Sunday, April 28, 2024

දේශබන්දු නුසුදුසුයි! පත්කිරීම ක්‍රම විරෝධියි!! ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව විනය පියවර ගනු!!! – පුරවැසි සාමූහිකය

1.ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා කිසිදු ලෙසකින් පොලිස්පති ධූරයට නොසුදුසු බව

2.පොලිස්පති ධූරයට පත් කිරීම වෙනුවෙන් නිර්දේශ කිරීමේදී අනුගමනය කල ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධී බව

3.ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බව

4.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කල පරිදි තෙන්නකෝන් මහතාට එරෙහිව නිසි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස

දක්වමින් පුරවැසි සාමූහිකය විසින් ව්‍යවස්ථාදායක සභාව , පාර්ලිමේන්තු ලේකම්වරයා, ජනාධිපතිවරයා සහ ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලද ලිපිය පහත පළවේ

2024.02.28

1.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – සභාපති
2.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – සාමාජික
3.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – සාමාජික
4.අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා – සාමාජික
5.පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා – සාමාජික
6.පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා – සාමාජික
7.අනුලා විජේසුන්දර මහත්මිය – සාමාජික
8.ප්‍රතාප් රාමනුජම් මහතා – සාමාජික
9.දිනේෂා සමරරත්න මහත්මිය – සාමාජික , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව.

සභාපතිතුමනි, සාමාජික මහත්ම මහත්මියනි,

ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් 2024.02.26 දින නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙනි

කෘර අමානුෂික වධහිංසාව සදහා වගඋත්තරකාරිත්වය ලැබීම , සාමකාමී උද්ඝෝෂණ වලට පහර දීම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, පොලිස් නිළධාරින්ට ජීවිත තර්ජනය කිරීම හා හිංසනයට ලක් කිරීම, සාධාරණ අපක්ෂපාතිව සිදු කළ යුතු විමර්ශන වලට බාධා කිරීම හා රාජ්‍ය දේපල හා සම්පත් අයථා ලෙස භාවිතා කිරීම ලෙස බරපතල චෝදනා විශාල ප්‍රමාණයක් දේශබන්දු තෙන්නකෝන් පොලිස් නිළධාරියා කෙරෙහි මේතාක් ඔහුගේ රාජකාරි කාලය තුළදී එල්ල වී ඇති අතර ඒවා යම් පොලිස් නිළධාරියකුට තම සේවයේදී ලැබිය හැකි උපරිම වු චෝදනා ලෙස සැලකිය හැකිය. මෙලෙස චෝදනා ලැබී සිටින බව දැන දැනම හා ඇතැම් චෝදනා වලට වැරදිකාරිත්ව ලබා තිබෙන බව දැන සිටින පසුබිමක ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කල බව 2024.02.26 දිනයේදී ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනය කළ අතර එය ශ්‍රි ලංකාවේ නීතියේ අධිපත්‍යයට හා මහජනතාවගේ මුලික අයිතිවාසිකම් වලට පැහැදිලිව බලපෑමක් හා තර්ජනයක් බව අප හදුනා ගන්නෙමු.

දේශබන්දු තෙන්නකෝන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ රාජකාරි කරන සමයේදී තම රාජකාරී සේවය තුළ අයථා ලෙස හිටපු හමුදා නිළධාරියකුව කෘර අමානුෂික වධහිංසාවට ලක් කිරීමත් එයට සහය දීමත් යන කාරණා පාදක කරගෙන 2023 දෙසැම්බර් මස 14 වනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් හරහා (SC/FR 107/2011 – W.Ranjith Sumangala vs Bandara and Others) දේශබන්දු තෙන්නකෝන් විසින් පෙත්සම්කරුව ශාරීරික වද බන්ධනයට ලක් කර ඇති බව තීන්දු කළ අතර තෙන්නකෝන් විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් පුද්ගලිකව පෙත්සම් කරුට ගෙවිය යුතු බව නියෝග කරන ලදී. තවද දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගකිවයුතු පිරිසට එරෙහිව සුදුසු විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසමට සහ අනෙකුත් ආයතන වලට නියෝග කර ඇත. මේ පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සිය දැඩි අවධානයක් යොමු කල යුතු බව අප විශ්වාස කරන්නෙමු.

දේශබන්දු  පුරාණය – පොද්දලගේ සිට තරිඳු දක්වා

එමෙන්ම මාධ්‍යවේදීන්ට හා මානව හිමිකම් ආරක්ෂකයන්ට තර්ජනය කිරීම හා ඔවුන්ගේ රාජකාරි සිදු කරගෙන යෑමට බලපෑම් කිරීම දේශබන්දු තෙන්නකෝන් විසින් දිගින් දිගටම සිදු කරන ලද බවට චෝදනා ඉදිරිපත් ව ඇත. 2009 දී පෝද්දල ජයන්ත මාධ්‍යවේදීයාව කෘර අමානුෂික වධ හිංසාවට ලක් කිරීමේ සිදුවීමේදි සාක්ෂි සැගවීම සම්බන්ධ චෝදනාව සෘජුවම දේශබන්දු තෙන්නකෝන් හට යොමු වු බව නොරහසකි. 2021 වසරේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන හට තර්ජනය කර බිය වැද්දීම පිළිබදව දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව පැමිණිලි කර තිබේ.

මැයි 09 ප්‍රහාරයට ඉඩ හැරීම

2022 මැයි 09 වන දින සාමකාමී උද්ඝෝෂකයන්ට සංවිධානාත්මක දේශපාලන පක්ෂ ආධාරකරුවන් කොටසකින් එල්ල වු මැර ප්‍රහාරය වැලැක්වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී එසේ නොකර සිය රාජකාරිය පැහැර හැරීම පිළිබදව දේශබන්දු තෙන්නකෝන් හට දැඩි ජනතා අප්‍රසාදයක් එල්ලවිය. එලෙසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ජේෂ්ඨ පරීක්ෂක වික්‍රමසිංහ පොලිස් නිළධාරියාට තර්ජනය කිරීම හා ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙන අතර එලෙස වාර්තා කර මාස පහක් ගත වීමට පෙර සේවය කළ රාජකාරි සේවයෙන් හාස්පසින්ම වෙනස් රාජකාරි සේවයකට මාරුවීමට වික්‍රමසිංහ පොලිස් නිලධාරියාට සිදු විය.

පාස්කු ප්‍රහාරය තොරතුර නොසළකා හැරීම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අකාර්යක්ෂම කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් පිළිබදව ජනාධිපති කොමිෂන් සභාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවට අනුව දැක්වුයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ව දැනුවත් වීමක් දේශබන්දු තෙන්නකෝන් ලැබුවත් එය කනිෂ්ඨ පොලිස් නිළධාරින් හට නිසිලෙස දැනුම්දීම සිදු නොකළ බවයි. එලෙසම සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කමිටුව නියෝග දිගින් දිගටම නොසලකා හරින දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට නිසි පොලිස් ආරක්ෂාව ලබා දීමට තවම කටයුතු කර නැත.

ශ්‍රේෂ්ඨාධීකරණ පෙත්සම් විභාග වන අතරතුර

තවද දේශබන්දු තෙන්නකෝන් යන අයව වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති (F/R)14/24, (F/R)04/24, (F/R)06/24, (F/R)12/24, (F/R) 317/23 , (F/R)318/23, (F/R)319/23 යන පෙත්සම් තවමත් විභාග වෙමින් පැවතියදී හදිසියේ ඔහුව පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදීමට ගත් තීරණය සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වය පිළිබදව ජනතාව අතර සැකයකට භාජනය වී ඇත.

සාදාචාරාත්මක පදනමක් නැහැ

පුරවැසි සාමුහිකය වශයෙන් අප ඉස්මතු කරන්නේ පොලිස් නිළධාරියා යනු සමාජයේ උපරිම යහපත සදහා සේවය කළ යුතු පුද්ගලයෙක් විය යුතු බවයි. එසේ තිබියදී අවම සාදාචාරාත්මක ගුණයෙන්වත් ක්‍රියා නොකළ , පොලිස් නිලධාරියෙක්ට තිබිය හැකි උපරිම ආකාරයේ චෝදනා වලට ලක්ව ඇති සහ වැරදිකරු බවට පත්ව ඇති දේශබන්දු තෙන්නකෝන් වැන්නෙක් පොලිස්පති තනතුරට සුදුසු බවට නිර්දේශ කිරීමට පක්ෂව සිය චන්දය ප්‍රකාශ කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් කෙරෙහි අපගේ දැඩි අප්‍රසාදය පලකරන්නෙමු. එතුලින් ඔබ විසින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත අනතුරේ හෙලා ඇති අතර ඉදිරියේ විය හැකි ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමකට දැන දැනම අනුබල ලබාදී ඇත.

ව්‍යවස්ථාව කෙළෙසා කළ පත්කිරීම

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි (41) (ඇ) (1) ව්‍යවස්ථාව හා (41) (ඉ) ව්‍යවස්ථාව එක්ව කියවු විට පොලිස්පති වරයා පත් කිරීමේ ක්‍රමවේදය වන්නේ ජනාධිපති වරයා විසින් යෝජනා කරන නම් සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතිකව හෝ බහුතර ජන්ද පහකින් යුතුව නිර්දේශය හිමි වන නාමය ජනධිපති වෙත යවා එයින් ජනාධිපති විසින් අදාල පත් කිරීම කළ යුතු බවයි. එහෙත් 2024.02.26 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දෙදෙනෙක් නොපැමිණිව සිටියදී හා තවත් දෙදෙනෙක් දේශබන්දු තෙන්නකොන්ගේ ගේ නාමයට නිර්දේශය ලබාදීමට විරුද්ධව ජන්දය ලබා දී තිබියදී පක්ෂව ලැබුණු ජන්ද 4ක් පමණක් ලබා ඇති පසුබිමක් තුල සභාපතිවරයා වන කතානායකවරයා ගේ චන්දය ද භාවිතා කරමින් අදාල නිර්දේශය ලබාදීමට තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කතානායකවරයාට චන්දය ප්‍රකාශ කල හැක්කේ චන්දය සමාන වන අවස්ථාවකදී පමණි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ලෙස ක්‍රියාකර ඇති බව අප තරයේ ප්‍රකාශ කර සිටින්නෙමු.ආණ්ඩුක්‍රම ව්‍යවස්තාදායක සභාවේ සභාපතිවරයා වන කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙහිදී කතානායකධූරය කෙරෙහි ශ්‍රි ලංකා ජනතාව තුළ ඇති විශ්වාසය හිතාමතා පළුදු කර ඇත.

ජනතා පරමාධිපත්‍ය නියෝජනය නොකරන එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් පත්ව සිටින 8 වන විධායක ජනාධිපති විසින් මෙම පත් කිරීම කෙරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර ජන්දය නොමැති බවත්, කථානායක විසින් අනිසි ලෙස තම ජන්දය භාවිතා කරමින ලබා දී ඇති බව දන්නා පසුබිමක ශ්‍රි ලංකා විධායකය නියෝජනය කරමින් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කිරීම පුරවැසියන්ට පවතින ආණ්ඩුව කෙරෙහි හා විධායකය කෙරෙහි ඇති අප්‍රසාදත්මක හැගීම තවත් ඉහළ නංවන්නකි.

සමස්ථයක් වශයෙන් පුරවැසි සාමුහිකය වන අප විසින් සාමාන්‍යය පොලිස් නිළධාරියෙක් වීමටවත් සුදුසුකම් නොමැති දේශබන්දු තෙන්නකොන් හට පොලිස්පති ධූරය ලබාදීමට ගත් තීරණය තරයේ ප්‍රතික්ෂේප කර සිටින අතර මෙම පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව තරයේ ප්‍රකාශ කර සිටිමු. එලෙසම මෙම පත්කිරීම තුළින් රාජ්‍ය යාන්ත්‍රණයේ විධායකය හා ව්‍යවස්ථාදායක සභාව විසින් තම තමන්ට ලැබී තිබෙන බලතල අයුතු ලෙස භාවිතා කරමින් නීතියට අනුව නොව පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කර ආකාරයක් පෙන්නුම් කරන බව අප හට සාධාරණ සැකයක් ඇතිව තිබේ . ඒ අනුව ශ්‍රි ලංකා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධිනත්‍යය ආරක්ෂා කිරීම සදහාත් මෙම පත්කීරිම බල රහිත කරන ලෙසත් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් කෙරෙහි නිසි විනිය පරීක්ෂණයක් පවත්වා ඔහු තවදුරටත් පොලිස් සේවයේ කටයුතු කිරීමට සුදුසුද යන්න තීරණය කරන ලෙසටත් අප විසින් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
පුරවැසි සාමුහිකය

පිටපත්
1. ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා – ජනාධිපති ලේකම්
2. කුශානි අනූශා රෝහණධීර මහත්මිය – පාර්ලිමේන්තුව මහලේකම්
3. ලලිත් ඒකනායක මහතා – සභාපති – ජාතික පොලිස් කොමිසන් සභාව

Archive

Latest news

Related news