Thursday, May 2, 2024

මුදල් අඩු කර ජනපතිවරණය බකල් කිරීමේ කූටෝපාය නැවතත් කරළියට; දේශපාලන පක්ෂ බුදි!

මැතිවරණයකට මුහුණ දීමට සිදුවීමේ වර්ධනයන්ගෙන් කැළඹී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ-එජාප ආණ්ඩුවේ නායකයින් නිදි නැති රාත්‍රීන් කරනවා විය යුතුය. ඔවුන් මාස අටකින් හෝ ඊට ආසන්න කාලයකදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තරඟය කල් දැමීමේ ක්‍රම සහ විධි සැකසීමෙහි  නිරන්තරයෙන් යෙදී සිටින බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මීළඟ ජනාධිපතිවරණය නියමිත වේලාවට පවත්වන බව ජනාධිපති කාර්යාලය පවසයි. අමාරුවේ වැටී සිටින ආණ්ඩු දෙන පොරොන්දු වියළි පාන් වාටි වැනි ය; ඒවා නිකම්ම කුඩු වෙයි.

එසේ සඳහන් කරන්නේ ‘දි අයිලන්ඩ්’ පුවත් පතෙහි අද කතුවැකියයි.

එය තවදුරටත් කියන්නේ මැතිවරණය කල් දැමීම පිණිස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංශෝධනයක් ජය ගැනීමට අවශ්‍ය ඡන්ද නැති බැවින් වෙනත් ගැටයකට ආණ්ඩුව ඔට්ටු වන බවයි.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් මීළඟ ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට දේශපාලන කව තුළ මතයක් පැතිර යමින් තිබේ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ ජනමත විචාරණයක දී එය ජනතාව ලවා අනුමත කරවා ගැනීමට උත්සාහ කරන පනත් කෙටුම්පතක් සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ-එජාප හවුලට තුනෙන් දෙකක බහුතර බලයක් එක් කර ගැනීමට හැකියාවක් නැත.

“එබැවින් නැවතත් මූල්‍යමය වශයෙන් මැතිවරණ ගෙල මිරිකීමට සැලසුම් කරනවාවත්ද? ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.

“2024 පෙබරවාරි 05 වැනි දින ගන්නා ලද කැබිනට් තීරණ දැනුම් දෙමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් වේ: “අමාත්‍ය මණ්ඩලය සලකා බැලුවේ 2024 වසර සඳහා අයවැය ඇස්තමේන්තුව මගින් රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බවයි. රජයේ මූල්‍ය ශක්තිය අතුළත ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ වියදම් පියවා ගැනීම සඳහා සහ එම ප්‍රතිපාදන කළමනාකරණය කළ යුතුය.”

මෙය පැහැදිලිවම කියන්නේ රුපියල් බිලියන 10න් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම කළමනාකර ගැනීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක  පෙන්වා දී ඇත්තේ  ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රමාණය කැබිනට් මණ්ඩලය විසින් අඩකින් අඩු කර ඇති බවයි.

මැතිවරණ කොමිසම  ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් සහ  ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11 ක් වන අතර එම ඇස්තමේන්තු දෙක 2023 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මැතිවරණ කොමිසම විසින් රජයට ඉදිරිපත් කරන ලදී.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් රාජපක්ෂගේ ඉල්ලීමක් උඩ බව ද අමාත්‍ය මණ්ඩල තීරණය සඳහන් කරයි. රුපියල් බිලියන 10ක් අවශ්‍ය වන ජනාධිපතිවරණය, බිලියන පහකින් කළ යුතු බව කියන්නේ ජනාධිපති පුටුවට පැන මාස 15ට විදේශ සංචාර 15 යෙදුණු ජනාධිපතිවරයෙකි!

ඉහත සඳහන් කළ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ආණ්ඩුව නොදැනුවත්වම තම කූටෝපාය හෙළිදරව් කර ඇතැයි  ද ‘දි අයිලන්ඩ්’ කතුවැකිය පවසයි.

“නැතහොත්  මෙය විපක්ෂයේ සහ මහජනතාවගේ ප්‍රතිචාරය මැන බැලීමට දැමූ මුට්ටියකි. විපක්‍ෂය මේ ප්‍රශ්නය ඉස්මතු නොකිරීම කුතුහලයට කරුණක්” බවද එය සදහන් කරයි.

බිලියන 10ක ඇස්තමේන්තුවක් බිලියන පහකට අඩු කළ ඇමැති මණ්ඩලය ජිවත් වන්නේ වෙනත් ග්‍රහලෝකයක විය යුතුය. මේ වනාහී පැහැදිලිවම ජනාධිපතිවරණයට එලූ මළ පුඩුවකි.

නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය, රාජ්‍ය මූල්‍ය පාලනය කරන කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව අභිබවා යාමේ අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මැතිවරණ කල් දැමීම සඳහා කැබිනට් මණ්ඩලය බළල් අතක් ලෙස භාවිත කරන බව මංජුල  ගජනායක  සඳහන් කරයි.

මංජුල ගජනායකට අනුව අවශ්‍ය බවට තීරණය කර ඇති බිලියන 10 වෙනුවට බිලියන 05කින් ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවුව හොත් නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව දුර්වල වෙයි.

මෙම කතුවැකියෙහි තවත් වැදගත් කරුණක් සඳහන් වෙයි. එනම් ජනාධිපතිවරයා ඒකාධිපතියකු වීම වළක්වන තුලන සහ සංවරණ බිද වැටෙමින් පවතින බවයි.

“බලය විභේදනයට තමා ගරු නොකරන බව ජනාධිපති වික්‍රමසිංහ ඔප්පු කර ඇත; ඔහු පාර්ලිමේන්තුවේ බලතල උදුරා ගන්නා අතර එහි දී ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා කට වහන්න යැයි කියයි. සංවරණ සහ තුලන යනු ඒකාධිපතිත්වයන් බිහිවීමට එරෙහිව ඇති බැම්මය.”

පලාත් පාලන මැතිවරණ කල් දැමීමට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුව දැන් අවස්ථා ගණනාවකදීම කල් ගොස් තිබේ. එම මැතිවරණය මුදල් නැතැයි කියා කල් දමා දැනට වසරකි. එමෙන්ම බ්‍රිතාන්‍ය පුුරවැසිභාවය සහිතව මෙරට පාර්ලිමේන්තු මංත්‍රී ධුරයක් දරන ඩයනා ගමගේ සම්බන්ධ නඩුවෙහි තීරණය ද දින නියමයක් නැතිව කල් දමා තිබේ.

‘ දි අයිලන්ඩ්’ කතුවැකිය මෙසේ ද කියයි.

“ඕනෑම රටක, විධායක බලතලවලට යටවී සිටින අධිකරණයක් ඇනහිටින බවට නොවරදින ලකුණක් නම්, බලතලවලට සමීප අයට හිතකර නොවන විනිශ්චයන් පැහැදිලි කළ නොහැකි ලෙස කල් දැමීමයි.”

2022 දී පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීමට දේශපාලන පක්ෂ දැඩි ප්‍රතිරෝධයක්  නොදැක්වීම, අනෙකුත් මැතිවරණ කල් දැමීම සඳහා එම ක්‍රියා පටිපාටියම අනුගමනය කිරීමට රජය ධෛර්යමත් කර තිබේද? යනුවෙන්ද එය විමසයි.

ආණ්ඩුවට මුදල් නැත්තේ මැතිවරණ පැවැත්වීමට පමණි!

“මැතිවරණයට මුදල් අවශ්‍ය වූ විට පමණක් වියදම් සීමා කිරීමට රජය උනන්දු වෙයි! එහි නායකයන්ගේ වියදම් කිරිම් සලකන පොදු අරමුදල් සම්බන්ධයෙන් එයට ගාණක් නැත. මහා භාණ්ඩාගාරය රජයේ දේශපාලකයන්ගේ විදේශීය ජොලි සංචාර, වරප්‍රසාද සහ රාජ්‍ය උත්සව සඳහා ඉතා විශාල අරමුදල් ප්‍රමාණයක් පහසුවෙන් ලබා දීමට ඉඩ සලස්වයි. ඒවා සම්පූර්ණයෙන්ම මුදල් නාස්තියකි.”

“ආණ්ඩුව තමන්ගේ ක්‍රම සහ විදි මගින් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම  නතර නොකළොත් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින්  “අරගලය”ට වඩා විශාල නැගිටීමකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇත. මහජන කෝපය උච්චස්ථානයට ළඟා වෙමින් පවතින අතර ව්‍යසනය වළක්වා ගැනීමට නම්  මැතිවරණයක් හර එය සංසිදුවිය යුතු” එම කතුවැකිය ආණ්ඩුවට අනතුරු හඟවයි.

මෙම භයානක වර්ධනය ගැන කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් තවම කිසිදු විරෝධයක් පළ කර නැත.

– ශ්‍රි ලංකා බ්‍රීෆ්

Archive

Latest news

Related news