Thursday, November 21, 2024

ගාසා වර්ග සංහාර නඩුව: ලෝක අධිකරණය ඊශ්‍රායලයට පැන වූ කොන්දේසි, එහි ප්‍රතිවිපාක සහ ඉදිරි වර්ධනයන්

සුනන්ද දේශප්‍රිය.

ඊශ්‍රායලයට විරුද්ධව දකුණූ අප්‍රිකාව ඉදිරිපත් කළ වර්ග සංහාර පැමිණිල්ල විභාග කළ ලෝක අධිකරණය  සිකුරාදා එනම් 26දා අන්තර් වාර තීරණය  ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් ඉල්ලා සිටි, සටන් විරාමයක් සඳහා තීන්දුවක් එය නුදුන් නමුත් ගාසා තීරයට බෝම්බ හෙළීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය   ගත යුතු හදිසි පියවර ලෙස නියෝග හයක් එය නිකුත් කළේය.

ඊශ්‍රායලය නඩු විභාගයෙහි දී එම වර්ග සංහාරක චෝදනාව ප්‍රතික්ෂේප කළේ ගාසා තීරයේ සිය ක්‍රියාකාරකම් “අත්‍යවශ ආරක්‍ෂාව” නිසා පැන නගින බවත් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම අවශ්‍ය බවත් පවසමිනි. එම ඉලක්කය සපුරා ගන්නා තුරු යුද්ධය අවසන් කළ නොහැකි බව එය සඳහන් කළේය. එම පදනම මත දකුණූ අප්‍රිකානු පැමිණිල්ල ඉවත දමන ලෙස ඊශ්‍රායලය ඉල්ලා සිටියේය.

ලෝක අධිකරණය

සිකුරාදා හේග් හි ලෝක අධිකරණයෙහි සභාපති විනිසුරු ජොආන් ඩොනොහූ සිය රටට  එරෙහිව දකුණු අප්‍රිකාවේ පැමිණිල්ල විභාග කිරීමට අධිකරණයට, අධිකරණ බලයක් නොමැති බවට වූ ඊශ්‍රායලයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය . දකුණු අප්‍රිකාවට තම නඩුව ඉදිරිපත් කිරීමට පැහැදිලි අයිතියක් ඇති බව අධිකරණය තීන්දු කර තිබුණි.

ඊශ්‍රායලය ලද පළමු පරාජය එය විය.

ඊශ්‍රායලයට එරෙහිව හදිසි ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලෙස දකුණු අප්‍රිකාව ලෝක අධිකරණයෙන් ඉල්ලා තිබුණි. ඉන්  හයක් ක්‍රියාත්මක කරන ලෙස  ලෝක අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය දැනටමත් පලස්තීනුවන් 26,000 කට වැඩි පිරිසක් මරා දමා  තිබේ. තවද ඊශ්‍රායලය, ගාසා තීරයේ ජනයාට ආහාර, ජලය, ඉන්ධන සහ වෛද්‍ය ආධාර සඳහා ළඟා වීම දැඩි ලෙස සීමා කර ඇත.

 තීන්දුවේ නියෝග

දකුණු අප්‍රිකාව විසින් ඉදිරිපත් කරන ලද නඩුව විභාග කිරීමට තමන්ට අධිකරණ බලය  තහවුරු කළ ලෝක අධිකරණය පහත දැක්වෙන හදිසි නියෝග හය ඊශ්‍රායලයට  නිකුත් කළේය.

  • 1948 වර්ග සංහාර සම්මුතියේ 2 වැනි වගන්තියේ දක්වා ඇති ක්‍රියා වැළැක්වීමට ඊශ්‍රායලය හැකි සෑම පියවරක්ම ගත යුතුය. ගසා තීරයට අදාළව වැළැක්විය යුතු එම ක්‍රියා මෙසේය: යම් කණ්ඩායමක සාමාජිකයන් (මෙම අවස්ථාවේදී, පලස්තීනුවන්) ඝාතනය කිරීම, එම කණ්ඩායමෙහි සාමාජිකයින්ට ශාරීරික හෝ මානසික හානියක් සිදු කිරීම, ජනතාවගේ පැවැත්ම අවසන් කිරීම සඳහා ඉලක්ක කරන ලද ජීවන තත්වයන්ට හානි කිරීම, එම පුද්ගලයින් සමූහය තුළ උපත් වැළැක්වීම සඳහා ඉලක්ක කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.

  • ඊශ්‍රායලය තම හමුදාව ඉහත ක්‍රියාවන් කිසිවක් සිදු නොකරන බවට සහතික විය යුතුය.

  • ඊශ්‍රායලය විසින් “ගාසා තීරයේ පලස්තීන කන්ඩායමේ සාමාජිකයන් සම්බන්ධයෙන් සමූලඝාතනය කිරීමට කැරෙන  ඍජු සහ ප්‍රසිද්ධ උසිගැන්වීම” වැළැක්විය යුතු අතර එවැනි ප්‍රකාශයන් සම්බන්ධයෙන් දඬුවම් කළ යුතුය.

  • ගාසා තීරයේ සිවිල් වැසියන්ට මූලික සේවාවන් සහ අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සැපයීම ඊශ්‍රායලය සහතික කළ යුතුය.

  • ඊශ්‍රායලය ගාසා තීරයේ යුද අපරාධ පිළිබඳ සාක්ෂි විනාශ කිරීම වැළැක්විය යුතු අතර කරුණු සෙවීමේ දූත මණ්ඩලවලට ප්‍රවේශ වීමට ඉඩ දිය යුතුය.

  • තීන්දුවෙන් මාසයක් ඇතුළත  අධිකරණය විසින් පනවන ලද ක්‍රියාමාර්ගවලට අවනත වීමට ඊශ්‍රායලය ගෙන ඇති සියලුම පියවර පිළිබඳ වාර්තාවක් ලෝක අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව හිමිවනු ඇත.

දකුණු අප්‍රිකාව ඉල්ලා සිටි නියෝග දෙකක් ලෝක අධිකරණය ලබා දුන්නේ නැත. එවා නම් ගාසා තීරයේ  යුද මෙහෙයුම් අත්හිටුවීම සහ යුද මෙහෙයුම් තවදුරටත් උත්සන්න නොකිරීමය.

එසේ නමුත් විශ්ලේෂකයින් පවසන්නේ දෙන ලද නියෝග හය ක්‍රියාත්මක කරන්නේ නම් සටන් විරාමයක නැතත් යුද්ධය අවම මට්ටමකට ගෙන ඒමට ඊශ්‍රායලයට සිදු වනු ඇති බවයි.

අන්තර් වාර තීන්දුව බලාත්මක කිරීම

එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් ලෙස, දකුණු අප්‍රිකාව සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම අධිකරණයේ තීන්දුවලට බැඳී සිටී. මෙම  තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැක.

එසේ වෙතත්, සිය නියෝග  ක්‍රියාත්මක කිරීමට ලෝක අධිකරණයට යන්ත්‍රණයක් නොමැත.

දකුණු අප්‍රිකාවට හෝ වෙනත් ජාතීන්ට මෙම තීන්දුව ක්‍රියාත්මක කරනු පිණිස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ආ හැකිය.  නියෝග කරන ලද හදිසි පියවරයන්ට ඊශ්‍රායලය අවනත විය යුතු බව තීරණය කිරීමට ආරක්ෂක කවුන්සිලය ඡන්දයකින් හෝ එකඟත්වයෙන් එය අනුමත කළ යුතුය.

ගාසා තීරයට එරෙහි යුද්ධය ආරම්භ වූ දා සිට  සටන් විරාමයක් සහ  ඊශ්‍රායලයේ වගවීම සඳහා ගෙන එන ලද යෝජනා සියල්ල අවහිර කිරීමට එක්සත් ජනපදය සිය නිෂේධ බලය භාවිතා කළේය. මෙම අවස්ථාවෙහිදීත් බයිඩන්ගේ ඇමෙරිකාව එම පියවර ගැනීමට හොඳටම ඉඩ තිබේ.

බයිඩන් කොයිබටද?

එසේ නමුත් මෙම තීන්දුවට විරුද්ධ වෙමින්  බයිඩන්ට අනෙක රටවලට එවැනි නියෝගයන්ට අවනත වන ලෙස කියා සිටීමේ සදාචාරාත්මක අයිතිය නැති වනු ඇත. දැනටමත් එම සදාචාරාත්මක අයිතිය  නැති වී තිබේ.

ලෝක අධිකරණයේ නියෝගවලට ඊශ්‍රායලයට යටත් විය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කළහොත්, ඊශ්‍රායලයට එරෙහිව දණ්ඩනීය ක්‍රියාමාර්ග ගැනීමට එයට බලය ඇත. මෙයට පෙර අවස්ථාවන්හිදී ආර්ථික හෝ වෙළඳ සම්බාධක, ආයුධ සම්බාධක සහ සංචාරක තහනම් එලෙස පනවා තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ආරක්ෂක මණ්ඩලයට තවත් පියවරක් ඉදිරියට ගොස් යුදමය  මැදිහත් වීමට හැකියාව තිබේ. ඉරාක නායක සදාම් හුසේන් විසින් කුවේටය ආක්‍රමණය කිරීමට එරෙහිව 1991 එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා සන්ධානය නිර්මාණය කරන ලද්දේ එවැනි තත්වයක් යටතේය. එසේ නමුත් ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහි එවැනි පියවරකට කිසිසේත්ම ඉඩ නොදෙනු ඇත.

ඊළගට කුමක්ද?

සිකුරාදා තීන්දුව දකුණු අප්‍රිකාව විසින් ඉල්ලා සිටි හදිසි පියවරයන් විසඳීම සඳහා වූ අතුරු තීන්දුවක් පමණි.

සිකුරාදා තීන්දුවෙන් මාසයක් ගත වන විට එනම්  පෙබරවාරි 26 වන විට ඉහත හදිසි නියෝග ඉටු කිරීමට තමන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව ඊශ්‍රායලය ඉදිරිපත් කළ යුතුය. එවිට එම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව ලැබේ.

අධිකරණය ඉන් පසු එකී වාර්තාව සහ ගාසා හි පවතින යථාර්ථය පිළිබඳ අමතර තොරතුරු තක්සේරු කරනු ඇත. ඊශ්‍රායලය සිය නියෝගය්නට අවනත නොවන බව ලෝක අධිකරණය නිගමනය කළ හොත් නව නියෝග  පැනවීමට එයට බලය තිබේ.

ගාසා හි වර්ග සංහාරය ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි. ( ඒපී ජායාරූපයකි)

විභාගය ඉදිරියට

දකුණු අප්‍රිකාව විසින් මෙම මස මුලදී උසාවියට ඉදිරිපත් කරන ලද සාක්ෂි පිළිබඳ අමතර නඩු විභාගය අධිකරණය විසින් ඉදිරියට ගෙන යනු ඇත.

විනිසුරුවන් විසින් ගාසා තීරයේ වර්ග සංහාරය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ ප්‍රධාන ප්‍රකාශයන් තනි තනිව ඇගයීමට ලක් කරනු ඇති අතර අධිකරණයේ අවසාන තීන්දුව බහුතරය විසින් තීරණය කරනු ලැබේ.

වර්ග සංහාරයට දැනටමත් පිළිගැනීමක්

මෙම නඩු විභාගය ඉදිරියට ගෙන යාමට ලෝක අධිකරණය තීරණය කරන ලද්දේ ඊශ්‍රායලය විසින් වර්ග සංහාරයක් සිදු කළ බවට දකුණු අප්‍රිකාවේ සාක්ෂි  බැහැර කළ නොහැකි බව නිගමනය කරමිනි.

ඉන් ඇඟවෙන්නේ වර්ග සංහාර චෝදනාව දැනටම යම තරමක පිිළිගැනීමක් ලබා ඇති බවයි.

අවසාන විනිශ්චය සම්මත වීමට වසර තුනක් හෝ හතරක් ගත විය හැකි බව අත්දැකීම් පෙන්වා දෙයි.

ලෝක අධිකරණය  තීන්දු ගන්නා හැටි

ලෝක අධිකරණය ලෙස හැඳින්වෙන්නේ  රටවල් අතර ආරවුල් විනිශ්චය කරන එක්සත් ජාතීන්ගේ සිවිල් අධිකරණයටය. එය යුද අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පවරන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට  වඩා වෙනස් ය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ  සහ ආරක්ෂක මණ්ඩලයේ  ඡන්ද මගින් වසර නවයක කාලසීමාව සඳහා පත් කරනු ලබන විනිසුරුවරුන් 15 දෙනෙකුගෙන් ලෝක අධිකරණය සමන්විත වේ. දකුණු අප්‍රිකාව ඉදිරිපත් කළ නඩුව සඳහා,  විශේෂ නියෝජිත විනිසුරුවරුන් දෙදෙනෙකු  එනම් දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය අග විනිසුරු ඩික්ගන් මොසෙන්කේ සහ ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති අර්හන් බරාක් ද කැඳවන ලදී.

අධිකරණයේ විනිසුරුවිනිසුරුවරියන් 17 දෙනාගෙන් ගාසා වර්ග සංහාර නඩුවෙහි තීරණයන්ට 15 දෙනෙකු ස්ථිරසාරව සහාය ප්‍රකාශ කළ අතර උගන්ඩාවේ විනිසුරු සෙබුටින්ඩේ සහ ඊශ්‍රායල නියෝජිත විනිසුරු බරක් යන දෙදෙනා පමණක් විරුද්ධ විය.

පුදුමයට කරුණක් වන්නේ නොබැඳි රටවල සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන උඩන්ඩාව නියෝජනය කරන විනිසුරුවරිය වන සෙබුටින්ඩේ මෙම සියළුම තීරණවලට විරුද්ධ වීමයි.

සෙබුටින්ඩේ කියා සිටියේ ඊශ්‍රායලය වර්ග සංහාරක අරමුණක් පෙන්වා නැති බවත් එබැවින් මෙම පැමිණිල්ල විභාග නොකළ යුතු බවයි.

ඊශ්‍රායල නියෝජිත විනිසුරු බරක් ගසා තීරයට මානුෂික සහනාධාර ලබා දිය යුතු බවට සහ ගසාහි වර්ග සංහාරයක් කළ යුතු බවට කැරෙන ප්‍රකාශ නතර කොට එවැනි ප්‍රකාශකයන්ට දඬුවම් දිය යුතු බවට කරන ලද නියෝග දෙකට හැර අන් නියෝග හතරටම විරුද්ධ විය.

ලෝක අධිකරණය එවැනි වර්ග සංහාර ප්‍රකාශ කරන ලද බවට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ඇතුලු ඉහළ පෙලේ නිලධාරීන් තිදෙනෙකු නම් කරන ලදී. එවැනි පුද්ගලයින්ට විරුද්ධව ඊශ්‍රායලය පියවර ගනු ඇතැයි සිතීම ඉතා දුෂ්කරය.

කෙසේ වෙතත් ලෝක අධිකරණය ඊයේ එනම් 26වනදා දෙන ලද තීන්දුව පලස්තීන ජනයාගේ අයිතිය ගරුකොට සළකන සාම ලැදි ජනයා ලද ජයග්‍රහණයකි.

එමෙන්ම ගසා හි කැරෙන වර්ග සංහාරක යුද්ධය ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායලයට සහය දැක් වූ බටහිර රටවල් ලද පා පහරකි. මෙම තීන්දුව පිිල නොගන්නේ නම් මෙකී බටහිර රටවලට මින්පසු වෙනත් රටවල් සම්බන්ධයෙන් දෙනු ලබන තීන්දු ද නොපිළිගැනීමට සිදු වනු ඇත. එවැනි උදාහරණයක් නම් රුසියාවට විරුද්ධව යුක්‍රේනය විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳ විභාගයයි.

මෙම තීන්දුව එනයින් ලෝක දේශපාලනයෙහි දාම ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට නියමිතය.

( අලි ජසීරා වෙබ් අඩවියෙහි වූ කරුණු ද ඇසුරු කරන ලදී)

Archive

Latest news

Related news