Monday, February 26, 2024

රාජපක්ෂ අපරාධ ත්‍රිත්වය: දඬුවමක් නැත, ඒත් වගකීම භාරගන්න

– එම්. එස්. එම්. අයුබ්

තමාත්, තමාගේ සහෝදරයන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂත් ඇතුළු පිරිසක් වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට තමන් ගරු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුලදී කියා තිබුණි. එහෙත් පසුව පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ තමන් ඒ තීන්දුව පිළිනොගන්නා බව ය.

යම් නඩුවකින් දුන් තීන්දුවක් චූදිතයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙහි ඇති නෛතික භාවය, එක්තරා ආකාරයකින්, සංකීර්ණ කාරණයකි. තමා අහිංසක බව අවංකවම කෙනෙකු විශ්වාස කරනවා විය හැකිය. තීන්දුවක් ලැබෙන තුරු තමා වරදකරුවෙකු වශයෙන් පිළිගැනීමට තමා සූදානම් නැති බවත් කෙනෙකු කිව හැකිය.

“යම් අපරාධයක් කළ බවට මොන තරම් පැහැදිලි සාක්ෂි අධිකරණයට ඉදිරිපත්ව තිබුණත්, එකී අපරාධයෙන් නිදහස් කරමින් අධිකරණමය තීන්දුවක් ලැබුණොත්, ඕනෑම අපරාධකාරයෙකු තමන් අහිංසක බවටත් තර්ක කරනු ඇත.”

උදාහරණයක් වශයෙන්, ආර්ථික විද්‍යාව යනු රොකට් විද්‍යාව හෝ ලතින් භාෂාව වැනි දුරවබෝධ විෂයයක් විය හැකි ගෝඨාභය රාජපක්ෂ වැනි කෙනෙකු, එවැනි විෂයයක් සම්බන්ධයෙන් තමන් වැරදිකරුවෙකු කිරීම අසාධාරණ යැයි තවමත් සිතනවා ඇති. ඉතිං, එවැනි පුද්ගලයෙකු, අධිකරණයක් මගින් විනිශ්චයක් නිකුත් කළ සැණින් තමාගේ වරදකාරීත්වය පිළිගනිතැයි අප බලාපොරොත්තු විය යුතුද? කෙසේ වෙතත්, ඒ ආකාරයෙන් කෙනෙකුට තර්ක කළ හැක්කේ, ආර්ථික විද්‍යාව වැනි සංකීර්ණ කරුණුවලට අදාළ සිද්ධි සම්බන්ධයෙන් පමණි.

එසේම අනිත් පැත්තෙන්, යම් අපරාධයක් කළ බවට මොන තරම් පැහැදිලි සාක්ෂි අධිකරණයට ඉදිරිපත්ව තිබුණත්, එකී අපරාධයෙන් නිදහස් කරමින් අධිකරණමය තීන්දුවක් ලැබුණොත්, ඕනෑම අපරාධකාරයෙකු තමන් අහිංසක බවටත් තර්ක කරනු ඇත.

ඹ්ෂල හේරත් සහ මරා

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු ආසනය අනීතික බවට චෝදනා කරමින් සමාජ ක්‍රියාකාරීක ඕෂල හේරත් පැවරූ නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව තමන් පිළිනොගන්නා බව ඕෂල හේරත් කියූ විට, පොදුජන පෙරමුණට සම්බන්ධ අයවළුන් ඔහුගේ කතාව හැඳින්නුවේ අධිකරණයට අපහාස කිරීමක් වශයෙනි. එහෙත්, තමන්ට විරුද්ධව අධිකරණය දී තිබෙන විනිශ්චය තමන් පිළිනොගන්නා බව දැන් මහින්ද රාජපක්ෂ කියන විට අර පිරිස ඒ ආකාරයෙන් ඔහුට චෝදනා නොකරනු ඇත.

ඉහත කී රාජපක්ෂ සහෝදරවරුන් ඇතුළු මහබැංකු හිටපු අධිපතිවරුන් වන ඩබ්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ සමන් කුමාරසිංහ යන අයවළුන් මහජන විශ්වාසය උල්ලංඝණය කර ඇති බවටත්, වර්තමාන ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් බවටත්, පසුගිය ඔක්තෝබර් 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

“මේ අධිකරණ තීන්දුව අගය කරන බොහෝ දෙනා, අදාළ වගඋත්තරකරුවන්ට අධිකරණය විසින් දඬුවමක් නියම නොකිරීම ගැන වික්ෂිප්තව සිටිති. වැරදිකරුවන් වූ වගඋත්තරකරුවන්ගේ සිවිල් අයිතීන් අහිමි කළ යුතුව තිබිණැයි තවත් සමහරු කියති.”

දඩුවමක් නොදුන්නේ මන්ද?

මේ තීන්දුව ලැබුණේ, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ සූසයප්පු නේවිස් මොරායස්, ජුලියන් බෝලින්, වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, ‘ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්’ සහ ජෙහාන් කනගරත්න විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවකදී ය. අධිකරණය විසින් වරදකරුවන් කරන ලද පිරිසට, දඩයක් හෝ වන්දියක් ගෙවීමට නියම නොකෙරුණි. මන්ද යත්, එවැන්නක් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා නොතිබුණු බැවිනි.

මේ අධිකරණ තීන්දුව අගය කරන බොහෝ දෙනා, අදාළ වගඋත්තරකරුවන්ට අධිකරණය විසින් දඬුවමක් නියම නොකිරීම ගැන වික්ෂිප්තව සිටිති. වැරදිකරුවන් වූ වගඋත්තරකරුවන්ගේ සිවිල් අයිතීන් අහිමි කළ යුතුව තිබිණැයි තවත් සමහරු කියති. එසේ විණි නම්, ඔවුන්ව අනාගත දේශපාලනයෙන් සහ රාජ්‍ය සේවයෙන් ඉවත් කර තබාගත හැකිව තිබුණු බවට ඔවුහූ තර්ක කරති. සිරිමා බණ්ඩාරනායක සහ මියොවන් මුස්තාපා සම්බන්ධයෙන් මීට කලින් අධිකරණය පැනවූ එවැනි දඬුවම් සමග මේ සිද්ධිය ඔවුහූ සංසන්දනය කරති. ඒ කෙසේ වෙතත්, පොදුජන පෙරමුණු නායකත්වයට පක්ෂපාතී පිරිස්, මේ අධිකරණ තීන්දුව පිළිනොගැනීමට, විවිධ සමාජ-දේශපාලනික තර්ක විතර්ක උපුටා දක්වති.

“2019 දී රුපියල් බිලියන 680 ක පාඩුවක් ආණ්ඩුවට සිද්ධ කෙරෙන ආකාරයේ විශාල බදු කපාහැරීමක් සිදු කෙළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවත්, ඔහුගේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඒ ආණ්ඩුවේ වෙනත් කිසි ඇමතිවරයෙකු විසින්වත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් අරගෙන නොවේ.”

රටේ ආර්ථික අර්බුදයක් ඇති කෙරෙන ආකාරයේ තීරණ ගත් බවට තමන්ට චෝදනා කිරීම ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ, පසුගිය දශක දෙකක කාලය තුළ රටේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ගත් සෑම තීන්දුවක්ම ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ඇතිව මිස හිතුවක්කාරීව නොවන බව පාර්ලිමේන්තුවේදී කීවේය. එහෙත්, 2019 දී රුපියල් බිලියන 680 ක පාඩුවක් ආණ්ඩුවට සිද්ධ කෙරෙන ආකාරයේ විශාල බදු කපාහැරීමක් සිදු කෙළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවත්, ඔහුගේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඒ ආණ්ඩුවේ වෙනත් කිසි ඇමතිවරයෙකු විසින්වත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියක් අරගෙන නොවේ. එසේම, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ ආධාර ලබාගැනීම පමා කිරීමට සහ 2021 දී ඩොලරයේ රුපියල් අගය කෘත්‍රීම ආකාරයෙන් පවත්වාගැනීම සඳහාද ඔවුන් පාර්ලිමේන්තුවේ අනුමැතියක් අරගෙන නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔවුන්ට විරුද්ධව නැඟුණු ප්‍රධාන චෝදනා සහ අධිකරණය විසින් පිළිගත් චෝදනා වන්නේ ඒවා ය.

ඇරත්, විවිධ යෝජනා සහ මෝසම් සඳහා ඕනෑම පක්ෂයක නායකයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නේ කෙසේද යන්න අප කවුරුත් දන්නා දෙයකි. පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පාලක පක්ෂයක සාමාජිකයන් එම පක්ෂයේ නායකයන් විසින් ඉදිරිපත් කරන මොන යෝජනාවක් වුවද අනුමත කරති. උදාහරණයක් වශයෙන්, එදා ආණ්ඩුවේ සිටි ඊනියා ආර්ථික විශේෂඥයෝද 2019 දී ආණ්ඩුව බදු කපා හැරීමට ගත් තීරණයට පක්ෂ වූහ. බදු සහන ප්‍රකාශයට පත්කරමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එදා කියා සිටියේ ඒ බදු සහන නිසා රටේ සෑම අංශයක්ම වර්ධනය වන බව ය. නිෂ්පාදනය ඉහළ යැවෙන බව ය. එදා සමස්ත පාලක පක්ෂයම, රටේ කෘෂිකර්මය මුළුමණින්ම පාහේ විනාශ කළ පොහොර ආනයන තහනම අනුමත කළහ. එදා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අපොස සාමාන්‍ය පෙළ ආර්ථික විද්‍යාව හදාරණ ශිෂ්‍යයන් පවා ව්‍යාකූලත්වයට පත්කරමින් කියා සිටියේ, මුදල් අච්චු ගැසීමෙන් උද්ධනයක් වැඩි වන්නේ නැති බවයි.

එදා ආණ්ඩුවේ නායකයන් ආර්ථික අර්බුදයේ වගකීම භාරගත යුතුය. මන්ද යත්, නඩු තීන්දුව තුළින් පෙන්නුම් කර ඇති අර්බුදයේ හේතු කාරණා, මනක්කල්පිතව නොව, දත්ත වශයෙන් පවතින බැවිනි. ඇත්ත වශයෙන් බැලුවොත්, මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ලැබීමට පෙර පටන් මෙකී නායකයන් එකී ආර්ථික අර්බුදයේ වගකීම භාර ගෙන තිබුණි. ගිය අවුරුද්දේ මහජන විරෝධතාවකින් පසුව, අප්‍රේල් 18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අලුත් ඇමති මණ්ඩලයක් පත්කරන අවස්ථාවේ, තමන් විසින් රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික වර්ග ආනයනය කිරීම 2021 මැයි මාසයේ නතර කරනු ලැබීම වරදක් බවත්, විදේශ විනිමය අර්බුදයක් ඇති නොවනු වස්, තමන් විසින් කල්තියා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ සහාය පැතිය යුතුව තිබුණු බවත් කියා සිටියේය. ඒ ආකාරයෙන්ම, අතීතයේ බලයට පත් සියලු ආණ්ඩුත්, තමන් ඇතුළු සියලු නායකයනුත් වර්තමාන ආර්ථික අගාධය ගැන වගකීම භාරගත යුතු බව මහින්ද රාජපක්ෂත් මීට කලින් කියා තිබේ.

“මේ ආර්ථික විනාශය පිළිබඳ වර්තමාන ආණ්ඩුවේ සහ විශේෂයෙන් රාජපක්ෂ පවුලේ සාපරාධීත්වය, ජාත්‍යන්තර තලයේ පරදු දරන්නන් අතර පවා සාකච්ඡාවට මාතෘකා වී තිබේ.”

‘අතීතයේ බලයට පත් සියලු ආණ්ඩුත්, තමන් ඇතුළු සියලු නායකයනුත්’ අර්බුදයට වගකිවයුතු බව කීම නිවැරදියි. එහෙත්, ඔවුන් බලයට පැමිණ සිටියේ අතීත වැරදි නිවැරදි කිරීමේ පොරොන්දුව මතයි. ඒ පොරොන්දු ඔවුන් ඉටු නොකළා පමණක් නොව, තිබුණු අර්බුදය පෙර නොවූ විරූ ආකාරයකින් තවත් උග්‍ර කළහ. එහි ප්‍රතිවිපාක, ජීවිත කාලයකට හෝ තවත් පරම්පරාවකට දායාද වීමට තරම් බරපතළ ප්‍රතිවිපාක සහිතයි.

මේ ආර්ථික විනාශය පිළිබඳ වර්තමාන ආණ්ඩුවේ සහ විශේෂයෙන් රාජපක්ෂ පවුලේ සාපරාධීත්වය, ජාත්‍යන්තර තලයේ පරදු දරන්නන් අතර පවා සාකච්ඡාවට මාතෘකා වී තිබේ. ලංකාවේ අර්බුදය ඇති වී තිබෙන්නේ පාලකයන්ගේ අව-කළමනාකරණය නිසා බව ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා කෙළින්ම කියා තිබේ. ගිය වසරේ ලංකා ආණ්ඩුව විදේශ ණය නොගෙවා පැහැර හැරීමට එරෙහිව, නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා ඇති ‘හැමිල්ටන් රිසර්ව් බැංකුව’ අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්, ‘රාජපක්ෂ පවුල, වසර ගණනාවක් තිස්සේ කරන ලද දූෂණයන් හරහා ඔවුන්ගේ සාක්කු පුරවාගෙන ඇති’ බවට චෝදනා කෙළේය.

තමන්ගේ වැරදි ක්‍රියා නිසා අයාලේ ගිය ආර්ථිකය පිළිබඳ වගකීම වෙනත් පාර්ශ්ව වෙත පැටවීමට බලන්නේ නැතිව පොදුජන පෙරමුණු නායකත්වය එහි වගකීම භාරගත යුතුව තිබේ. භාණ්ඩ මිල ගණන් තුන් ගුණයකින් වැඩි වී ඇත. විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇත. රුපියලේ මූර්ත වටිනාකම බරපතළ ලෙස බාල්දු වී තිබීමත් සමග රටේ සෑම පවුලකම ආදායම, විශේෂයෙන් මැද පංතික සහ ඊට පහළ පංතීන්හි ආදායම සියයට 60 කට වැඩි ප්‍රමාණයකින් හැකිළී ඇත.

නිවසක් ගැන, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ විදේශ අධ්‍යාපනය ගැන, වාහනයක් හිමි කරගැනීම සහ වැදගත් ජීවිතයක් ගත කිරීම ගැන දසලක්ෂ සංඛ්‍යාත ජනකායක් තුළ තිබූ සිහින දෙදරා ගොස් ඇත. ලක්ෂ ගණන් තරුණයෝ රට හැරයාමට බලති. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ මැදිහත් වීම මත තවත් ණය ගැනීමට මාර්ග විවර වී ඇතත්, රටේ ණයගැති භාවය නතර කරගැනීමට සැලැස්මක් මේ ආණ්ඩුවට ඇති බවක් නොපෙනේ. ඒ නිසා දැන්වත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුවේ බරපතළකම ඔවුන් අවබෝධ කරගැනීම වටී.

(2023 නොවැම්බර් 25 දින Daily Mirror පුවත්පතෙහි “No punishment, but accept the responsibility” මැයින් පල වූ ආචාර්ය M.S.M. අයුබ් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය ගවර්නන්ස් ලංකා වෙතිනි)

Archive

Latest news

Related news