Thursday, May 2, 2024

පොලිස් ඇමති ටිරන් අලස් ලන්ඩන් මහල් නිවාස ගත්තේ අක්වෙරළ සැඟවූ (ෂෙල්) සමාගම් මගින් – ICIJ

ඡායාරූපය: එකට ලැගීම! බැංකු හොරා සහ අක්වෙරළ හොරා!!

ව්‍යාපාරිකයෙකු සහ දේශපාලනඥයෙකු වන ටිරාන් අලස් යනු Pandora Papers දත්ත ගබඩාවේහි හඳුනාගත් නවතම ශ්‍රී ලාංකික නිලධාරියා බවත් ඔහු ලංඩනයේ මහල් නිවාස දෙකක් අක්වෙරළ පිහිටුවා ඇති  ඔහුට අයත් ෂෙල් සමාගම් දෙකක් හරහා මිලදී ගෙන ඇති බවත් සිය වෙබ් අඩවියෙහි ලිපියක් පළ කරමින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ICIJ කියා සිටී. තවද එම ලිපියට අනුව ටිරන් අලස් බ්‍රිතාන්‍යයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසියකු ද වේ.

ෂෙල් සමාගම් යනු බොහෝ විට බදු ගෙවීම පැහැර හැරීම පිනිස සිය රටින් පිට පිහිටුවන නාමික සමාගම්ය. මෙම සමාගම්හි සේවක පිරිස් නැති අතර දූෂිත ජාවාරම්කරුවන් ඒවා පවත්වා ගෙන යන්නේ කලු සල්ලි තැන්පත් කිරීමට සහ රහසිගත ව්‍යාපාර කටයුතු සදහාය. එවැනි සමාගම් තමන් සතුව ඇති නම් ටිරන් අලස් සිය වත්කම් හිමිකම් ප්‍රකාශයේ ඒ බව සඳහන් කර තිබිය යුතුය.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය යනු කීර්තිමත් සංවිධානයක් වන අතර ලොව ඉතා විශ්වසනීය මාධ්‍ය ආයතන ගණනාවක්ම එය සමඟ කටයුතු කරයි.

පහත පළවන එම ලිපියේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

ශ්‍රී ලංකාවේ මහජන ආරක්‍ෂක ඇමතිවරයා ලන්ඩන් මහල් නිවාස හිමිකර ගැනීමට ෂෙල් සමාගම් භාවිතා කර තිබේ.

Scilla Alecci විසිනි

ශ්‍රී ලංකාවේ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමයේ Pandora Papers දත්ත ගබඩාවේ අක්වෙරළ දේපල ඇති බවට හඳුනා ගත්  පාර්ලිමේන්තුවෙහි සිටින පළමු  ශ්‍රී ලාංකික ඇමතිවරයා වේ.

කාන්දු වූ වාර්තා සහ එක්සත් රාජධානියේ පොදු දේපල ලේඛනය පිළිබඳ ICIJ විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය අධිපතියෙකු සහ දේශපාලනඥයෙකු වන අලස්ට ලන්ඩනයේ දේපල ඇති බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගම් දෙකක් සතු බවයි.

Pandora Papers යනු රටවල් 200කට අධික ප්‍රමාණයක දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, ව්‍යාපාරිකයන් සහ අපරාධකරුවන්ගේ මූල්‍ය ගනුදෙනු සහ සැඟවුණු වත්කම් හෙළිදරව් කළ 2021 ගෝලීය විමර්ශනයක හරය විය. ඒවාට ICIJ විසින් ලබා ගත් මිලියන 11.9ක කාන්දු වූ ලේඛන තොගයක් අයත් වේ. මෙම ලිපි ගොනු පැමිණියේ බදු තෝතැනි සහ රහස්‍ය අධිකරණවල ෂෙල් සමාගම් සහ භාර පිහිටුවීමේ විශේෂිත වූ අක්වෙරළ සේවා සපයන්නන් 14කිනි.

ICIJ හි විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ, 2006 දී ලන්ඩනයේ ධනවත් ප්‍රදේශයක ඩොලර් 960,000 කට පමණ මිල දී ගත්   බ්‍රොම්ප්ටන් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සතුව මහල් නිවාසයක් අලස් සතුව ඇති බවයි.

බැන්හැම් වෙන්චර්ස් ලිමිටඩ් නම් ඔහුගේ දෙවන බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් BVI සමාගම,  2008 සිට  විචිත්‍රවත් චෙල්සි නගරයේ අසල්වැසි ප්‍රදේශයක ‍ෙතවත් දේපලක් හිමි කර ගෙන ඇත. එක්සත් රාජධානියේ වාර්තාවල එම නිවස මිලදී ගැනීමේ මිල ලැයිස්තුගත  කර නැත.

කාන්දු වූ ලිපිගොනු වල ප්‍රකාශයකට අනුව බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගම්වලට මුදල් යෙදවීමට භාවිතා කළ අරමුදල් ලැබුණේ ව්‍යාපාරිකයෙකු ලෙස අලස්ගේ කටයුතු වලිනි.

2017 දී, Pandora Papers දත්තවලට ඇතුළත් යොමු ලිපියක් ලියූ නොතාරිස්වරයෙකු, අලස් විස්තර කළේ ශ්‍රී ලංකාවේ “ඉතා ව්‍යවසායක සහ ඉතා උද්යෝගිමත් ව්‍යාපාරික ව්‍යවසායකයෙකු” සහ ව්‍යාපාරික උපදේශන සමාගමක් වන Apogee සමූහයේ සහ සිලෝන් ටුඩේ පුවත්පත සහ අනෙකුත් දිනපතා පුවත්පත් හිමි Ceylon Newspapers (Pvt) Ltd. හි “සාර්ථකත්වය පිටුපස ඇති ශක්තියේ කුළුණ” ලෙසයි.

 සිය මතය දක්වන ලෙස ICIJ හි ඉල්ලීම්වලට අලස් ප්‍රතිචාර දැක්වූයේ නැත.

1980 ගණන්වලදී, දැන් 63 හැවිරිදි අලස්, සන්නිවේදන සහ ව්‍යාපාරික උපකරණ යන විදුලි සංදේශ සමාගම ආරම්භ කළේය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමෙන් පසු 2010 වසරේදී ඔහු දේශපාලනයට පිවිසියේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමත් සමඟ රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය උච්චතම අවස්ථාවෙහි ඔහු පසුගිය වසරේ දී පොලිසිය භාර ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

අලස්ගේ බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් BVI සමාගම් පරිපාලනය කළ මූල්‍ය සේවා සපයන්නා වන ඕවර්සීස් මැනේජ්මන්ට් සමාගමෙන් කාන්දු වූ ලිපිගොනු ඔහු දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී වූ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දුන්නේ නැත. දේශපාලනඥයින් යනු ඔවුන් දරන  ප්‍රමුඛ ස්ථානයන් හේතුවෙන් සැපයුම්කරුවන්ට ඔවුන් සම්බන්ධයෙන් දැඩි කඩිසර පරීක්‍ෂාවන් සිදු කිරීමට අවශ්‍ය කරන  සේවාදායකයන් වර්ගයකි. මන්ද යත්  දූෂණයට හෝ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වීමේ වැඩි අවදානමක් ඔවුන් වෙත ඇති නිසාය.

රහස්‍ය හේතූන් දක්වමින් එම වසං කිරීම කළ ඕවර්සීස් මැනේජ්මන්ට් සමාගම අලස් පිලිබඳ ICIJ හි ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වීය. සමාගමේ ප්‍රකාශකයෙකු විද්‍යුත් තැපෑලකින් පැවසුවේ ඕවර්සීස් මැනේජ්මන්ට් සමාගම “අදාළ වන සියලුම නීති” වලට අනුකූල වන අතර “නියමිත කඩිසර ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි ඇතුළුව ශක්තිමත් අනුකූලතා වැඩසටහනක් පවත්වාගෙන යන” බවයි.

පැන්ඩෝරා පේපර්ස් ලේඛනවල අලස් ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ ද්විත්ව පදිංචිකරුවෙකු ලෙස ලැයිස්තුගත කර ඇති අතර,  ඒ සඳහා  ගේට්වේ අධ්‍යාපනික සේවා (එක්සත් රාජධානිය) ලිමිටඩ්  ලියාපදිංචි කාර්යාලය ලන්ඩන් ලිපිනය ලෙස භාවිතා කරන ලදී. 2006 දී, එක්සත් රාජධානියේ ආයතනික වාර්තා ලන්ඩනයේ ගේට්වේ අධ්‍යාපනික සේවා (එක්සත් රාජධානිය) ලිමිටඩ් හි ව්‍යාපාරික අරමුණ විස්තර කළ ඇත්තේ  ආයතනය ” පෙර පාසල් අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා දේපල ආයෝජනය කිරීම” ලෙසය.

සමාගම ඔහුගේ දිවංගත පියා විසින් ආරම්භ කරන ලද ප්‍රභූ පෞද්ගලික පාසල් සමූහයක් වන අලස්ගේ ගේට්වේ සමූහයට සම්බන්ධ වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළ වූ 2007 එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කේබලයකට අනුව, එක් පාසලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයාට නොමිලේ ඉගැන්වීම් ලබා දී ඇත.

ICIJ   විමසා සිටි ප්‍රශ්නවලට ගේට්වේ ගෘෆ් Gateway Group ප්‍රතිචාර දැක්වූයේ නැත.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධය

ICIJ හි අක්වෙරළ කාන්දු දත්ත ගබඩාවෙහි පැන්ඩෝරා පත්‍රිකා දත්තවල අලස් හඳුනාගෙන ඇති බව වාර්තාකරුවන් සහ මහජනතාව ඔහුගේ නම සොයා ගැනීමෙන් පසු නොවැම්බර් මස මුලදී  ශ්‍රී ලංකාවේ පුවත්පත් වාර්තා කිරීමට පටන් ගත්තේය. පැන්ඩෝරා පත්‍රිකා සහ පැනමා පත්‍රිකා ඇතුළු විමර්ශන කිහිපයකට තුඩු දී ඇති 2012 සිට ICIJ විසින් ලබා ගත් කාන්දු වූ ලේඛනවල සඳහන් අක්වෙරළ ආයතන 810,000 කට වැඩි ප්‍රමාණයක තොරතුරු පොදු දත්ත ගබඩාවේ අඩංගු වේ.

ICIJ විසින් ලිපිගොනුවල ඇතුළත් සමාගම්, කොටස් හිමියන්, හිමිකරුවන් සහ අනෙකුත් තොරතුරු ප්‍රකාශයට පත් කරයි. එය සම්පූර්ණ වාර්තා කට්ටල ප්‍රකාශයට පත් නොකරයි.

මෙම සොයාගැනීම් පිළිබඳව විමසා සිටි දි අයිලන්ඩ් හි මාධ්‍යවේදීන්ට අලස් පැවසුවේ, “ඔහුගේ නම මතුකර පෙන්වීම  ඔහුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට ගත් අමන උත්සාහයක්” බවයි.

අලස් සතු ඒවා වැනි අක්වෙරළ සමාගම් සඳහා නීත්‍යානුකූල භාවිතයන් ද තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් දේශපාලකයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව ද අයිලන්ඩ් වාර්තා කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙතෙක් පැන්ඩෝරා පත්‍රිකා මගින් හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකික දේශපාලනිකව සම්බන්ධ පුද්ගලයන් හතර දෙනාගෙන් කෙනෙකි.

Archive

Latest news

Related news