එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කැරෙන යුද අපරාධ යනාදිය සම්බන්ධයෙන් යෝජනා සම්මත කල නමුත් දැන් ඊශ්‍රාලය ගසා තීරයෙහි සහ පලස්තීන බටහිර ඉවුරේ කරගෙන යන අපරාධ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ යැයි රනිල් රාජපක්ෂ චෝදනා කරයි.
එම ප්‍රකාශය සහමුලින්ම වැරදිය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ප්‍රකාශ ගණනාවක් මගින් දිගින් දිගටම හමාස් සංවිධානයේ ත්‍රස්ත කියා මෙන්ම ඊශ්‍රායල් යුද හමුදව විසින් ගසා තීරයේ කර ගෙන යන අපරාධ, යුද අපරාධ බවට පත්වනු ඇතැයි එක හෙළා කියා තිබේ.
ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය දිනපතාම හමාස්- ඊශ්‍රායල් යුද්ධයෙන් විපතට පත්වන ජනයා ගැන වාර්තා ඉදිරිපත් කරයි.
එකසත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතනයන්හි බලපෑම නොවන්නට ගසා තීරයට කවර හෝ සහනාධාරයක් නොලැබෙන්නට තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුත්රේස් එම තනතුරින් පළවා හැරිය යුතු යැයි ඊශ්‍රායල පාලනය කරන පැසිස්ට්වාදී නෙතන්යාහු පාලනය ප්‍රසිද්ධියේ කියා සිටියේ එනිසාය.
ලබන ඔක්තෝම්බරයේ දී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම වැළැක්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රාලයේ යුද අපරාධ සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඩ ප්‍රයෝජනයට ගත යුතු යැයි රනිල් රාජපක්ෂ කියන්නේ කිසිදු ලැජ්ජාවක් නැතිවය.
මානවවාදී රාජ්‍ය නායකයකු නම් කියා සිටිය යුත්තේ, අප ද මැදිහත් වී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී හමාස්- ඊශ්‍රයල් යුද්ධයේ දෙපාර්ශවම කරන මානව හිමිකම් හෙළා දැකීමටත් වැළැක්වීමටත් කටයුතු කරන බවයි.
ඒ වෙනුවට රනිල් රාජපක්ෂ සූදානම් වන්නේ ජො. බයිඩන්ගේ රෙද්ද අස්සට රිංගා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙරට සිදු වූ බරපතල මානව හිමිකම් කෙළසීම් අමතක කර දැමීමටය.
මතක තියා ගන්න, මේ සූදානම් වන්නේ උතුරු නැගෙනහිර යුද කාලීන අපරාධ සම්බන්ධයෙන් පමණක් අන්තර් ජාතික ප්‍රජාව නිහඬ කිරීමට නොවේ.
ප්‍රගීත් එක්නැළිගොඩගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වා ද ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි දී ඝාතනය කරන ලද තරුණයන් 11 දෙනාගේ පටන් රාජ්‍ය අනුදැනුම ඇති සිදු කරන ලද පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ අන්තර් ජාතික මැදිහත්වීමට අහෝසි කිරීමටය.
අප ඊට ඉඩ නොදිය යුතුය.
ගසා තීරයෙහි සිදුවෙමින් ඇති නෑසු විරූ මානුෂික ඛේදවාචකය සිය ප්‍රයෝජනයට ගැනීමට වලිකන දේශපාලනඥයකු කොතරම් දුෂ්ඨයකු විය යුතුද?
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාව සකස් කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා වූ මංගල සමරවීර පුද්ගලිකවම දායක විය. අද දක්වාම යළි යලි සම්මත වි ඇත්තේ සමස්තයක් වශයෙන් එම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සම දායකත්වයක් සැපයූ එම යෝජනාවයි.
රනිල් රාජපක්ෂ දැන් එම යෝජනාවට විරුද්ධ නම් 2015 ඔක්තෝම්බරයේ දී ඊට සහාය දීම සම්බන්ධයෙන් සමාව ගත යුතුය. එවිට සහමුලින්ම රාජපක්ෂ කෙනෙකු විය හැකිය.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායල් හමුදා යෙදී සිටින යුද්ධය සම්බන්ධයෙන් සළකා බැලිය යුතු ප්‍රශ්නය නම්, අපට මෙහෙම කරා නම් උන්ට එහෙම නොකරන්නේ මන්ද යන්න නොවේ.
මෙම තිර්ශ්චීන යුද්ධයෙහි දී අන්තර් ජාතික මානව හිමිකම් නීති කෙළෙසා ඇත්ද යන්නයි. සිවිල් ජනයා අනතුරෙහි හෙළා ඇත්ද යන්නයි.
ඉතා පැහැදලිවම ශ්‍රී ලංකාවෙහි දී මෙන්ම මෙම යුද්ධයේ ද දෙපාර්ශවයම බරපතල මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් වරදකරුවෝ වෙති.
රනිල් රාජපක්ෂ තරම් ඇමෙරිකානු ගැති දේශපාලනඥයකු ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු මෙරට සිට නැත. ඇමෙරිකානු සහෂ්‍ර සංවර්ධන අරමුදල ලංකාවට ලබා ගැනීමට උත්සාහ ගත්තේද ඔහුය. ඇමෙරිකානු සහ බටහිර සංවර්ධිත රවෙල පාලනයට නතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා ලංකාව ගෙන ගියේ ද ඔහුය. ඔහුගේ අන්තර් ජාතික දේශපාලන පක්ෂ සන්ධානය ද බ්‍රිතාන්‍ය නව ලිබරල්වාදී සංගමයකි.
දැන් ඔහු ඇමෙරිකාවට කියන්නේ “ඔබ ගසා තීරයේ කැරෙන අපරාධ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ නම් ශ්‍රී ලංකාවේ සිදුවූ එවැනි සිදුවීම් ගැන යෝජනා ගෙන ඒම නතර නොකරන්නේ මන්ද?” කියාය.
මේ ප්‍රකාශය තුල මෙරට යුද්ධ කාලයෙහි සහ පාස්කු ප්‍රහාර දක්වා සිදු වූ බරපතල මානව හිමිකම් කෙලෙසීම් හි වින්දිතයින් බවට පත් වූ ජනයාට කිසිදු වටිනාකමක් නැත.
රනිල් රාජපක්ෂගේ ප්‍රශ්නය මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් නොව සිය ගැලවීම පිළිබඳ එකකි. ඔහු බලයට පැමිණීමෙන් මේ වන විට ගෙන එන ලද මර්දනකාරී අණපනත් හත අටකට වැඩිය. ඔහු මැතිවරණ කල් දමා ඇති අතර ජනාධිපතිවරණය කල් දැමීමට ද උගුල් අටවමින් සිටී.
එවැනි මිනිසකුට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් තිබිය නොහැකිය.
රනිල් රාජපක්ෂ යනු ජනයා නම් ප්‍රභේදයක් ඇතයි කටයුතු කරන දේශපාලනඥයකු නොවේ. මෙම ඊශ්‍රාලයට නැති නීති අපට ඇයිදැයි අසන කතාවේ යටින් ඇත්තේ එම නරුම කමයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් ප්‍රතිපත්තියේ දෙබිඩි බව අද ඊයේ ඇති වූ එකක් නොවේ. විසි වසරකටත් වඩා නඩු නැතිව සැකකරුවන් රඳවා ඇති ගුවන්තනාමෝ සිර කඳවුර අයත් වන්නේ ඇමෙරිකාවටය. එහි සැකකරුවන්ට දෙන අමානුෂික වධබන්ධන ලෝකයා නොදන්නවා නොවේ.
සෑම මහ බලවතකුගේම අන්තර් ජාතික පිළීවෙත්හි දෙබිඩිකම අලුත් දෙයක් නොවේ.
හරියට අහසින් බෝම දමා යුක්රේනයේ සිවිල් ජනයා සිය ගණනින් මරා දමන රුසියවෙහි පූටින් දැන් ගසා තීරයේ සිවිල් ජනයා ඊහ්‍රාප බෝම්බ මගින් මරා දැමිම හෙළා දකින පරිදිය. සිය රටෙහි හිස් පළදනාවවකක් නොපැලදි නිර්භ්‍ය තරුණියන් ඝාතනය කරන ඉරානයේ අයෙතුල්ලා පාලනය ද ගාසා තිරයේ සිවිල් ජනයා ගැන කිඹුල් කදුලු හෙළන පරිදිය.
ඊශ්‍රාලය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පිළිවෙත ද දීර්ඝ කාලයක් පුරා පවතින එකකි. පලස්තීන ජනයාගේ අයිතීන් සම්බන්දයෙන් ජිනීවා හි මානව හිමිකම් කොමිසම සම්මත කරන සියලු යෝජනාවන්ට විරුද්ධ වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය පමණි.
2015 දී ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් සමඟ එක්ව රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළ අවධියේ දී ද ඇමෙරිකාව කටයුතු කරමින් සිටියේ ද එසේය.
දැන් හදිසියේ රනිල් රාජපක්ෂට ඇමෙරිකාවේ දෙබිඩි මානව හිමිකම් පිළිවෙත මතක් වී ඇත්තේ වෙන කිසි හේතුවක් නිසා නොව, රාජපක්ෂවාදී දේශපාලනයට ඇති ඇල්ම නිසාය.
අද ඔහු කියන්නේ, රාජපක්ෂවරු 2012 සිටම කියමින් සිටි කතාවය. ඔහුට පෙන්වීමට අවශ්‍යව ඇත්තේ රාජපක්ෂවාදය ගෙන යා හැකි දේශපාලනඥයා තමා බවයි.
ඇමෙරිකාව සහ බටහිර රටවල් විරුද්ධ වුනත් නැතත් පලස්තීන ජනයාගේ අයිතීන් වෙනුවෙන් මෙන්ම හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය කර ගෙන යන අන්තර් ජාතික මානව හිමිකම් නීති කෙලෙසීමට අප විරුද්ධ විය යුතුය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුල සිදු සහ සිදු වන එවැනි අපරාධයන්ට අප විරුද්ධ විය යුතුය. ලොව කොතැනක වුවත් ජනයාට මානව හිමිකම් එකසේ අයත්ය. එවැවින් මියන්මාරයේ වුවද, කාම්බෝජයේ වුවද එල් සැල්දොරයේ වුවද වෙනත් කොතැනක වුවද සිදුවන බරපතල මානව හිමිකම් කෙලෙසීම් වලට අප විරුද්ධ විය යුතුය.
රනිල් රාජපක්ෂ මෙන් අප අනෙකාගේ වේදනාව අපේ වාසියක් බවට පත් කර ගැනීමට කටයුතු නොකළ යුතුය.