත් යටත්විජිත ස්වරූපයන් හෝ යටත්විජිතවාදය යටතේ ගොතන ලද ස්වරූපයන් ලෙස පැවති සම්ප‍්‍රදායයන් උත්කර්ෂයට නංවා ලීමෙනි. මෙවන් පුනර්ජීවනය විසින් සිදු කරන ලද්දේ යටත්විජිත ආර්ථිකයේ සහ එහි සමාජයේ සංවර්ධනය අඩාල කර දමා, මඩ ගොහොරුව වඩා ගැඹුරු බවට පත් කර ලීම පමණකි. දේශපාලන නිදහසට අදාල කර්තව්‍යය ප්‍රමුඛව සැලකිය යුතු වුවත්, එය සමාජ විප්ලවයෙන් හා යටත් විජිතවාදී බලවතුන් විසින් පිහිටුවනු ලැබ ඇති ආර්ථික හා සංස්කෘතික තත්ත්වයන්ට එරෙහිව කරන විප්ලවයෙන් වෙන් කළ නොහැකි බව වටහා ගැනීමට ගොවියන්ගේ සහ කම්කරුවන්ගේ කැරලි විසින් ධනේශ්වර ජාතිකවාදීන් වෙත බල කරන ලදි. මෙම බලවත්තු සමාජයේ හුස්ම හිර කර ලීම සඳහා ඉඩම් හිමි වංශාධිපතීන් සහ ධනේශ්වරය සමඟ කුළුපග ව කටයුතු කළහ.” (එම).

පීතෘමූලිකත්වය සහ පිරිමිකම

පීතෘමූලිකත්වය පිරිමිකම (masculinity) සමඟ සමීපව සම්බන්ධව ඇත. පිරිමිකම විසින් සමාජ ආයතන තුළ ලිංගිකත්වයේ පදනම මත වෙනස්කම්වලට ලක් කිරීම සඳහා අවශ්‍ය සමාජ සංස්කෘතික පදනම සපයා තිබේ. එබැවින්, ලිංගිකත්වයේ පදනම මත වෙනස්කම්වලට ලක් කිරීමෙන් ඉවත්ව යාම වෙනුවෙන් සකස් කරන කිසියම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමක් වේ නම් එය පීතෘමූලිකත්වය හා පිරිමිකම පිළිබඳව කරන ප්‍රතිපත්ති සංවාදයන් සමඟ ආරම්භ කළ යුතුව තිබේ. පිරිමිකම පිළිබඳ සංකල්පය “පුරුෂ පක්ෂය කරන්නේ මොනවාද සහ පුරුෂ පක්ෂය යනු කවුරුන්ද යන්න මෙන්ම පුරුෂ පක්ෂය කුමක් කළ යුතුද සහ කවුරුන් විය යුතුද” (OECD 2023) යන්න පිළිබඳව බෙදා හදා ගත් අදහස් සමඟ සම්බන්ධ වේ. නිදසුනක් වශයෙන්, බොහෝ රටවල සමාජ, පුරුෂයන් කාන්තාවන්ට වඩා හොඳ දේශපාලන නායකයන් බිහි කරන බව විශ්වාස කළහ; තවමත් එසේ විශ්වාස කරති.

කාන්තාවන් සවිබල ගැන්වීම සීමා කර ලන පිරිමිකම පිළිබඳ සම්මතයන් විවේචනය කිරීමෙන් හා නිෂේධ කිරීමෙන් තොරව, සමාජය වඩා ලිංගික සමානාත්මතාවය සහිත එකක් බවට පරිවර්තනය කිරීම කළ නොහැකි අන්දමේ එකක් වනවා ඇත.

නිදසුනක් වශයෙන්, පුරුෂ පක්ෂය හා පිරිමි ළමුන්, සහ කාන්තා පක්ෂය හා ගැහැණු ළමුන් යන දෙපාර්ශ්වයම සම්බන්ධ කර ගන්නා සංවාද සහ වැඩසටහන් තුලින් ඕස්ට්‍රේලියාවේ මෙසේ කරන්නට උත්සාහ දරනු ලැබේ. මීට අමතරව, ඕස්ට්‍රේලියානු ආණ්ඩු විසින් කාන්තාවන්ට සහ පුරුෂයන්ට මාපිය නිවාඩු ලබා ගත හැකි පරිසරයක් ක්‍රියාත්මක කර ඇත. එසේ කර ඇත්තේ ගෙවීමක් කරනු නොලබන උපස්ථාන කටයුතු හා ගෘහස්ථ කටයුතු වඩා සාධාරණ අන්දමට බෙදා ගන්නා පුරුෂ පක්ෂයට හා පිරිමි ළමුන්ට ඉපැරණි හා පරීක්ෂාවට ලක් නොකළ සම්මත සහ භාවිතාවන් වෙනස් කරන්නට උපකාර වනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව ය.

පංගු ක්‍රමය (quota system) සහ ලිංගික අසමානත්වය

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ලිංගිකත්ව නියෝජනය වන සංතුලනය වෙනස් කිරීම සඳහා පංගු ක්‍රම උපකාරී වේද යන්න ගැන ලොව පුරා දශක ගණනාවක් තිස්සේ විවාදයක් පවතී. දේශපාලනයේ යෙදෙන කාන්තා පක්ෂය ගැන වෙනස් ආකල්ප ඇති කර ගන්නට එවැනි ක්‍රමයක් දායක වේද? දේශපාලන නායිකාවන් බවට පත් වන්නට කාන්තා පක්ෂයට තිබෙන හැකියාව සීමා කර ලන දැඩි ලිංගික සම්මත සහිත පරිසර තුල පවතින යථා තත්ත්වය වෙනස් කරන්නට පංගු ක්‍රම උපකාරී වේද?

ශ්‍රී ලංකාවේ ජාතික, පළාත් සහ ප්‍රාදේශීය යන හැම ආණ්ඩු මට්ටමකම කාන්තා පක්ෂය නියෝජනය වන්නේ අඩුවෙනි. 2020 පවත්වන ලද මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් සියයට පහක් පමණ විය. කාන්තා පක්ෂය සඳහා සියයට 25 ක පංගුවක් අනිවාර්ය කර 2016 වසරේ සිට ක්‍රියාත්මක කරන ලද සංශෝධන විසින් පළාත් පාලන ආණ්ඩු මට්ටමින් කාන්තා නියෝජනය සියයට දෙකක සිට සියයට 23 දක්වා ඉහළ යන්නට මඟ පාදා ඇත.

“පවතින ක්‍රමය ඇත්තටම, පුරුෂ ආධිපත්‍යය දරන ව්‍යුහයන් ස්ථිර පවට පත් කරන බව ඉන් හෙලිදරව් විය. ලිංගිකත්වය ගැන සංවේදී හා ප්‍රජාතන්ත්‍රීය බවට පත් කරන පුහුණු හා සංවර්ධන වැඩසටහන්වලට පුරුෂ පක්ෂය සහ කාන්තා පක්ෂය යන දෙකොටසම සම්බන්ධ විය යුතු බවට එම අධ්‍යයනය නිර්දේශ කළේය.”

එසේ වුවද, ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ අරමුදල් යොදා කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කාන්තාවන් සංඛ්‍යාව වැඩි වුවත්, දේශපාලන ක්‍රම පද්ධතියේ මුල් බැස තිබෙන ලිංගිකත්වය මත පදනම්ව කරන අසමානතා, දේශපාලන ක්‍රමය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ හිඟය සහ සමාජය තුල කාන්තාවන්ට එරෙහිව පවතින ප්‍රවණතා වැනි ප්‍රධාන ගැටළු  නියෝජිතවරියන් විසින් ආමන්ත්‍රණය කර නොමැති බවයි. කෙසේ වෙතත්, පොදු ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වන කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, පළාත් පාලන මට්ටමින් පැවති සීමා (glass ceilings) බිඳ දමමින් ඉදිරියට යන්නට කාන්තා පක්ෂයට හැකි වී තිබේ.

කාන්තා අපේක්ෂිකාවන් සහ මන්ත්‍රීවරියන් යන දෙකොටසම ලිංගිකත්වයේ පදනම් මත කරන ප්‍රචණ්ඩත්වයට සහ බිය ගැන්වීම්වලට මුහුණ දුන් නමුත් නීති රාමු විසින් හෝ මාධ්‍ය නිරාවරණය කිරීම් වලින් හෝ ඔවුන්ට ආරක්ෂාව නොසැපයුනු බව අධ්‍යයනයෙන් හෙළි විය. පවතින ක්‍රමය ඇත්තටම, පුරුෂ ආධිපත්‍යය දරන ව්‍යුහයන් ස්ථිර පවට පත් කරන බව ඉන් හෙලිදරව් විය. ලිංගිකත්වය ගැන සංවේදී හා ප්‍රජාතන්ත්‍රීය බවට පත් කරන පුහුණු හා සංවර්ධන වැඩසටහන්වලට පුරුෂ පක්ෂය සහ කාන්තා පක්ෂය යන දෙකොටසම සම්බන්ධ විය යුතු බවට එම අධ්‍යයනය නිර්දේශ කළේය. ඒ පළාත් පාලන මට්ටමෙන් පවතින බල අසමතුලිතතාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා යි.

අමතරව, පළාත් පාලන ක්‍රම පද්ධතිය වඩා සහභාගිත්ව වාදී බවට, ඇතුළත් කර ගන්නා බවට සහ ප්‍රජාතන්ත්‍රවාදී එකක් බවට පත් කල යුතුව තිබුණි. ලිංගිකත්වය ගැන සංවේදී වන සහභාගීත්වය, ආකෘති, ක්‍රියාවලි සහ ඒවා ප්‍රවර්ධනය කර පෝෂණය කරන ආකාරයේ ප්‍රතිපත්ති දේශපාලන පක්ෂ විසින් සකස් කළ යුතු වේ. අවම වශයෙන් පාර්ලිමේන්තු මට්ටමින් කාන්තා පක්ෂයෙන් සියයට 25ක පංගුවක් ද නිර්දේශ කර ඇත.

කාන්තාවන් සංවිධානය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය

1984 න් පසු ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සකස් කර ඇති වාර්තාවේ 1984 ට පෙර කාන්තාවන් සංවිධානය කිරීම සඳහා කළ වැඩ කටයුතු ගැන වැඩි සඳහනක් සොයා ගත නොහැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ නිලධරය තුල කාන්තාවන් කිහිප දෙනෙකු ආධිපත්‍යය දැරුව ද එකල සමාජය වඩාත් පුරුෂ ආධිපත්‍යයක් දැරූ එකක් විය. පසු කාලීනව අනූව දශකයේ දී ලියන ලද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ පක්‍ෂ සංවිධානයේ අභිවෘද්ධියට කාන්තාවන් කළ දායකත්වය පිළිබඳව සඳහන් කර ඇත්තේ අවස්ථා කිහිපයක දී පමණකි. එක් සඳහනක් වන්නේ 1970 අගෝස්තු මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණ හයිඩ් පිටියේ පැවැත්වූ පළමු රැලිය සම්බන්ධව යි. එහි ප්‍රධාන කථිකයා වශයෙන් රෝහණ විජේවීර සහෝදරයා කථා කල පසු පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා හැකි සෑම පරිත්‍යාගයක් ම කරන ලෙස ඔහු ආයාචනය කළේය. සවන් දීමට පැමිණ සිටි සමහර තරුණියෝ ඒ අවස්ථාවේ සිය මාල සහ කන කර පරිත්‍යාග කළහ.

තවත් සඳහනක් වූයේ එවකට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 22 දෙනෙකුට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ එල්ල කරන ලද චෝදනා විභාග කළ ‘රොස්මිඩ් නඩුව’ හා සම්බන්ධයෙනි. සැකකරුවන් 22 දෙනාගෙන් හත් දෙනෙක් කාන්තාවෝ, ඔවුන්ගෙන් හය දෙනෙක් උපාධි අපේක්ෂකයෝ වූහ.

එම පරීක්ෂණයේ දී වරද පිළි නොගත් අය අතර සෝමවංශ අමරසිංහ සහෝදරයාත් සමාජවාදී කාන්තා පෙරමුණ යළි නඟා සිටුවන්නට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ රාගම යූ. ඒ. නන්දසීලි සහෝදරියත් වූහ. 2002 කොළඹ දී පවත්වන ලද ජවිපෙ නියෝජිතයින්ගේ සිව්වැනි සම්මේලනය ගැන තවත් සටහනක් විය. මෙම සඳහන් කිරීම් කාන්තාවන් සංවිධානය කිරීම හෝ සවිබල ගැන්වීම සම්බන්ධ ව වූ ඒවා නොව, 1977 න් පසු කාල පරිච්ඡේදයේ දී ජවිපෙ ශ්‍රේණීන් තුල කම්කරුවන්, ගොවීන්, තරුණයින්, ශිෂ්‍යයන් සහ කාන්තාවන් දහස් ගණනක සහභාගිත්වය ගැනයි.

ජවිපෙ අතීතය කාන්තාවන් හිස්

1984 ට පෙර පැවති ජවිපෙ තුළ, විශේෂයෙන්ම නායකත්වය අතර, සංවිධානයේ සිටි කාන්තා ක්‍රියාධරයන්/සාමාජිකාවන්/හිතවතියන් සතුව ප්‍රමාණවත් දේශපාලන විඤ්ඤානයක් වැඩී නොතිබුණු බවට සහ/නැතහොත් පක්ෂයේ නායකත්ව මෙහෙවර දරන්නට තරම් ඔවුහු පරිණතව නොසිටි බවට පොදු විශ්වාසයක් මෙන්ම පිළිගැනීමක් ද පැවතුණි. මේ ගුණවලින් සමන්විත කිසිදු කාන්තාවක් සොයා ගැනීමට පක්‍ෂ නායකත්වය අසමත් විය. මෙය, අප සතු දේශපාලන විඤ්ඤානය විසින් ප්‍රදර්ශනය කරන ලද පසුගාමිත්වය සහ සමාජ-ආර්ථික පසුබිම පිළිබඳ පොදු පිළිබිඹුවක් වූයේය. මා ඇතුළුව අප බොහෝ දෙනෙකු සතුව තිබුනේ ගැමි සිංහල බෞද්ධ ශික්ෂණයකි. කාන්තා ක්‍රියාකාරිකාවන් සම්බන්ධව ගත් කල, මෙය අපේ දේශපාලන භාවිතාව තුල පිළිබිඹු විය.

හවස හයෙන් පසු ක්‍රියාකාරිකාවන්ට දේශපාලන නැවැත් වූ ජවිපෙ

සමගි පෙරමුණු පාලන තන්ත්‍රය 1976 දී හදිසි නීතිය ඉවත් කර ගත්තාට පසු ජනතා විමුක්ති පෙරමුණ තම විවෘත දේශපාලන කටයුතු ආරම්භ කළ අවස්ථාවේ සමාජවාදී කාන්තා පෙරමුණේ සියළුම කාන්තා ක්‍රියාකාරිකාවන්ට සවස 6.00 වන විට ඔවුන්ගේ එදිනෙදා ගමන් කටයුතු අවසන් කරන ලෙසට දන්වා තිබිණි. දිවා කාලයේ කාන්තා ක්‍රියාකාරිකාවකට ගමන් බිමන් යාමට සිදු වූ හැම විටකම පාහේ ඇයගේ ආරක්ෂාව සඳහා තවත් කාන්තා ක‍්‍රියාකාරිකාවක් කැටුව යාමට සිදු විය.

මේ කතාව ඇසූ විට මා පුදුමයට පත් වූයේ එකල එවැනි නීතියක් පවත්වා ගන්නට තරම්, කිසිම ගැහැනියකට පාරේ තනිව ගමන් කරන්නට නොහැකි අන්දමේ අනතුරුදායක තත්වයක් නොතිබුන බැවිනි. ආපසු හැරී බලන විට, පක්ෂයේ ඇතැම් පිරිමි නායකයන් විසින් ඉටු කරන ලද භූමිකාවන් සමඟ සංසන්දනය කලහොත්, දේශපාලන නායකත්ව මෙහෙවර ඉටු කළ හැකිව තිබුනු වඩා දක්ෂ කාන්තා ක්‍රියාකාරිකාවන් බොහොමයක් එවකට ජවිපෙ සතුව සිටින්නට ඇතැයි මට සිතේ. කණගාටුවට මෙන්, ඔවුන්ට කිසි විටෙකත් ඒ අවස්ථාව ලැබුනේ නැත. මෙය මා දක්වන්නේ ස්වයං විවේචනයක් පමණක් ලෙස නොව දේශපාලන අධ්‍යයනයේ අත්දැකීමක් ලෙසද ඉස්මතු කර දක්වන්නට යි.

ස්ත්‍රීවාදයට ජවිපෙ විරුද්ධ වීම

තවත් ව්‍යාකුල තත්වයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ එකල නායකයින් ලොව පුරා ප්‍රසාදයට ලක් වෙමින් පැවති ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරවල න්‍යාය පත්‍රය සමඟ එකඟ නොවීම යි. අප කිසිදු කාන්තා සංවිධානයක් සමඟ කිසිදු ආකාරයක ජාලගත සම්බන්ධතාවක් පවත්වා ගත්තේ හෝ වර්ධනය කර ගත්තේ නැත. 1978 මුල් භාගයේ දී පමණ, සුනිලා අබේසේකර සහෝදරිය පසුව ප්‍රසිද්ධියට පත් දෙමළ කාන්තාවක් ද ඇතුළු කාන්තා ක්‍රියාකාරිකාවන් කිහිප දෙනෙකු සමඟ වෝඩ් පෙදෙසේ සාකච්ඡාවක් සංවිධානය කළ බව මට මතක යි. රෝහණ විජේවීර සහෝදරයාද ඊට සහභාගි විය. අවාසනාවකට, (මා ද ඇතුළු) පක්ෂ නායකත්වය මෙම දේශපාලන මුල් පිරීම ඉදිරියට ගෙන ගියේ නැත. එසේ සිදු වන්නට ඇත්තේ සමාජවාදී කාන්තා පෙරමුණ ගොඩ නැංවීම යනු අපට, කාන්තාවන් සවිබල ගන්වන අන්දමේ එකක් නොව, සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ හෝ සමාජවාදී භික්ෂු පෙරමුණ වැනි තවත් සහයෝගීතා සංවිධානයක් ගොඩ නැඟීමට වඩා වෙනස් එකක් නොවූ නිසාවෙන් විය හැකිය.

“කණගාටුවට මෙන්, කාන්තාවන් හා වෙනත් පසුබිම්වලින් පැවතෙන අය ගැන අප සතු වූ අචේතනික අගතිගාමිත්වය, අගතිය හෝ ඒකාකෘතිය ජීවිතයේ දේශපාලන යථාර්තය ක් විය.”

පීතෘමූලිකත්වය ට අභියෝග කිරීම

සමාජයේ පැවති පීතෘමූලික දේශපාලන සංස්කෘතියට අභියෝග කළ හැකි තත්ත්වයක 1984ට පෙර ජනතා විමුක්ති පෙරමුණ සිටියේ නැත. එසේ වුවත්, ලොව පුරා ස්ත්‍රීවාදී විමුක්ති ව්‍යාපාරයේ ස්වරූපයෙන් වර්ධනය වුන ස්ත්‍රී අයිතීන් පිළිබඳ ව්‍යාපාරය ගැන අපි බොහෝ දෙනෙක් දැන සිටියෙමු. මෙම දේශපාලන ධාරාව ස්ත්‍රී විමුක්තිය හා සමඟ ස්ත්‍රීවාදී බුද්ධි වාදයේ පෙළගැස්මක් පිළිබිඹු කළ අතර අප එය හුදෙක් දුටුවේ විමුක්තිදායක එකකට වඩා ස්ත්‍රීන් කෙරෙහි පැවතුන බටහිර බලපෑමක් ලෙසයි. එක්තරා දුරකට සුනිලා අබේසේකර සහෝදරිය මේ දේශපාලන ධාරාව නියෝජනය කලාය. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ සමන්විත වූයේ ගැමි සිංහල බෞද්ධ පීතෘමූලික සමාජයක හැදී වැඩුණු පුද්ගලයන්ගෙනි. අපේ ශික්ෂණය හේතුවෙන් මුල් බැස ගෙන තිබුනු අගතිගාමිත්වය අප අතර සිටි ඇතැම් දෙනෙක් බුද්ධිමය වශයෙන් දැනුවත්ව සිටින්නට ඇති අතර, තවත් සමහරු තම දේශපාලන ක්‍රියාකාරිත්වයේ දී මෙම අගතිගාමිත්වය විවෘත ලෙස ප්‍රදර්ශනය කරන්නට ද ඇත.

කණගාටුවට මෙන්, කාන්තාවන් හා වෙනත් පසුබිම්වලින් පැවතෙන අය ගැන අප සතු වූ අචේතනික අගතිගාමිත්වය, අගතිය හෝ ඒකාකෘතිය ජීවිතයේ දේශපාලන යථාර්තය ක් විය. අප මුහුණ දුන් එදිනෙදා ගැට‍ළුවලට අප දැක්වූ ආවේග ජනක හා තාර්කීය ප්‍රතිචාරවලට බල පාන ලද මෙම අචේතනික ආකල්ප හොඳින් සකස්ව නොතිබුනා විය හැකි නමුත් ඒවා සහජයෙන් මුල් බැස තිබුනු බවක් පෙනෙන්නට තිබුනේය. සමාජයේ බහුලව පැවති සමාජ-ආර්ථික අසමානතාවන් හේතුවෙන් පීඩාවට පත්ව සිටියා විය හැකි කාන්තාවන් පිළිබඳව අපට දැනුන ආකාරය සහ අප සිතූ ආකාරය කෙරෙහි මෙම අචේතනික අගතිගාමිත්වය (හෝ ව්‍යංග අගතිගාමිත්වය) බල පෑවේය.

දෙමළ, මලයහ කම්කරුවන්, මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු ආගමිකයන් ආදීන්ට බලපාන සමාජ-ආර්ථික ගැටළු දෙස අප බොහෝ දෙනෙක් බැලූ ආකාරය ද එවැනිම වූයේය, කුඩා වියේ දී අප විඥානය තුළ බොහෝ දුරට එවැනි අගතිගාමිත්වයන් මුල් ඇද තිබුන අතර ඒ වන විට කුල, පන්ති සහ වෙනත් සමාජ අගතීන් පිළිබඳව පිළි ගෙන තිබුනු සම්මතයන් ගෙන් එය කැළැල් වී තිබිණි.

උදාහරණයක් වශයෙන්, වැලිගම ගත කල මගේ ළමා කාලය තුළ, වැසිකිළි ශුද්ධ පවිත්‍ර කරන ලද්දේ, චක්කිලියන් නමින් දකුණු ඉන්දියාවේ පැවති කුල වර්ගීකරණයෙන් බෙදී එන ලද “සක්කිලි” යනුවෙන් දැන සිටි ජන කොටසක් විසිනි. හින්දු ආගමික නියෝග හා සම්බාධක සහ ප්‍රචණ්ඩ ක්‍රියා මඟින් මෙම අවමන් තත්වයේ වැඩ කරන්නට මේ අයට බල කරන ලද බව මට පසු කාලයේ දී වැටහිණ.

මඟ හැරිය නොහැකි කුල ක්‍රමය

හින්දු ආගම ජීවන දර්ශන ප්‍රේක්ෂාවලියකින් සමන්විත වෙයි;  එහි හැම උපාංගයකම ඊටම අයත් වන දෙවිවරුන් සහ විශ්වාසයන් වෙති. “සක්කිලි” ලෙස වර්ග කරන ලද අය හින්දු කුල ක්‍රමය තුළ සුවිශේෂී අන්දමේ පහළ තරාතිරමක් දරන පහත්ම කුලය ලෙස සැළකුණේය; අද ද එසේ සලකණු ලැබේ. හින්දු ආගම ප්‍රගුණ කරන ඔවුහු අනෙකුත් හින්දු භක්තිකයන් මෙන්, චාරිත්‍ර වාරිත්‍ර හා යහපත් කටයුතුවල නිරත වීමෙන් ඔවුන්ට “මෝක්ෂය” හෝ උපත, මරණය හා යලි ඉපදීමේ නිමක් නොමැති චක්‍රයෙන් නිදහස ලැබිය හැකියයි ඔවුහු විශ්වාස කරති. දෙව් පිහිට පතා පන්සල් හා කෝවිල් වෙත ඇදෙන බොහෝ බෞද්ධයන් මෙන්, සක්කිලි යනුවෙන් වර්ග කර ඇති අය ද ආරක්ෂාව සහ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් හින්දු කෝවිල්වලට ගොස් තම දෙවියන්ට යාඥා, පිණ්ඩපාත, මල්, හා සුවඳ දුම් පූජා කරති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල කුලවාදයෙන් ගැල වී යාම දුෂ්කර වන්නේය. කර්මය (රැකියාව) සහ ධර්මය (යුතුකම්) මත පදනම්ව ජනයා කණ්ඩායම්වලට බෙදා වෙන් කරන එය, නොනැසී පවතින අන්දමේ සමාජ ස්ථරකරණය කි. කුල ක්‍රමය මුලිනුපුටා දැමීමට වසර ගණනාවක් තිස්සේ ඇතැම් පියවර ගෙන තිබේ. අවාසනාවකට මෙන්, එය මග හැරිය නොහැකි යථාර්ථයක් ලෙස තවමත් පවතී.

වැලිගම “සක්කිලි” ප්‍රජාව වාර්ෂික උත්සවවල දී, පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙකොටසම අධික ලෙස බීමත්ව ඉතා උද්යෝගයෙන් තමන්ගේම වූ බෙර වර්ගයක් වාදනය කරමින් විශේෂ ආකාරයේ නර්තනයක් ඉදිරිපත් කළ අන්දම තවමත් මගේ මතකයේ රැඳී පවතී. නර්තනය වැනි සාර්ව අන්දමේ යමකට පවා කුල ක්‍රමයේ අගතිගාමිත්වයෙන් නිර්මුක්තව පවතින්නට නොහැකි වීම අරුමයක් නොවේද?

“සක්කිලි” ජන කොටස් උකහා ගත්තේ තම ජීවිත ගැට ගසා ගන්නට තරම් ප්‍රමාණවත් වන ආදායමක් පමණි. එහෙයින් ඔවුන් සතු වූයේ ඉතා අඩු සාක්ෂරතා අනුපාතයකි. සාම්ප්‍රදායික ව ඔව්හු ඉන්දියාවේ සම් පදම් කරන කම්කරුවන් හෝ මිනිස් අපද්‍රව්‍ය (“රෑ කසළ” හෙවත් රාත්‍රියේ බාල්දි යොදා ගෙන එකතු කල මිනිස් අශූචි) ඉවත් කරන්නන් වූහ. මෙම ප්‍රශ්නය තියුණු ලෙස බැළුව හොත්, මෙම සමාජ වර්ගීකරණය නිසි සනීපාරක්ෂක ක්‍රමයක් නොමැති සමාජයක ප්‍රතිඵලයක් බව හඳුනා ගත හැකි වේ. ලංකාවේ සහ ඉන්දියාවේ “සක්කිලි” ප්‍රජාව කළ ආකාරයට යම් කෙනෙක් මිනිස් අපද්‍රව්‍ය ස්පර්ශ කරන්නේ නම් සමාජයේ සෙසු අය ඔවුන් ඇසුරු කරන්නට දක්වන අකමැත්ත වටහා ගත හැකිය. සනීපාරක්ෂක ක්‍රම වඩා යහපත් තත්වයට පත්ව ඇති බැවින්, මෙම ප්‍රජාවට ඔවුන් කළ අවමනට ලක් වන කර්තව්‍යයන් තවදුරටත් ඉටු කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී.

බොහෝ දෙනෙකුගේ තත්වය වැඩිදියුණු වී පැවතුන ද දශක කිහිපයකට පසුව පවා මානව අගතිගාමිත්වය හා වෙනස්කම්වලට ලක් කරනු ලැබීම හේතුවෙන් මෙම ආකාරයේ ප‍්‍රජාවෝ තවමත් පීඩා විඳිති. ඔවුන්ගෙන් සමහරෙක් කෘෂිකාර්මික හා අනියම් දෛනික කම්කරුවන් වැනි වෙනත් රැකියා ක්ෂේත්‍ර වෙත පිවිස ඇත. ඔවුන්ගෙන් සමහරෙක් තමිල්නාඩුවේ, හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් පසු පෞද්ගලික සහ රාජ්‍ය අංශවල පරිපාලන තනතුරු දරමින් සිටිති.

මතු සම්බන්ධයි

21 මාර්තු 2024 වන දා

Archive

Latest news

Related news