Friday, May 3, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පනත් ‍ කෙටුම්පත පිළිබඳ සංශිප්ත හැඳින්වීමක් – ජගත් ලියනආරච්චි

2023 සැප්තැම්බර් මස 18 වන දින මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ නියමය පරිදි මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය
පිලිබද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පලකර තිබේ. එම පනත් කෙටුම්පත පිලිබද සංශිප්ත හැදින්වීමක්.
පනතේ අරමුණු පනතේ අරමුණු ලෙස පනත් කෙටුම්පතේ 2වන වගන්තියේ දක්වන පරිදී,

■ අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන
අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම.
■ අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී
වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම.
■ මේ පනත යටතේ වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම
සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම සහ
■ ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා
මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබා දීම වැළැක්වීම.
පනත යටතේ වැරදි
■ ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම තහනම් කිරීම (12 වගන්තිය)
■ අධිකරණයට අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (13 වගන්තිය)
■ අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම (14 වගන්තිය )
■ අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම (15 වගන්තිය )
■ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (16 වගන්තිය)
■ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය
කිරීම (17 වගන්තිය)
■ මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් යම් තැනැත්තකුට වංචා කිරීම (18 වගන්තිය )
■ මාර්ගගත ගිණුමක් මගින් අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම (19 වගන්තිය )
■ සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතව ම
නින්දා කිරීම (20 වගන්තිය )
■ කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය
කිරීම (21 වගන්තිය )
■ හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම ආදිය (22 වගන්තිය )
■ මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා ළමා අපයෝජනයක් කිරීම (23 වගන්තිය)
■ වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම (24 වගන්තිය )
■ කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම (25 වගන්තිය )

මෙම ඇතැම් වැරදි සදහා වසර 5ක සිරදඩුවම් හා/ හෝ දඩයක්ද ද ඇතැම් වැරදි සදහා වසර 3ක සිරදඩුම් හා /හෝ
දඩයක්ද නියම කල හැකිය, මෙම වැරදි සංඥය නොවන මෙන්ම ඇප ලබාදිය හැකි වැරදි වේ,
මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් තහනම් ප්‍රකාශ බවට තීරණය කරන ලද ප්‍රකාශ 3ක් ශ්‍රි ලාංකික අවසාන පරිශීලකයන් වෙත බෙදා හරින ලද මාර්ගගත ස්ථානයක් ( “මාර්ගගත ස්ථානය” යන්නෙන්, පරිගණකයක රඳවා තබා ඇත්තා වූ ද, අන්තර්ජාලය මගින් දැකිය හැකි, සවන් දිය හැකි හෝ අන්‍යාකාරයකින් අවබෝධ කරගත හැකි වන්නා වූ ද, වෙබ් අඩවියක්, වෙබ් පිටුවක්, පිළිසඳර මැදිරියක් හෝ සංසදයක් හෝ වෙනත් යම් දෙයක් අදහස් වේ) තහනම් කිරීමේ බලය කොමිෂන් සභාවට පවතී, (32 වගන්තිය)
මාර්ගගත ප්‍රකාශනයකින් අගතියට පත් පුද්ගලයකුට පනත යටතේ ලබාගත හැකි සහන අගතියට පත් පුද්ගලයකුට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාවට පැමිණිලි කල හැකිය.
පරීක්‍ෂණයක් සිදුකර එකී ප්‍රකාශන තහනම් කර එය සංසරණය වීම වළක්වන ලෙස එම ප්‍රකාශය සංසරණය කල තැනැත්තාට දැනුම්දිය හැකිය. එකී විධානයක් ලැබුණ පසු පැය 24ක් ඇතුලත එකී විධානයට අනුකූලව කටයුතු කල යුතුය. එසේ කිරීමට එම පුද්ගලයා අපොහොසත් වුවහොත් එම
■ ඒ තහනම් ප්‍රකාශය වෙත ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන් විසින් ප්‍රවේශ වනු ලැබීම අක්‍රිය කරන ලෙස
හෝ
■ ඒ තහනම් ප්‍රකාශය ඒ මාර්ගගත ස්ථානයෙන් ඉවත් කරන ලෙසට,
ඒ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නා වෙත හෝ අන්තර්ජාල අතරමැදියා වෙත දැන්වීමක් නිකුත් කළ යුතු ය.
එයට අමතරව තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය වීමෙන් බලපෑමට ලක්ව ඇති තැනැත්තකු විසින්, ඒ තොරතුර සංසරණය වීම වැළැක්වීම පිණිස ආඥාවක් ලබා ගැනීම සඳහා පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් මගින් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. (27වගන්තිය)

සන්නිවේදනයට අදාළව සේවා සපයන්නන්ගේ වගකීම (30)

පහත දැක්වෙන සේවාවන් සැපයීමේ නිරතව සිටින තැනැත්තකු විසින් මේ පනත යටතේ සාදන රීති ආකාරයෙන් නිකුත්
කරනු ලබන අදාළ චර්යා සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීම පැහැර හරිනු ලබන්නේ නම් සහ එමගින් වෙනත් යම් තැනැත්තකුට අයුතු හානියක් සිදු කරනු ලබන්නේ නම්, ඒ තැනැත්තා විසින් හානියට පත් වූ තැනැත්තාට වන්දි ආකාරයෙන් අලාභ ගෙවීමට යටත් විය යුතු ය.

(අ) අන්තර්ජාල අතරමැදි සේවාවක්,
(ආ) විදුලි සංදේශ සේවාවක්,
(ඇ) මහජනයාට අන්තර්ජාල ප්‍රවේශය ලබාදෙන සේවාවක් හෝ
(ඈ) පරිගණක සම්පත් සේවාවක්.

ව්‍යාජ මාර්ගගත ගිණුම් සහ සමායෝජිත ව්‍යාජ හැසිරීම් නැවැත්වීම- V1 වන කොටස

ව්‍යාජ මාර්ගගත ගිණුම් සහ සමායෝජිත ව්‍යාජ හැසිරීම් නැවැත්වීම නැවැත්වීම සදහා එම ගිණුම් යම් කාලසීමාවකට නවත්වන ලෙස අන්තර්ජාල අතරමැදියකුට දැනුම්දීමේ බලය කොමිෂන් සභාවට ඇත. එසේම 19 වන වගන්තිය අනුව මෙසේ ව්‍යාජ මාර්ගගත ගිණුම් පවත්වාගෙන යාම සිරදඩුම් ලැබෙන වරදකි.

සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන්ට සමාජ මාධ්‍ය වේදිකා සපයනු ලබන වෙබ් අඩවි, මේ පනත යටතේ සාදනු
ලබන රීති මගින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි ආකාරයට ලියාපදිංචි කිරීම කොමිෂන් සභාව විසින් සිදුකල යුතු බව පනත් කෙටුම්පතේ 11(ඔ) වගන්තිය දක්වයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව

ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන 5 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වේ, කොමිෂන් සභා සාමාජිකයන්ගේ ධූර කාලය වසර 3ක් වන අතර ඔිනෑම සාමාජිකයෙකු හේතු දක්වා ඉවත් කිරීමේ බලය ජනාධිපති සතුවේ ( 7 වන වගන්තිය)

කොමිෂන් සභාවේ බලතල

■ පනත යටතේ තහනම් වන සංනිවේදන නතර කරන ලෙස එම සංනිවේදන නිකුත් කරන තැනැත්තන්ට විධාන නිකුත්
කිරීම,
■ සංනිවේදන නිකුත් කරන තැනැත්තන්ට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ අන්තර්ජාල අතරමැදියන්ට විධාන
නිකුත්කිරීම,
■ සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කිරීම,
■ සමාජ මාධ්‍ය වේදිකා සදහා චර්යා ධර්ම හදුන්වාදීම,
■ තහනම් ප්‍රකාශ සිදුකරන මාර්ගගත ස්ථාන අක්‍රීය කරන ලෙස අන්තර්ජාල සේවා සපනන්නන්ට සහ අන්තර්ජාල
අතරමැදියන්ට දැනුම්දීම,
භාෂනය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සිදුවන බලපෑම
■ ස්වාධින නොවන කොමිෂන් සභාවක් විසින් පනතේ තහනම් කර ඇති ප්‍රකාශන සම්බන්ධව විනිශ්චයක් ගෙන එකී
ප්‍රකාශන නවත්වන ලෙස ප්‍රකාශ පල කරන්නන්ට දැනුම්දී ම මගින් නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය අභියෝගයට
ලක්වේ.
■ මෙම පනත් කෙටුම්පත මගින් දක්වා ඇති තහනම් ප්‍රකාශ සම්බන්ධව වැරදි නිශ්චිත නොවන අතර පුලුල් අර්ථ
ලබාදිය හැකි බැවින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අනවශ්‍ය සීමාවක් පනවයි
■ පනත යටතේ ස්ථාපනය කරන කොමිෂන් සභාව ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපති විසින්ම ඉවත් කරන
කොමිෂන් සභාවක් බැවින් එහි ස්වාධිනත්වයක් නොමැත. එවැනි කොමිෂන් සභාවක තීරණ දේශපාලනික විය හැකි
බැවින් පුරවැසියන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට බාධාකාරී වේ.
■ සමාජ මාධ්‍ය වේදිකා ලියාපදිංචි කල යුතු බව සදහන් වන බැවින් එකී කොන්දේසියට අවනත නොවන සමාජ
මාධ්‍ය වේදිකාවන්, ශ්‍රි ලංකාවෙන් බැහැර වීම මගින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් අහිමි වීමේ
අවධානමක් පවතී.
■ ශ්‍රි ලංකාවට අදාලව විදේශීය ආයතන හරහා සිදුකරන බොට් ක්‍රියාකාරකම් ඇතැම් තාක්‍ෂණික හේතු මත නැවැත්විය
නොහැකි බැවින් එකී වරද සම්බන්ධයෙන් වගකීමට බැදෙන්නේ ශ්‍රි ලංකාව තුල සිටින පුරවැසියන් පමණි.
■ අයිසීසීපීආර් පනතේ 3 වන වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රයේ 120 වගන්තිය ආණ්ඩු විසින් (අව)භාවිතා කර ඇති
ආකාරය ගැන විමසිලිමත්වන විට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කරනු ලබන ප්‍රතිපාදන තම විරුද්ධ
මතවාදීන් මර්ධනය කිරීම සදහා අවභාවිතා කිරීමේ ඉහල අවධානමක් පවතී.
පනත් කෙටුම්පතේ සාධනීය ලක්‍ෂණ
■ පනත යටතේ වන සියලු වැරදි වරෙන්තුවක් සහිතව අත්අඩංගුවට ගතයුතු වැරදි (සංඥය නොවන වැරදි) ලෙස
හදුන්වාදී තිබිීම
■ පනත යටතේ වන සියලු වැරදි ඇපදිය හැකි වැරදි ලෙස හදුන්වාදී තිබිීම
■ අසත්‍ය ප්‍රකාශ යන්න අර්ථ නිරූපනය කර තිබීම.

සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි
2023 සැප්තැම්බර් 19

උපුටා ගත්තේ www.medialawforum.org අඩවියෙනි.

 

Archive

Latest news

Related news