Friday, May 3, 2024

කතාන්දර සහ සැබෑ බුදු දහම: ප්‍රාඥයන්ගේ උපදේශය කුමක් ද? – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේටර්ධන

සම්ප්‍රදායන්ට අනුගතවීම

මාවිසින් මෙසේ ඉගෙන ගන්නා ලදී.
මෑතක දී මට දැනට ලංකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති තරුණ වේදිකා ප්‍රහසන ශිල්පිනියක් බුද්ධාගමට අපහාස කෙළේයැයි බෞද්ධ උවැසියන් දෙදෙනෙකු උණුසුම් විවාදයක යෙදෙනු ඇසිණ.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වයස හැත්තෑ ගණන්වල මැද භාගයේ පසු වූ අතර අනෙකා අසූ ගණන්වල මුල වන්නට ඇත. අසූ ගණන්වල පසු වු උවැසිය බුදු දහම මහත් භක්තියෙන් අදහන්නෙකි. බොහෝ කාලයක් අන්තර් ජාලය හරහා ධර්මධර ස්වාමීන් වහස්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දි සිටි නිසා බුද්ධ ධර්මය ගැන ගැඹුරු දැනුමත් ඇයට තිබිණ. ඇය මෙම දහම් දැනුම සිය මිතුරු මිතුරියන් සහ සවන් දීමට කැමති වෙනත් අය සමග බෙදා හදා ගත්තාය. අනිත් උවැසියට බුදු දහම ගැන එවැනි ගැඹුරු දැක්මක් නොතිබු නිසා ඉවසිල්ලෙන් ඇයට සවන් දුන්නාය.
දහම් දැනුමැති උවැසිය අනෙකාට මෙසේ කියනු මට ඇසිණ.

“..ඔබ දන්නවාද ඒ ගැහැනිය ඇගේ අසන්නන් කුල්මත් කරන්න පැහැදිලිවම බුදුන්ට අපහාස කළා. සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන ගේ කොල්ලා කියා බෞද්ධයන්ට අපහාස කළා.. උපත ලද විගස නෙළුම් මල් හතක් මත ඇවිදීමේ හාස්කම සරදමට ලක් කරා. ඇය බුදුන්ට අපහාස කළ පමණක් නොවෙයි බෞද්ධ සංස්කාතියටත් නිගා කළා..”

අනෙක් උවැසිය කතා නැතිව සවන් දි සිටියාය. ඉන් දිරිමත් වූ පළමු උවැසිය දිගටම කතා කළාය.
පුජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල හිමි

“..පොලිසිය මේ කාලකන්නි ගැහැනිය අල්ලා නඩු දාපු එක හරි. මේ ගෑනිට කොහේ හරි පිටරටකින් බුද්ධාගම විනාශ කරන්න සල්ලි දෙන්න ඇති. මේ ගැහැනියත් ඇයට සල්ලි දීපු අයටත් වැරදිලා. කිසි කෙනෙකුට බුද්ධාගම විනාශ කරන්න බැහැ. ඒක ලෝකයේ සියලුම ආගම්වලට වඩා උතුම්..”

අනෙක් උවැසිය හිස සලා එකඟ වූවාය.
ඔවුන්ගේ සංවාදය අමුත්තක් නොවුයේ මට පාසලේ දීත් ඉරිදා දහම් පාසලේ දීත් උගන්වා තිබුණේ ඒ ආකාරයට නිසාය. එමනිසා ඔවුන් පැවසුවේ උගන්වා ඇති දෙයයි.

විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘගේ බුද්ධිය.

පුජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි
එහෙත් එය පැරණි විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ 1960 ගණන්වල මැද භාගයේ රාජ්‍ය පරිපාලනය ගැන අධ්‍යයනයට මගේ විශ්ව විද්‍යාල දිවිය ආරම්භ කළ කාලය සිහිපත් කරවීය. ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ උප කුලපතිව සිටියේ ලෝක ප්‍රකට බෞද්ධ ප්‍රාඥයෙකු වලපොල රාහුල හිමි ය. විශ්ව විද්‍යාලය පිහිටු වූයේ එවැනිම බෞද්ධ ප්‍රාඥයෙකු වූ වැලිවිටියේ සෝරත හිමිය. මනා බුද්ධියකින් යුතු උන්වහන්සේ විශ්ව විද්‍යාලයේ සෑම ශිෂ්‍යයෙකුම, අධ්‍යාපන ධාරාව, ශාස්ත්‍ර, විද්‍යාව හෝ කළමනාකරණය යන කුමක් වුවත් පළමු වසරේ සහ අවසාන වසරේ ඉංග්‍රීසි සහ බෞද්ධ සංස්කෘතිය යන ප්‍රශ්න පත්‍ර දෙකින්ම සමත්වීම අනිවාර්ය කෙළේය. සිය අධ්‍යයන කටයුතු ඉදිරියට කර ගෙන යෑමට පළමු වසරේ සිසුන් එම ප්‍රශ්න පත්‍ර දෙකින්ම සමත් විය යුතු අතර අවසාන වසරේ ද උපාධිය ලබා ගැනිමට ඒවායින් සමත් විය යුතුය. ඔවුන් පළමු පංතියේ සමාර්ථයක් ලැබිමට තරම් ලකුණු සංඛ්‍යාවක් අනෙක් විෂයන්ගෙන් ලබා තිබුණත් මෙම ප්‍රශ්න පත්‍ර දෙකින් සමාර්ථය නැතිනම් උපාධිය ලැබෙන්නේ නැත.
එමනිසා එය ශිෂ්‍යයන්ට එකල මහත් වදයක් වුවද ආපසු හැරී බලන විට මා දකින්නේ ආශීර්වාදයක් සේය. ඉංග්‍රීසි සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මෙම පාඨ මාලාව 1972 දක්වා ම තිබුණ අතර එය වෙනස් වූයේ එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක ආණඩුවෙන් හඳුන්වා දුන් අසාර්ථක විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණයකින් විද්‍යෝදය විශ්ව විද්‍යාලය අලුතින් ස්ථාපනය කළ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පීඨයක් වශයෙන් නම් කිරීමත් සමගය. එසේ වූයේ ඇය අද පාලකයන් මෙන්ම ශාස්ත්‍රාචාර්යවරුන් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් ගෙන් උපදෙස් ලබා ගත්තේ නැති නිසාය.

සියලුම ශිෂ්‍යයන් බෞද්ධ සංස්කෘතිය හැදෑරීම අනිවාර්ය කිරීම

පැරණි විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය විෂයට බුද්ධ ධර්මය, විශේෂයෙන්ම සමකාලීනව ඉන්දියාවේ පැවති අනෙක් ආගම් සහ ඉන්දියාවේ සහ පැරණි ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය විකාශය වූ ආකාරය ඇතුළත් විය. විෂය පථය පළමු වසරට වඩා අවසාන වසරේ දී පුළුල් ය. මෙම පාඨ මාලාවට පෙළපොත වශයෙන් යොදා ගත්තේ එවකට විශ්ව විද්‍යාලයේ උප කුලපති වු වල්පොළ රාහුල හිමියන්ගේ ‘බුදුන් ඉගැන්වූයේ කුමක් ද? යන කෘතියයි. අපට දේශන පවත්වන ලද්දේ එවකට ප්‍රකට බෞද්ධ ප්‍රාඥයෙකු වූ විශ්ව විද්‍යාලයේ ථෙරවාද බුද්ධ ධර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මහාචාර්ය කොටපොළ වාචිස්සර හිමි ය. පූජ්‍ය වාචිස්සර හිමි ආගම ඉගැන්වීම පිළිබඳව විචාරශීලී පිවිසුමක් අනුගමනය කිරීම ගැන ප්‍රකටව සිටියේය.

එය බුද්ධ ධර්මය විනා බුද්ධාගම නොවේ

පැරණි විද්‍යෝදය විශ්ව විද්‍යාලය සහ වාචිස්සර හිමි ගේ විශේෂත්වය වන්නේ සිතා මතාම බුද්ධාගම යන්න යොදා ගැනීමෙන් වැළකී සිටීම ය. ඒ බුද්ධාගම යන්න විචාරයකින් තොරව පිළිපැදිය යුතු ආගමක් වන නිසාය. ඔවුන් පැවසූ ආකාරය ට බුදුන් වහන්සේ ඉගැන් වූරයේ බුද්ධ ධර්මය යි. ඒ යුගයේ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රඥයන් යොදා ගත්තේ එම යෙදුමයි.

වේදිකා ප්‍රහසන ශිල්පිනිය

මහාචාර්ය කොටපොළ වාචිස්සර හිමි
මට සිහිපත් කළ හැකි ආකාරයට එම දේශන පැවැත් වූයේ විශ්ව විද්‍යාලයේ තිබු එකම විශාල ශාලාව වූ බණ්ඩාරනායක ශාලාවේය. එම නම යොදා තිබුනේ ශතවර්ෂ ගණනාවක් පැරණි විද්‍යෝදය පිරිවෙණ විශ්ව විද්‍යාල තත්වයට උසස් කළ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක සිහිපත් කිරීම සඳහා ය. නව විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු ලෙස එකතු වූ පූජ්‍ය වාචිස්සර හිමි ඊට පෙර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා බෞද්ධ අධ්‍යයන කටයුතු නිම කිරීමෙන් පසු ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කෙළේය. බේබි ඔස්ටින් කාරයක ගමන් බිමන් ගිය ද එතුමා අඩි හයක් උසැති දැවැන්ත පුරුෂයෙකි.
එතුමා පාවහන් පැළැන්දේ නැත. ශිෂ්‍යයන් ඔහුට ‘මහ කළු සිංහලයා’ නම පට බැන්ඳේ අපහාසයකට නොව ඔහුගේ පෙනුම සහ චරිතයට ඇති භක්තියෙනි. දේශනයට බණ්ඩාරනායක ශාලාවේ වේදිකාවට එතුමා පැමිණෙන්නේ කිසිම සටහනක් නැතිව වුවත් පැය ගණනක් අසන්නන්ගේ නෙත් සිත් බැඳ ගනිමින් කතා කෙළේය. එතුමා ශිෂ්‍යයන් ඇද බැඳ ගත්තේ දේශනයට සිනාව දනවන කතා ද ඇතුළත් කිරීමෙනි. සමහර කතා වූයේ උපන් සැනින් පියුම් මල් හතක් මත ඇවිදිම වැනි බුද්ධ චරිතයේ සිදුහත් කුමරා ගැන සඳහන් විස්මය ජනක සිද්ධීන් ය. මේ ආකාරයට වාචිස්සර හිමි ද අග්‍ර ගණයේ වේදිකා ප්‍රහසන ශිල්පියෙකි.

විචාරශීලී වීමප්‍රශ්න කිරීම සහ අභියෝග කිරීමේ අවශ්‍යතාවය.

පූජ්‍ය වාචිස්සර හිමි ගේ විචාරශීලී ශික්ෂණ ප්‍රවේශය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ පූජ්‍ය සෝරත හිමිගේ ශික්ෂණ දර්ශනයට අනුකූලය. මෙම උගත් භික්ෂුව විශ්ව විද්‍යාලයේ පළමු කණ්ඩායමට ඔවුන් සම්ප්‍රදායික මතවාද දෙස විචාරශීලීව, ප්‍රශ්නාර්ථයෙන් යුතුව අභියෝග කළ යුතුයැයි පැවසුවේයැයි සඳහන් වේ. මෙම දර්ශනය, විද්‍යාත්මක විමර්ශනයේ පදනම විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ අනුප්‍රාප්තික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගීතයට එහි කීර්තිමත් ශිෂ්‍යයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න අලංකාරවත් සේ ඇතුළත් කර ඇක. පූජ්‍ය වාචිස්සර හිමි එම සම්ප්‍රදාය අනුව ගියේය.

බුද්ධ ධර්මයෙන් හාස්කම් ඉවත් කිරීම

එතුමා අප ඇමතුවේ ළමයින් සේය. අපට සැලකුවේ ද ඒ ආකාරයෙනි.

“..ළමයිනි, සැබෑ බුද්ධ ධර්මය ලෝකය පිලිබඳ බ්‍රාහ්මීය අවබෝධයෙන් පෝෂණය වූ සාහිත්‍යයෙන් වෙනස් ය. එමනිසා බුදුන් ගේ චරිතයට සහ එතුමා ගේ ළමා කාලයට බොහෝ හාස්කම් ඇතුලත් කර ඇත. සිදුහත් කුමරු උපන් සැනින් පියුම් මල් හතක් මත ඇවිද තමා අනාගතයේ බෞද්ධත්වයට පත් පත්වන්නේයැයි දේශනා කළ බව සඳහන් වේ. මෙය කිසියම් සත්වයෙකුට බෙහෙවින් අසාමාන්‍ය දෙයකි. බුදුන් ගැන අප ඉගෙන ඇති මෙවැනි විශ්වාස කළ නොහැකි කතා බැහැර නොකොළහොත් බුදු දහම බටහිර පැතිර විය නොහැකිය. ඔවුන් අපට සිනාසෙනු ඇත..”

අපේ සිත් තුළට බුදු දහම ඇතුළත් කෙළේ ඒ ආකාරයෙනි.
වෙනත් වචනයකින් බුදුන්ට සහ ධර්මයේ විවේචකයන්ට පිලිතුරු දිය යුත්තේ මර්දනකාරී පියවර හෝ අපහාස කිරීම්වලින් නොවේ. මිත්‍රශීලී නිර්මාණාත්මක විවාදයෙනි. මෙවැනි විවාද බුදුන් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායෙන් ද දිරිමත් කරවයි.

ලෙච්වර්ත් අත්දැකීම

ඉන් වසර ගණනාවකට පසු වසර 2000 මුල් භාගයේ දී 1960 ගණන්වල අග භාගයේ දී එතුමා කී දේ මට පුද්ගලිවම අත්දැකීමට ලැබිණ. ඒ නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු වූ මගේ වැඩිමහල් සොහොයුරු සහ මා එක්සත් රාජධානියේ ලෙච්වර්ත් හි බෞද්ධ පන්සලක් පිහිටු වු අවස්ථාවේ දීය. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිලිබඳ ගෞරව උපාධියක් දිනා ගත් තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙකු පන්සලේ නායක හිමි වශයෙන් පත් කෙරිණ.
මම එක්සත් රාජධානියට ගිය සෑම අවස්ථාවකම එම පන්සලට ගොස් තරුණ භික්ෂුන් වහන්සේ හමු වූයෙමි. මම එහි ගිය සෑම අවස්ථාවකම එහි ප්‍රගතිය ගැන සතුටු වූයෙමි. ඔහු බුදු දහම වැළඳ ගත් අයට පමණක් නොව අනෙක් ආගම් භක්තිකයන්ට ද දේශනා කෙළේය.
මා ඔහුගේ දක්ෂතාවය ගැන වර්ණනාත්මකව කතා කළ විට ඔහු තමා මුහුණ දී ඇති බරපතළම දුෂ්කරතාවයද මා සමග පැවසුවේය.

“..මෙහි විෂය නිර්දේශයේ කොටසක් වහයෙන් තුලනාත්මක ආගම් ඉගැන්වෙන උසස් පාසල් තියෙනවා. මා බුදුන් නියෝජනය කරන බව දැන ගත් විට විශේෂ දේශන පැවැත්විමට ආරාධනය කරනවා. බොහෝ විමසිලිමත් ඒ අය අයිස්න්ටයින් ගේ සාපේක්ෂතාවාදය හෝ ඩාර්වින්ගේ පරිණාම වාදය ගැන බුදුන්ගේ අදහස් දැන ගැනිමට උනන්දු වෙනවා. මා බුදුන් ඉගැන් වූ දේ දැන සිටියත් මේ නව විද්‍යාත්මක සංකල්ප ගැන දැන සිටියේ නැහැ. මට ඒ සියල්ල අලුතින් ඉගෙන ගන්න සිද්ධ වුනා. ඒ වගේම ඔවුන් සිදුහත් කුමරුගේ සහ බුදුන්ගේ හාස්කම් ගැන වු කතා පිළිගත්තේ නැහැ. මට ඒව ගැන කතා නොකරන්න පරිස්සම් වෙන්න සිද්ධ වුනා. මා ඔවුන්ට සැබැ බුදු දහම ගැන ඉගැන් වූවිට ඔවුන් සතුටු වුනා..”

යි ඔහු කීවේය. වසර කිපයකට පසු තරුණ භික්ෂුව දායකයන්ගේ කැමැත්ත ලබා ගෙන සිවුරු හැර ගිය නමුත් ලෙච්වර්ත් පන්සල ප්‍රදේශයේ බුදු දහම පැතිරවීමේ කාර්ය දිගටම කර ගෙන යන ලදී.

නිදහස්ව විමසීමේ ගුණය

නිදහස් විමසීමේ ගුණය වැඩි දියුණු කරමින් පූජ්‍ය වල්පොළ රාහුල හිමි 1932 දී රචනා කරන ලද, 2019 දී ඉංග්‍රීසියට පරිවර්තනය කළ සත්‍යෝදය නම් කෘතියේ මෙසේ සඳහන් කරයි:
“..අද අපේ රටේ බෞද්ධ ශික්ෂණයේ පොදු පිවිසුම තමාට වඩා ඉහළින් සිටීමට තැත් කළ ශිෂ්‍යයෙකුට තරවටු කළ සාන්ත සේවියර් වැනි සාන්තු වරයින්ගේ නිදහස් විමසීම යටපත් කිරීමේ කතාන්දරය පිළිබිමු කරයි. ධර්මය ඉගෙන ගන්නා ශිෂ්‍යයන් සම්ප්‍රදාය, ආගමික ග්‍රන්ථ හෝ ගුරුවරයෙකුගේ අදහසට අභියෝග කරන්නේ කලාතුරකිනි. ගුරුවරුන් ද ශිෂ්‍යයන් යටහත් පහත්යැයි සිතති. වෙනස් මත හෝ අදහස් සාමානයයෙන් ඉවසන්නේ කලාතුරකිනි. මෙය ශිෂ්‍යයන් ඉගැන්වීම විචාරශීලීව සහ විමසුම් සහගත ගවේෂණය කිරීමෙන් වළක්වයි.. (පිටුව 69)
ආගම ඇතුළු ඕනෑම විෂයක් ගැන පරස්පර අදහස් පැවතීම ස්වභාවිකයැයි උන්වහන්සේ තව දුරටත් පැහැදිලි කරයි. ඔහු මෙසේ කියයි: කිසියම් අයෙකු විවිධ මත ඉදිරිපත් වු විට අනවශ්‍ය ලෙස කලබලයට පත් වන්නේ නම් ඉන් ඔහුගේ චරිත ස්වභාවය පෙන්නුම් කරයි.’ එමනිසා ආගමික ග්‍රන්ථ හැදෑරු සාමාන්‍ය බෞද්ධයෙකුගේ මතයක් වග විභාගයක් නැතිවම ඉවත දැමීමට නායක භික්ෂුවකට අයිතියක් නැත. ඒ දෙදෙනාම එකම ධර්මය හැදෑරුවත් දෙදෙනාටම එය බුදුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නැත. ආගමික ග්‍රන්ථවල සඳහන් කිසියම් දෙයක් විචාරශීලිව විශ්ලේෂණය නොකර පිලිගැනීම සුදුසු නොවේයැයි පූජ්‍ය රාහුල හිමි නිගමනය කරයි.

නිද්‍රාශීලී ශ්‍රී ලාංකික සමාජය

පූජ්‍ය රාහුල හිමි සත්‍යෝදයේ මෙසේ ද සඳහන් කරයි:
“..ශ්‍රී ලාංකික ජන සමාජය සත්‍යය ගවේෂණයේ සහ විමසීමේ දී නිද්‍රාශීලී තත්වයක පසුවේ. දැනුවත් ශාස්ත්‍රාචාර්යෙකුගේ සිට පාරේ සිටින මිනිසෙකු දක්වා සෑම කෙනෙකුම සම්ප්‍රදාය සහ පොතපත ලියැවී ඇති දෙයක් ගෞරවයෙන් පිළිගනී. සත්‍යයේ වලංගුතාවය විමසීමට හෝ එය තහවුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නැත. පුද්ගලිකව හානියක් සිදු නොවන්නේ නම් සත්‍යය සෙවීම නිෂ්ඵලය. පාලියෙන් ලියැවුන ඕනෑම දෙයක් අවිවාදයෙන්ම බුදුන්ගේ ඉගැන්වීම ලෙස පිළිගනී. අපගේ සිරිත් විරිත් සහ අදහස් ධර්මයට ගැලපෙන්නේ ද යන්න කිසිවෙකු විමසන්නේ නැත. අපගේ උතුම් සම්ප්‍රදායන් තිබුණත් ආචාර ධර්ම සහ සදාචාර පිරිහීම ගැන සිතා බැලීමට කිසිවෙකු උනන්දු වන්නේ නැත..” ( පිටුව 75)
මේ 1930 ගණන්වල සමාජය ගැන ඔහුගේ නිරීක්ෂණයයි. එහෙත් අදටත් ශ්‍රී ලංකාවට වලංගුයැයි සිතේ.
භික්ෂූන්ට බුදුන්ගේ උපදෙස: විවේචනයෙන් කෝප නොවන්න. වර්ණනාවෙන් උදම් නොවන්න.
පූජ්‍ය රාහුල හිමි මෙහි සඳහන් කළ දේ බුදුන් දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ පවසා ඇත. බුදුන් ගැන කෙරෙන විවේචන හෝ වර්ණනා ගැන ප්‍රතිචාර දක්විය යුතු ආතාරය ගැන උපදෙස් දෙමින් කිසියම් කෙනෙකු බුදුන් ගැන කෙරෙන විවේචනයකින් කෝප නොවිය යුතුයැයි උපදෙස් දුන්නේය. කෝප වුවහොත් එය ඔවුන්ට අයහපතකි. ඒ වෙනුවට ඔවුන් බුදුන්ට එරෙහිව කරන චෝදනා මේ මේ හේතු නිසා වලංගු නොවන බව පහදා දිය යුතුය. ඒ ආකාරයටම ඔවුන් බුදුන් ගැන කෙරෙන වර්ණනාවලින් උදම් නොවිය යුතුය. එවැනි උදම්විම් ද ඔවුන්ට අයහපත් ය.
ඒ වෙනුවට මෙම වර්ණනා අවංක සහ වලංගු ඒවා ද යන්න විමසා බැලිය යුතුය. ඉන් පසුව භික්ෂූන් මේ මේ තත්වයන් යටතේ වර්ණනා නිවැරදි බවත් මේ මේ තත්වයන් යටතේ ඒවා වලංගු නොවන බවත් ඔවුන්ට පහදා දිය යුතුය. ඉන් අදහස් කරන්නේ බුදුන් හෝ ධර්මය ගැන කෙරෙන සඳහනක් අපහාසාත්මකයැයි කෙනෙකුට සිතෙන්නේ නම් ඒවා මර්දනය කිරීමට ආණ්ඩුවේ නෛතික බලය යොදවන්නේ නැතිව ඔවුන්ට කරුණු පැහැදිලි කළ යුතුය යන්නයි.
වෙනත් වචනයකින් බුදුන්ට හෝ ධර්මය විවේචනය කරන අයට පිළිතුරු දිය යුත්තේ මර්දනකාරී පියවරවලින් හෝ අපහාස කිරීම්වලින් නොව මිත්‍රශීලී සහ නිර්මානාත්මක සංවාදයෙනි. මෙවැනි සංවාද බුදුන් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායෙන් දිරිමත් කරයි. එය අපට පැරණි විශ්ව විද්‍යාලයේ දී ඉගැන් වූ බෞද්ධ ශිෂ්ඨාචාරයේ අන්තර්ගත වන්නකි.

විවාදයක දී විරුද්ධවාදියාට ගරු කිරීම

විවාදයක දී පාර්ශ්වයන්ට සැලකිය යුත්තේ කෙසේද? ඔවුන්ට අපහාස කිරීමෙන්? ශාරීරකව හානි කිරීමෙන්? මීට පිළිතුරු අශෝක අධිරාජ්‍යයා ඔහුගේ සෙලි ලිපිවලින් දක්වා ඇත. විවාද පැවැත්වීමේ දී සහ ආරවුල් විසඳීමේ දී ‘විරුද්ධවාදියාට සියලුම අවස්ථාවල සෑම ආකාරයෙන්ම නිසි ගෞරවය ලබා දිය යුතු’ බව දුර දක්නා නුවනින් සහ පරිණත භාවයෙන් යුත් අධිරාජ්‍යයා නියම කෙළේය. වැඩි දුරටත් ඔහු ‘කිසියම් කෙනෙකු තම ආගම උසස් කොට සලකමින් අන් ඒවා පහත් කොට සලකන්නේ නම් තමාගේම ආගමට විශාලම හානිය සිදු කරන්නේයැයි’ සඳහන් කෙළේය. අශෝක අධිරාජයයාගේ මෙම බුද්ධිමත් වදන් සෑම බෞද්ධයෙකුම මංත්‍රයක් සේ ජප කළ යුත්තේය.

කතන්දර වැදගත් ද?

කතන්දර වැදගත් ය. සංස්කෘතීන් ගොඩ නැගී ඇත්තේ විද්‍යාත්මක වාර්තා මත නොව කතන්දර මතයැයි ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් ඉතිහාසඥයෙකු වන යුවාල් නෝවා හරාරි නියයි. තම මවුවරුන් සහ ආච්චිලා ළමයින්ට කියන කතන්දර ජීවිතයේ පසු කාලයේ දී ඔවුන් උසස් ජයග්‍රහණ අත් කර ගැනීමට පොළඹවන්නේ යැයි හාර්වඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යඥ ඩේවිඩ් මැක්ලිලන්ඩ් කියයි. ළමයින් ලෙස අපි එම කතාන්දරවල සෑම වචනයක්ම විශ්වාස කොට ඒ අනුව වැඩ කළ නමුත් වැඩිහිටියන් බවට පත් වූ විට මිථ්‍යාව සහ යථාර්ථය අතර වෙනස හඳුනා ගතිමු. යමෙකු වැඩිහිටි බවට පත් වූ පසු ද එම කතාන්දර විශ්වාස කරන්නේ නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔහුගේ හෝ ඇයගේ නොමේරු ස්වභාවයයි. නොමේරු මිනිසුන්ගෙන් යුත් ජාතියකට සාර්ථක විය නොහැකිය.
1970 ගණන්වල මුලදී මාර්ටින් වික්‍රමසිංහ බුද්ධ චරිතය ඇසුරින් බවතරණය නම් නවකතාවක් ගෙතු විට ප්‍රකට පුද්ගලයන් කිප දෙනෙක් එම නවකතාව තහනම් කර ඔහු සිරගත කරන මෙන් එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලා සිටියහ. සැබෑ නායිකාවක් මෙන් ඇය ඒවා ප්‍රතික්ෂේප කළාය. මම ඒ ගැන කලින් ලිපියක සඳහන් කෙළෙමි.

බෞද්ධ ප්‍රාඥයන්ගේ බුද්ධිමත් උපදේශ    

ඉවසීම, අවට ලෝකයේ ඇති සියලු දේ විචාරශීලීව විමර්ශනය කිරීමේ වැදගත්කම දේශනා කළ වැලිවිටියේ සෝරත, කොටගම වාචිස්සර සහ වල්පොල රාහුල වැනි බෞද්ධ ප්‍රාඥයන් අද අප අතර නැත. එහෙත් තමන්ට පිළිගත නොහැකි දේ ගැන කටයුතු කරන විට ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ ඥානාන්විත උපදේශ පිලිපැදිය යුතුය. විරුද්ධවාදීන් පරාජය කළ යුත්තේ ඔවුන්ට ශාරීරික හානි පැමැණවීමෙන් හෝ මර්දනයෙන් නොවේ. ඔවුන් පරාජය කළ යුත්තේ විචාරශීලී විමර්ශනයෙනි.
ප්‍රහසන වේදිකා ශිල්පිනියක් පිලිබඳව පවතින ප්‍රලාපය ගැන කටයුතු කළ යුතු වන්නේ නිර්මාණශීලී විවාදයෙන් විනා මර්දනකාරී පියවර මගින් නොවේ. ඇඟිල්ලක ඇති වේදනාව පිරිමැද සුව කළ හැකි විට එය කපා දමන්නේ ඇයි? එය වත්මන් ශ්‍රී  ලාංකික ජන සමාජයට දැනුම පුළුල් කර ගැනිමට අවස්ථාවක් වනු ඇත.
මා අදහස් කරන ආකාරයට ශ්‍රී ලංකාව මෙම අවස්ථාව පැහැර නොහැරිය යුතුය.
[මෙම ලිපියේ ලේඛකයා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකි. ඔහු [email protected] හරහා සම්බන්ධ විය හැකිය.]
Translated By Mahinda Hattaka

උපුටා ගැනීම  https://vivaranalk.com/ වෙතිනි

Archive

Latest news

Related news