2022 ජනවාරි 6 වන දින, ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ විවෘත කුණු කන්දක ආහාර සොයන වන අලි. (www.voanews.com)
(බීබීසී සිංහල)පසුගිට 2023 වසරේ හක්කපටස් තැබීමෙන් මියගිය වන අලි ඇතුන්ගෙන් 70%ක්ම වැඩිහිටි නොවන වයස්වල සතුන් බව අනාවරණය වී තිබේ.
මෙම දත්ත ඇතුළත් මිනිස් ක්‍රියාකාරකම් නිසා පසුගිය වසරේදී සිදු වූ වන අලි මරණ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙඩ් අඩවිය තබා තිබූ සවිස්තරාත්මක සටහන උපුටා ගෙන පහත දැක්වේ.
ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ අලි ඇතුන් බොහොමයක් මරා දමන්නේ ඇයි ?
පසුගිය වසරේ මාර්තු මාසයේදී තම සැමියා පාගා මරා දැමූ දෛවෝපගත සන්ධ්‍යාව විස්තර කරන විට සුමිත්‍රා මල්කාන්තිගේ හදවත බිඳී යයි.
ඇය මුළුතැන්ගෙය තුළ කාර්ය බහුල වී සිටියා ය – එම යුවළ පදිංචිව සිටියේ ශ්‍රී ලංකාව මධ්‍යයේ පිහිටි කෘෂිකාර්මික ගම්මානයක ය – ඇගේ සැමියා වූ තිලක් කුමාර, එම අවස්ථාවේ, ඔහුට අයත් ගවයින්ට ආහාර දෙමින් සිටියේ ය. එහිදී, අලියෙකුගේ කුංචනාදයක් ඇයගේ සවන් වැකිණි.
ඇය පැවසුවේ, ඔහුට ඒ බව දැනුම් දීමට උත්සහ කළ බව ය. එහෙත්, “මිනිත්තු කිහිපයකදී, විනාශය සිදුවී හමාර වී තිබිණි”. ගම් වැසියන්ගේ භීතියට පත් කෑගැසීම් හමුවේ අලියා පළාගොස් තිබිණි.
තරුණ දූවරුන් තිදෙනෙකුගේ මවක වන 45 හැවිරිදි මල්කාන්ති පැවසුවේ, සිය පවුල එම සිද්ධියෙන් ඇති වූ කම්පනයෙන් මිදීමට තවමත් උත්සහ දරමින් සිටින බව ය. එවැන්නක් යළිත් සිදුවනු ඇතැයි ඇය බියෙන් පසු වෙයි.
අලි ඇතුන් කෑමට ප්‍රිය කරන පොල්, අඹ, කෙසෙල් ගස්වලින් වට වූ ඇගේ නිවස පිහිටා ඇත්තේ, ඝන වනාන්තරයක සිට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් පිහිටි ගොවිපළක ය. ඇය වාසය කරන ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ තල්ගස්වැව, මේ වන විට මිනිසුන් සහ අලි ඇතුන් අතර උග්‍ර වෙමින් පවතින ගැටුම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබේ.
ප්‍රාදේශීය නිලධාරීන් පවසන්නේ, පසුගිය වසර දෙක තුළදී පමණක් තල්ගස්වැව සහ අවට ගම්මානවල පුද්ගලයින් තිදෙනෙකු සහ අලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය. ගම්වාසීන් මේ වන විට හිරු බැස යාමෙන් පසු තම නිවෙස්වලින් පිටතට යාමට බියෙන් පසු වෙති.
කෙසේ වෙතත්, මේ ගැටලුව මෙම කුඩා ප්‍රදේශයට වඩා බොහෝ ඈතට ව්‍යාප්ත වී ඇත.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ප්‍රහාරවලට ලක්ව මිය ගිය පුද්ගලයින් 176 දෙනා අතරින් කුමාර ද එක් අයෙකි. එම කාලය තුළදී ම, අලි ඇතුන් 470 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ – ඉන් අඩක් මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් සිදුව ඇති අතර, සෙසු මරණ රෝගී තත්ත්වයන් හෝ අනතුරු හේතුවෙන් සිදුව තිබේ. මෙම සංඛ්‍යා දත්ත සාමාන්‍යයක් ලෙස ගත් කල, පසුගිය වසරේදී අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම දින දෙකකට වරක් මිනිස් මරණයක් සිදුවෙද්දී, සෑම දිනකදී ම එක් අලියෙකු හෝ ඇතෙකුට වඩා ජීවිතක්ෂයට පත්ව ඇත.
ගොවිතැන් පුළුල් වීමත් සමග, අලින්ගේ වාසස්ථාන ආක්‍රමණයට ලක් වන අතර, ඔවුන්ගේ ආහාර සහ ජල මූලාශ්‍රවලට බාධා ඇති වීමෙන් ජනතාවගේ ජීවිත අනතුරට ලක්වී තිබේ. “අපි වගා කරන හැම ආහාර බෝගයකට ම ඔවුන් ආකර්ෂණය වෙනවා,” ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු පැහැදිලි කරයි.
එහෙත්, 2023 වසරේදී වාර්තාගත මරණ සංඛ්‍යාවක් පෙන්නුම් කරන නවතම සංඛ්‍යා ලේඛනවලින් ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ අලි ඇතුන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක් පෙන්නුම් කරයි.
මිනිස් සහ අලි ඇතුන් මරණ සංඛ්‍යාව වාර්තාගත දරුණු තත්ත්වයක පවතින හෙයින්, එය මිනිසුන් මෙම තේජාන්විත සතුන් සමග ගැටීමේදී සිදු විය හැකි මාරාන්තික ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් කරන වනජීවී සංරක්ෂකයෝ රජයේ පාර්ශවයෙන් කඩිනම් ක්‍රියාමාර්ග අපේක්ෂා කරති.
“සිවිල් යුද්ධය ඉවර වුණාට පස්සේ (2009) ආණ්ඩුව ජනතාවට ඉඩම් මුදා හරින්න පටන් ගත්තා. මේවා යුද්ධය කාලයේදී තහනම් කලාප,” ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමයේ පරිසරවේදී චන්දිම ප්‍රනාන්දු පැවසීය. ඔහු පවසන්නේ, මේ හේතුවෙන් ගොවිතැන් සහ පදිංචි කරවීම් සඳහා වැඩි වශයෙන් භූමිය විවෘත වූ අතර, ඉන් අලි ඇතුන් සහ ජනතාව වැඩි වශයෙන් සම්මුඛ වීම් සිදු වූ බව ය.
ආගමික හා ආර්ථික වශයෙන් වටිනාකමක් සහිත වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අලි ඇතුන් ඝාතනය කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. හීළෑ අලි ඇතුන් ආගමික පෙරහරවල සහ සංචාරක ආකර්ෂණයේ කොටසකි.
එසේ වුව ද, සිය වගාවන් සහ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මාරාන්තික පූර්වාරක්ෂක ක්‍රමෝපායයන් අනුගමනය කිරීම ගොවීන් නතර කර නැත.
ශ්‍රී ලංකාව අලි ඇතුන් ඈත් කර තැබීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට අවසර දෙන අතර, බරපතළ තුවාල සිදු නොකර ඔවුන්ව එලවා දැමීමට තරම් ආරෝපණය ප්‍රබල ය. තල්ගස්වැව ප්‍රදේශය ද ඇතුළුව ශ්‍රී ලංකාව තුළ කිලෝමීටර් 5000ක් පමණ විදුලි වැටවල් ඉදි කර තිබෙන අතර එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂිත ය.
කෙසේ වෙතත්, සත්ව ශුභසාධන ක්‍රියාකාරීන් පවසන්නේ, ගොවීන්, අලි ඇතුන් මරණයට පත්වීමට පවා හැකි ඉහළ වෝල්ටීයතාවයෙන් යුතු විදුලි වැටවල් නීතිවිරෝධී ලෙස ඉදිකරන බව ය. ඊට අමතරව, වස දීම, “හක්ක පටස්” නමැති පුපුරණ ඇම ලබා දීම සහ ඇතැම් විට ඉවතට එලවා දැමීම සඳහා සතුන්ට වෙඩි තැබීම ආදී ක්‍රියාවල ද ගොවීහු නිරත වෙති.
“අලි ඇතුන් ආකර්ෂණය නොවන දෙහි වැනි බෝග වගා කිරීම ආදී වඩාත් සරල සහ කාරුණික ක්‍රම” චන්දිම ප්‍රනාන්දු වැනි විශේෂඥයින් නිර්දේශ කරති.
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත වාසස්ථාන ලෙස සැලකෙන තෙත්බිම්, තෘණබිම්, කඳුබිම් සහ ලඳුකැලෑ ආශ්‍රිතව අලි ඇතුන් 5,800ක් පමණ සැරිසරන බව ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, එම සංඛ්‍යාව ඊට වඩා විශාල වශයෙන් පහළ අගයක් ගන්නා බවට ඇතැම් විශේෂඥයෝ බිය පළ කරති.
අලියෙක් දිනකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 48ක් ගමන් කරන අතර, මිරිදිය පවතින ජලාශ ආසන්නයේ වාසය කරයි. ආහාර හිඟයක් නොමැති නම් ඔවුන් දිගු දුරක් ගමන් කරන්නේ නැත.
එහෙත්, එවැන්නක් සිදුවුවහොත් – උදාහරණයක් ලෙස සංරක්ෂිත ප්‍රදේශවල නියඟයක් ඇති වුවහොත් – ඔවුහු අසල ඇති ගොවිපොළවල් වෙත ඇදී යති.
සංරක්‍ෂිත ප්‍රදේශවලින් පිටව යන අලි ඇතුන් ආපසු එම ප්‍රදේශවලට ම යොමු කිරීම පිළිබඳව රජය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ, ප්‍රමාණයෙන් කුඩා වෙමින් පවතින වනාන්තරවලට දරාගත නොහැකි තරම් අලි ඇතුන් සංඛ්‍යාවකට ඉඩකඩ නොමැති හෙයිනි.
අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට 2020 වසරේදී පත් කළ නිල කමිටුවේ ප්‍රධානියා වූයේ, ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු ය. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බැවින් පසුගිය වසර කිහිපය තුළ මෙම සැලැස්ම අක්‍රියව පැවති නමුත් අලි මරණවල තියුණු වැඩිවීම හේතුවෙන් එය කඩිනම් කිරීමේ අදහසක් ඇති වී තිබේ.
ස්වභාව ධර්මය සඳහා වන ලෝක අරමුදල පවසන පරිදි, 19 වන සියවස ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අලිගහනය 65%කින් පහළ ගොස් තිබේ.
දශකයකට පෙර, ශ්‍රී ලංකාවේ වසරකට මිය ගිය අලි ඇතුන් සංඛ්‍යාව 250ක් පමණ විය. එහෙත්, මෑත වසරවලදී මෙම සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර අඛණ්ඩව දෙවන වසරටත් මරණ සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. දැනට පවත්නා අනුපාතයට අනුව අලි මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත්, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් 70% ක් පමණ අහිමි වනු ඇතැයි ප්‍රිත්විරාජ් ප්‍රනාන්දු පැවසීය.
විශේෂඥයන් කනස්සල්ලට පත්වන කරුණක් වන්නේ, අලි විශේෂයේ පැවැත්ම අවදානමට ලක් කරමින් පිරිමි අලි විශාල සංඛ්‍යාවක් මිය යාම ය. ඇතුන් බොහෝවිට තනිව ග්‍රාමීය ප්‍රජාව අතර සැරිසරන අතර එමගින් ඔවුහු වඩාත් අවදානමට ලක් වෙති.
මෑත වසර කිහිපයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කලාපය තුළ කිසිදු පිරිමි අලියෙකු දක්නට ලැබී නැතැයි, චන්දිම ප්‍රනාන්දු පවසයි. කොරෝනා වසංගතයට පෙර එවැනි සතුන් දැකීම සාමාන්‍ය දෙයක් විය.
පර්යේෂකයන් පවසන්නේ, රක්ෂිත ප්‍රදේශවලින් පිටත අලි මරණ සංඛ්‍යාව ගණනය කළ ද, අසනීප, ගැටුම් හෝ නියං තත්ත්වයන් හේතුවෙන් වනාන්තර තුළ සිදුවන්නේ කුමක් ද? යන්න පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති බව ය.
තල්ගස්වැව ප්‍රදේශයට ආපසු හැරුණහොත්, මල්කාන්ති පවසන්නේ, තවත් අලි ප්‍රහාරයක් ඇති වේයැයි ඇයට බියට පත්ව සිටින බව ය.
“ගොවිපොළට තවත් අලි දිගින් දිගට ම එනවා,” ඇය පවසයි. “අපට මෙහේ ජීවත් වෙන්න බයයි.”
(බීබීසී සිංහල සේවයේ වෙබ් අඩවියෙනි.)