Thursday, May 2, 2024

පොහොට්ටු සමුළුවට තෑග්ගක්: කුරුණෑගල රාජ සභාව ඩෝසර් කිරීමේ වරදට තුෂාර සංජීව ඇතුළු 05කට මිලියන 13ක දඩයක් සහ සිරදඬුවම්

. පළමු චෝදනාවට චූදිතයන් 05 දෙනාටම බරපතළ වැඩ ඇතිව වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක්.

. දෙවන චෝදනාවට 04 සහ 05 චූදියන්ට (වැඩ පාලක සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු) බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක්.

. තුන්වෙනි චෝදනාව සම්බන්ධයෙන් 01, 02, සහ 03 චූදිතයන්ට (හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරු) බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක්.

. සිව්වන චෝදනාව සම්බන්ධයෙන් 04 සහ 05 චූදියන්ට (වැඩ පාලක සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු) බරපතළ වැඩ සහිතව වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක්.

. පස්වෙනි චෝදනාව සම්බන්ධයෙන් 01, 02, සහ 03 චූදිතයන්ට (හිටපු නගරාධිපති, නාගරික කොමසාරිස් සහ නාගරික ඉංජිනේරු) බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක්.

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 2020 වසරේ ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් එවකට කුරුණෑගල නගරාධිපති මෙන්ම මෙවර පොහොට්ටු පක්ෂයේ නගරාධිපති අපේක්ෂක තුෂාර සංජීව විතාරණ ඇතුළු 05 දෙනාට රුපියල් මිලියන 13ක දඩයට අමතරව බරපත වැඩ සහිත සිර දඬුවම්ද පැනවීමට කුරුණෑගල පළාත් බද මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර අද (14) නියෝග කර තිබේ.

චෝදනා පහක් යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුව ගොනු කර තිබූ අතර එය හෙට (15) දිනයේ කැඳවීමට නියමිතව තිබියදී එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ අද දින අධිකරණයට බාර වීමෙන් පසු මෝසමක් ඉදිරිපත් කරමින් නඩුව අද දිනම කැඳවා ඇත. එහිදී අදාළ චෝදනාවලට වරද පිළිගත් විත්ති කරුවන් පස් දෙනාගෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ, හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, හිටපු නාගරික ඉන්ජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී යන තිදෙනාට, එක්අයෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත.

එමෙන්ම හිටපු වැඩ පරීක්‍ෂක ඉලාලුදීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් ප්‍රියන්ත නැමැත්තන්ට, එක් අයෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

සිර දඩුවමට අමතරව රාජසභා මණ්ඩපයට කළ අලාභ හානිය සම්බන්ධයෙන් තනි තනිව හෝ එක්ව රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක (රු. 1,375,000) වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුවන්ට නියම කර ඇති විනිසුරුවරයා රුපියල් දෙලක්‍ෂ විසිපන්දහස (රු. 225,000) බැගින් දඩ මුදල් ගෙවීමටද විත්තිකරුවන්ට නියෝග කර ඇත.

රාජසභා මණ්ඩපයට කළ හානිය වෙනුවෙන් ගෙවීමට නියම කළ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂ පනස් දහසක (රු. 1,375,000) මුදල කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් ඒ අවස්ථාවේදීම ගෙවා ඇති අතර ඔවුන්ට නියම කළ දඩ මුදල්ද ඒ අවස්ථාවේදීම ගෙවා තිබේ.

කෙසේ වෙතත් මෙය ලංකාවේ පෞරාණික ස්ථානයක් බව දැන දැනම මෙයට අලාභහානි කිරීම සුළුවෙන් තැකිය නොහැකි බවත් මෙය සුළුවෙන් තැකීමක් කළ හොත් එය පූර්වාදර්ශයක් වන හෙයින් විත්තිකරුවන්ට උපරිම දඬුවම් නියම කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කරුවන්ට මෙලෙස දඬුවම් නියම කර ඇත.

එවකට කුරුණෑගල නගරාධිපති මෙන්ම මෙවර පොහොට්ටු පක්ෂයේ නගරාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා භාර දී තිබූ තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල පළාත් බද මහාධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව අත්හිටුවමින් අභියාචනාධිකරණය මගින් නියෝගයක් ලබා ගැනීමට තුෂාර සංජීව ඇතුළු පිරිස කටයුතු කළ අතර එලෙස ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් (18) දින අත්හිටු වන ලදී.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගනිමින් නගරාධිපති තුෂාර සංජීව විතාරණ එකළ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්ද සිදු කර තිබිණි.

කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් 2020 අගෝස්තු 10 වනදා දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබිණි.

එසේම කුරුණෑගල මහේස්ත්‍රාත් විසින් සැකකරුවන්ට රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

මෙම පෞරාණික ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.

එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබිණි.

ඒ අනුව නීතිපති පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිට උපදෙස් දෙන ලදී.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීමට එරෙහිව එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නද අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.

එමෙන්ම මෙය කඩා දැමීමට එරෙහිව විශාල හඬක් ගෙන යමින් ඊට එරෙහිව ජනතාව දැනුවත් කරමින් මහා සංඝරත්නය ඇතුළු අදාළ අංශවල දෑස් විවර කරවනු ලැබුවේද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න විසිනි.

කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුප්‍රසිද්ධ මයිල්ගස් කතාවද කරළියට එන්නේ මෙම සිදුවීම් පදනම් කරගෙනය. ඔහු එහිදී කියා තිබුණේ තමා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකයා ලෙස සිටින තුරු මෙම ගොඩනැගිල්ල කඩා දැමීම පාදක කරගෙන ඊට සෘජුවම සම්බන්ධ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ එක මයිල් ගහකට හානියක් වීමට ඉඩ නොතබන බවය.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ රාජ සභාව කඩා දැමීම සම්බන්ධයෙන් වැරදි කරු බවට පිළිගත් එවකට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු චූදිතයන් 05 දෙනාට රුපියල් මිලියන 13ක දඩයක් ගෙවීමටත් තවත් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් ගෙවීමටත් බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැනවීමටත් අධිකරණය තීන්දු කර තිබේ.

 

(ලංකා ට්රුත් වෙතිනි)

Archive

Latest news

Related news