Sunday, April 28, 2024

ගහල දාන පොලිස් ඇමති නීතිඥයින්ට කරන තර්ජන සහ ” යුක්ති” මෙහෙයුමේ නොපෙනෙන දේශපාලනය

සුනන්ද දේශප්‍රිය.

පොලිස් මෘග බසින් ගහල දානවා යනු කොතැනක දි හෝ නීතියට පිටින් ඝාතනය කිරීමය. රනිල් රාජපක්ෂගේ වත්මන් පොලිස් ඇමතිවන ටිරන් අලස් ද පාවිච්චි කරන්නේ එම ශබ්ද මාලාවමය. පාතාල යැයි කියන පිරිස්වල ගහල දාන බව ඔහු ප්‍රසිද්ධියේ ම කීවේය.

ලංකාවේ පොලිසියට කබර ගොයා තලගොයා කිරීමට පුලුවන. එනයින්ම ඕනෑම පුද්ගලයකු “පාතාලයෙක්” හෝ “කුඩු කාරයකු” කිරීමට ද පුලුවන් බව රහසක් නොවේ.

රනිල් රාජපක්ෂ- ටිරන් අලස් – දේශබන්දු ත්‍රිත්වය විසින් මුදා හැර ඇති ඊනියා යුක්තිය මෙහෙයුම දැනටමත් ලෝකාපවාදයට පවා පත්ව තිබෙන්නේ එහි අනීතින සහ පොලිස් රාජ්‍ය ස්වභාවය නිසාය.

මෙම මෙහෙයුම “යුක්තිය”ට වඩා ලංවන්නේ අයුක්තියට බව කීවේ මෙරට මානව හිමිකම් කොමිසමය. නීතිඥ සංගමය ද මෙම මෙහෙයුම “පොලිස් රාජ්‍යයක” ස්වරෑපය ලබා ඇතැයි ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම අනීතික මෙහෙයුම හෙළා දුටුවේ සැර බසකිනි.

එසේ නමුත් රනිල්- ටිරන්-දේශබන්දු ත්‍රිත්වය දිගටම අයුක්ති මෙහෙයුම කරගෙන යයි. රනිල් රාජපක්ෂ  මෙන්ම ටිරන් අලස් ද කියන්නේ එක්සත් ජාතීන්ට බම්බු ගහගන්න කියාය.

ටිරන් අලස්ට අනුව මෙම අයුක්ති මෙහෙයුමට විරුද්ධ වන සියලු දෙනා කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පිරිස්ය. විශේෂයෙන්ම ඔහු මෙලෙස අත්අඩංඟුවට ගන්නා පිරිස් වෙනුවෙන් පෙනි සිටින, අධිකරණයට පැමිණිළි කරන නීතිඥයින්ට දිගටම පහර දෙයි. එම කතා රෑපවාහිනි මගින් රටටම බෙදා හරියි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංඟුවට ගන්නා පිරිස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම ජාවාරමට සම්බන්ධ යැයි ද ඔවුන්ගේ මුදල්වලින් යැපෙන්නන් යැයි ද  ටිරන් අලස්  චෝදනා කරයි.

එම තර්කයට අනුව එල්ටීටීඊයට කොටි ගණනින් මුදල් ලබා දුන් ටිරන් අලස් වෙනුවෙන් පෙනි සිටි නීතිඥයින් එල්ටීටීඊ සහායකයින් විය යුතුය!

ලංකාවේ දේශපාලඥයින්ට දිව දෙකක් නොව තුන හතරක්ම තිබෙන බවට ටිරන් අලස් ජීවමාන සාක්ෂියකි.

මත් කුඩු පාවිචිචි කරන්නන් අත්අඩංඟුවට ගැනීමෙන් මත් ද්‍රව්‍ය ජාවාරම නැති කල රටක් නැත. පිලිපීනයේ ජනාධිපති වූ දුතර්තේ එවැනි මත්ලෝලීන් දහස් ගණනින් අත්අඩංඟුවට ගත්තා පමණක් නොව විසි-තිස්දහසක් නීතියට පිටින් ඝාතනය කළේය. ඒ වසර හතර පහකට පෙරය. නමුත් පිලීපීනයේ මත් ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය අවසන් වූයේ නැත.

202112asia_philippines_wr
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ දුතර්තේ පාලනයේ පළමු වසර එකහමාර තුළ සිදු කරන ලද නීති විරෝධී මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් 42,286 න් 507 ක් පමණක් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත පදනම් වූ බවයි.

ලතින් ඇමෙරිකාව පුරාම එවැනි අත්දැකීම් ඕනෑවටත් වඩා තිබේ.

හිටපු ජනාධිපතිවරියක වන වන චන්ද්‍රිකා කුමාරතුං ද ජනාධිපතිවරුන් වූ  මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ ජනාධිපති ධුර කාල තුළ මත්පැන් විරෝධී ව්‍යාපාර හෝ නීති සම්පාදනය කළේය. එසේ නමුත් මත්පැන් බදු ඉහළ නංවමින් රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ දෙපිට කාට්ටු පිළිවෙත අද දක්වා සෑම පාලකයකු විසින්ම පවත්වා ගෙන යයි.

මහින්ද රාජපක්ෂ, “මතට තිත” නම් ව්‍යාජ අමද්‍යප ව්‍යාපාරය දියත් කළේය. මහින්ද රාජපක්ෂ සමඟ අඩියක් නොගැසූ දේශපාලන ජනමාධ්‍යවේදියකු නැති තරම්ය. ආරාධිතයින්ට පෙර මුහුණ සාක්කුවේ දා ගත්තේ ඒ “මතට තිත” නායකයා වූ මහින්ද රාජපක්ෂමය.

බොරුවෙන් උපන් බොරුවෙන්ම නැසුනු සිරිසේන ඊට හපන් විය. ඔහු 2018 මැද බාගය වන විට මෙරටින් මත් ජාවාරම තුරන් කරන බවට පාරම් බෑවේය. ඒ කොතරම්ද යත් 2020 වන විට මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතය අවසන් කිරීමට තම රජය අපේක්ෂා කරන බවත්, මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන  බවටත්  සිරිසේන වගාඩම්බර දෙඩුුවේය. මත්කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් සිරිසේන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට වළි කෑවේය. ඊට ආරම්භයක් ලෙස මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් හතර දෙනෙකුට මරණ වරෙන්තු අත්සන් කළේය.

ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේ යැයි 2018 වසරෙහි දී ජනාධිපති  සිරිසේනට ජාත්‍යන්තර සම්මානයක් පවා ලැබුණි.

නමුත් ඒ සියල්ල පුස්ස බින්දාක් වැනි විය. භාරදූර ආණ්ඩුවක් නම් කළ යුත්තේ එවැනි අත්දැකීම් සැළකිල්ලට ගැනීමයි.

මත්පැන් මිල ඉහළ දැමීම නිසා මෙරට මත්පැන් භාවිතය අඩු වී නැති බවට කිසිදු වාර්තාවක් නැත. සිදුව ඇත්තේ හොර අරක්කු සහ කසිප්පු ජාවාරම ඉහළ යාමය. කසිප්පු පරිභෝජනය පිළිබඳ සංඛ්‍යා ලේඛන නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2018 වසරේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය ලීටර් 4.1 කි. පිරිමින් අතර වාර්තා වූ ඒක පුද්ගල පරිභෝජනය ලීටර් 18.9 කි. මෙය ලෝකයේ ඉහළම මධ්‍යසාර පරිභෝජන මට්මකි. සියලුම “මතට තිත්”  හුදු වංචාවක් පමණක් ම වූ බවට මෙම සංඛ්‍යා ලේඛන සාක්ෂියකි.

සෞඛ්‍ය දෘෂ්ඨිකෝණයෙන් බලන්නේ නම් මෙරට මත්පැන් පරිභෝජනය, මත් කුඩු පරිභෝජනයට වඩා භයානකය. එසේ තිබියදීත් මද්‍යසාර විරෝධී දේශපාලන මෙහෙයුම් 2017 වර්ෂයේ පමණ සිට මත් කුඩු නොහොත් නාකොටික් ඩ්‍රග්ස් කරා මාරු විය.

මත්වීමට ඇති ලැදියාව අතීතයේ සිට පැවත එන්නකි.  සමාජ ආර්ථික සහ සංස්කෘතික අර්බුද විසින් එය සිමා ඉක්මවූ ඇබ්බැහියක් බවට පත් වෙයි. මෙම  යථාර්ථය තේරුම් නොගෙන දියත් කරනු ලබන ඕනෑම මත් විරෝධී ව්‍යාපාරයක් අසාර්ථක වීමට උපන් ගෙයිදීම ඉරණම් ලබයි.

බටහිර බලපෑම් හමුවේ සිංහල ජාතිකවාදී ස්ථාවරයන් සහ බෞද්ධ සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා කැපවීමක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට යොදා හැකි මෙවලමක් ලෙස මත්පැන් සහ මත් දුව්‍ය මාතෘකාව දිගු කලක් පාවිච්චි වී තිබේ.  ප්‍රථම “අමද්‍යප ව්‍යාපාරය” ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයට සමීපව බැඳී තිබූණි.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් ජනප්‍රිය දේශපාලනයේ කොටසකි. මෙරට ජනප්‍රිය දේශපාලනයේ මූලික සංරචකය වූ යුදවාදය දැන් ප්‍රයෝජනායට ගත නොහැකි බැවින්, පාලක පංතීන් වෙනත් සටන් පාඨ සොයා ගත යුතුය. මත් කුඩු සහ මත් කුඩු ජාවාරමට විරුද්ධ මෙහෙයුමට දෙන ලද යුක්තිය යන නමින්ම පෙන්වන්නේ එහි දේශපාලන අරමුණය.

අමද්‍යප යනු දේශපාලන ව්‍යාපාරයක් ද වේ. යටත් විජිත සමයෙහි අමද්‍යප ව්‍යාපාරයක් දියත් කලේ අනගාරික ධර්මපාලය. එනමුත් ඔහුට ධන සම්පත් ලබා දුන්නේ අරක්කු රේන්ද ජාවාරම මගින් ධනවත් වූ සිංහල බෞද්ධ ජනනායක නායිකාවන්ය.

අද රනිල්-ටිරන් හවුලට අවශ්‍ය වී ඇත්තේ ද මත් ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම නතර කිරීමට නොව. සිය වධක පොලිස්පතිවරයා වන දේශබන්දුට මල්මාලා පැළදවා රැක ගැනීමටය. මන්දයත් අවශ්‍යවුව හොත් ජනප්‍රිය සටන් පාඨයක් යටතේ වධක දේශපාලන මර්දනයක් මුදා හැරීමට  ගැළපෙන පොලිස් ප්‍රධානියා ඔහු නිසාය.

දේශපාලන වශයෙන් රනිල්-ටිරන් හවුලට අවශ්‍ය වන්නේ දින කිහිපයක්  තුල තිසි හතලිස් දහසක් අත්අඩංඟුවට ගත හැකි වන පරිදි පොලිස් යාන්ත්‍රණය ග්‍රීස් කර තැබීමට විය හැකිය. කොවිඩ් සමයෙහි ගෝඨාභය රාජපක්ෂ එය අත්හදා බැලුවේය. නීති විරෝධී කොවිඩ් පොලිස් හදිසි නීතිය අහිංසකයින් දස දහස් ගණනින් අත්අඩංඟුවට ගත් නමුත් ඒ කිසිවකුට විරුද්ධව නීතිමය පියවර ගත්තේ නැත.

දැන් රනිල් රාජපක්ෂ එය ඉහළ මට්ටමකට ගෙන යමින් සිටී. ඒ ලැයිස්තු අනුව මහා පරිමාණ අත්අඩංගුවට ගැනීමටය. මෙම ඊනියා යුක්ති මෙහෙයුම  මත්කුඩු සම්බන්ධ පෙර වැරදි තිබු දහස් ගණනාවක් අත්අඩංඟුවට ගත්තේ ඔවුන්ගේ පදිංචිය අනුවය.

මෙරට විසි දහසකට අධික වෙස්වෙලා ගත් නිල සහ සිවිල් රාජ්‍ය ඔත්තුකරුවන් සිටින බව කියැවේ.  සැම පොලිස් ස්ථානයකම බුද්ධි අංශයක්  තිබේ. අරගලයට සම්බන්ධ වූ සෑම අයකුගේම විස්තර ගොනුවක් රාජ්‍ය බුද්ධි අංශ පවත්වා ගෙන යන බව ද කියනු ලැබේ. ඊට අමතරව විපාක්ෂික දේශපාලන ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් ද ලැයිස්තු ගත කර තිබිය යුතුය.  දේශපාලනිකව තමන්ට යටත් නැති දස දහස් ගණනාවක දුරකතන සංවාද වලට සවන් දිය හැකි යාන්ත්‍රණයන් මෙම බුද්ධි අංශ සතුය.

දස දහස් ගණනාවක් එක් රැයකින් අත්අඩංඟුවට ගැත හැකි සැළැස්මක් පවා සකස් කිරීම අද මෙරට පවත්නා අන්දමේ පොලිස් රාජ්‍යකට හැකිය.

සජබ විරෝධතාවය මර්දනය කිරිම හුදෙක් සජබට එල්ල වූ ර්ජනයන් නොවේ. පොලිස් රාජ්‍ය මෙහෙයුමකි.

මෙම පොලිස් රාජ්‍යය පාර්ලිමේන්තු විපක්ෂයට සාමකාමී විරෝධයක් පෑමට පවා ඉඩ නොදෙන, එය මර්දනය කරන එකක් බව අපි දුටුවෙමු. එය හුදෙක් සජබට එල්ල කළ ප්‍රහාරයක් නොවේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මරු පහරකි. සරසන ලද කූඩාරම් තුල කැරෙන දේශපාලනයට වඩා, ඒකාධිපතියකු බිය වන්නේ වීදියේ අරගලයටයි.

මේ වනාහී රනිල් රාජපක්ෂගේ දේශපාලනය මහජන ඡන්ද බලය මගින් පරසක්වල යැවීමට නියමිත මෙම වසර බවද අමතක නොකරමු. එබැවින් රනිල් -ටිරන්- දේශබන්දු ත්‍රිත්වය විසින් දියත් කර ඇති ගහලා දැමීමේ අනීතික මෙහෙයුම, හුදෙක් මත්වීම සහ මත් ජාවාරම හා සම්බන්ධ ක්‍රියාවලියක් ලෙස පමණක්  යැයි සිතීම මාරාන්තික වරදක් වීමට ඉඩ තිබේ. මන්ද යත් කැමැත්තෙන් වේදිකාවෙන් බැස යාමට රනිල් රාජපක්ෂ සුදානම් නැති බව එන්න එන්නම පෙනෙන්නට ඇති නිසාය.

31.01.24

Archive

Latest news

Related news