Saturday, April 27, 2024

අධිකරණයේ සුපිළිපන් භාවය ආරක්ෂා කරගැනීම සඳහා “නීතිඥ සාමූහිකය” යෙන් යෝජනා

අභියාචනාධිකරණයේ සභාපතිවරයා අධිකරණ බලය අවභාවිත කළ බවට, 2023 නොවැම්බර් 8 වැනිදා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා (ක්‍රීඩා ඇමතිවරයා) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව ගැන වහා ප්‍රතිචාරයක් දැක්විය යුතුව ඇතැයි “නීතිඥ සාමූහිකය” කියා සිටී.

ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකු සිය අධිකරණ බලය අවභාවිත කරන ලදැයි නැඟෙන ඕනෑම චෝදනාවක් ඉතා බරපතල කාරණයකි. එසේම, විධිමත්ව පැමිණිලි නොකර, පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආරක්ෂාව යටතේ අධිකරණයක නියෝග බාල්දු කිරීමත් ඒ හා සමානවම ප්‍රශ්නකාරී ය.

ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන කෙරෙහි දූෂණයත්, නිල බලය අවභාවිතයත් තදින් බලපැවැත්වෙන බව අපි දනිමු.

රටක අධිකරණය දූෂිත යැයි, තථ්‍ය වශයෙන් හෝ හැඟීම් මාත්‍රයෙන් වුව රටට සංජානනය වීම, එරටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියේ ආධිපත්‍යයත් අරටුවෙන්ම ඛාදනය වීමට ඉවහල් විය හැකිය. එබැවින් යම් අධිකරණ නිලධාරියෙකුට එරෙහිව ඕනෑම චෝදනාවක් නැඟුණු විට, අධිකරණයේ සුපිළිපන් භාවයත්, ස්වාධීනත්වයත් ආරක්ෂා කරගනු වස්, එම චෝදනාවේ සත්‍යාසත්‍යතාව නිශ්චය කිරීම සඳහා කඩිනම්, පාරදෘෂ්‍ය, බරසාර පියවර ගැනීම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලින් සහතික කර ඇති පරිදි, ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කිරීමත්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීත්වය පවත්වාගැනීමත් සඳහා අධිකරණයේ ස්වාධීනත්වය මූලික වන බව අප මතක් කළ යුතුය.

දෝෂාභියෝග ක්‍රියාපටිපාටියක් හැරුණුකොට, ඉහළ අධිකරණවල අධිකරණ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ හෝ විනය පියවර ගැනීමේ, විනිවිද පෙනෙනසුළු සහ වගවීම් සහගත ක්‍රියා පිළිවෙලක් නැත. දෝෂාභියෝගයක් මගින් ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකු/වරියක ඉවත් කිරීමේ ප්‍රතිපාදන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) සහ (3) යන වගන්තිවලින්ද, ස්ථාවර නියෝග 84 මගින්ද සලසා තිබේ.

දෝෂාභියෝග යෝජනාවක් පිළිබඳ දැනුම්දීමක්, පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකකට නොඅඩු පිරිසකගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු අතර, අදාළ අපචාරය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2)) පිළිබඳ සියලු විස්තර එහි අඩංගු විය යුතුය. එවිට කතානායකවරයා විසින්, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කොට, කියන ලද අපචාරය හෝ අදාළ විනිසුරුවරයාගේ/වරියගේ අයෝග්‍යතාව (ස්ථාවර නියෝග 84) පිළිබඳ විභාග කිරීම සඳහා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු/වරියන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ඇත. ඒ කමිටුව මගින් විනිසුරුවරයා/වරිය වැරදිකරු බවට නිගමනය කළොත්, ඊට අනුමැතිය ලබාගැනීමට කතානායකවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. විනිසුරුවරයා/වරිය වැරදිකරු බවට පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් සිය ඡන්දය හරහා කියා සිටියොත්, අදාළ විනිසුරුවරයා/වරිය ඉවත් කිරීම සඳහා වන නියෝගය ලබාගැනීම සඳහා කතානායකරවරයා විසින් ජනාධිපතිවරයාට එය ඉදිරිපත් කරනු ලැබේ.

ඉහළ අධිකරණ නිලධාරීන්ට එරෙහිව නැඟෙන සියලු චෝදනා විභාග කිරීම සහ ඒවාට ආමන්ත්‍රණය කිරීම, ඔවුන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ක්‍රියාපටිපාටියේ පවතින මෙකී අති දුෂ්කරතාව හේතුවෙන් වැළකිය යුතු නැත.

මෙවැනි අධිකරණවලට අදාළ ආචාරධාර්මික සහ විනය කාරණාවන්ට ආමන්ත්‍රණය කෙරෙන අභ්‍යන්තර නියාමන ක්‍රමයක් ස්ථාපිත කරන්නැයි ‘නීතිඥ සාමූහිකය’ ඉහළ අධිකරණවලින් ඉල්ලා සිටී. ඒ අනුව, පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයට අදාළ ක්‍රියාපටිපාටිය, අවසාන පියවරක් වශයෙන් තබාගත හැකිය. ඕනෑම චෝදනාවක් නිසි පරිදි වහා සොයා බැලෙන බවටත්, ඒ පරීක්ෂණවල අවසාන නිගමන ප්‍රසිද්ධියට පත්කෙරෙන බවටත් ඉහළ අධිකරණ සහතික විය යුතුය.

අධිකරණයේ ස්වාධීනත්වයත්, සුපිළිපන් භාවයත් ආරක්ෂා කරගැනීම සඳහා එය අත්‍යාවශ්‍යයි. ළබැඳියාවන් අතර ගැටුමක් හෝ රාජකාරිය පැහැරහැරීමක් හෝ අපචාරයක් පිළිබඳ ඕනෑම චෝදනාවකින්, අදාළ විනිසුරුවරයාව/වරියව ප්‍රසිද්ධියේ නිදොස් කරන හෝ වැරදිකරු කරන ආකාරයේ විශ්වසනීය පරීක්ෂණයට ලක් කළ යුත්තේය.

මෙවැනි ප්‍රශ්න ගැන සොයා බැලෙන අභ්‍යන්තර ක්‍රියාපටිපාටියක් තිබීම, අපේ රටේ යුක්තිය සාධනය සඳහා අධිකරණය දක්වන දායකත්වය කෙරෙහි මහජන විශ්වාසක් ජනිත කිරීම සඳහා තීරණාත්මක වැදගත්කමක් දරයි. යම් නඩුවක් විභාග කරන විනිසුරුවරයෙකු/වරියක තුළ තිබිය හැකි ළබැඳියාවන් අතර ගැටුමක් පිළිබඳ චෝදනාවක් නැඟෙන අවස්ථාවකදී, එවැනි ගැටුමක් නැතැයි අභ්‍යන්තර පටිපාටිමය ක්‍රියාවලියක් මාර්ගයෙන් සනාථ කෙරෙන තෙක් එකී විනිසුරුවරයා/වරිය එම නඩුව විභාග කිරීමෙන් ඉවත්ව සිටීම, සම්භාවිත සිරිතයි.

මේ ගැන, අගවිනිසුරුතුමාගේ නායකත්වයෙන් අධිකරණය තුළින්ම සාමූහික සහායක් පළ විය යුතුය. මෙම අවස්ථාවේදී, අදාළ විනිසුරුවරයා/වරිය අරභයා නියමිත උසස් වීමක් පිළිබඳ ක්‍රියාවලියක් ඇතොත්, අදාළ චෝදනා සහ පැමිණිලිවලින් නිදහස් වන තෙක් එය අත්හිටුවීමටත් අගවිනිසුරුතුමා කටයුතු කළ යුතුය.

අගවිනිසුරුතුමා සමග සාකච්ඡාවෙන් සහ ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් යුතුව ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණවලට කරන පත්වීම්, හුදෙක් ජ්‍යෙෂ්ඨත්වයට වඩා, කුසලතාව සහ සුපිළිපන් භාවය මත පදනම් වෙමින් සිදු කළ යුතුව ඇතැයි අපි නැවතත් අවධාරණය කර සිටිමු.

අභියාචනාධිකරණයේ සභාපතිවරයාට විරුද්ධව මෑතකදී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී නඟන ලද චෝදනා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට එකී මන්ත්‍රීවරයා පත්කළ අතුරු කමිටුවක් අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දෙන ලද නියෝගයකට සම්බන්ධයි. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව, පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ, අපහාසය හෝ අධිකරණයට අපහාස කිරීම යන චෝදනාවලින් ආරක්ෂා කෙරෙතත්, ස්ථාවර නියෝග 83 (1) උල්ලංඝණය කිරීමකි. ඊට අනුව, විනිසුරුවරයෙකුගේ පෞද්ගලික හැසිරීම පිළිබඳ අදහස් දැක්වීම, ඊට අදාළ වාස්තවික කරුණු අඩංගු මෝසමක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මාර්ගයෙන් මිස වෙනත් ආකාරයකින් කිරීම තහනම් ය.

අධිකරණ නිලධාරීන්ගේ බල-අවභාවිතය හෝ දූෂණයකට අදාල තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු අවස්ථාවකදී, ඒ ගැන වගකීම් සහගතව කටයුතු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වයේ සුරක්ෂාව උදෙසා අවශ්‍ය කෙරේ. පාර්ලිමේන්තු වරප්‍රසාද මගින් තමන්ට සැපයෙන ආරක්ෂාව අනිසි ලෙස පරිහරණය කිරීමෙන් ඔවුන් වැළකිය යුතුය.

අධිකරණය සමග නීතිඥයන් පවත්වන සම්බන්ධතාවන්හි ස්වභාවය ගැන මහජන අවධානය යොමුව ඇති බව නීතිඥවරුන්ට මෙහිදී මතක් කරදීමත් වැදගත් ය. අධිකරණය සමග ඔවුන්ගේ සම්බන්ධතා ප්‍රශ්නකාරී නොවන මායිමක තිබිය යුතුය. අධිකරණ බලය අභ්‍යාස කිරීම කෙරෙහි, සත්‍ය වශයෙන්ම හෝ පිටතට හැඟෙන ආකාරයෙන් හෝ අනවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම, සාපරාධී සහ නීති වෘත්තියේ විනය රීතින්ට යටත් වන අතරේම, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා ස්වෛරීත්වය සෘජුවම පිරිහෙළීමටද හේතුකාරක වනු ඇත.

සෑම ආයතනයකින්ම දූෂණය මුලිනුපුටා දැමීම, රාජ්‍යයේ මූලික බල ව්‍යුහ අතරේ පැවතිය යුතුය සංවරණ සහ තුලන ක්‍රියාවලිය කෙරෙහි ගෞරවයෙන් යුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම සහ අධිකරණයේ සුපිළිපන් භාවය ආරක්ෂා කරගැනීම, ශ්‍රී ලංකාවේ ප්‍රගතියටත්, (එය ආර්ථික ප්‍රගතියක් වෙතත්), ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, රටේ වර්තමානයත් අනාගතයත් සඳහා ශ්‍රී ලාංකීය ස්වෛරී ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අතිශය වැදගත් වනු ඇත.

නීතිඥ සාමූහිකය වෙනුවෙන්,

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
මහාචාර්ය, නීතිඥ සාවිත්‍රී ගුණසේකර
ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්
ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්
ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස්
ජනාධිපති නීතිඥ එස්. ටී. ජයනාග
ජනාධිපති නීතිඥ එම්. එම්. සුහායිර්
නීතිඥ ලාල් විජේනායක
මහාචාර්ය දීපිකා උඩුගම
නීතිඥ උපුල් කුමරප්පෙරුම
නීතිඥ කේ. ඩබ්. ජනරංජන
නීතිඥ හර්ෂණ නානායක්කාර
නීතිඥ අකලංක උක්වත්ත
නීතිඥ එර්මීසා ටීගල්
නීතිඥ මනෝජ් නානායක්කාර
නීතිඥ අමිලා එගොඩමහවත්ත

( පරිවර්තන අනුග්‍රහය: ගවර්නන්ස් ලංකා)

Archive

Latest news

Related news