Tuesday, May 7, 2024

අයුතු බලපෑම් කළ පොලිස්පතිට අධිචෝදනා!

ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී විදේශිකයන්ගෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට (IGP) හා විශේෂ විමර්ශන ඒකකයේ (SIU) අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකි ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.

උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු, ඔහුගේ පුත්‍රයා හා තවත් පුද්ගලයෙකු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම වසර මුල දී අත්අඩංගුවට ගනු ලැබුවේ, රුසියානු සංචාරකයින් පිරිසකට අයත් රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙනි.

හෝටල් දෙකක නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයින් පිරිසකගෙන් ලද පැමිණිලි මත විමර්ශන සිදු කළ අපරාධ විමර්ශන ඒකකය සහ උණවටුන සංචාරක පොලිසිය විසින් මේ වසරේ ජනවාරි මාසයේ දී එක් හෝටලයක හිමිකරු, ඔහුගේ පුතා සහ ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් රුපියල් 7,52,000 ක්, ඩොලර 61,000 ක්, රූබල් 1,95,000 ක් සහ යූරෝ 200 ක් සොරා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

උණවටුන සංචාරක පොලිසියේ සහාය ඇතිව ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ හබරාදූව පොලිසිය විසින් වැඩි දුර විමර්ශන සිදු කෙරිණ.

පොලිස්පති සහ SIU අධ්‍යක්ෂ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගන්න එපා කියලා..
කෙසේ වෙතත්, මෙම සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන හෝටලයේ හිමිකරු අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලිස්පතිවරයා සහ SIU අධ්‍යක්ෂවරයා තමන්ට බලපෑම් කළ බවට උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මේ වසරේ මාර්තු මාසයේ දී ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අණ නොපිළිපැද්දේ යයි එම නියෝගවලට පටහැනිව කටයුතු කළ පොලිස් ස්ථානාධිපතිවරයාට හා නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

මෙම නඩුව ජූලි 19 වැනි දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේ දී, අදාල චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ SIU අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකි ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නීතිපතිගේ යුතුකම අධිචෝදනා ගොනු කිරීමයි -මහේස්ත්‍රාත්..
එවැනි වරදක් සිදු වූ විට 2015 අංක 04 දරණ අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ හා සහාය වීමේ පනතේ 08 වැනි වගන්තියේ විධිවිධාන අනුව මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ යුතුකම බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

ඒ අනුව කිසියම් පුද්ගලයකු පනතේ විධිවිධාන අනුව වරදක් කර ඇත් දැයි සොයා බලා ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම කාරණය නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ කෙසේ වෙතත්, මේ වන විට අධිකරණයට ඉදිරිපත් වී ඇති කරුණු අනුව පොලිස් විමර්ශනයට යම් බලපෑමක් සිදු වී ඇති බව පැහැදිලි වන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එබැවින් උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ ඔහුගේ නියෝග යටතේ ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද අභ්‍යන්තර විමර්ශනය අත්හිටුවීමේ නියෝගය තව දුරටත් දීර්ඝ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලංකා ඊ නිව්ස්  ෙවතිනි.

– 2023 ජුලි 23 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Darshana Sanjeewa Balasuriya ලියූ, “Allegations of undue influence on police officers by IGP, SIU Director: Magistrate orders to consult AG to file indictments” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,  ආනන්ද විසිනි.

Archive

Latest news

Related news