Sunday, April 28, 2024

දූෂනයට හේතුව නීති නැතිකම නොව දූෂිත දේශපාලන සංස්කෘතිය සහ ආර්ථිකයයි – අනුර කුමාර දිසානායක

කාලයක් මුළුල්ලේ අපේ රට, මේ ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුකොට ගෙන ව්‍යසනයට පත්වූ රාජ්‍යයක්. හැබැයි අදත් ආර්ථික අපරාධකරුවන් ඉතාමත් සතුටින්, නිදැල්ලේ සමාජය හමුවේ පෙනී සිටිනවා. සමහරු ප්‍රභූවරු, සර්ලා, හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමතිවරු, උසස් රජයේ නිලධාරීන්. මේ රටේ විශාල අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබෙනවා.
මේ ව්‍යසනයට ඇද දමන ලද මේ ආර්ථික අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා. නව පනතක් ගෙන ඒමට සාකච්ඡාවක් මතුවෙමින් තිබෙනවා. නමුත් තිබුණු පනත් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

මේ තියෙන්නේ නීති

අඩුපාඩුකම් ඇති නමුත් පොදු දේපළ පනත අනුව, රුපියල් 25,000/-කට වැඩි රාජ්‍ය දේපළවලට අලාභ හානි කර තිබුණොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප දීමේ බලයක් නැහැ. මුදල් විශුද්ධිකරණ පනත අනුව ඕනෑම පුරවැසියෙක්, තමන් උපයා ගත් මුදල් ප්‍රමාණය, උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට බැරි නම්, ඒ දේපළ පවරා ගැනීමට නීතියේ තිබෙනවා. ඒ වගේම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත දූෂණය සම්බන්ධව බලවත් නීතියක්. ඒ වගේම අපරාධ පනතක් තිබෙනවා.
මෙතන නීතියේ අඩුවක් නැහැ. තව නීතිය සම්පූර්ණ කිරීමට අපි පක්ෂපාතියි. නමුත් තිබෙන නීති දුර්වල වුණාද? තිබෙන නීති දුර්වල වුණා නම්, පොල් ගෙඩි අටක් හොරකම් කළ කෙනා හිරේ යන්නේ කොහොමද? තිබෙන නීති දුර්වල වුණා නම්, පොලිස් කොස්තාපල් පගාවක් ගත්තා කියලා, ග්‍රාම සේවක කීයක් හරි ගත්තා කියලා හිරේ යන්නේ කොහොමද? නැහැ. තිබෙන නීතිවලට කොටු කරගන්නේ හාල්මැස්සො. තෝරු, මෝරු අපරාධකරුවන් තිබෙන නීතිවලින් ගැලවෙනවා, බේරෙනවා දේශපාලන බලය නිසා.

මේ දූෂිත වළල්ලේ නීතිය පසිඳලන අයත්

මේක චෞර වළල්ලක්. මේ චෞර වළලලේ දේශපාලන අධිකාරිය විශාල පංගුවක් ඉන්නවා. මේ දූෂිත වළල්ලේ ඉහළ නිලධාරීන්ගෙන් අතළොස්සක්, පොලීසියේ කිහිපදෙනෙක්, ඩීල් කරන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් ඉන්නවා. කැමති වුණාත් අකමැති වුණත් කියන්න සිදුවෙනවා, මේ දූෂිත වළල්ලේ නීතිය පසිඳලන කිහිපදෙනෙක් ඉන්නවා. ඒ වගේම මාධ්‍ය අයිතිකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. මේක එකට ගොඩනැගුණු දූෂිත වළල්ලක්. මේ දූෂිත වළල්ල මැඩපවත්වන්නේ කොහොමද?

නීතියෙන් පමණක් බැහැ!

මෙය මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. නීතියෙන් පමණක් මෙය කළ හැකියැයි විශ්වාස කරනවා නම්, ඒ මෝඩ කතාවට අපි අහුවෙන්නේ නැහැ.

මෙන්න රජකම් කරන මහ හොරු

මම උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්.
මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, මිලියන 400ක් උපයා ගත්තේ කෙසේද, යන්න විමසීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට එන්න යැයි දන්වන විට නයා කාපු කෙනෙක්. එය නීතියේ ප්‍රශ්නයක්ද? නයාගේ ප්‍රශනයක්ද? දේශපාලනය හේතුකොට ගෙන බේරෙනවා.
ඒ වගේම මහාධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහපු, ලක්ෂ 20ක වන්දියක් නියම කරපු, අවුරුදු හතරකට ඇඟ බැඳපු, අධිකරණයෙන් තීන්දු වූ කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මෙය නීතියේ ප්‍රශ්නයක්ද?
ඒ වගේම මහ බැංකු වංචාව පිළිබඳව මේ අය මේ පැත්තේ ඉන්නකොට කොතරම් කෑ ගැසුවාද? 2019 මහ බැංකුවේ මහා දූෂිතයාට, රනිල් වික්‍රමසිංහට දඬුවම් ලබාදීම සඳහා ජනවරමක් ඉල්ලුවා. (ඉදිරිපස අයෙකුට අත දිගුකරමින්) ඔබතුමා කිවුවේ නැත්ද? මහ බැංකුවේ මහ වංචාවක් සිදුවී තිබෙන බවත්, ඒකට රනිල් වික්‍රමසිංහ හවුල් බවත්, ඔබ කිවුවා. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? ඔබතුමා ඇමති. මහ බැංකු හොරා ජනාධිපති. මේ නීතියේ ප්‍රශ්නයක්ද තිබෙන්නේ. මේ නීතිය සම්මත වීම හරහා අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ගේනවාද? ඒවා සිදුවෙන්නේ නැහැ.
පසුගියදා ඩොලර් මිලියන 6.8ක් වියදම් කොට, කුණු පොහොර ගෙනාවා. ඒ පොහොර ලංකාවෙන් එළියට ආපහු ඇරියා. නමුත් භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙව්වා. ඒකට මැදිහත් වුණු මන්ත්‍රීවරු, ඇමතිවරු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. පසුව කියනවා බොරුවට චෝදනා කරනවා කියා.
දූෂිතයන්ට හැංගෙන්න හදන ආරක්ෂණ වැඩ තමයි මේ. ඒ වගේම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇමතිතුමා, මේ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා ඩොලර් මිලියන 250ක් ගිනිගත් නැවෙන් වන්දි ගැනීම සඳහා යම් කෙනෙක් මැදිහත් වුණු බව.
මේ මෙතන ඉන්නේ දූෂිතයන්නෙ. පසුගියදා රත්තරන් බිස්කට් ගෙනැත් කොටුවූ කෙනා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එතන නම් නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා. එය මම පිළිගන්නවා. නමුත් සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. එහා පැත්තෙන් රත්තරං හොරෙක් වාඩිවෙලා ඉන්නවා. මෙතන තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නොවෙයි.
මෙතන තිබෙන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්. අපරාධකරුවන් ආරක්ෂා කරන, ඔවුන් නිදැල්ලේ ඉන්න, අපරාධකරුවන් නීති හදන පාර්ලිමේන්තුවක් අප හමුවේ තිබෙනවා.
රත්තරං ගේනකොට ගුවන්තොටුපොලේදි අහුවෙලා, පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් අත උස්සන්න තරම් නිවට නියාලු මිනිස්සු ඇතිවෙලා තිබෙනවා, මේ සංස්කෘතිය ඇතුලේ. ඒ නිසා නීතියෙන් පමණක් විසඳුම් සෙවිය හැකියි මා විශ්වාස කරන්නේ නැහැ.
ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ දේශපාලන හයිය අරගෙන, බදු ගෙවීම් පැහැර හැරි, ස්කාගාර අයිති ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා. ඔවුන් බදු නොගෙවා ඉන්නවා. ඔවුන් බදු ගෙවීම් පැහැර හැර තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නිසා නොවෙයි, දේශපාලන ප්‍රශ්නයක් නිසා.

සමාන්‍ය පුරවැසියෙක් ණයක් පැහැර හැරියොත්

සාමාන්‍ය පුරවැසියෙක් බැංකුවකින් කුඩා ණයක් ගෙන තිබුණා නම්, නීතිය මගින් ඔහුගේ දේපළ වෙන්දේසි කරනවා. හැබැයි මහා පරිමාණ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා, මහ බැංකුවලට මහා පරිමාණ පොලු තැබූ පිරිසක්. ඒ අයගේ ණය මුදල් දේශපාලන ආශීර්වාදය මත කපාහරින තත්වයක් මතුවී තිබෙනවා. මෙතන තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක්ද? දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්ද?

ගම්පහ නිවස බැසිල්ගේ. ඒත් නඩුවෙන් නිදහස්

ඒ වගේම ඔබතුමාගෙන් දැන ගැනීමට කැමතියි. මල්වානේ නිවස, එතන විශාල අක්කර ප්‍රමාණයක්, තිබුණා. විශාල ගෙයක් ඉදිකළා. එහි ඉඩමේ ඔප්පුව තිරුනඩේෂන්ගේ නමට තිබුණා. එය බැසිල් රාජපක්ෂගේ බව තහවුරු වුණා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගම්පහ අධිකරණයේ නඩුවක් දැම්මා. දැන් නඩුව ඉවර වුණේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුව ගිහින් කියනවා, මෙතනින් පසු සාක්ෂා කැඳවන්නේ නැහැයි කියා. සාක්ෂි කැඳවන්නේ නැතිනම් එතනින් එහාට නඩුවක් නැහැ. එහෙමයි මැදිහත් වෙලා තිබෙන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව. දේශපාලන මැදිහත්වීම මත, සමහරු නඩු ඉල්ලා අස්කර ගන්නේ නැත්ද?

නඩු බලවන අල්ලස් කොමිෂම

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව 2019 නඩු 94ක් දැම්මා. හතරක් ඉල්ලා අස්කර ගත්තා. 2020 නඩු 55ක් දැම්මා. නඩු තුනක් ඉල්ලා අස්කර ගත්තා. 2021 නඩු 69ක් දැම්මා. නඩු 42ක් ඉල්ලා අස්කර ගත්තා. 2022 නඩු 71ක දැම්මා. නඩු 46ක ඉලලා අස්කර ගත්තා. මේ ඉල්ලා අස්කර ගන්නේ මොකක් මතද? තාක්ෂණික කරුණු මත. බේරීමේ වුවමනාව මත හේතුව ලෙස තාක්ෂණික කරුණු ලෙස දක්වනවා. මේ නීතියේ ප්‍රශ්නයක් නොවෙයි. මේ ආයතන මුළුමනින්ම දේශපාලනයේ අත්අඩංගුවට පත්කොට තිබෙනවා.

නීතිපති ඊට හපන්

නීතිපති දෙපාර්තමේන්තුවේ, නීතිපති හා නිලධාරී මණ්ඩලය, පරීක්ෂණ කරන ආයතන දේශපාලනීය වෙන්නේ කොහොමද? පරීක්ෂණ කිරීම හේතුකොට ගෙන ආණ්ඩුවක් ආවහම තිබුණු ආණ්ඩුව අපරාධකරුවන් පසුපස හඹාගෙන ගියා යැයි කියා ශානිලාට දීපු දඬුවම් අවුරුදු දෙක තුන හිරේ තබලා ඝාතන සැලසුම් ක්‍රියාත්මක කළා. ඒ නිලධාරීන්ට රැකවරණයක් තිබෙන්නේ කොහේද? නිලධාරියෙක් නිසි පරිදි පරීක්ෂණ සිදුකළා යැයි කියා, ඒ පරීක්ෂණවලට දේශපාලන අධිකාරිය කොටුවෙන්න යනවා යැයි කියා, නව ආණ්ඩුව ආ විගස ඒ නිලධාරීන් හිරේ දානවා. මේ තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක්ද? මේ ඉතාමත් කැත, මජර දේශපාලනයක් තිබෙනවා. අද ඇමති පුටුවෙ වාඩිවෙන්නේ අද කීයක් හොයනවාද කියා හිතමින්.

දූෂනයේ දේශපාලන ආර්ථිකය

පාරිභෝගික අමාත්‍යාංශයට සතොස අයිති නම්, සතොසට බඩු දාන්න හැකි වෙන්නේ ඇමති වටේ ඉන්න අයට විතරයි. ඉඩම් ඇමතිගෙන් ඉඩම් ගන්න පුළුවන්, ඒ ඇමති වටේ ඉන්න අයට විතරයි. මුදල් ඇමතිගෙන් බාර් ලැයිසන් ගන්න පුළුවන් මුදල් ඇමති වටේ ඉන්න අයට විතරයි. පතල් ඇමතිගෙන් වැලි පෝමිට්, පස් පෝමිට් ගන්න පුළුවන්, ඇමති වටේ ඉන්න අයට විතරයි. එහෙම නේද මෙ දේශපාලන සංස්කෘතිය හැදිලා තිබෙන්නේ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඔබලා දැක තිබෙනවාද? සෑම ව්‍යාපාරිකයෙකුටම සාධාරණ ලෙස තරග කරලා තමන්ගේ වෙළඳ භාණ්ඩ ඇතුළත් කිරීමේ අයිතිය ලබාදී තිබෙනවාද? සෑම පුරවැසියෙකුටම තමන්ගේ ව්‍යාපෘතියක් රජයේ ඉඩමක් මගින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ තත්වයක් හදාදී තිබෙනවාද? ඒකට ඉන්නේ ඇමතිවරයා. ඉඩම් ඇමති වටේ ඉන්න අයට තමයි ඉඩම් ලැබෙන්නේ. එල්.ආර්.සී. එක අයිති කෙනා තමයි ඉඩම් බෙදා දෙන්නේ. නාවලපිටියේ ඉඩම් අක්කර සිය ගණනක් කොම්පැනිවලට බෙදුවේ එහෙමයි.

ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් හිරේ යන්නේ නැහැ!

ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මහා පරිමාණ දූෂණ-වංචා හේතුකොටගෙන පාකිස්තාන අගමැති හිරේ ගිහින් තිබෙනවා. බංග්ලාදේශ අගමැති හිරේ ගිහින් තිබෙනවා. තමිල්නාඩුවේ මහ ඇමති හිරේ ගියා. ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හිරේ යන්නේ නැහැ. මොකක් නිසාද? නීතියේ ප්‍රශ්නයක්ද? ආණ්ඩු මේ අපරාධකරුවන් ආරක්ෂා කරනවා. අදත් නඩු පටවන්නේ කාටද, නඩු ගොනු කරන්නේ කොහොමද, පරීක්ෂණ කරන්නේ කොහොමද කියලා අදත් සැලසුම් හදමින් තමයි ඉන්නේ.
අපේ රටේ ආර්ථික අපරාධයක් සිදුවී තිබෙනවා. ඒ ආර්ථික අපරාධයේ විශාලම ගොදුර බවට පොදු ජනතාව පත්වී තිබෙනවා. පුරවැසියෙක් ඇස් දෙකේ ලෙඩට බෙහෙත් ගන්න රෝහලට යනවා. බෙහෙත් අරගෙන ගෙදර ආවාම ලෙඩා අන්ධ වෙනවා. පරණ බෙහෙත් ගෙනල්ලා ලෙඩ්ඩු මැරෙන කොට පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු හතක් තිස්සේ මේ බෙහෙත ගේනවා කියලා කියනවා. ඇමති ඉන්නේ ඒක කියන්නද? මේ ඇමතිවරුන්ගෙන් දූෂණය – වංචාව නතර කිරීමක් බලාපොරොත්තු විය හැකිද? ඇමතිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ජනතාවට සහනශීලී සේවාවක් නේද?
මේ රට දීර්ඝ කාලයක් ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට අපේ රට ලක්වී තිබෙනවා. මේකේ ප්‍රතිවිපාක පාසල් යන දරුවන්ට පොත්පත් නැතිවීම, පහසුකම් නැතිවීම, ලෙඩාට බෙහෙත් නැතිවීම, තරුණයාට රැකියාවක් නැතිවීම, දරුවන්ට හරිහැටි ආහාර වේලක් නැතිකම, ගැබිණි මවට ආහාර වේලක් නැතිකම, මේ වගේ විශාල ව්‍යසනයක් ඇතිකර තිබෙනවා, මේ ආර්ථික අපරාධකරුවන්ගේ මැදිහත් විම නිසා. මේ මුහුණ දෙන්නේ ස්වභාවික ව්‍යසනයකට ප්‍රතිඵලයක් නිසා නොවෙයි. භාණ්ඩාගාරයට එන ධනය කෝටි ප්‍රකෝටි ගණන් පාලකයන්ගේ ගෙවල්වලට ඇද්දා. රට දුප්පත් වුණා. පාලකයන් පොහොසත් වුණා. දූෂිතයෙක් කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නැති බව අවසාන වශයෙන් පවසනවා.

(පසුගිය 06 වන දින පාර්ලිමේන්තුවේදී පැවති දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගි වෙමින් පා.ම.  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කළ කතාවෙනි. ඇසුර ලංකා ට්රුත්)

Archive

Latest news

Related news