Sunday, April 28, 2024

රනිල් රාජපක්ෂගේ පළාත් සභා වැල් බයිලාව ගැන වචනයක් – සුනන්ද දේශප්‍රිය

රනිල් රාජපක්ෂ අද එනම් අගෝස්තු 10දා පාර්ලිමේන්තුවෙහි දී කන්දක් විළිලා මී පැටියකු වැදුවේය. වචන 5000කට වැඩි ඔහුගේ කතාවෙහි කොතැනකවත් නැති තහනම් වචන දෙකක් තිබේ.
එනම් දේශපාලන විසඳුම සහ පළාත් සභා මැතිවරණය යනුය.
පළාත් සභා ක්‍රමය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් ආමන්ත්‍රණය කිරීමේ එක් පියවරක් ලෙස ය. එය බිහිවූයේ ද ඒ සඳහා ම ය. එසේ නමුත් රනිල් රාජපක්ෂ මෙරට දෙමළ ජනතාවට සාධාරණ දේශපාලන ඉල්ලීම් ඇති බව සිය කතාවෙහි දී කීවේ ම නැත.
දෙවැනුව, රනිල් රාජපක්ෂගේ පළාත් සභා බයිලාව, පරිප්පු නැති හෝටලයකි. එනම් පළාත් සභා ගැන කතා කරන මුත් පැවැත්විය යුතු එම මැතිවරණය ගැන වචනයක්වත් නැත.
පළාත් සභා විසුරුවා හැර දැන් වසර තුනකට වැඩිය.
පසුගිය ජූලි 26දා රනිල් රාජපක්ෂ 13වන සංසෝධනය ගැන සාකච්ජා කිරීමට සර්ව පාක්ෂික රුස්වීමක් කැඳවන ලදී. එම රුස්වීමෙහි රනිල් රාජපක්ෂගේ කතාවෙන් පසු දෙමළ ජාතික සන්ධානය පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ගෙන එන ලදී. එවිට ජනාධිපතිවරයා සාකච්ජාව නතර කර දමා රුස්වීම හදිසියේ අවසන් කළ බව ඊට සහභාගි වූ මංත්‍රීවරුන් වන  සුමන්දිරන් මෙන්ම රවුෆ් හකීම් ද ප්‍රසිද්ධීයේ ප්‍රකාශ කර තිබේ.

මැතිවරණය – නයාට අදුකොළ

පළාත් සභා ක්‍රමය ගැන කැරෙන සාකච්ජාවදී, වසර තුනක් කල් ඉකුත් වී ඇති එම මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම රනිල් රාජපක්ෂට නයාට අඳු කොළ බවට පත් වීමෙන්ම, මේ වැල් බයිලාවේ අරමුණ තේරුම ගත හැකිය.
එනම් මෙය හුදෙක් දේශපාලන සංදර්ශනයක් බවයි.
එපමණක් නොවේ. රනිල් රාජපක්ෂ සිය වැල් බයිලාවෙහි දී කියා සිටින්නේ පළාත් ආණ්ඩුකාරයන්ට පළාත් පාලනය කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත් කරන බවයි. බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය. මන්ද යත් පළාත් සභා අණ්ඩුකාර පාලනය යටතේ තව කලක් පවත්වා ගැනීම රනිල් රාජපක්ෂගේ සැලැස්ම බව එමගින් හෙළිදරව් වන නිසා ය.
එම බාගෙට තැම්බූ සර්ව පාක්ෂික සම්මේලනයෙන් පසු රනිල් රාජපක්ෂ, සියලු දේශපාලන පක්ෂ වෙත ලිපියක් යවමින් දන්වා සිටියේ මෙම මස 15වන දිනට පෙර 13වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම ගැන අදහස් දන්වා එවන ලෙසයි.

මනාලිය නැති මඟුල

එම ඉල්ලීම මනාලිය නැති මඟුලක් බවට පත් විය. මන්ද යත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් එවැනි අදහස් දැක්වීමට සූදානම් නැති බව කියා එවූ නිසා ය. සංඛ්‍යාත්මකව ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ සන්ධානය කියා සිටියේ, 13 වන සංශෝධනය දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙහි කොටසක් වන බැවින් ඒ  අදහස් දැක්වීමක් අවශ්‍ය නැති බවත් කළ යුත්තේ එය ක්‍රියාත්මක කිරීම බවත් ය.
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ (DPLF), ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF), දෙමළ ජාතික පක්ෂය (TNP) සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවෝ පක්ෂය (DCP) යන පක්ෂවලින් සමන්විත සන්ධානය ද රනිල් රාජපක්ෂට ලිපියක් යවමින් කියා ඇත්තේ 13 වන සංශෝධනය එහි මුල් ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ යුතු බවය.
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් ඇති දෙමළ ජාතික පෙරමුණ සන්ධිය ක්‍රමයක් මිස අන් විසඳුමක් අපේක්ෂා නොකරන බැවින් රනිල්  රාජපක්ෂගේ ඉල්ලීම කුණූ කූඩයට දමා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ අදහස ද සන්ධීය ක්‍රමයක් අවශ්‍ය බවයි.

13 අහෝසි නොකරන කරුණූ දෙක

මෙම කතාවෙහි දී පළාත් සභා ක්‍රමය පවත්වා ගත යුත්තේ කරුණූ දෙකක් නිසා යැයි රනිල් රාජපක්ෂ කියයි.
පළමුවැන්න නම් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බවට මෙරට ආණ්ඩු ප්‍රධානීන් විදේශ රටවලට පොරොන්දු වී තිබීම ය. එහි දී තමා ද එලෙස පොරොන්දු වී ඇතයි රනිල් රාජපක්ෂ අඟවන්නේ වත් නැත.
දෙවැන්න නම් එය ව්‍යවස්ථාවෙහි කොටසක් වී තිබීමය. පළාත් සභා අහෝසි කළ නොහැක්කේ එම කරුණූ දෙක නිසා බව ඔහු කෙලින්ම සිය කතාවෙහි දී සඳහන් කරයි.
පළාත් සභා ක්‍රමය සඳහා වසරකට රුපියල් මිලියන 550ක් වියදම් වන බවත් එය අඩුම වශයෙන් මිලියන 50කින් වත් අඩු කර ගැනීමට තමා උත්සාහ කරන බවත් රනිල් රාජපක්ෂ කියයි.
මුදල් ගැන අඬාපාලි කියන අතරතුරෙහි ම රනිල් රාජපක්ෂ කියන්නේ තමන් ජන සභා නමින් තවත් ව්‍යුහයක් නිර්මාණය කරන බවයි. පනතක් ද ගෙන එන බවයි. එ් සඳහා කොපමණ මුදලක් වැය කරන්නේ ද යන්න ඔහු කියන්නේ නැත. එය බාර දී ඇත්තේ රනිල් රාජපක්ෂගේ සබරගමු පළාත් ආණ්ඩුකාරයාගේ මාමණ්ඩිය වන කරු ජයසූරියට ය.

සත්‍ය කොමිසම අතුරුදහන්

තවද වින්දිත ප්‍රජාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය රනිල් රාජපක්ෂ සිය කතාවෙහි වර්ණනා කරයි.
මුදල් බෙදා දීම හැරුණ විට කිසිදු ඵලදායිතාවක් පෙන්වා නැති ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය පනතකින් සම්මත කර එය යටතේ සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන බවත් රනිල් රාජපක්ෂ සිය කතාවෙහි දී කියයි.
පසුගිය කාලයෙහි ආණ්ඩුවේ පුවත් මැවූ සත්‍ය “සෙවීමේ කොමිසම” ගැන වචනයක්වත් මේ කතාවෙහි නැත. ඒ සඳහා ඇමතිවරු බානක් ම දකුණු අප්‍රිකාවට ද ගියහ. ඒ සඳහා වන ලේකම් කාර්යාලය  දැනටමත් ජනාධිපති කාර්යාලයෙහි පිහිටුවා තිබේ. සාර්ථක වීමට නම් අත්‍යන්තයෙන්ම රජයේ බලපෑමෙන් නිදහස් විය යුතු “සත්‍ය සෙවීම” දැනටමත් ජනාධිපති යටතේය.

හිල් බාල්දිය

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ බවට රෑපාන්තරණය වීමට පෙර ද මෙවැනි ගාම්භිර වැල් බයිලා ගයා තිබේ. නමුත් ඒ සියල්ල, හිල් බාල්දියකින් වතුර ඇදීමට වඩා දෙයක් බවට පත්ව නැත.
ඒ බව රනිල් රාජපක්ෂ දනී. ඔහු සිය කතාව අවසන් කරන්නේ අසාර්ථකත්වය අනුන් පිට යැවීමේ සිය තුරුම්පුව සමඟිනි.
එනම් මේ සියල්ල ක්‍රියාත්මක කළ හැක්කේ පාර්ලිමේන්තුවෙහි සියලු දෙනා සහයෝගය දෙන්නේ නම් පමණක් බවයි. අඩුම වශයෙන් ඔහුට නව බෞතිස්මය ලබා දුන් රාජපක්ෂ පවුල පවා පොලිස් බලතල නැතිව වුව ඉඩම් බලතල පළාත් සභාවලට ලබා දීමට විරුද්ධ ය.
මේ වනාහී, 1959, 1966, 1981, 1987. 1994, 2002, 2019 යනාදී වසර වලදී මෙරට දෙමළ ජනයා රැවටීමට කරන ලද දේශපාලන උප්පරවැට්ටිවල තවත් දිගුවක් පමණි.
රනිල් රාජපක්ෂගේ දේශපාලන දර්ශනය වන්නේ  උප්පරවැට්ටි මිස අව්‍යාජ දේශපාලන කැපවීම නොවේ.
10.08.23

Archive

Latest news

Related news