Sunday, April 28, 2024

ගෝටාගේ කුමංත්‍රණ පාපෝච්චාරණය නොහොත් ස’ ආයෙත් පේල් වීම  (01) – සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජපක්ෂගේ “කුමන්ත්‍රණ”  පොත දැන් මාරකැට්ටුවේය. එම පොත යළිත් පෙන්වා දෙන්නේ ඔහු කපටි වෙළෙන්දෙකු බවයි. පිටු 189කි. මිල රු.1.800කි. එම ප්‍රමාණයේ පොතක පිටපත් 2000ක් මුද්‍රණය කරන්නේ නම් එක පොතක මුද්‍රණ වියදම රුපියල් සියයක් තරම්ය. හොඳයි එය 200ක් යැයි සිතමු.  ලාභය ඔබ ම ගණනය කර ගන්න.

ගෝටා නොපිට පෙරළීම

ගෝටා බලයට පැමිණියේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් වික්ෂිප්තියට පත්ව සිටි  ලංකාව සුරක්ෂිත දේශයක් කරන පොරොන්දුව පෙරදැරි කර ගෙනය. රනිල්-සිරිසේන යහපාලන ආණ්ඩුවට එරෙහි ගෝටාගේ ප්‍රධාන විවේචනය වූයේ ආරක්ෂාව බිද දමන ලද්දේය යන්නයි.

වන්නාටය! ගෝටා සිය කුමන්ත්‍රණ පෙතෙහි අවසානයට ගෝටා කියන දේ බලන්න.

“කෙසේ වෙතත්, මා බලයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මගේ ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම්, සිංහලයන් සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ දැවැන්ත ණයගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටීම යන කාරණා තුනය.”

හදන්න ආපු එක සහමුලින්ම බිඳවැට්ටවීම

අටුවා ටීකා අවශ්‍ය නැත. ගෝටාම පිළිගන්නේ තමාට ජනපති මැදුරේ පෑල දොරින් පලා යෑමට සිදු වූයේ ජාතික ආරක්ෂාව සහමුලින්ම බිඳවැටී තිබූ නිසා බවය. වසර දෙකහමාරක් ජනාධිපති ධූරය හෙබවීමෙන් පසුත්, ගෝටා කියන පරිදි, ඔහු යටතේ ජාතික ආරක්ෂාව සහමුලින්ම බිඳවැටී තිබුණි.

තහනම් වචනය: ආරක්ෂක ඇමති

ගෝටාගේ කුමන්ත්‍රණ පොතෙහි තහනම් වචනයක් තිබේ. එනම් ආරක්ෂක ඇමති යන්නය. මෙම කුමන්ත්‍රණ පොත කියවන විට. එම කාලය තුළ මෙරට ආරක්ෂක ඇමතිවරයෙක් සිටි බවත් නිකමට හෝ දැනෙන්නේ නැත. ගෝටා සියල්ල විවේචනය කරන්නේ බැහැර සිටය.

ඔහු කියන මෙම පරිදි ජාතික ආරක්ෂාව බිඳවැටීමට තමා වග කිව යුතු යැයි කුමන්ත්‍රණ පොතෙහි කිසිම සඳහනක් නැත.

ගෝටා මෙසේ ද කියයි.

“මේ රට ව්‍යවස්ථාමය ක්‍රියාවලියට පිටින් දේශපාලන බලය අල්ලා ගැනීමේ උත්සාහයක් සාර්ථක වීමේ ආසන්නයටම පැමිණි අවස්ථා වූයේ 2022 මැයි 9/10 සහ 2022 ජූලි 9 සිදුවීම් ය. රටේ ව්‍යවස්ථාපිත පිළිවෙත සුරක්ෂිත වූයේ කෙස් ගසක වෙනසිනි.

“2022 මැයි සහ ජූලි අරගලය උත්සන්න වූ මාසවල ආණ්ඩු පක්ෂය, ප්‍රධාන විපක්ෂය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව බෙලහීන තත්ත්වයකට පත් වූ අතර, මහ පාරේ සෙනග මෙහෙය වූ ප්‍රචණ්ඩකාරී අරගලකරුවන් බලවත් වී සිටියේය.”

ප්‍රධාන විපක්ෂය බෙලහීන වී සිටියා ද යන්න අර්ධ සත්‍යයකි. කෙසේ වෙතත් බෙලහීන වූ බව ගෝටා පවසන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තිබුණේ ගෝටා යටතේය. ජාතික ආරක්ෂාව නම් සටන් පාඨයේ කරේ එල්ලා ගෙන බලයට ආ ගෝටා දැන් පිළිගන්නේ තමන් යටතේ එම ජාතික ආරක්ෂාව බෙලහීන වූ බවයි.

ගෝටාගේ පත්කිරීම් ගෝටාටම වින්නැහියක්  වීම

ගෝටා බලයට පත් වූ විගසම වාගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන පත්වීම් තුනක් කළේය. එනම් ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ලෙස සුරේශ් සලේ සහ හමුදාපති සහ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වාය.

ගෝටා සිය කුමන්ත්‍රණ පොතෙහි මෙම පත්වීම් තුනම විවේචනය කරන්නේ එම තනතුරුවලට ඔවුන් පත්වූයේ අහසින් කඩා වැටුන අය මෙන් සලකමිනි. එම පත්වීම් කරන ලද්දේ තමා බව ගෝටාට අමතක වී තිබේ.

ශවේනද්‍ර එකළ ගෝටාගේ වැඩ්ඩා විය

ශවේන්ද්‍රගේ දුර්වල මානසිකත්වය

ඔහු ශවේන්ද්‍ර සිල්වා ගැන කියන්නේ ඔහු දුර්වල මානසික තත්වයක් තිබූ අයෙකු බවයි. ජීව විද්‍යාඥවරියක වන ඔහුගේ දියණියට ඇමෙරිකාවේ පැවති වැඩ සටහනකට යෑමට වීසා නොදීම නිසා ශවේන්ද්‍ර මානසික වශයෙන් ඇද වැටී සිටින්නට ඇතයි ද අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට බැරි වන්නට ඇත්තේ ඒ නිසා විය හැකි යැයිද ගෝටා කියන්නේ මෙසේය.

“මම ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී ඔහු යුද හමුදාවේ සේනාංක ආඥාපතිවරයෙක් විය. බටහිර රටවල් අපට එල්ල කරන යුද අපරාධ චෝදනාවල ඔහු මූලික ඉලක්කයක් වී ඇති අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක නිසා ඔහුට බරපතළ මානසික පීඩනයක් දැනෙන්නට ඇත.   මේ සියල්ල ඔහුට මානසික බලපෑමක් ඇති කළ බව පැහැදිලිය.

ඔහු ඒ බව සඳහන් කරන්නේ මැයි 09දා රැයෙහි  රට පුරා ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින්ගේ නිවෙස් ගිනි තැබීම වැළැක්වීමට නොහැකි වීම ගැන දොස් පවරමිනි.

හමුදා ප්‍රධානීන් පියවර ගත්තේ නැහැ

ඒ මෙසේය.

“ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා අණ දෙන නිලධාරීන් සහ පොලිස්පතිවරයා මෙවැනි තත්වයන්ට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා සැලැස්මක් සකස් කළ යුතුව තිබුණි. නමුත් මෙවැනි තත්වයන් පාලනය කිරීමට ඇති ක්‍රම කිසිවක් භාවිතා වූයේ නැත. උදාහරණයක් වශයෙන් අනුරාධපුර නගරයට යන සෑම පාරකම හමුදා කඳවුරු ඇත. ඒ හමුදා කඳවුරු ඉදිරිපිට මාර්ග බාධක පැන වූයේ නම් අනුරාධපුර නගරයට සෙනඟ ඒකරාශී වීමට නොහැක. අනුරාධපුරයේ ප්‍රචණ්ඩකාරීන් ගිනි තැබූ නිවාස තිබුණේ නගරයේ ය. සෙනඟ පාලනය කිරීම සඳහා මූලික පියවර ගැනීමට පවා උපදෙස් නිකුත් වී නොතිබුණි.”

තමා ආරක්ෂක ඇමතිවරයා වූ බව යළිත් ගෝටාට අමතක වෙයි.

කමල් ගුණේ පත්කර ගත්තේ ද ගෝටාමය

කමලුයි සවේයි අවුල

තමා විසින්ම පත් කළ එම නිලධාරීන් එසේ පත් නොකළ යුතුව තිබූ බව ගෝටා කියන්නේ දිවේ ගෑවෙන්නේවත් නැතිවය.

“එක් ව්‍යුහාත්මක ගැටලුවක් වූයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අතර ජ්‍යෙෂ්ඨත්වයේ වැඩි පරතරයක් නොතිබීමයි. ඔවුන් දෙදෙනාම යුද සමයේ සේනාංකාධිපතිවරුන් වූ අතර, අඩු වැඩි වශයෙන් තම තමන් සමානයන් ලෙස දකින්නට පුරුදු වී සිටියහ. මේ දෙදෙනා සහයෝගයෙන් කටයුතු කළා ද යන්න සැක සහිතය.”

කමල්ට මගේ බලය නැහැ

ගෝටාට (දේශපාලනික) අමතක වීමේ රෝගය වැළදී ඇත්දැයි සිතෙන තරමට එවැනි දේ ලියා ඇත්තේ තමාගේ කිසිම සම්බන්ධයක් නැති තරමටය.

ගෝටා තවදුරටත් වමාරයි.

“යුද හමුදාපතිවරයා ඇතැම් අවස්ථාවල ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් නොතකමින් කටයුතු කළ අවස්ථා තිබුණි. ආරක්ෂක ලේකම්වරයා ලෙස මා සතුව තිබූ පාලන බලය කමල් ගුණරත්නට මේ හේතු නිසා නොතිබෙන්නට ඇත. යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යන තනතුරු දෙකම එක පුද්ගලයෙකු විසින් දරනු ලැබීම ද ගැටලුවක් විය. මූලධර්මයක් ලෙස, එම තනතුරු ඒකාබද්ධ නොකළ යුතුය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින් සිටින නිලධාරියෙකු විය යුතු ය.

“ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා සැලකිය යුතු ලෙස ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු සිටියේ නම් ඔහු සියලුම හමුදා ප්‍රධානීන්නට ඉහළින් සිටින තවත් නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙකු වන අතර, අවශ්‍ය නියෝග නිකුත් කිරීමට ඔහුට අවශ්‍ය අධිකාරි බලය නිතැතින්ම ලැබේ.”

ගෝටා බලයේ සිටි කාලයේ ‘සවේ’ තරම් පොරක් ඔහුට සිටියේ නැත. ජනාධිපති කාර්ය සාධක බලකා කීයක ‘සවේ’ සිටියේද? කොවිඩ් මර්දනය බාර දුන්නේත් ‘සවේ’ටය. දැන් ‘සවේ’ නිකම්ම පොල් ලෙල්ලකි.

ගෝටා ඊළගට හැරෙන්නේ කමල් ගුණරත්න දෙසටය.

“ආරක්ෂක ලේකම්වරයා සියලුම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා බෙහෙවින්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූයේ නම්, ආරක්ෂක අංශවල අණ දීමේ සහ පාලන කාර්යය වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණි. ආරක්ෂක ලේකම්වරයාත් හිටපු හමුදා නිලධාරියෙකු වුවද විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු දැන් සිවිල් වැසියෙකි.

“2022 දී පූර්ව අනතුරු හැඟවීමකින් තොරව, අනපේක්ෂිත ලෙස බරපතළ ප්‍රචණ්ඩ සිදුවීම් එක් වරම ඇති වූ අවස්ථාවේ එවන් වර්ධනය වූ ප්‍රචණ්ඩත්වයක් මැඩපැවැත්වීමට නම්, එහි ආරම්භක අවදියක දී ගනු ලබන ක්‍රියාමාර්ගවලට වඩා පරිමාණයෙන් ඉහළ මට්ටමක ක්‍රියා මාර්ග ගත යුතුව තිබුණි.”

මේ හැම දෙනාම පත් කළේ ගෝටාය. ඉන් පසු ගෝටා කෙලින්ම තමා යටතේ සිටි යුද හමුදා ප්‍රධානීන්ට වරද පටවන්නේ මෙසේය.

“ නමුත් එදා (යුද සමයෙහි) ඉහළම හමුදා නිලධාරීන්  හමුදා කඳවුරුවලට ගොස් සාමාන්‍ය සෙබළුන්ට කතා කොට පැවසුවේ හමුදාව හැටියට අපි දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවත්, හමුදා නිලධාරීන් වශයෙන් අපගේ වගකීම වූයේ රටේ ව්‍යවස්ථානුකූල පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම බවයි. කෙසේ වෙතත් 2022 දී, එවැනි පණිවිඩයක් හමුදාවේ ඉහළ සිට සාමාන්‍ය හමුදා නිලධාරියා දක්වා ගියේ නැත. සේනාංක අණ දෙන නිලධාරීන් වැනි ඉහළ නිලධාරීන්ටවත් එම පණිවිඩය සන්නිවේදනය වී තිබුණා යැයි මම නොසිතමි.”

මේ විවේචන කරන එතකොට ආරක්ෂක ඇමැති වූ ගෝඨාභය රාජපක්ෂ සිටියේ නිදි වැදිලාදැයි ඇසීමට රාජපක්ෂ කෙනෙක් නැතිය.

ගෝටාගේ හිතවතකු වූ සුරේශ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී වුවද ඔහුට එම ආයතනයේ සහාය ලබා ගැනීමට බැරි වූ බවත් නිසි පරිදි තොරතුරු ලබා දීමට අසමත් වූ බවත් ගෝටා කියන්නේ මෙසේය.

“රාජ්‍ය බුද්ධි සේවය විසින් සපයන බුද්ධි තොරතුරු දේශපාලන සහ සමාජ තත්ත්වයන්, විදේශ මැදිහත්වීම් සහ භූ දේශපාලනික සාධක පවා සැලකිල්ලට ගනිමින් සකස් කරන පුළුල් චිත්‍රය ගෙන හැර දක්වමින් සපයන තොරතුරු විය යුතු ය. ත්‍රස්තවාදයට එරෙහි යුද සමයේ දී කලින් පැවති ජාතික බුද්ධි තොරතුරු බියුරෝවේ සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එකිනෙකා සමඟ සාමාන්‍යයෙන් හොඳින් වැඩ කළ ද, සාම කාලය තුළ එම සහයෝගීතාවය දිගටම පැවතුණේ ද යන්න ගැටලු සහගතය.”

සලේට රාජ්‍ය බුද්ධි සේවයේ සහාය ලබා ගැනීමට බැරි වීම. එලෙස බුද්ධි වාර්තා ලබා දීමට නොහැකි වූ හේතුවක් බව ගෝටා කුමන්ත්‍රණ පොතෙහි කියයි.

“මෑත කාලයේ පොලිසියේ සම්පූර්ණ හිමිකාරිත්වයට නතුව තිබුණු රාජ්‍ය බුද්ධි සේවයට දිගු විරාමයකින් පසුව හමුදා නිලධාරියකු වූ සලේ පත් කරන විට හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔහුට හමුදා බුද්ධි අංශයෙන් ලබා ගැනීමට හැකි වූ සහයෝගය රාජ්‍ය බුද්ධි සේවය වෙතින් ඔහුට නොලැබෙන්නට ඇත.”

අරගලය විසින් රටෙහි ඇති කරන ලද ගතිකත්වය ගෝටා නොදැනුවත්ම කුමන්ත්‍රණ පොතෙහි ලියන්නේ මෙසේය.

“2022 මැයි 9 වෙනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් රට පුරා නිවාසවලට ගිනි තබද්දී, නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබිය දී, මම තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථන ඇමතුමක් ලබා දී, ඔහුට පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටියදීත් සිදුවන දේ නැවැත්වීමට නොහැකි වූයේ මන්දැයි මට පැහැදිලි කරන ලෙස කීවෙමි.

“ඔහු මට ඒ සම්බන්ධයෙන් පැවසුවේ පළමුව, ප්‍රචණ්ඩ සිදුවීම් වැළැක්වීමට යෑමේ දී විරෝධතාකරුවන්ට සිදු විය හැකි තුවාල හෝ මරණ සම්බන්ධයෙන් වගකීම ගැනීමට පොලිස් නිලධාරීන් මැලි කමක් දක්වන බවත්, දෙවනුව කිසිම හේතුවක් මත ගිනි අවි භාවිත නොකළ යුතු යැයි පොලිස්පතිවරයාගෙන් නියෝගයක් නිකුත් වී තිබුණ බවත්, තුන්වනුව බරපතළ සිවිල් නොසන්සුන්තා ඇති වන සෑම අවස්ථාවකම, එම ප්‍රදේශයේ ස්ථානගත කර ඇති හමුදා භට පිරිස් වල සහය පොලිසිය ඉල්ලා සිටින විට ඔවුන් පොලිසියේ සහායට පැමිණියත් මේ අවස්ථාවේ පොලිසිය උදව් ඉල්ලා සිටියත් හමුදාව පැමිණියේ නැති බවත් ය.”

එසේ හමුදාව නොපැමිණයේ එම පිරිස් කුමන්ත්‍රණයට සම්බන්ධ නිසා යැයි ගෝටා නොකියා කියන්නේ හමුදාව දේශපාලනිකව පැත්තක් නොගත යුතු බව කීමෙනි.

ජූලි 09දා ගෝටා සමස්ත ආරක්ෂක පද්දතියම ජනාධිපති මන්දිරයට කැඳවා ගත්තේය.

“2022 ජුලි 8 වන දින, ආරක්ෂක හමුදා මූලස්ථානයේ සිට මෙහෙයුම් මැදිරිය ජනාධිපති මන්දිරයට ගෙන යන ලෙස මම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන්නෙමි.”

තමන්ට කෙළවෙන්නට එන බව ගෝටා දැන සිටියේය.

“2022 මැයි 9 වැනි දින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී හිටපු අගමැති ඇතුළු පිරිස ඉවත් කිරීමට හමුදා පිරිස් ගෙන්වා ගැනීමේ දී අපට ඇති වූ අයහපත් අත්දැකීම නිසා සියලු ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපති මන්දිරයට කැඳවා ගැනීමට මම මේ පියවර ගත්තෙමි.

“ 2022 ජූලි 9 වන දින උදෑසන ආරක්ෂක ලේකම්, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන් ‍ පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කර තිබූ මෙහෙයුම් මැදිරියට පැමිණ සිටියහ. ආණ්ඩුවේ සැලසුම වූයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීම තුලින් විරෝධතාකරුවන් කොළඹට පැමිනීම වැළැක්වීමයි.”

නමුත් ගෝටාගේ සැලැස්ම ඔහුගේම ආරක්ෂක අංශ නොසළකා හැර තිබුණි.

“ නමුත් එවැනි මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ අතර, උද්ඝෝෂකයන් කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.”

ගෝටා පලා යා යුතු බව කීවේ ඔහුගේම ආරක්ෂක අංශ ප්‍රධානීන්ය.

“පෙරවරු 10.30 ට පමණ මා වහාම ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීන් මට කියා සිටියේය. ඒ වෙන විට උද්ඝෝෂකයින් ජනාධිපති මන්දිරය වටලා පැයක්වත් ගත වී තිබුණේ නැත. ඊට පෙර දින, මගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි අප හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෑ සහිතව ගමන් මලු දෙකක් සූදානම් කොට තිබුණි. අප එම ගමන් මලු රැගෙන පහළට පැමිණ අපගේ වාහනවලට නගින විට, උද්ඝෝෂකයන් ඉදිරි ගේට්ටුව කඩාගෙන ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු විය.”

ගෝටාගේ කුමන්ත්‍රණ පොත කියන්නට තටමන දෙස් විදෙස් කුමන්ත්‍රණය වෙනුවට ඇත්තටම නම් සිදු වූයේ ඔහුගේම ආරක්ෂක ප්‍රධානීන් විසින් ඔහු අතහැර දැමීමයි.

ඒ වන විට කිසිදු මාර්ග බාධකයකට නතර කළ නොහැකි දශ ලක්ෂය ඉක්මවූ ජන ගංගාවක් කොළඹට ගලා විත් සෑම සිදුරකින්ම  ගෝටාගේ රාජධානිය  මහා ජන ගංවතුරක් ලෙසින්  යට කර ගනිමින් තිබුණි.

ගෝටාගේ කුමන්ත්‍රණ පොතෙහි සමාජ බලවේග පෙරළිකාරී ලෙස වර්ධනය වන ගතිකත්වයන් ගැන අල්ප මාත්‍ර අදහසක්වත් නැත. ගෝටා දුක් වන්නේ  පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ලවා අරගලය කුඩුපට්ටම් කිරීමට නොහැකි වූයේ ඇයි ද කියාය.

අන්තිමට ගෝටා තමන්ට උත්තර නැති බව කියන්නේ මෙසේය.

“සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරීන් පිරිසකට කිසිදු බාධාවකින් තොරව කොළඹට පැමිණ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ අගමැති නිල නිවස අත්පත් කර ගැනීමටත්, බලයේ සිටින අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිබත් කිරීමටත් හැකි වූයේ නම් එතැන බරපතළ නීතිය හා සාමය බිඳ වැටීමක් සිදු වී ඇති බව පැහැදිලි ය. ආරක්ෂක සහ බුද්ධි අංශ කටයුතු සම්බන්ධ අවබෝධයක් සහිත මා වැනි පුද්ගලයෙකු ජනාධිපති ධුරයේ සිටියදීත්, මේ රටේ දක්ෂතම වෘත්තීය හමුදා නිලධාරීන් ආරක්ෂක අංශ මෙහෙයවද්දීත් එවැනි දෙයක් සිදු වූයේ කෙසේ ද යන්න මගෙන් නිතර අසන ලද ප්‍රශ්නයකි.

“එම ප්‍රශ්නයට පහසු පිළිතුරක් නොමැත.”

ජාතික ආරක්ෂාව පිළිබඳ පකිර් මා යැයි කියා රට වටේ ගොස් ජනයා ඇන්ද වූ දැන් ගෝටාට කට උත්තර නැත!

අනුන්ට කයිවාරු ගැසූ නමුත් ගෝටා කියන්නේ “ආරක්ෂාව යනු මගේ ආණ්ඩුවට තිබුණු අඩුම අභියෝගයක් සහිත ක්ෂේත්‍රය බව මම අවංකව විශ්වාස කළෙමි.” කියාය.

අංක එකට ගෙනෙන බව පාරම් බෑ ජාතික ආරක්ෂාව ගෝටාගේ අඩුම අවධානයට යොමුව තිබුණේ එසේය,

තමාට පලා යැමට සිදු වූ හේතුව කුමන්ත්‍රණයකයි කියන නමුත් සිය අසාර්ථකත්වය ගැන  ගෝටා දක්වන හේතු අතර මෙසේ ද වේ.

“2020 අගෝස්තු මාසයේ දී අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබා ගත් අවස්ථාවේ සිට අපේ දේශපාලනික පරිහානිය ආරම්භ වූ බව කිව හැකිය.

“මේ තත්ත්වයට බලපෑ ප්‍රධාන හේතු වූයේ මම පාලක පක්ෂයේ නිලතල දරන්නෙකු නොවීම, සහ මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ මෙන් දේශපාලනයට සම්බන්ධ නොවීමයි.

කුමන්ත්‍රණ පොතට අනුව මහින්ද රාජපක්ෂ ද වරදකරුවෙකි.

“ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද වෙනදා මෙන් නොවීය. මහින්ද රාජපක්ෂ යනු අඩසියවසකට අධික දේශපාලන අත්දැකීම් සහිත, අපට වාසිදායක ලෙස භාවිතා කළ හැකි වූ සාධකයක් වූ නමුත් අප එහි දී අසාර්ථක විය.

“මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමෙන් ඉල්ලා අස්විය යුතු බවට මුලින්ම යෝජනා වූයේ අපේ ආණ්ඩුව ඇතුලෙන්මය.

“කඩාකප්පල්කාරීන් රට තුළ පමණක් නොව මගේ රජය තුළ ද සිටියහ.”

ගෝටාට ඉල්ලා අස් නොවන ලෙස බල කර කියූ රටක් ද තිබී ඇත. සිතා ගත හැකි පරිදි ඒ  එම රටෙහි නිදහස ඉල්ලා ලක්ෂ ගණනින් පාරට ආ යෞවන යෞවනියන් සහ  සරසවි සිසුසිසුවියන් යුද ටැංකි වලට යට කර මහා මිනිස් ඝාතනයක් සිදු කල තනි පක්ෂ පාලනයක් සහිත රට විය හැකිය.

“මා ඉල්ලා අස් විය යුතු නැතැයි බල කරමින් සිටි ප්‍රධාන විදේශ බලවතෙක් ද විය. එම විදෙස් බලවතා, ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ඒ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කොට තිබුණි.”

ගෝටාගේ කුමන්ත්‍රණ පොත සරම උස්සා මුහුණ වසා ගැනීමකි. මුහුණ වැසී ඇතත් බඩු සැට් එක එළියේය.

මෙම කුමන්ත්‍රණ පොත කිසිදු රටකට විරුද්ධව නිශ්චිත කොට සාක්ෂි ඉදිරිපත් නොකරයි. එය ගෝටාගේ ක්‍රමයයි. සාක්ෂි නැතිව ලසන්ත ඝාතනය කරන ලදුව, ‘කව්ද ලසන්ත’ යැයි මෘගාවේශයකින්  ඇසූ පරිදිය.

ලසන්ත ඝාතනය වැසූ පරිද්දෙන්ම මෙම කුමන්ත්‍රණ පොත, බොරු සහ විකෘති කිරීම් මෙන්ම භයානක ජාතිවාදී උමතුවකින් වලින් පිරී ඇත.

ඒ ගැන දෙවනුව ලියමි.

Archive

Latest news

Related news