Sunday, April 28, 2024

ශ්‍රී ලංකාවේ යෝජිත අන්තර්ජාල නීතිය ඉදිරි මැතිවරණවලට තර්ජනයකි – හියුමන් රයිට්ස් වොච්

මෙම නීතිය යටතේ  රජයේ ආයතනයට පුළුල් වාරණයක් පැනවිය හැකිය අතර වැරදිකරුවන්ට නඩු පැවරිය හැකිය

මීනක්ෂි ගංගුලි, නියෝජ්‍ය ආසියානු අධ්‍යක්ෂ, HRW.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ සතියේ පාර්ලිමේන්තුව හරහා ඉක්මන් කිරීමට උත්සාහ කරන මර්දනකාරී නව අන්තර්ජාල නීතිය, දීර්ඝ සිර දඬුවම් ලබා දිය හැකි පුළුල් සහ නොපැහැදිලි නව කථන ආශ්‍රිත වැරදි නිර්මාණය කරනු ඇත.

මෙම වසර අග දී ශ්‍රී ලංකාව, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ සඳහා සූදානම් වන විට මෙම නීතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතල තර්ජනයක් වනු ඇත.

යෝජිත නීතිය එනම් අන්තර්ජාල සුරක්ෂිත බව පිළිබඳ කෙටුම්පත, අන්තර්ජාල හිරිහැර කිරීම්, අපයෝජනය සහ වංචාවලට එරෙහිව ආරක්ෂාව සපයන බව කියා සිටී.

ඒ වෙනුවට, එය බොහෝ දුරට සැලකිලිමත් වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව “ඔන්ලයින් ආරක්‍ෂක කොමිසමක්” නිර්මාණය කිරීම සම්බන්ධයෙනි. එම කොමිසමට යම් කිසි ප්‍රකාශනයක් අසත්‍ය හෝ හානිකරද යන්න තීරණය කිරීමට, අන්තර්ගතය ඉවත් කිරීමට, අන්තර්ජාල ප්‍රවේශය සීමා කිරීමට සහ තහනම් කිරීමට සහ පුද්ගලයන්ට සහ සංවිධානවලට නඩු පැවරීමට හැකිය.

කොමිසම විසින් පත් කරන ලද “විශේෂඥයින්ට” සැකකරුවන්ගේ පරිශ්‍රයන්ට ඇතුළු වීමට සහ සෝදිසි කිරීමට බලය දෙනු ලැබේ. මෙම නීතිය යටතේ වැරදි සඳහා විශාල දඩ මුදල් සහ වසර පහක් දක්වා සිර දඬුවම් නියම වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසා ඇති පරිදි මෙම නීතිය  යටතේ “සියලුම ආකාරයේ නීත්‍යනුකූල ප්‍රකාශනයන් පාහේ අපරාධ බවට නිගමනය කළ හැකි අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට දැඩි බලපෑමක් ඇති කරන පරිසරයක් නිර්මාණය කළ හැකිය”.

Google, Apple, සහ Meta වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු කර්මාන්තයන්හි ආයතනයක් වන Asia Internet Coalition, මෙම පනත් කෙටුම්පත “විසම්මුතිය මැඩලීමේ කුරිරු ක්‍රමයක්” ලෙස නම් කර ඇති අතර, එය “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ විභව වර්ධනයට වල කැපීමට හේතු වනු ඇතැයි” අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව තවමත්  වැරදි පාලනය සහ වගවීමේ අසාර්ථකත්වය නිසා ඇති වූ ආර්ථික අර්බුදයකින් පසු වේ.

2022 දී, ප්‍රතිසංස්කරණ ඉල්ලා මාස ගණනාවක් පුරා පැවති විරෝධතා විසින් අගමැති සහ ජනාධිපතිවරයා පෙරලා දමන ලදී. එම වසරේ බලයට පත් වූ දා සිට වික්‍රමසිංහ ජනාධිපතිවරයා විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරමින් සිටී.

පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති අනෙකුත් මර්දනකාරී නීතිවලට නව විකාශන නීතියක් ද ඇතුළත් වන අතර, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පවසන්නේ එය “විසම්මුතික හඬ මැඬලීමට” භාවිත කළ හැකි බවත්  එවැනිම තවත් නීතියක් වන ත්‍රස්ත විරෝධී නීතිය කවරකු හෝ “නැවත්වීමට, ප්‍රශ්න කිරීමට සහ සෙවීමට පොලිසියට  සහ හමුදාවට පුළුල් බලතල ලබා දෙන, සහ ප්‍රමාණවත් අධිකරණ අධීක්‍ෂණයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ඉඩ සළසන  නීතියක් බවයි.”

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහය දක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, “ත‍්‍රස්ත විරෝධී නීතිවල පුළුල් භාවිතය” ඇතුළුව සිවිල් සමාජයට සීමා කිරීම් දැනටමත් “රජයේ ක්‍රියාමාර්ග අධීක්ෂණය ” සීමා කර ඇති අතර එය ” අවදානම්  සහගත ලෙස දැඩි පාලන දුර්වලතා සහ දූෂණයට දායක වේ.”

ශ්‍රී ලංකාවේ මර්දනකාරී නීති දශක ගණනාවක් තිස්සේ පුළුල්ව  පැතිරුණු මානව හිමිකම් කඩ කිරීම් වලට අවස්ථා සළසා ඇති අතර ආර්ථික හා දේශපාලන අර්බුද වලට දායක වී ඇත.

අන්තර්ජාල සුරක්ෂිත බව පිළිබඳ පනත සම්මත කිරීම විනාශකාරී පසුබෑමක් වනු ඇත.

( පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news