Saturday, April 27, 2024

වෘත්තීය සමිති එකතුව සමඟ යොදා ගත් සාකච්චජාව ගැන මහ බැංකුව පච හෙළයි!

( නිවේදනයකි) ‍ශ්‍රී ලංකා මහබැංකුව දුෂ්තොරතුරු සමාජගත කරමින්, එකඟ වූ සාකච්ඡාව මඟහරී!
වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්රියාකාරීන් ලෙස එකතු වී අපි අගෝස්තු 28 සඳුදා, දහවල්, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ නාමයෙන් අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් විශ්රාමික අරමුදල් විනාශ කිරීමට රජය සහ ශ්රී ලංකා මහ බැංකුව කරන ජනතා විරෝධී උත්සාහයට විරෝධය පළ කළෙමු. අපි ඉල්ලා සිටියේ,
01. EPF,ETF සහ අනෙකුත් විශ්රාමික අරමුදල් දේශීය ණය ප්රතිව්යුහගතකරණයට ලක් කිරීමෙන් (DDR) සම්පුර්ණයෙන්ම බැහැර කරන්න. විශ්රාම වැටුප් අරමුදල් යනු වැඩ කරන ජනතාවට මහලු වියේදී භාවිතා කළ එකම ඉතුරුම් ය. ඒවා ලාභ රැස් කිරීමට භාවිතා කරන වත්කම් හා ධනය සම්බන්ධ ආයෝජන අරමුදල් නොවේ. අපගේ වැටුප් වලින් සිදුවූ ඉතිරිකිරීම් වන විශ්රාම අරමුදල් පුද්ගලික ණය හිමියන්ගේ ආයෝජන වත්කම්වලට කිසිසේත් සමාන කිරීමට නොහැක.
02. පැහැර හරින ලද බදුවල වර්තමාන වටිනාකමට සාපේක්ෂව බදු පැහැරහරින්නන් සතු බැඳුම්කර කප්පාදු කරන්න, තැන්පතු රජයේ භාරයට ගන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව 2022 අවසානය වනවිට නොගෙවා පැහැර හරින ලද බදුවල මුළු වටිනාකම රුපියල් බිලියන 904 කි. බැඳුම්කර හිමියන්ට ඉහළ පොළී ලබා දෙන කාල සීමාවක් තුළ බදු පැහැර හැරීම සිදුවී ඇති නිසා නොගෙවා පැහැර හරින ලද බදු වල වර්තමාන වටිනාකම රුපියල් ට්රිලියන 2 ඉක්මවා ඇත. බදු නොගෙවූ පිරිසගේ බැඳුම්කර කපා හැරීමෙන් සහ ඔවුන්ගේ තැන්පතු අත්පත් කරගැනීමෙන් ආණ්ඩුවට EPF,ETF කපා හැරීමෙන් ඉතිරි කිරීමට අපේක්ෂා කරන මුදල මෙන් තුන් ගුණයක් ඉතුරු කිරීමට ඉදිරි වසර 16 තුළ ඉඩ සැලසෙයි. මෙයින් බැංකු පද්ධතියට කිසිඳු බලපෑමක් නොවී රාජ්ය ණය ප්රතිව්යුහගතකරණය කළ හැකිය. එම නිසා විශ්රාමික අරමුදල්වලට අත නොතබා ණය ප්රතිව්යුහගතකරණය කළ නොහැකි යැයි මහබැංකුව සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ප්රකාශය දූෂිතයන් රැකීම සඳහා ගොතන ලද්දකි.
03. ජාත්යන්තර වෙළෙඳාමේදී සාවද්ය ඉන්වොයිසි හරහා විදේශගත කරන ලද ඩොලර් බිලියන 53 ක අරමුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට වෝහාරික විගණනයක් කරන්න. 2009 සිට 2018 දක්වා කාලය තුළ ජාත්යන්තර වෙළඳාමේ සාවද්ය ඉන්වොයිසි කිරීම හරහා රටට ඇ.ඩො. බිලියන 40කට අධික මුදලක් අහිමි වී ඇති බව Global financial index අනාවරණය කර ඇත. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 53ක් බව අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ප්රකාශ කළේය. එබැවින්, රජයේ මූල්ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම අරමුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මහබැංකුව වෝහාරික විගණනයක් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
04. රජය විසින් ලබාගෙන ඇති විදේශීය සහ දේශීය ණය පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා එම ණය අතර ඇති පිළිකුල් සහගත ණය (odious debt) මොනවාදැයි ප්රකාශ කළ යුතුය. 2017 වන විට රජය ලබාගෙන ඇති විදේශ ව්යාපෘති ණය හා සසඳන විට රටේ ඉතිරිව ඇති දේශීය වත්කම්වල වටිනාකම සැලකිය යුතු ලෙස අඩු බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හෙළි කළේය. මෙයින් පෙනී යන්නේ දූෂිත දේශපාලන සංස්ථාපිතයක් සහ බලයේ සිටින්නන් සමග සමීප සම්බන්ධතා පවත්වන ව්යාපාරික ප්රභූන් පොහොසත් කිරීම සඳහා විදේශ ණය විශාල වශයෙන් ගසා කා ඇති බවයි. ජාත්යන්තර නීතිය සහ එක්සත් ජනපද නීතියට අනුව විදේශ ණය ගැනීම්වල අසීමිත අවභාවිතය පිළිබඳ පුළුල්ව පැතිරුණු සාක්ෂි ඇති විට ඔප්පු කිරීමේ භාරය ඇත්තේ ණය හිමියන් වෙතය. ණය හිමියන් විසින් ණය මුදල් නැවත පියවා ගත යුත්තේ එය අයථා ලෙස පරිහරණය කිරීම හෝ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන අයගෙන් මිස ඔවුන්ගේ පාලනය යටතේ පීඩාවට පත් වූ ජනතාවගෙන් නොවේ. ලොව පුරා සිටින කීර්තිමත් ආර්ථික විද්යාඥයින් සහ විද්වතුන් 182 කගේ අත්සනින් යුතුව මෑතකදී නිකුත් කරන ලද ප්රකාශනය ශ්රී ලංකාවේ ණය අවලංගු කිරීම පිළිබඳ අපගේ මෙම ස්ථාවරයට සහාය දක්වයි.
05. ආයෝජන මණ්ඩලයේ (BOI) සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කරන්න. මෙම බදු සහන ඉවත් කළ යුතු බවට ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) කළ ඉල්ලීම් නොතකා ආයෝජන මණ්ඩලයේ සමාගම් ආදායම් බදුවලින් නිදහස් කර ඇත. මීට පරිබාහිරව, සියලු BOI සමාගම් වෙත බදු රහිතව ආනයනය කිරීමට ලබා දී ඇති වරප්රසාද අහෝසි කල යුතු බවට අපි රජයට බල කර සිටිමු. 1990 දශකයේ මැද භාගයේ සිට බදු අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 22% සිට දැනට 9% දක්වා පහත වැටීමට මේ තත්වය සෘජුව බලපා ඇත. එම නිසා ආයෝජන මණ්ඩලයේ සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කිරීම මගින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කරනු ඇත.
පසුගිය මාස කිහිපයක් තිස්සේ අප මෙන්ම, වෘත්තීය සමිති සහ සංවිධාන ගණනාවක් දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ ශ්රී ලංකා මහබැංකුව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළෙමු. එහෙත්, දේශීය ණය ප්රතිව්යුහගතකරණයට විශ්රාමික අරමුදල් භාජනය කිරීමේ තීන්දුව ගත් මොහොතේ සිට මේ දක්වා වැඩකරන ජනතාව සමඟ හෝ ඔවුන්ගේ නියෝජිතයින් වන වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමේ කිසිදු වුවමනාවක් ශ්රී ලංකා මහබැංකුවට නොවීය. එමෙන්ම ජුලි 25 වැනිදා අප ඇතුළු, වෘත්තිය සමිති ගණනාවක් ඒකාබද්ධව පැවැත්වූ දැවැන්ත විරෝධයක් අතරතුරද එම වෘත්තිය සමිති නායකයන්ට මහබැංකුව හමුවීමට ඉඩ දුන්නේ නැත.
ශ්රී ලංකා මහබැංකුව මුලින් උත්සාහ කළේ, දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ සාකච්ඡාව තාක්ෂණික කරුණු ඇතුළේ සඟවමින් ජනතාව නොමග යවා සියල්ල අවසන් කිරීමටය. මේ වන විට අප ඇතුළු පාර්ශව ගණනාවක් විසින් පැවැත්වූ විරෝධතා, අදහස් දැක්වීම් සහ ලිපිලේඛන හේතුවෙන් මහ බැංකුවට එම වංචාව තවදුරටත් කරගෙන යෑමට නොහැකි වී තිබේ.
අගෝස්තු 28 වැනිදා ද එම මාවතේ යමින්, විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට සහ විසුරුවා හැරීමට උසාවි වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි. එම වාරණ නියෝගය අනුව වෘත්තීය සමිති නායකයන් ගණනාවකට මහබැංකුව පැවති ප්රදේශයට ඇතුළුවීම පවා සීමා කර තිබුණි. ඉන් පසු අප වෙත ජල ප්රහාර, බැටන් ප්රහාර සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම සඳහා පොලීසිය කැඳවා තිබුණි. ඊට අමතරව සන්නද්ධ හමුදා පවා කැඳවා තිබුණි.
කෙසේ වෙතත් මහ බැංකුව සමග මෙතෙක් කාලයක් තිස්සේ ඉල්ලූ, සාකච්ඡාවක් සඳහා වන ඉල්ලීම අපි නැවත වතාවක් ඉදිරිපත් කළෙමු. ඒ අනුව විරෝධය අතරතුරදී නියෝජිතයන් පස් දෙනෙකුට පමණක් සාකච්ඡාවක් ලබා දෙන බව මහ බැංකුවේ නියෝජිතයන් පොලිස් නිලධාරීන් හරහා දැනුම් දුන්නේය. සංවිධාන 40කට වැඩි ප්රමාණයක් ඒකාබද්ධව සංවිධානය කර තිබුණු මෙම විරෝධතාවේ පුළුල් බව එමගින් නොතකා හැර තිබුණි.
ඒ අනුව අපගේ ඉල්ලීම වූයේ අප සාකච්ඡා කිරීම සඳහා සූදානම් බවත්, අපගේ නියෝජිතයින් විසි දෙනෙකුට මහ බැංකු ප්රධානියා හමුවීමට පහසුකම් සලසා දෙන ලෙසත්ය. එයට මහබැංකුවේ නියෝජිතයන් එකඟ වූ අතර ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා ඇතුළත් පුළුල් සාකච්ඡාවක් කැඳවන බව පොරොන්දු විය. එම සාකච්ඡාව තෙක් දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ තීන්දුවක් නොගන්නා බවටද එකඟ විය. ඒ අනුව අපගේ විරෝධය අවසන් කිරීමට අපි එකඟ වුණෙමු.

එම සාකච්ඡාව සිදුකිරීම සඳහා අප සූදානම්ය.

අප මහ බැංකුව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ පමණක් නොවේ. ආනයන හා අපනයන හරහා විශාල මුල්ය ප්රාග්ධනයක් රටින් පිටතට ගලායාම පිළිබඳව අප මතු කල කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් අපි පසුගිය වසරේ ඉල්ලු නමුත් මහ බැංකුව එය මඟ හැරියේය. සේවක අර්ථසාධක අරමුදල සහ විශ්රාම වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් වැඩකරන ජනතාව සමඟ මහ බැංකුව කටයුතු කරන ලෙස අපි දිගින් දිගටම ඉල්ලා සිටියෙමු. කෙසේ වෙතත්, විශ්රාම වැටුප් අරමුදල් මත ණය ප්රතිව්යුහගතකරණයෙහි දරුණු බලපෑම පිළිබඳව බොහෝ වැඩ කරන ජනතාව අඳුරේ තබාගැනීම සඳහා මහ බැංකුව උද්ධච්ඡ තාක්ෂණික ප්රවේශයක් අනුගමනය කරමින් සිටී. අපගේ ඉතුරුම් විනාශ කිරීමට මහ බැංකුව දරන ප්රයත්නයට අභියෝග කිරීමට වෘත්තීය සමිති නැඟී සිටින විට වෘත්තීය සමිතිවලට හානි කිරීමට හා අවමන් කිරීමට පොලීසිය කැඳවා අධිකරණ වාරණ නියෝග ලබා ගැනීමේ නිවට සහ මර්දනකාරී ක්රියාමාර්ග වලට මහ බැංකුව එළඹීම ලැජ්ජාවකි.
ශ්රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව අපගේ ඉතුරුම් කොල්ලකෑමට දරන ප්රයත්නයන් පරාජය කිරීම සඳහා වෘත්තීය සමිති වටා එක්රොක් වන ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්, අනෙකුත් විශ්රාම වැටුප් අරමුදල් සාමාජිකයින් මෙන්ම පොදු මහජනතාවට අපි ආරාධනා කරමු! රැවටීමට, කොල්ලකෑමට ඉඩ නොදෙමු!
වැඩ කරන ජනතාවට ජය!
අගෝස්තු 28 විරෝධතාවය සංවිධානය කළ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එකතුව

Archive

Latest news

Related news