Tuesday, July 16, 2024

පොලිස්පතිගෙන් සහ දේශබන්දුගෙන් බිලියනයක වන්දි ඉල්ලා ශානි අබේසේකර එන්තර වාසියක් යවයි!

ඡායාරූපය: පොලිස්පති සහ දේශබන්දු.
තමාගේ කීර්ති නාමය කැළල්  කිරීමට සිතාමතා කටයුතු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පොලිස්පති සි.ඩී. වික්‍රමරත්නට සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එන්තරවාසියක් යවා තිබේ.
එම දෙදෙනාට අමතරව අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, සහ ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයා වෙත ද එම එන්තර වාසිය යවා තිබේ.
තමාගේ කීර්ති නාමය කැළැල් කිරීමට කටයුතු කළේයැයි එම සියලු දෙනාගෙන්ම දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස එම එන්තර වාසිය ඉල්ලා සිටී.
මෙම එන්තර වාසිය යවා ඔක්තෝම්බර් 18වන දින යවා ඇත්තේ  නීතිඥ මංජුල බාලසූරිය හරහාය.
2019 නොවැම්බර් 20 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරෙහි සිට ගාලු නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහායක ලෙස ශානි අබේසේකර කිසිදු හේතුවක් නොදන්වා මාරු කරන ලද බවත් ඉන් පසු 2020 ජූනි 24 වන දින ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් එන්තරවාසිය සඳහන් කරයි.
මෙම අපරාධ පරීක්ෂණය කරන ලද්දේ කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විසිනි.
එසේ නමුත් රාජකාරිය අතරතුර පොලිස් නිලධාරියකු විසින් කරන ලදැයි කියන විශමාචාර පරීක්ෂා කළ යුත්තේ පොලිස් විශේෂ පරීක්ෂණ ඒකකය යටතේය.
එම පරීක්ෂණය කොළඹ අපරාධ විමර්ෂන කාර්යාංශයට බාර දීමේ තීරණය ගන්නා ලද්දේ පොලිස්පති වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි.
ඒ කොළඹ අපරාධ විමර්ශන ඒකකය දේශබන්දු තෙන්නකෝන් යටතේ වූ බැවින් ඔහුට පරීක්ෂණය හැසිරවිය හැකිවන පරිදිය.
ශානි අබේසේකරට විරුද්ධව සාක්ෂි දෙන ලෙස පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා පුද්ගලයින්ට බලපෑම් කරන තරමට දුර දිග ගියේය. එසේ බලපෑම් කරන ලද බව  අධිකරණයේ දී හෙළිදරව් විය.
2020 ජූලි 09වන දින පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ගම්පහ අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ශානි අබේසේකර චූදිතයකු ලෙස නම් කරන ලදී.
එම බී වාර්තාව 2013 වසරෙහි දී මොහොමඩ් අසම්දීන් මෙහොමඩ් සියම් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයේ දී ශානි අබේසේකර විසින් සොයා ගන්නා ලද ආයුධ තොගයකට සම්බන්ධ විය.
දීලීප් නැලිගම නම් පුද්ගලයකුගේ වත්තක තිබූ බවට ආයුධ තොගයක් ව්‍යාජ ලෙස ඉදිරිපත් කරන ලද්දේයැයි ශානි අබේසේකරට විරුද්ධව වෛර සහගත බොරු චෝදනාවක් එමගින් ඉදිරිපත් කර තිබුණි.
එම චෝදනාව මත හානි අබේසේකර 2020 ජූලි 31 දින අත්අඩංගුවට ගන්නා ලදී.
එදිනම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන සිරගත කරන ලදී.
ශානි අබේසේකරට ඇප ඉල්ලා ඉදිරිපත් කරන ලද අවස්ථා දෙකක්ම ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඉන් පසු අභියාචනා අධිකරණය හමුවෙහි ඇප ඉල්ලීමක් කරන ලදී.
2021 ජූනි 16වනදා අභියාචනාධිකරණය ශානි අබේසේකරට ඇප ලබා දෙමින්, ඔහුට විරුද්ධ චෝදනා ගොතන ලද ඒවා බව ප්‍රකාශ කළේය. එපමණක් නොව මෙම චෝදනා ඉදිරිපත් කර ඇත්තේ ශානි අබේසේකරට අගතියක් සහ හානියක් කිරීමට බව පෙනී යන බවත් එම තීන්දුවේ සඳහන් විය. දඬුවම් ලබා සිටින මිනී මරුවන්ගේ සහායකයින්ගේ ව්‍යාජ සාක්ෂි ගම්පහ අධිකරණ හමුවේ ඉදිරිපත් කර ඇති බවත් එම තීන්දුවෙහි සඳහන් විය.
මෙම තීන්දුව මගින් ශානි අබේසේකරට විරුද්ධ චෝදනා ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඉන් පසු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ඔහු 27වතාවක් කැඳවා ප්‍රකාශ ලබා ගන්නා ලදී.
එනමුත්  සිරභාරයේ රඳවා සිටි කාලයෙහි දී  ශානි අබේසේකරගෙන් කිසිදු ප්‍රකාශයක් ලබා ගත්තේ නැත.
පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඉන්පසුවද ගම්පහ අධිකරණයෙහි ශානි අබේසේකරට විරුද්ධව බී වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
එම නඩුව 2023 අගෝස්තු  විභාගයට ගන්නා ලද අවස්ථාවෙහි දී ශානි අබේසේකරට විරුද්ධව නඩුවක් ගෙන යාමට කරුණූ නැති බැවින් එම විභාගය අවසන් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේය. එනමුත් පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත ඊට එකඟ නොවී නීතිපති දෙපාර්තමේන්තුවට යළි සලකා බලන ලෙස කියා සිටි නමුත් අධිකරණය විභාගය අවසන් කළේය.
එම කරුණූ සදහන් කිරීමෙන් පසු එන්තරවාසිය සදහන් කරන්නේ ජගත් නිශාන්ත සහ නෙවිල් සිල්වා, ශානි අබේසේකරගේ කීර්ති නාමය පළුදු කිරීමට සිතාමතාම කටයුතු කර ඇති බවයි.
ඔවුන් දෙදෙනා ශානි අබේසේකර විසින් කරන ලද ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ද නැත.
අභියාචනාධිකරණයේ ඉතා පැහැදිලි තීරණයක් තිබියදීත් එම  දෙදෙනා දිගින් දිගටම ශානි අබේසේකරට විරුද්ධව බොරු චෝදනා ඉදිරියට ගෙන ගියහ.
ඔවුන් දෙදෙනා, ශානි අබේසේකරගේ නිර්දෝශී බව පෙන්නුම් කළ හැකිව තිබූ, ඔහු විසින් ඉල්ලා සිටින ලද වාර්තා ලබා දීම මගහැරියහ.
මෙම බොරු නඩුව පටලවා ඉදිරියට ගෙන යන ලද්දේ පොලිස්පති වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුු යන දෙදෙනා යටතේ වන අතර පරීක්ෂණය සදහා ජගත් නිශාන්ත සහ නෙවිල් සිල්වා තෝරා ගන්නා ලද්දේද එම දෙදෙනාගේ සිතැඟි අනුවය.
එබැවින් මෙම දෙදෙනාද ශානි අබේසේකරගේ කීර්ති නාමය පළුදු කිරීමට දැන දැනම බොරු නඩුවක් පටලැවීමට සම්බන්ධ බවත් එන්තර වාසිය සඳහන් කරයි.
අසෝක ජයවර්ධන විසිනි.
(සියම් ඝාතනය, වාස් ගුණවර්ධන නඩුව සහ ආයුධ බොරු නඩුව ගැන දීර්ඝ ලිපියක් බලාපොරොත්තු වන්න)

මෙම කරුණු මගින් කවරකුට හෝ අගතියක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් එවන ප්‍රකාශය පළ කිරීමට ශ්‍රි ලංකා බ්‍රීෆ් බැදී සිටි.

 

Archive

Latest news

Related news