Thursday, July 18, 2024

ආර්ථික අර්බුදයක්ද, ආණ්ඩුකරණය පිළිබඳ අර්බුදයක්ද?

කලක් උදාරම් සහ සමෘද්ධිමත් පාරාදීසයක් වූ ජාතියකට වැළඳුණු අටෝරාසියක් රෝග සහ ඒ හේතුවෙන් අත්විය හැකි ප්‍රතිවිපාක ගැන මනා අවබෝධයක් ඇති කරගැනීමට කෙනෙකුට රොකට් විද්‍යාව පිළිබඳ දැනුමක් අවශ්‍ය නැත. දීර්ඝ වසර ගණනාවක් තිස්සේ සදාචාරමය පැත්තෙන්, ආචාර ධාර්මික පැත්තෙන් සහ විනීත භාවය පැත්තෙන් ඇති වූ සෝදාපාළුවත්, අවසානයේ දුර්වල දේශපාලන නායකත්වයන් හේතුකොටගෙන ආණ්ඩුකරණයේ සෑම අංශයක්ම පරාභවයට පත්වීමත්, මේ රටේ පදනම් ගල් දෙදරවාලීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු මහත් ජනතාවම අද විෂාදයට පත්ව ඇත.

බ්‍රිතාන්‍ය කිරීටයේ   මිණිකැටය

බි්‍රතාන්‍යයෙන් නිදහස ලබාගත් කාලයේ, සැබවින් ගත්තත්, රූපකාර්ථයෙන් ගත්තත්, මේ රට බි්‍රතාන්‍ය කිරීටයේ මිණිකැටය විය. මැලේසියාව සහ ඊට පසුව සිංගප්පූරුව පමණක් නොව, කොරියාව සහ ජපානයත්, ආණ්ඩුකරණය සහ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් එදා සිය ආදර්ශ මාදිළිය වශයෙන් සැලකුවේ ලංකාවයි. රාජ්‍ය නිලධර තන්ත්‍රය මුදුනේ සිටි සුපිරි දක්ෂයන්ගෙන් සමන්විත සිවිල් සේවය විසින් එදා සපයන ලද උසස් ප්‍රමිතීන් කෙතෙක් ප්‍රශස්ත වීද යත්, ‘අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක’ අවශ්‍යතාවක් එදා මතු නොවුණි. ඇත්තෙන්ම, රස්තියාදුකාර දේශපාලනඥයන්ට කොන්දේසි දමමින් නියෝග දීමට තරම් ඔවුන් අදීන විය.

එහෙත් අවාසනාවට, ඒ කීර්තිමත් සිවිල් සේවයේ ආයුෂ කෙටි විය. වසරින් වසර ඉතා සීග්‍රයෙන් දේශපාලනඥයන් විසින් ඒ නිලධර තන්ත්‍රය හතරඅතින් වට කරන ලදි. ඒ කෙතෙක්ද යත්, අද වන විට රාජ්‍ය නිලධර තන්ත්‍රය, දූෂණයෙන් රෝගාතුරව විනාශ මුඛයට පත්ව ඇත.

ගජ මිතුරු දේශපාලනය

සමාජයේ නිර්මිතයම කාබාසිනියා කරමින් ජාතියේ වසලජ්ජාව බවට පත්ව ඇති, වරප්‍රසාද සහ අනුග්‍රහ වන්දනාවේ සංස්කෘතියක්, තත්කාලීන දේශපාලනඥයන්ගේ උරුමය වශයෙන් අපට දායාද වී තිබේ. ඒ දේශපාලනඥයන් අතරින් දෙන්නෙකුගේ පාර්ලිමේන්තු අත්දැකීම් කාල පරාසයේ එකතුව වසර 96 කි. මේ නස්පැත්තිය සිදුව ඇත්තේ එවැනි දීර්ඝ කාලීන පළපුරුද්ද ඇති දේශපාලනඥයන්ද සිටියදී ය. මේ පිළිකාවෙන් සමස්ත ජාතියම මේ වන විට හිරිවැටී නොසිටින්ට, රටේ සදාචාරමය පරිහානියට සාමූහිකව මෙවැනි දේශපාලනඥයන් විශ්‍රාම ගෙන වේදිකාවෙන් බැස යනවා වෙනුවට තව තවත් එතැනම එල්ලී සිටීමට මානබැලීමේ රංගනය, ජන විඥානය කම්පාවට පත්කරනු නොඅනුමානයි.

නීති වියවුල

මේ මිහිමත ඇති වඩාත් සංකීර්ණ නීති පද්ධති සහිත රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම සිටී. දිනපතාම පාහේ විවිධ නීතිරීති ගෙන එනු ලැබේ. ඒ නීති මාලා මොන තරම් සංකීර්ණද සහ දීර්ඝද යත්, ආයෝජකයන් තියා, සාමාන්‍ය පුරවැසියා පවා ආතක්පාතක් සොයාගත නොහැකිව ඒ අස්සේ වල්මත් වන තරම් ය. ඒ සියල්ලේ ලොකුම සරදම මෙයයි: මේ සියලු නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව, මීට බොහෝ කලකට පෙර සිය වරම නැති කරගෙන තිබීමයි. මුලින්ම, ඒ පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු විය. මුල්ම ඇමති මණ්ඩලය, එක වරක් නොව, දෙවරක්ම අහෝසි විය. අවසානයේ, ඒ පාර්ලිමේන්තුව ප්‍රමුඛ ආණ්ඩුවේ මුදුනේ සිටි ජනාධිපතිවරයා පවා ඉල්ලා අස්විය. ඒ නිසා, බොහෝ කාලයක් මතුවට බලපවත්වන නීති සම්පාදනය කිරීමට මෙවැනි පාර්ලිමේන්තුවකට ඇති සදාචාරමය අයිතිය බරපතළ ප්‍රශ්නයකට තුඩුදෙයි.

අගමැති ගියා – ඇමැති මණ්ඩලය හිටන්

වෙනත් ඕනෑම ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රටක, අගමැතිවරයෙකු ඉල්ලා අස් වූ විට, ඇමති මණ්ඩලයක් සහ ජනාධිපතිවරයෙකු ඉල්ලා අස් වූ විට භාරකාර ආණ්ඩුවක් පත්කරගනු ලැබේ. ඒ, වෙන කිසිවක් සඳහා නොව, අලුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා ය. එහෙත් මෙහෙ එහෙම නෙවෙයි. මේ රටේ භාරකාර ආණ්ඩුව කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, මැතිවරණ නොපැවැත්වීමයි. ඒ සඳහා විවිධ අවසරයන් ඉදිරිපත් කරනු ලැබේ. විටෙක, සල්ලි නැති කම ය. දැන්, හදිසියේ ඇති වී තිබෙන, මැතිවරණ ක්‍රමයේ වෙනසක් පිළිබඳ තදියම ය. මේ සියලු අවසරයන්, ඒවා ගෙන එන වකවානු අනුව බලද්දී, හුදු ඇස්බැන්දුම් බව පෙනේ.

ජනවරමක් ඇති ආණ්ඩුවකින්  මැතිවරණ ප්‍රතිසංස්කරණ !

මැතිවරණ ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි. එහෙත් ඒවා ගෙන ආ යුත්තේ, වලංගු ජනවරමක් ඇති ආණ්ඩුවකින් මිස, කල් ඉකුත් වූ වරමක් සහිත, විශ්වාසය පළුදු කරගත් ආණ්ඩුවකින් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් අනුව සැලකුවොත්, තව අවුරුද්දකටත් අඩු කාලයකින් පැවැත්විය යුතුව ඇති ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම විසින් ප්‍රතිපාදන ඉල්ලා ඇති මොහොතක, අලුත් මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හිතුවක්කාරීව පත්කිරීම, භාරකාර ජනාධිපතිවරයෙකුට තරම් නොවේ.

බදු මුදල් ගිලන රනිල්ගේ තවත් කොමිසමක් විතරයි

කතා දෙකක් නැත. මේ තේරීම් කාරක සභාවත්, මීට පෙර එවැනි වෙනත් තේරීම් කාරක සභා මෙන්ම ජනතා බදු මුදල් මිලියන ගණනින් ගිලිනු ඇත. එසේ කෙරෙන්නේ, අනිත් අතට, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සල්ලි නැතැයි කියන තත්වයකදී ය. මේ සියල්ලෙන් පෙනී යන්නේ, ගත වූ වසර කිහිපය තිස්සේ ආත්මාර්ථකාමී දේශපාලනය නිසා මේ රට අත්වින්ද පාඩම් කිසිවක් තවමත් මේ පාලකයන් උගෙන නැති බව ය. එකම තිර රචනයකට අනුව රඟපාන එකම නළුනිළි පිරිසක්, රටට සහ ජනතාව පැත්තකට දමා, තමන්ගේ පුද්ගලික දේශපාලන අභිමතාර්ථයන් පෙරදැරිව යන ගමනක් අපට මෙහිදි දැකගත හැකිය.

නීතියක් නැති රටක්

ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය දේශපාලනඥයන් විසින් බොහෝවිට විස්තර කරනු ලබන්නේ ආර්ථික අර්බුදයක් වශයෙනි. හාස්‍යය වන්නේ, ඒ අර්බුදය පුපුරා යන තෙක්ම රට පාලනය කළෝද ඔවුන්ම වීමයි. එහෙත් සියල්ල සමස්තයක් වශයෙන් ගෙන බලන විට, වර්තමාන අර්බුදයේ විශාල පංගුවක් බැර විය යුත්තේ ආණ්ඩුකරණය හෝ නොකරණය යන කාරණාවට ය. බොහෝ දෙනා නිතර පෙන්වා දෙන එක දෙයක් තිබේ. එනම්, ලංකාවේ ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රශ්නය උද්ගත වන්නේ, අවශ්‍ය නීතිරීති නැති නිසා නොව, තිබෙන නීතිරීති ක්‍රියාවේ නොයොදවන නිසා බව ය. ඒ නීතිරීති ක්‍රියාවේ යෙදවීමට තරම් දේශපාලන අධිෂ්ඨානයක් නායකයන් තුළ නැති වීම නිසා බව ය. යම් නීතියක් ඉඳහිට හෝ ක්‍රියාත්මක වෙද්දී පවා, සෘජු දේශපාලනික බලපෑම් මත ඒවා ව්‍යර්ථ වෙයි.

දූෂකයෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ගසා කති

වර්තමානයේ රට මුහුණදෙන, දූෂණය නාස්තිය සහ අක්‍රමිකතාව යන ප්‍රධාන අනර්ථයන් තුනට අදාළ නෛතික ප්‍රතිසංස්කරණ ගෙන එනවා වෙනුවට මැතිවරණ ප්‍රතිසංස්කරණ කෙරෙහි දේශපාලන නායකත්වය මේ අවස්ථාවේ යොමු වීම අපේ අවාසනාවකි. රටේ ආර්ථිකය බංකොලොත් කළ නායකයන් නීතිය ඉදිරියට පැමිණවීම සහ සම්පත් අවභාවිතය නිසා රටට අහිමි වූ ධනය යළි අය කරගැනීම වැනි හදිසි සහ අත්‍යාවශ්‍ය කර්තව්‍යයන් වර්තමාන දේශපාලන නායකත්වයට වැදගත් දේවල් නොවේ. මෙරටේ ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන අභාවප්‍රාප්ත මහාචාර්ය ඒ.ඩී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න මීට දශක තුනකට පමණ කලින් සම්පාදනය කළ වාර්තාවකින් පෙන්වා දුන් පරිදි මෙරටේ මුල්බැසගත් දූෂණය නිසා රටට වාර්ෂිකව අහිමි වන ධනය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 කි.

එක ‘මෝරෙකු’ හෝ අල්ලා ගෙන නැහැ

අද වන විට එය තවත් උග්‍ර වී ඇත. එහෙත් රජය හැමදාමත් කර ඇත්තේ අහක බලාගෙන සිටීමයි. ලංකාවේ සිදුවන මහ පරිමාණ දූෂණ සහ කළු සල්ලි ජාවාරම ගැන අනන්තවත් සාක්ෂි විදේශීය ආයතන මගින් සපයා දී තිබියදීත් එක ‘මෝරෙකු’ හෝ මේ දක්වා අල්ලාගැනීමට බලධාරීන් ක්‍රියාකොට නොතිබීම රටේ අවාසනාවකි. මෙය මොන තරම් ශෝචනීය තත්වයකට පත්ව ඇත්ද යත්, අපේ අධිකරණ ඇමතිවරයාම මේ ළඟදී ‘අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ’ සාමාජිකයෙකු වෙත ඇඟිල්ල දිගු කෙළේය.

අධිකරණ ඇමැතිගේ ඇඟිල්ල

රටේ ආර්ථිකය අගාධයටම වැටී ඇති මොහොතක, මේ පිළිලය නැති කිරීමට ගන්නා පියවර කවරේද යන ප්‍රශ්නය නැඟීමට රටේ ජනතාවට අයිතියක් ඇත්තේය. දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති එකම ආයතනයට චෝදනාත්මක ඇඟිල්ල දිගු කිරීමට රටේ අධිකරණ ඇමතිවරයාට සිදුව ඇත්නම්, මෙතැනින් අප යන්නේ කොතැනටද යන ප්‍රශ්නය ඉබේම කෙනෙකුගේ හිතට එන්නේය.

විසඳුම කොතැනද?

මේ අවුලෙන් ගොඩ ආ හැකි එක මාර්ගයක් වන්නේ, ස්වාධීන යැයි කියන අල්ලස් හෝ දූෂණ කොමිසම ඇත්තෙන්ම ස්වාධීන කිරීම ය. ඊට අමතරව, නීතිපති දෙපාර්තමේන්තුවෙන් වෙනස්, ස්වාධීන රාජ්‍ය අභිචෝදකයෙකු (නඩු පවරන්නෙකු) පත්කිරීම ය. මන්ද යත්, වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි ලැදියාවන් අතර ගැටුමක සිටින බැවිනි. එය, එක විට රජයේ නීති නීතිඥයා වශයෙනුත්, රජයේ නඩු පවරන්නා වශයෙනුත් කටයුතු කිරීම ඊට හේතුවයි. එසේම නවතමයෙන් ගෙනෙන ‘දූෂණ-විරෝධී’ පනත තුළ, රාජ්‍ය අංශයේ නාස්තිය සහ අක්‍රමිකතාව දුරලීම සඳහා වැඩි අවකාශයක් නොමැති වීමත් කණගාටුවට කාරණයකි. දූෂණය තරමටම, මේ කාරණා දෙකද අපේ ආර්ථිකය රෝගාතුර කරයි.

විදුලිබල මණ්ඩලය අත්‍යන්තයෙන්ම දූෂිතයි

උදාහරණයක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ගන්න. මේ වසරේ මාස කිහිපයක් ඇතුළත තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දමා තිබේ. මෙය, ආර්ථිකය ගොඩගැනීමේ කාර්යය තවත් දුෂ්කර කිරීමකි. අවසාන වරට සිදු කළ මිළ ඉහළ දැමීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පැටවීමට විදුලිබල මණ්ඩලය මේ අවස්ථාවේත් උත්සාහයක් ගත්තේය. ඒ වනාහී, ඇතැම් කරුණුවලට වැරදි අර්ථකථනයක් දීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇත්තේ, විදුලි බිල තුළ ‘වියදම නිරූපණය’ විය යුතු බවයි. එහි අදහස වන්නේ, වියදම් අඩු කරගැනීමේ වගකීම විදුලිබල මණ්ඩලය ගත යුතු බව මිස නාස්තිකාරී ලෙස වියදම්කොට එය පාර්භෝගිකයාගෙන් අය කරගත යුතු බව නොවේ.

රට කන ඉංජිනේරු මාෆියාව

විදුලිබල මණ්ඩලය අත්‍යන්තයෙන්ම දූෂිත බව රටම දනී. එහි දූෂිත ජාලය ක්‍රියාත්මක කරන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාව විසිනි. නාස්තිය සහ අක්‍රමිකතාව ආයතනය තුළ ඉහවහාගොසිනි. සේවකයන්ගේ මූලික වැටුප මෙන් කිහිප ගුණයක් ඔවුන්ට අතිකාල වැටුප් සඳහා ගෙවනු ලැබේ. විදුලි මීටරයක් නිවැරදිව කියවීම සඳහා පවා පඩි ගෙවති. ලොකු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට මෙන් මෙහි විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවෝ විවිධ වරදාන භූක්ති විඳිති. විදුලිය සඳහා වියදම අහස උසට ගොස් ඇත්තේ එවැනි දූෂිත ක්‍රියාකාරකම් නිසා ය. එසේ තිබියදී, ඒ අධිකතර අක්‍රමික වියදම් අඩු කරගන්නවා වෙනුවට ඒ සමස්ථ නාස්තියේ බර ඇතුළු අක්‍රමිකතාවේ සහ දූෂණයේ වියදම අවසානයේ අසරණ මහජනතාව මත පැටවෙයි.

රන් බිජු දමන කිකිළිය මරාගෙන කෑම

ඊටත් වඩා, ව්‍යාපාරික අංශය කෙරෙහි විදුලි බිල මෙසේ වැඩි වීම් ඉතා නරක ආකාරයෙන් බලපාන බවත් අප සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට සහ හෝටල් හිමියන්ට මෙවැනි මිල වැඩි වීම් නිසා ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන්හි මිල ඉහළ දැමීමට සිදු වෙයි. එයින් ඔවුන්ගේ ව්‍යාපාරවල තරඟකාරීත්වය මොට කෙරෙයි. එය හරියට, රන් බිජු දමන කිකිළිය මරාගෙන කෑමක් මෙනි.
(2023 ඔක්තෝම්බර් 21 දින The Morning පුවත්පතෙහි “Economic or Governance crisis ?” මැයින් පල වූ කතුවැකියේ සිංහල පරිවර්තනය governancelanka වෙතිනි)

Archive

Latest news

Related news