Sunday, June 23, 2024

රනිල් රාජපක්ෂගේ අධිකරණ තර්ජනය සහ ඇත්ත -ශාන්ත ජයරත්න

පොල් වගාකරුවන්ගේ 29 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ඊයේ (අගෝස්තු 04) අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ කතාවේදී මෙසේ කීවේය. “රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එයට අභියෝගය කිරීමට කිසිවෙකුට බැරිය. පාර්ලිමේන්තුව ගන්නා තීරණ වලට  අධිකරණය ඇඟිලි ගැසීම අනවශ්‍යයි. ඒ හරහා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි ” මෙය අධිකරණයට කරන අනිසි බලපෑමක් නොවේද ? ලංකාවේ නීතීඥ සංගමය , විනිසුරු වරුන්ගේ සංගමය වැනි ආයතන තවත් නිෂ්ශබ්ද ව සිටිය යුතුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය මේ අවස්ථාවේ සිහිවන්නේ ඇයි?

 

රනිල් කියන්නෙම තගෙක්

ජාතික ජනබලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ගොනු කොට තිබෙනවා. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට වෙන් කොට සැලකීම යන පදනම මත ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. රජය වෙනුවෙන් නීතිපතිත් අනෙකුත් වගඋත්තර කරුවන් නියෝජනය කරමින් පෙනී සිටි වෙනත් නීතිඥයනුත් එම නඩුකරයන් ප්‍රතික්ෂේප කර දමන ලෙස ආයචනා කළ ද, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරනවා. මෙම නඩු විභාගය හදිසි කටයුත්තක් සේ සලකා අගෝස්තු මස 10 වන දින හෝ 11 වන දින වන විට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට  නියමිතව තිබෙනවා. ඊයේ ජනාධිපති වරයාගේ  ප්‍රකාශය අනුව හැඟී යන්නේ අනුප්‍රාප්තික ජනාධිපති වරයාට නඩු තීන්දුව පිළිබඳ යම් චකිතයක් ඇති වී තිබෙන බවකි. එම නිසා ඔහුගේ මාමණ්ඩිය ජේ ආර් ජයවර්ධන විසින් එකල නෙවිල් සමරකෝන්  අගවිනිසුරුවරයාට කලාක් මෙන් වේලාසනම උසාවියට පොඩි “තගක්”  දමා “මා එක්ක ඒ සෙල්ලම් බැහැ” කියා ශ්‍රේෂ්ඨාධිකරණයට යම් වක්‍ර බලපෑමක් කිරීමට ගත් උත්සාහයක් හැටියටයි ඔහුගේ එම කතාවෙන් ගම්‍ය වන්නේ.

මුට්ටිය දමා බැලීම

ජනාධිපති වරයා ඔහුගේ කතාවේ සඳහන් කරන්නේ වෙනත් අයගේ උපදෙස් , නියෝග ඔහුට අනවශ්‍ය බවත්, පාර්ලිමේන්තුව මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කොට ඇති හෙයින් ඉදිරි සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස අවසන් වීමට ප්‍රථම එය අවසන් කිරීමට කටයුතු කරන බවත් ය. එසේ නොකළහොත් බැංකු කඩා වැටෙන බවත්, පෝලිම් නැවත පැමිණෙන බවත් කියයි. හරියට අම්මලා පොඩි ළමයින්ට ආහාර කැවීමට අපහසු වන විට “ඔන්න බිල්ලෙක් එනවා” කියන්නාක් මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ජනතාව බිය ගැන්වීමට ගන්නා උස්සාහයක් හැටියට මෙය හැඳින්විය හැක.

වල්ගය පාගා ගෙන

ජනාධිපතිවරයාට නොතේරෙන කරුණ නම් මෙම නඩුකරයන් ගොනුකොට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නවතා ලීමට නොව සේවක අර්ථසාධක අරමුදලේ අයිතිය හිමි සාමාජිකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව ඔවුන්ට හිමි වරප්‍රසාද කපා හැරීම තුල අසමානව සැලකීම යන පදනම මත ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා ගැනීම සඳහා බවය.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ XVII වන පරිච්ඡේදයේ 148 වගන්තිය අනුව එය නිවැරැදි යි. එහෙත් පාර්ලිමේන්තුව ඒ අනුව කටයුතු කොට තිබේද ? එසේ වගවීමෙන් පාර්ලිමේන්තුව කටයුතු කළේ නම් අද රට බංකොලොත් වෙයිද ? පාර්ලිමේන්තුව තම වගකීම නිසි පරිදි ඉටු නොකොට මහජනයාගේ පරමාධිපත්‍ය උල්ලංඝනය කොට ඇති අවස්ථාවක මහජන ඡන්දයකින් පත් නොවූ ජනාධිපති වරයෙක්  අභියෝග කරන්නේ රටේ පරමාධිපත්‍ය හිමි පුරවැසියන්ටය. එසේනම් පුරවැසියන් තවදුරටත් ඉවසිය යුතු ද?

මූල්‍ය බලය “වල්බූරු” ආකාරයට 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148  වන වගන්තියෙන් පාර්ලිමේන්තුවට දී ඇති මූල්‍ය බලය “වල්බූරු” ආකාරයට භාවිතා කිරීම වැලැක්වීමට 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත (Fiscal Management (Responsibility ) Act No. 3 of 2003) එම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කොට ඇත. මෙම  පනතේ 3 (a) වගන්තියට අනුව 2006 සිට ඉදිරියට ලංකාවේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% නොඉක්මවිය යුතුය යන්න නීතියෙන් සීමා කොට ඇත. එහෙත් 2006 සිට මේ දක්වාම සෑම වර්ෂයකම අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 5% ඉක්මවා ගොස් ඇත. උදාහරණයක් හැටියට 2020-14% ක්ද , 2021-11.6% ක්ද, 2022-9.8% ක්ද සහ 2023-7.9% (e) ලෙස මෙම සීමාව ඉක්මවා රටේ ආදායම් වියදම් නිසියාකාරව කළමනාකරණය කොට නැත. එසේනම්, ජනාධිපති කියන ආකාරයට පාර්ලිමේන්තුව ඔවුන්ට පුරවැසියා විසින් පවරා ඇති මූල්‍ය බලය සම්බන්ධ වගකීම නිසි පරිදි ඉටුකොට තිබෙනවා ද ?

 

පලාත් පාලන ඡන්දයට මුදල් නොදී සිටියේ පාර්ලිමෙන්තුවෙන් අසා නොවේ.
එම පනතේම 3 (c) වගන්තියට අනුව රජයේ ණය අසීමිතව ඉහළ යාමට තුඩු දෙන ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතු බවත් , 3 (f) වගන්තිය ප්‍රකාරව 2006 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සම්පූර්ණ ණය , බාහිර ණය ද ඇතුළුව, දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 85% නොඉක්මවිය යුතු බවත් 2013 ජනවාරි 1වන දින වන විට ණය බර 60% දක්වා පහළට ගෙන ඒමට කටයුතු කළ යුතු  බවට කොන්දේසියක් තිබුණි . එහෙත් එම කොන්දේසිය කඩ කල රජය 2013 දී පනත  සංශෝධනය කොට 2020 දක්වා 80% මට්ටමේ පවත්වා ගෙන යෑමට  පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේ ය. එහෙත් නැවත එම කොන්දේසිය උල්ලංඝනය කරන පාර්ලිමේන්තුව 2021 දී පනතට තවත්  සංශෝධනයක් එක් කරමින්  2030 මුදල් වර්ෂය අවසානය දක්වා 80% මට්ටමේ ණය සීමාව පවත්වා ගෙන යෑමට නැවත  පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තේ ය. මෙවැනි නීති කුමටද කියා හිතෙන්නේ 2022  වන විටත් රජයේ ණය තොගය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 128% මට්ටම ඉක්මවා තිබෙන තත්ත්වයක් තුල‍ය.

මූල්‍ය බලය අවභාවිතා කළ හැටි

 

එසේනම් , පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය යනු ඔවුන්ට සිතැඟි පරිදි රටේ ජාතික ධනය අවභාවිතා කොට පරම්පරා කිහිපයක් රටේ ජනයා ණය කරුවන් කිරීම ද? පසුගිය දා විගණකාධිපති වරයා  ප්‍රකාශ කළේ මෙය නොවේද ? 2015 වන විට රුපියල් ට්‍රිලියන 8 ක  ව්‍යාපෘති ණය ලබා ගෙන ඇති මේ පාලකයන් රටේ සංවර්ධනය සඳහා යොදවා ඇත්තේ ට්‍රිලියන 2 ක් පමණක් බවත් ඉතිරි රුපියල් ට්‍රිලියන 06 ට සිදුවූ දේ සොයාගැනීමට අවුරුදු 08 ක් තිස්සේ උත්සාහ කළත් විගණකාධිපති දෙපාර්තමේන්තුව තවමත් අසමත් වී ඇති  බවත් ය. එසේනම් ඒ මුදල් වලට සිදුවූයේ කුමක්ද ? ඔබට සිතා ගත හැක.
එමෙන්ම, මෙම මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ  3 (g) වගන්තියට අනුව රජය විසින් ගන්නාවූ ප්‍රතිපත්ති ඉදිරි පරම්පරාවලට (for future generations ) බලපෑමක් නොවන ලෙසට ගන්නා බවට වගබලා ගත යුතුය යනුවෙන් පාර්ලිමේන්තුව නීතිමය වශයෙන් යටත් කොට ඇත. එය සිදු වී තිබෙනවා ද ?මොවුන් විසින් ලබා ගෙන තිබෙන සහ තවත් ගන්නා ණය ඉදිරි පරම්පරා කීයකට බලපානු ඇත්ද?

රටවැසියන් ගේ වගකීම

මේ වන විට දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ණය 128% ක් වන අතර, දේශීය සහ විදේශීය ණය තොගය ඩොලර් බිලියන 83.59 ක් වී ඇත. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් වසර 30 ක් වත් යන තුරු ඉදිරියට බලපාන අතර , ඊයේ ජනාධිපති වරයා කියන ආකාරයටම තවත් ණය ගැනීමට බලාපොරොත්තු වන බවත් කියයි. එසේනම්, පාර්ලිමේන්තුව ඔවුන්ට පැවරී ඇති මූල්‍ය බලය මෙසේ අවභාවිතා කිරීමට ඉඩදී පුරවැසියන් වන ඔබලා තවදුරටත් “බකන්නිලාගෙන” සිටිනවා ද ?
2015 වන විට එතෙක් පැවති රජයන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළින් (ISB) ලබා ගෙන තිබුනේ ඩොලර් බිලියන 5.3-5.5 ත් අතර ණය ප්‍රමාණයකි. එහෙත් 2015 බලයට එන රනිල් වික්‍රමසිංහ+සිරිසේන යහපාලන රජය ඩොලර් බිලියන 12.9 කට ආසන්න ස්වෛරී බැඳුම්කර ණය ලබා ගෙන ඇත. ඊට අමතරව තවත් ඩොලර් බිලියන 6.5 කට ආසන්න ද්වීපාර්ශවීය ණය ලබා ගත් අතර, හම්බන්තොට වරාය විකුණා තවත් ඩොලර් බිලියන 1 ලබා ගත්තේ ය. මේවා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හෝ අවම වශයෙන් එම මුදල් වැය කළේ කුමක් සඳහා ද කියාවත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකළ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද කියන්නේ පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බව ය. එහෙත් ඔහුට මතක් කර දිය යුත්තේ මේ අභියෝගය කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තුවට වසර 5 කට භාරකාරත්වය ලබා දී ඇති රටේ පරමාධිපත්‍ය බලය හිමි පුරවැසියාම බවය.

පුහුල් හොරා කරින් දැනේ

 

මෙම පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙන්නේ  විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට තිබෙන මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී ඇති බවට නඩු නිමිත්තක් ඇති වී තිබීම හේතුවෙන් ඒ සම්බන්ධව සහනයක් ලබා ගැනීම  සඳහා ව්‍යවස්ථාවෙ 126 වන වගන්තියෙන් ඔවුන්ට හිමි වී ඇති අයිතිය තහවුරු කරගැනීම සඳහා යි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ ඔහු දැනටමත් සිදුව ඇති වැරැද්ද දන්නා නිසාද ?

කකුළුව දිය සැලියේ

සෑම දේශපාලනඥයෙකුම සිහියේ තබා ගත යුත්තේ තමන්ට බලය තිබෙන තාක් කල් ඔවැනි පුරසාරම් දෙඩිය හැකි වුවත් බලය නැති වූ දාට දඟ ගෙට යාමට වුවද සිදුවනු ඇති බවය. ලංකාවේ මෛත්‍රීපාල සිරිසේනට මිලියන 100 ක් ගෙවීමට සිදු වුයේද ඒ නිසයි . අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙන්නට යන්නේත් එයයි. එමනිසා, අද වැජඹෙන පාලකයන් මහඋළු ගෙදර යන දවස වැඩි ඈතක නොවනු ඇත. ඒ සඳහා රටේ පුරවැසියන් අවබෝධයෙන් කටයුතු කොට මෙම දූෂිත, ඒකාධිපති  පාලකයන් බලයෙන් පහකොට ඔවුන් විසින් අපිට අහිමි කළ ජාතික සම්පත් යලි අත් පත් කරගෙන මේ රට ගොඩනැගීමට කැපවුණු අදූෂිත, රටේ පුරවැසියාට වගවෙන තරුණ තරුණියන් අතට බලය මාරුවෙන පාලනයක් බිහි කරගනිමු. ඒ සඳහා තනි තනිවත් , සාමුහිකවත් අපි නොපවාම කටයුතු කරමු.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක

(උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්  වෙතිනි.)

 

Archive

Latest news

Related news