Sunday, April 28, 2024

දුමින්ද සිල්වා යළි මහ උලු ගෙදරට: “පිස්සු පූසා” කොමිසමේ තවත් තීරණයක් හබක්; ගෝටා අධිකරණයට කීවේ බොරු, ඥානසාරත් ලැහැස්ති වෙන්න!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

දුමින්ද සිල්වාට එරෙහි දෙන ලද මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ද එමගින් අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය.

මෙම තීන්දුව හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් සමාව දීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන ලද දිව්රුම් පෙත්සම පිලිගත නොහැකි එකක් ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම ගෝටා පත් කළ කුප්‍රසිද්ධ දේශපාලන පළිගැනීමේ පිස්සු පුසා කොමිසම විසින් දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවට කරන ලද බහුබූත තීන්දුවද මෙමගින් හබක් වෙයි.

“පිස්සු පූසා” ලෙස  ජනවහරෙහි හදුන්වනු ලබන හිටපු ශ්‍රේෂ්ඨාධීකරන විනිසුරුවරයකු වන උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන්සභාව 2020 ජනවාරි මාසයේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද්දේ සිය අතවැසියන් බේරා ගෙන විරුද්ධවාදීන්ට දඩුවම් කිරීම පිනිසය.

එම කොමිසමේ තීන්දු කුණූ කූඩයට ගොස් ඇතත් උපාලි අබේරත්න දැන් තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා ලෙස රජයෙන් වැටුප් ලබා ගනිමින් සේවය කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ පෞද්ගලික හෝ දේශපාලන හිතවත්කම් මත තමා සමාව ලබාදුන් බවට කරන ලද ප්‍රකාශය  ප්‍රතික්ෂේප කරන බවයි. එම දිවුරුම් ප්‍රකාශයට අනුව දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමාට බන්ධනාගාරයෙන් නිදහස් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ලබාදී තිබූ බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා වෙනත් විවිධ හේතු මත මා වෙත කරන ලද තවත් කරුණු කිහිපයක් ද මට මතක බව ද එහි සඳහන් වේ.

රාජපක්ෂවරුන්ගේ සෑම වංචාවක්ම දූෂණයක්ම වසා ගැනීමට කියන “තමන් ක්‍රියා කළේ රට වෙනුවෙන්” යැයි  ගෝටා  සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 ජුනි මාසයේදී සිය දේශපාලන මිතුරකු වූ දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාවක් ලබා දෙන ලදී.

“ඔහු සැලකිල්ලට ගත් රටේ අවශ්‍යතාවය කුමක්ද? මගේ අදහස නම් මූලාශ්‍ර දෙකකින් මෙය අධිකරණයට හෙළි කළ හැකියි. පළමුව, හිටපු ජනාධිපතිවරයා විසින්ම තම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇති දේ දන්නේ ඔහුම වන බැවිනි. දෙවනුව, හිටපු ජනාධිපතිවරයා විසින්  සිය ධුරයෙන් ඉවත් වූ විට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ඉතිරි කර ඇති ලියකියවිලිය”  යැයි ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තව දුරටත් දක්වන්නේ “නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කිසිදු ලියවිල්ලක එවැනි හේතුවක් මත සමාව ලබා දීම සිදු වූ බවට කිසිවිටෙක සඳහන් කර නොමැත බවය. “එවැනි පදනමක් මූලික හේතුවක් ලෙස පවා හඳුනාගත නොහැකිය. මේ අනුව, හිටපු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම ස්ථාවරය ඔහු විසින් හෝ මෙම අධිකරණයේ ඇති අනෙකුත් ලියකියවිලි මගින් අනුමත නොකෙරේ”.

“එබැවින්  හිටපු ජනාධිපතිවරයා එම සමාව ලබා දීමට තීරණය කරද්දී රටේ යහපත වෙනුවෙන් කටයුතු කළ බව පිළිගත නොහැකිය.” යනුවෙන් තීන්දුව සඳහන් කරයි.

“මෙම සමාව ලබාදීමට තීරණය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැත. ඔහු  නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු නොකිරීමට තීරණය කර තිබුණි.  නීතියෙන් සලකා බැලිය යුතු දේ ගැන හිටපු ජනාධිපතිවරයා කිසිසේත්ම සලකා බලා නැත. ඒ නිසා හිටපු ජනාධිපතිවරයා තමන්ගේ අභිමතය නිවැරදිව ක්‍රියාත්මක කළේ යැයි පිළිගත නොහැක” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කරයි.

“මෙම නඩුවේදී සමාව ලබන්නාට සමාව දීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය තහවුරු කිරීමට  කිසිදු නීතිමය පදනමක් හෝ සත්‍ය පදනමක් නොමැත. ඉහත තීන්දුව අත්තනෝමතික, අතාර්කික බවත්, ලිඛිත තීරණයක් පවා ගෙන නැති බව පෙනෙන, ඊට හේතුවක් ඉදිරිපත් නොකළ හිටපු ජනාධිපතිවරයා හොඳින්ම දන්නා හේතු මත ගෙන තිබේ. තවද, නීතිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වාර්තාවේ කිසිම තැනක මෙම සමාව දීම සාධාරණ කිරිමක් නැත. එබැවින්  පෙත්සම් ජය ගැනීමට ගැනීමට පෙත්සම්කරුවන්ට අයිතියක් ඇත.”

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ සහ දියණිය වන සුමනා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ගසාලි හුසේන් යන අයවිසින් ගොනු කර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් සිල්වා මහතා ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධීකරණය විසින් අනුමත කරන ලදී.

ඔහුට සමාව දීමට එරෙහි නඩුව විභාග කිරීම‍ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දීමෙන් පසුව  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා 2022 මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

සම්පූර්ණ නඩු තීන්දුව ඉංග්‍රිසි බසින්:Duminda Silva sc_fr_221_225_228_2021

ජනාධිපති සිරිසේන විසින් ජනාධිපති සමාව දුන් බවට ගලබොඩඅත්තේ ඥණසාර සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙහි දී ද මෙවැනිම තීන්දුවක් ලැබීමට ඉඩ ඇතැයි නීති ප්‍රවීනයෝ අදහස් දක්වති. ඥණසාර ජනාධිපති සමාවකින් නිදහස් කරන ලදදේ අධිකරණ අපහාසය මත සිව් වසරක දඩුවමක් විදිමින් සිටියදීය.

අසෝක ජයවර්ධන විසිනි.

Archive

Latest news

Related news