කේ. කේ. එස්. පෙරේරා විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත්කොට තිබේ. එනම්, මුස්ලිම් කොන්ග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පැමිණි නසීර් අහමඩ් එම පක්ෂය විසින් නෙරපා හරිනු ලැබීම නීත්‍යානුකූල බවට තීන්දුවක් දීමෙනි. ඒ අනුව, අමාත්‍ය නසීර් මොහොමඩ්ගේ පාර්ලිමේන්තු අසුන ඔහුට අහිමි වෙයි. ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කළ නොහැකි බව, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ විනිශ්චයයි. මොහුව පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු සිද්ධ වුණේ, මුස්ලිම් කොන්ග්‍රසයේ පක්ෂ මතයට පටහැනිව ඔහු විසින් 2021 දෙසැම්බර් 10 වැනිදා පැවති අයවැයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමයි. මේ අධිකරණ තීන්දුව, සියලු දේශපාලනඥයන්ට කරන අනතුරු ඇඟවීමකි. මූල්‍යමය වාසිවලට යට නොවී, තමන්ගේ අවංකකම ආරක්ෂා කරගැනීම ගැන සිතීමට මින්පසු මන්ත්‍රීවරුන්ට සිදු වනු ඇත.
“සමහර පැති මාරු කිරීම්, ඇදහිය නොහැකි තරමට, ඉතා අශෝභන ය. නින්දිත ය. හිටපු ජාතික උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පක්ෂ නායකයන් සමග ආණ්ඩුවෙන් කැඩී වෙන් වූ අතර ඊට පසුවදාම නැවතත් ආණ්ඩුවට ගියේය”
මේ තීන්දුව නිසා, සමගි ජනබලවේගයෙන් ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් දෙන්නෙකුගේ සහ පොහොට්ටු පක්ෂයෙන් කැඩී ගිය තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේත් අනාගතය පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් නංවනු ඇත. මෙයින් කියාදෙන පාඩම වන්නේ, පුද්ගලික ලාභ ප්‍රයෝජන හෝ බාහිර බලපෑම්වලට යටත්ව, තමන්ව පත්කර එවූ ඡන්දදායකයන්ගේ සහ රටේ අවශ්‍යතාවන් පාවාදිය යුතු නැති බවයි. අවංක භාවය සහ ප්‍රතිපත්තිගරුක භාවය, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයටත්, මහජන විශ්වාසය ගොඩනඟාගැනීමටත් අත්‍යාවශ්‍ය වන බැවිනි.
සමහර පැති මාරු කිරීම්, ඇදහිය නොහැකි තරමට, ඉතා අශෝභන ය. නින්දිත ය. හිටපු ජාතික උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පක්ෂ නායකයන් සමග ආණ්ඩුවෙන් කැඩී වෙන් වූ අතර ඊට පසුවදාම නැවතත් ආණ්ඩුවට ගියේය. පක්ෂයෙන් නෙරපා හරිනු ලබන මන්ත්‍රීවරුන්ට තමන්ගේ නෙරපා හැරීම නීත්‍යානුකූලද යන වගට අධිකරණමය විනිශ්චයක් ඉල්ලා සිටීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) වගන්තිය යටතේ අයිතිය තිබේ. මේ වගන්තියේ අවසරය යටතේ, එක පක්ෂයකින් තව පක්ෂයකට පනින පුද්ගලයන් පසුගිය කාලය මුළුල්ලේ සිය මන්ත්‍රී ආසන ආරක්ෂා කරගෙන සිටියහ.
විවිධ හේතු යටතේ පක්ෂ මාරු කළ අවස්ථා රාශියක් තිබේ. ඒවායින් සමහර හේතු ගෞරවනීයයි. මුලින්ම මෙසේ පක්ෂ මාරු කළ අවස්ථාවක් වුණේ, එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි නායකයා වශයෙන් සිටි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1951 දී, එවක පක්ෂ නායක ඩී. එස්. සේනානායක ඔහුගෙන් පසු පක්ෂයේ නායකත්වයට ඔහුගේ පුතා වන ඩඩ්ලි සේනානායක පත්කිරීමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේ, එම ආණ්ඩුවෙන් ඉවත් වීමයි. එවැනි පක්ෂ මාරු කිරීමක් පසුපස පැවති අරමුණු සංකීර්ණ ඒවා විය හැකි වෙතත්, එයින් යම් සමාජ විප්ලවයක් එදා ඇති කෙරුණි. මෙවැනි ඓතිහාසික කෝණයකින් බැලූ විට, පක්ෂ මාරු කිරීමක් තුළ තිබිය හැකි අඩමාන ස්වභාවයන් අපට පැහැදිලි වෙයි. එවැනි අවස්ථාවක, ආචාරධාර්මික භාවය ගැන දෙපැත්තටම වාදවිවාද කළ හැකිය. එසේ වෙතත්, එවැනි පක්ෂ මාරුවකින් රට කෙරෙහි සිදු විය හැකි බලපෑම සහ ප්‍රතිවිපාකද අමතක නොකළ යුතුය. ඒ නිසා, විටෙක ඒවා විවාදාත්මක විය හැකි වෙතත්, දේශපාලන භූ-සිතියම කෙරෙහි ඒවා බලපා ඇති බවත්, ලංකා ඉතිහාසයේ වැදගත් ප්‍රශ්නවලට විටෙක ඒ මගින් ආමන්ත්‍රණයකොට ඇති බවත් පෙනෙන්ට තිබේ. ඒ ඓතිහාසික සන්දර්භය, වර්තමාන ප්‍රශ්නය තුළ පවතින ආචාර ධාර්මික කාරණා පිළිබඳ පුළුල් සාකච්ඡාවක් සඳහා වැදගත් විය හැකිය.
2016 දෙසැම්බර් මාසයේ ‘ව්‍යවස්ථා සභාව’ තුළ මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. පක්ෂ මාරු කරන පුද්ගලයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිකොට, හිස් වූ අසුන සඳහා අතුරු-මැතිවරණ පැවැත්වීමත්, සදාචාර-විරෝධී පක්ෂ මාරු කිරීම් අධෛර්යමත් කිරීමත් ගැන එහිදී සාකච්ඡා වුණි. පෞද්ගලික වාසි තකා පක්ෂ මාරු කරන අවස්ථා, එවැනි ක්‍රියාමාර්ගයකින් පාලනය කළ හැකි වනු ඇත. පක්ෂ මාරුවක් නිසා හිස් වන ආසනය පිරවීමට අතුරු-මැතිවරණ පැවැත්වීමේ ක්‍රමයක ඇති වැදගත්කම ගැන ලාල් විජේනායක කොමිසමටද ඒ දිනවල යෝජනා ලැබී තිබුණි. ඒ කාලයේ මෙවැනි පක්ෂ මාරු කිරීම් වැළැක්වීම සඳහා අලුත් ව්‍යවස්ථාවක ඇතුළත් කළ යුතු විසඳුම් පිළිබඳ විශාල උනන්දුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද පෙන්නුම් කෙරුණි. පවතින නීති යටතේද මෙවැනි පක්ෂ මාරු කිරීම වැළැක්විය හැකි බවට එදා තර්ක කෙරුණි. ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායකට පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම ඊට උදාහරණයක් වශයෙන් එදා ගෙනහැර දැක්වුණි.
එහෙත් එදා පටන්, මෙසේ පක්ෂ හැර යන මන්ත්‍රීවරුන් කෙළේ, පක්ෂයෙන් තමන් නෙරපා හැරීම පමා කිරීම හෝ වළක්වා ගැනීම අරමුණු කරගනිමින් වාරණ නියෝග ඉල්ලා දිස්ත්‍රික් අධිකරණ වෙත යාමයි. එහෙත් සිදු විය යුතුව තිබුණේ, ඡන්දදායකයා නොසලකා තමන්ගේ වාසිය සඳහා කෙරෙන පක්ෂ මාරු කිරීම් අධෛර්යමත් කිරීමයි. බණ්ඩාරනායකගේ පක්ෂ මාරුවේ පටන් තවත් පක්ෂ මාරු වීම් රාශියක් සිදුව තිබේ. කණ්ඩායම් වශයෙන් පක්ෂ හැරගිය තවත් අවස්ථාවක් වුණේ 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් කිහිප දෙනෙකු එම පක්ෂය හැර ගිය අවස්ථාවයි. අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමටත්, ඉන්පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමටත් එය හේතුකාරක විය. මේ සිද්ධිවලින් පෙනී යන්නේ, ඡන්දයකින් පාර්ලිමේන්තුවට පත් වූ පසු දේශපාලන පක්ෂ මාරු කිරීමේ සිද්ධි පසුපස ඇති සංකීර්ණ සහ ගතික ස්වභාවයයි.
“2008 දී තවත් එවැනි මාරුවීමක් සිදු විය. ඒ, කරූ ජයසූරිය සහ එම්. එච්. මොහොමඩ්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ආණ්ඩුවට ඇතුළත් කරගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත් අවස්ථාවේ ය. එසේ කෙළේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කළ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුවට ලබාගැනීමට ය.”
මේ පක්ෂ මාරු කිරීම්වලින් බොහොමයක්, ආත්මාර්ථකාමී පරමාර්ථ පෙරදැරිව සිදු වූ බව නිසැක ය. පුද්ගලික ලාභ ප්‍රයෝජන සහ තනතුරු ලෝභය ඒවා පසුපස තිබුණි. 1964 දී සී. පී. ද සිල්වාගේ නායකත්වය යටතේ ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් විපක්ෂයට ගියේ පුවත්පත් මණ්ඩල පනත ගෙන ඒමට බාධා කිරීමට ය. ඒ හේතුවෙන් සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව බිඳවැටුණු අතර, ඊළඟට පැවති මැතිවරණයෙන්ද ඈට පරාජය වීමට සිදු විය. එදා පටන්, පක්ෂ මාරු කිරීම් සිදුව ඇත්තේ එක දිසාවකට ය. එනම්, තමන් ජයගත් පක්ෂය එකී මැතිවරණයෙන් පරාජය වූ පසු ජයග්‍රාහී ආණ්ඩු පක්ෂයට මාරු වීමයි. මේ හැසිරීම, තමන්ගේ ඡන්දදායකයන්ව පාවාදීමක් වශයෙන් සැලකේ.
පක්ෂ මාරු කිරීම් වළක්වාලන විශේෂිත නීති තිබුණත්, අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ කාලයේදී, විජයපාල, සරත් අමුණුගම, සුසිල් මුණසිංහ සහ සිරිල් මැතිව් පක්ෂ මාරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කෙරුණි. මේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වශයෙන් ඡන්දයෙන් තේරී පත්ව සිටි අයවළුන් ය. එහෙත් දැන්, වෙනත් පක්ෂයක සහ වෙනත් ආණ්ඩුවක ඇමතිවරුන් වශයෙන් ඔවුන් සිටීම, සමස්ත ඡන්ද ක්‍රමයේ ඒකාග්‍රතාව බිඳවනසුළු විය. පක්ෂ මාරුවට විරුද්ධ අණපනත් ගෙන ආ යුතු බවට අදහස් වඩාත් ඉදිරියට ආවේ මෙවැනි සිදුවීම් නිසා ය.
2008 දී තවත් එවැනි මාරුවීමක් සිදු විය. ඒ, කරූ ජයසූරිය සහ එම්. එච්. මොහොමඩ්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ආණ්ඩුවට ඇතුළත් කරගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පියවර ගත් අවස්ථාවේ ය. එසේ කෙළේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කළ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුවට ලබාගැනීමට ය. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් මෙසේ පක්ෂය මාරු කළ පුද්ගලයන් පිරිසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති තනතුරු ලැබුණි. තවත් වරප්‍රසාද සහ වරදාන ලැබුණි. මොවුන්ගෙන් සමහරෙකුට විරුද්ධව තිබුණු නඩු ඉල්ලා අස්කරගැනුණි. තවත් පිරිසකගේ බැංකු ණය කපා හැරුණි. මේ ද්‍රෝහී සාමාජිකයන්ගේ ආසන අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කළත්, නීතිමය සහ දේශපාලනික යාන්ත්‍රණයන් ඊට හරස් විය. කෙසේ වෙතත්, මෙවැනි පක්ෂ මාරු කිරීම් වැළැක්විය යුතු බව මේ සිද්ධිවලින් පැහැදිලි වෙයි.
මේ ප්‍රශ්නයට ඇති එක් යෝජිත විසඳුමක් වන්නේ, “හෘද සාක්ෂියට අනුව කෙරෙන පක්ෂ මාරුවක්” සඳහා වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඇති කිරීමයි. ඊට අනුව, පක්ෂය මාරු කිරීමට අදහස් කරන කෙනෙක්, ඒ පිළිබඳ තමාගේ ඡන්දදායකයාගේ කැමැත්ත විමසා බැලීමක් වන අතුරු මැතිවරණයකට මුහුණදිය යුතුය. එවිට, අදාල මන්ත්‍රීවරයා පක්ෂය මාරු කරන්නේ තමන් සඳහා යැයි ජනතාව විශ්වාස කරන්නේද නැද්ද යන්න දැනගත හැකි වනු ඇත. එවැනි විසඳුමකින්, සිය ඡන්දදායකයා කෙරෙහි මන්ත්‍රීවරයාට ඇති වගවීම ස්ථාපිත කෙරෙන අතර තමන්ගේ තීරණය පිළිබඳ වගකීමත් අදාළ පුද්ගලයාටම පැවරෙනු ඇත. දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය ජනනය කිරීමට එය රුකුලක් වනු ඇත. හුදෙක් පෞද්ගලික වාසි තකා පක්ෂය මාරු කිරීම් ඒ මගින් අධෛර්යමත් කෙරෙනු ඇත. කෙසේ වෙතත්, එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවිය යුත්තේ ඉතා සීරුවෙන් සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ඒ සඳහා පවතින නීති සහ රෙගුලාසි වෙනස් කිරීමටත් සිදුවනු ඇත.