Sunday, April 28, 2024

වැලිවිටියේ සෝරත, කොටගම වාචිස්සර, සහ වල්පොල රාහුල හිමිවරු කතන්දර සහ සැබෑ බුදුදහම ගැන දුන් උපදෙස් – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

(ලංකා ඊ නිව්ස්)  සැදැහැති උවැසියන් දෙදෙනෙකු මෑතක උණුසුම් සංවාදයට බඳුන් වූ නැගී එන විකට නිළියක වූ තරුණ කාන්තාවක බෞද්ධ සම්ප්‍රදාය අපහාසයට ලක් වන සේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බරපතළ සංවාදයක යෙදී සිටිනු නොබෝදා මට අසන්නට ලැබුණි. ඉන් එක් කෙනෙකු දිවියෙහි හත්වන දශකයේ මැද භාගයෙහි පමණ සිටින බවක් පෙනුණ අතර, අනෙක් තැනැත්තිය අසූව දශකයෙහි සිටි කෙනෙකි. හැත්තෑව දශකයෙහි මැද හරියේ සිටිය තැනැත්තිය ඇගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවීණ ධර්ම කථිකයන්ගේ දම් දෙසුන් අසමින් මහත් කැපවීමෙන් සදහම් පුහුණුවෙහි  නිරත ව, බුදුන් වහන්සේගේ දහම ගැඹුරින් දන්නා තමා දැන ගන්නා දහම් කරුණු හිත මිතුරන් අතර නිර්ලෝභී ව බෙදා හදා ගන්නා කෙනෙකි. බුදුදහම පිළිබඳ උනන්දුවක් නොදක්වන අනෙක් තැනැත්තිය ඇයට සවන් දීමට එතරම් කැමැත්තක් දක්වන කෙනෙකු නොවූවත් හිතවත්කම නිසා, ඇයට එරෙහි නොවීමට ඉවසිලිවන්ත වන තරමේ කෙනෙකි.
දැනුමැති අනෙකාට කියනු ඇසිණි: “ඔබ දන්නවාද මේ කාන්තාව තම ප්‍රේක්ෂකයින් විනෝදය පත් කිරීමට අසභ්‍ය කතා කීම ගැන ප්‍රසිද්ධියක් උසුලන බව. බුදුන් වහන්සේට ප්‍රසිද්ධියේම අපහාස කර, සිදුහත් කුමරුට ‘සුද්ධෝදන කොල්ලා’ යැයි කියමින් ඉපදුණු වහාම නෙළුම් හතක් මත ඇවිදීමෙන් ඔහු කළ හාස්කම උපහාසයට ලක් කරමින් බෞද්ධයන්ට අපහාස කර ඇති බව. ඇය බුදුන් වහන්සේට අපකීර්තියක් පමණක් නොව පොහොසත් බෞද්ධ සංස්කෘතිය ද හෑල්ලු කර තියෙනවා”.

දහම බේරා ගැනීමට පොලිසි යාම

විවාදී බවක් නොඇඟවූ අනෙක් උපාසිකාව සාවධාන ව සවන් දෙයි. ඒ සාවධානී බවෙන් බලසම්පන්න වූ පළමු තැනැත්තිය, ඇගේ අදහස දක්වමින් මෙසේ කීය. “පොලිසියට වගකීමක් තියෙනව බුදු දහම විනාශ කරන්න මොකක් හෝ විදේශීය සංවිධානෙකින් මුදල් අරගෙන තියෙන මේ ගෑනිව අත්අඩංගුවට අරගෙන දඬුවම් කරවන්න.ඇයත්, මේ අදහස දරණ හැම කෙනෙකුමත් සිටින්නේ නොමග ගොස් . ලොව අනෙක් සියළු ආගමික ඉගැන්වීම්වලට ඉහළින් තිබෙන බුදුදහම කිසිවෙකුටත් විනාශ කළ කරන්න බැහැ.”
අනෙක් තැනැත්තිය හිස සලා ඒ බව අනුමත කළා ය. ඔවුන්ගේ තර්කයේ හරය මට අසාමාන්‍ය බවක් නොපෙනේ. මන් ද, මට ඒ දිනවල පාසැලෙන් සහ ඉරිදා දහම් පාසලෙන් පවා උපදෙස් ලැබී තිබුණේ එලෙස ය. ඔවුනුදු, ඔවුනට කියා දී තිබෙන පිළිවෙළට අනුකූල විය.

60 ගණන්හි විද්‍යෝදයේ ඉගැන්වූ බුදු දහම

මේ කතාබහ මා එක්දහස් නවසිය හැට ගණන්වලට ආපසු ගෙන ගියේ ය. ඒ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් මගේ ඉගෙනීම් කටයුතුවල යෙදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ගත කළ සමයයි. එවක උපකුලපතිවරයා ලෝක පූජිත බොදු වියතෙකු වූ මහැදුරු පූජ්‍ය වල්පොල රාහුල ය. විශ්ව විද්‍යාලය ද එසේ ම ලෝක ප්‍රකට බොදු වියතෙකු වූ පූජ්‍ය වැලිවිටියේ සෝරත මාහිමියන් ඇරඹූ එකකි.

සිසුනට බෞද්ධ ශිෂ්ඨාචාරය විශය අනිවාර්යයි

උන්වහන්සේගේ බුද්ධි මහිමයෙන් එවක කලා, විද්‍යා, ඉංජිනේරු, රාජ්‍යපරිපාලන ආදි විෂය දහරාව නොසලකා සෑම ශිෂ්‍යයෙකුට ම පළමු වසර සහ අවසන් වසර විභාගයන්හි දී, ඉංග්‍රීසි සහ බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රශ්න පත්‍ර දෙකක් සමත් වීම අනිවාර්ය විය. අදාළ ප්‍රශ්න පත්‍රයන්ට පළමු වෙනි පන්ති සාමාර්ථයක් ලැබීමට ප්‍රමාණවත් ව ලකුණු ලබාගෙන තුබූව ද, ඉංග්‍රීසි, බෞද්ධ අධ්‍යයන ප්‍රශ්න පත්‍රවලට අවශ්‍ය ලකුණු ලබාගෙන නොමැති නම්, ඔවුනට සාමාර්ථයක් හිමි නොවේ. මෙ නිසා, එය එවක සිසුනට ව්‍යසනයක් වුව ද පසුව මට පෙනුණ ආකාරයට ආශිර්වාදයකි.
අනිවාර්ය ඉංග්‍රීසි සහ බෞද්ධ ශිෂ්ඨාචාරය ඉවත් කර 1972 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලය ලංකා විශ්ව විද්‍යාලයට එකතු කර විද්‍යෝදය මණ්ඩපය බවට පත් කරන තෙක් ඒ නිර්දේශය පැවති අතර, සිරිමා බණ්ඩාරනායක රජය ඇති කළ ඒ නව සංස්කරණය අසාර්ථක එකකි. එය ද එතුමිය කර තිබුණේ අද මෙන්, විශ්ව විද්‍යාල වියතුන්ගේ උපදෙස් නොතකා විශ්ව විද්‍යාල පරිපාලනයේ ප්‍රතිසංස්කරණයක් කරමිනි.

බෞද්ධ ශිෂ්ඨාචරය නම් විශය

විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ ශිෂ්ඨාචාරය නමින් දැක්වුණ විෂයයෙන් බුදුදහම, තුලනාත්මක ආගම් අධ්‍යයනය, සමකාලීන ඉන්දීය දර්ශනය සහ විශේෂයෙන් එවක ඉන්දියාවෙහි සහ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ව පැවති බෞද්ධ සංස්කෘතියේ ස්වරූපය ආවරණය විය. පළමු වසරට වඩා, අවසන් වසරේ දී විෂයයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ එසමයෙහි ප්‍රධාන අත්පොත වූයේ එවක නොසිතූවිරූ අයුරින් උපකුලපති ධුරයට ද පත් ව සිටි වල්පොල රාහුල හිමියන් විසින් සම්පාදනය කෙරුණ බුදුන් වදාළ ධර්මයයි. අපට ඉගැන්වීම් කළේ ථේරවාද බුදුසමය පිළිබඳ ඒ සමාන ම වියතෙකු වූ ථේරවාද බෞද්ධ අධ්‍යයන අංශාධිපති වූ මහාචාර්ය පූජ්‍ය කොටගම වාචිස්සර මාහිමියන් ය. කොටගම මාහිමියන් ප්‍රකට ව සිටියේ ආගම ඉගැන්වීමේ දී විචාර පූර්වක අවධානයක් යොමු කළ ගුරුවරයෙකු වශයෙනි.

එය බෞද්ධ ධර්මය මිස බුදුදහම නොවේ

පැරණි විද්‍යෝදය විශ්ව විද්‍යාලය සහ පූජ්‍ය වාචිස්සර මාහිමියන් පිළිබඳ එක් දෙයක් වූයේ, එයට කිසිවිටෙකත් බුදුදහම යයි නොකීම ය. ඒ හුුදෙක් කවර ‘මතය’ ‘වාදය’ ‘ධර්මය’ වුව ද නොවිමසා නොපිරික්සා පිළිගත යුතු ආදානග්‍රාහී මතයක් වීම ය. ඔවුනට අනුව, බුදුන් වහන්සේ විසින් උගන්වා වදාළේ උන්වහන්සේගේ ධර්මයයි. එම වියතුන් විසින් බුදුන් වහන්සේගේ ධර්මය යන යෙදුම භාවිතා කළේ එහෙයිනි.

දේශක වාචිස්සර හාමුදුරුවෝ ‘ප්‍රහසන නළුවකු’ වැන්න

සියවස් ගණනාවක් පැරණි විද්‍යෝදය පිරිවෙණ විශ්ව විද්‍යාල මට්ටමට නගා සිටුවීමට දායක වූ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාට උපහාරයක් වශයෙන් නම් කර තිබුණ ඉඩකඩ සහිත එක ම තැන වූ බණ්ඩාරනායක ශාලාවෙහි දේශන පැවැත්වූ බව මට මතකය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධි කටයුතු නිමවා සිටි කොටගම වාචිස්සර හාමුදුරුවන් සිටියේ ආනන් ද විද්‍යාලයෙහි ඉගැන්වීම් කටයුතුවල නිරත ව ය. ආරෝහපරිණාහ සම්පන්න දේහධාරියෙකු වුව ද උන්වහන්සේ කුඩා බේබි ඔස්ටින් කාරයක ගමන් බිමන් කළ අතර, දෙපතුල් නිරාවරණ ව තබා ගත්හ. අනාදරයකින් නොව ‘මහකලු සිංහලයා’ යන නාමයෙන් උන්වහන්සේ ව හැඳින්වුණේ හුදෙක් පැවති ගෞරවය නිසා ම ය.
කථික පුවරුව වෙත කිසිදු සටහනක් නොමැති ව එන්නට පුරුදු ව සිටි උන්වහන්සේ, පැය ගණන් දේශන පැවැත්වූයේ තම යෝධ ප්‍රතිරූපයට ශිෂ්‍ය අවධානය යොමු කර තබා ගනිමිනි. උපහාසාත්මක කතාන්තර යොදා ගනිමින් විශේෂයෙන් සිසුන් සිනා ගැන්වීම උන්වහන්සේ ශිෂ්‍ය අවධානය රඳවා තබා ගැන්මට භාවිතා කළ එක් උපක්‍රමයකි.  මෙයින් සමහර කතා බුද්ධ චරිතයේ දැක්වෙන සිදුහත් කුමරු උපන් විගස නෙළුම් මල් හතක් මත ඇවිදීම වැනි ආශ්චර්යමත් ක්‍රියා පිළිබඳව විය. මේ අර්ථයෙන් ගත් කල, වාචිස්සර හාමුදුරුවෝ ඉහළ පෙලේ  ලක් වූ ‘ ප්‍රහසන නළුවෙකි’ (‘stand-up comedian)

බුදුන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මය විවේචනය කරන්නන්ට පිළිතුරු දිය යුත්තේ මර්දනකාරී ක්‍රියාමාර්ග හෝ අපහාසවලින් නොව, මිත්‍රශීලී හා සාධනීය විවාදයකින් ය. ඒ විවාදයන්, බුදුන් වහන්සේ මෙන් ම බෞද්ධ සම්ප්‍රදායයන් මගින් ද දිරිගැන්වෙයි.

විවේචනය, විමර්ශනය  සහ අභියෝග කිරීම

වාචිස්සර හාමුදුරුවන්ගේ ඉගෙනීමේ විවේචනාත්මක ප්‍රවේශය විශ්ව විද්‍යාල නිර්මාතෘ සෝරත හාමුදුරුවන් විසින් ප්‍රකාශ කරන ලද ඉගෙනුම් දර්ශනයට අනුකූල විය. ‘විවේචනාත්මක, විමර්ශනාත්මක සහ සාම්ප්‍රදායිකත්වයට අභියෝග කරන’ ලෙස මෙම උගත් බෞද්ධ භික්ෂුව පළමු විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමට උපදෙස් දී තිබුණ බව වාර්තා වේ. විද්‍යාත්මක විමර්ශනයෙහි පදනම වූ මෙම දැක්ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අනුප්‍රාප්තිකයා වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගීයට එහි විශිෂ්ටතම නිෂ්පාදනයක් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ඉතා අලංකාර ලෙස ඇතුළත් කර ඇති අතර, වාචිස්සර හාමුදුරුවෝ මේ පොහොසත් සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටියහ.

බ්‍රාක්මණ ඉගැන්වීම්වලට ලක් වූ සාහිත්‍යය

අප ව දරුවන් සේ සැළකූ උන්වහන්සේ සැමට ඇමතුවේ එක ම අයුරිනි. මනා සේ දැමුණු හඬෙකින් උන්වහන්සේ මෙසේ වදාළහ. “දරුවනේ, සැබෑ බුද්ධ ධර්මය ලෝකය පිළිබඳ බ්‍රාහ්මණික ඉගැන්වීම්වල දැඩි බළපෑමට ලක් වූ සාහිත්‍යයෙන් ඉදිරිපත් වෙන එකට වඩා වෙනස්. ඒ නිසා, බුදුන්වහන්සේගේ චරිතයටත්, මුල් ළමා වියටත් බොහෝ අද්භූත ජනක දේ ඈඳිලා තියෙනව. ඒවායේ කියැවෙන පරිදි, සිදුහත් කුමරු උපන් ඇසිල්ලේ ම නෙළුම් මල් හතක් මත ඇවිද ගොස් අනාගතයෙහි තමා බුද්ධත්වයට පත් වන බව ප්‍රකාශ කර තිබෙනව. බුදුන් වහන්සේට සම්බන්ධ ඉතාමත් අසාමාන්‍ය මේ ඇදහිය නොහැකි තොරතුරු අප ඉගෙන ගන්නා දෙයින් ඉවත් නොකළහොත් අපට බැහැ බටහිර ලෝකයා අතර දි ඔවුන් අපට සිනා සෙන්නට පටන් ගන්න එක නවත්වන්නෙ නැතිව බුද්ධ ධර්මය ප්‍රචලිත කරවන්න.”  උන්වහන්සේ සැබෑ ධර්මය අපේ හිස්වලට ඇතුළත් කළේ ඔය අයුරිනි.

ලෙච්වර්ත් පන්සල සහ  තරුණ හිමි

වසර බොහෝ ගණනකට පසු, දෙදාහ වසරේ මුල් භාගයෙහි නායක තෙරුන් වහන්සේ නමක වූ මගේ වැඩි මහළු සොහොයුරා එක්සත් රාජධානියෙහි ලෙච්වර්ත් බෞද්ධ විහාරය පිහිටුවන අවස්ථාවෙහි උන්වහන්සේ හැටේ දශකයෙහි පැවසූ දෙය මට පෞද්ගලික ව  අත් දකින්නට ලැබුණි. පන්සලෙහි වාසයට තෝරාගෙන තිබුණේ ජයවර්ධන පුර සරසවියෙන් ම බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව පන්ති සාමාර්ථයක් සහිතව සපුරාගෙන තිබුණ තරුණ භික්ෂු නමකි.
මා එක්සත් රාජධානියට යැවුණ හැම අවස්ථාවක ම මේ තරුණ භික්ෂුව හමුවීමට අවස්ථාවන් යොදා ගතිමි.  ඒ හැම අවස්ථාවක ම උන්වහන්සේගේ ප්‍රගතියක් දක්නට ලැබීම මට මහත් අස්වැසිල්ලක් විය. බුද්ධ ධර්මය පිළි ගත්තවුනට පමණක් නොව, වෙනත් ආගම් ඇදහූවනට ද උන්වහන්සේ බුදුන් වහන්සේගේ පණිවිඩය කියා දෙමින් සිටියහ.
මම ඒ වනවිට උන්වහන්සේ දිනාගෙන තිබුණ දේ ගැන ප්‍රශංසාත්මක ස්වරයෙන් කතා කරන විට, ඔහු තමාට පැවති ලොකු ම දුෂ්කරතාව ගැන මා සමග පවසමින් කීවේ, විෂය මාලාවෙ කොටසක් හැටියට තුලනාත්මක ආගම් උගන්වන උසස් විද්‍යාල එහි තිබෙන බවත්, තමන් වහන්සේ එහි පැමිණ බුදුන් වහන්සේගේ ධර්මය ගැන කථා කරන බව ඔවුන් දැනගෙන ආරාධිත දේශන පැවැත්වීමට තමාට ආරාධනා කරන ලද බවත්, ඒ අය, ඉතා විමසිලිමත් වන අතර, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හෝ ඩාවින්ගේ පරිණාම වාදය වැනි දේ පිළිබඳ ව බුදුන්වහන්සේගේ මතය දැන ගැනීමට උන්නදුවෙන් සිටින බවත් ය.

සිද්ධාර්ථ අද්භුත කතන්දර

“බුදුන් වහන්සේ ඉගැන්වූ දේ මං දන්නව වුණත්, මට නව විද්‍යාත්මක සංකල්ප ගැන දැනුමක් නැහැ. ඒ හැම එකක් ම මට අලුතෙන් ඉගෙන ගන්න වෙනව. ඒ වගෙමයි, ඔවුන් සිද්ධාර්ථ කුමාරය ගැනවත්, බුදුන්වහන්සෙ ගැනවත් තියෙන ඔය අද්භූත ජනක කතන්දර පිළිගන්නෙත් නැහැ. ඒ අයට කතා කරද්දි, මට පරෙස්සම් වෙන්න වෙනව ඒව ගැන කතා නොකර ඉන්න. මං එයාලට බුදුන්වහන්සෙගෙ සැබෑ දහම උගන්වද්දි, ඔවුන්ට හරි ම සතුටුයි.” වසර කිහිපයකට පසු, විහාරයෙහි දායක පින්වතුන්ගේ ද එකඟතාවයෙන් මේ තරුණ භික්ෂුව උපැවිදි වූ නමුත්, ලෙච්වර්ත් පන්සල තවමත් පවතියි.

නිදහස් විමසීමේ වටිනාකම

වල්පොල රාහුල හිමිපාණන් විසින් 1932 දී සිංහල භාෂාවෙන් සම්පාදිත 2019 වසරේ ඉංග්‍රීසියට පරිවර්තනය වූ ‘සත්‍යෝදය’ නම් ග්‍රන්ථයේ නිදහස් විමසීමේ වටිනාකම අවධාරණය කරමින් මෙසේ පවසා තිබේ. “අද අපේ රටේ බෞද්ධ ඉගැන්වීමේ සාමාන්‍ය ප්‍රවේශය ශාන්ත ෆ්‍රැන්සිස් සාන්තුවරයා විසින් නිදහස් විමර්ශනය යටපත් කිරීමේ කථාන්තරය පිළිබිඹු කරයි. ෆ්‍රැන්සිස් සාන්තුවරයා සිය ශිෂ්‍යයෙකුට අවවාද කළේ එතුමාට වඩා හොඳ කෙනෙකු වීමට ඔහු උත්සාහ කිරීම නිසා ය. ධර්මය ඉගෙන ගන්නා සිසුන් ගුරුවරයාගේ සම්ප්‍රදාය, ආගමික ග්‍රන්ථ හෝ මතවාද  අභියෝගයට ලක් කරන්නේ කලාතුරෙකිනි. ගුරුවරුන් වුව සලකන්නේ ශිෂ්‍යයන් දෙවන පෙළ පිරිසක් ලෙස ය. විවිධ දෘෂ්ටීන් මෙන් ම මතවාද සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ නැත. මෙය ඉගැන්වීම ගැන විමර්ශනාත්මක මෙන් ම විවේචනාත්මක ප්‍රවේශයකින් සොයා බැලීමට යොමු වීමෙන් සිසුන් ව වළකා ලයි.” (69 වන පිටුව)
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ආගම ඇතුළු ඕනෑ ම විෂයයක් සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් ඇතිවීම ස්වභාවික බවයි. “වෙනස් මතවලට මුහුණ දෙන විට යමෙකු අනවශ්‍ය ලෙස කලබල වන්නේ නම්, එයින් පිළිබිඹු කරන්නේ එම පුද්ගලයා අදහස්මය වශයෙන් දිළිඳු තැනැත්තෙකු බවයි.” එ නිසා ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කළ සාමාන්‍ය බෞද්ධයකුගේ අදහසක් එක වර ම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු ප්‍රධාන බෞද්ධ භික්ෂුවකට අයිතියක් නැත. දෙදෙනා ම ඉගෙන ගෙන තිබෙන්නේ එක ම ධර්මය නමුත්, බුදුන් වහන්සේ සමග ඒ ගැන සාකච්ඡා කිරීමට කිසිවෙකුට අවස්ථාවක් ලැබී නැත. රාහුල හාමුදුරුවන්ගේ නිගමනය වන්නේ ධර්ම ග්‍රන්ථවල ඇති ඕනෑ ම දෙයක් විවේචනාත්මක විග්‍රහයකට ලක් නොකර පිළිගැනීම බුදුන් වහන්සේ අනුදැන වදාළ පිළිවෙළක් නොවන බවයි.

විවේචනය ඉවසන්න; වර්ණනාවෙන් උද්දාමයට පත් නොවන්න

“සැබෑ දෙය ගවේෂණයෙහි මෙන් ම, මතු කර ගැනීමෙහි ලා ද ශ්‍රී ලාංකික සමාජය සිටින්නේ යටහත් පහත්කම් දක්වන ස්ථාවරයක ය. මග බැස යන මගියෙකුගේ සිට දැන උගත් වියතුන් දක්වා හැම කෙනෙකුමත් පාහේ කරනුයේ සම්ප්‍රදායික දේ මෙන් ම පොතපතෙහි දැක්වෙන දේ ඒ අයුරින් ම අතිශය ගෞරව පුරස්සර ව පිළිගැනීම ය. සත්‍ය අසත්‍යතාව පිරික්සා දැන ගැන්මට දක්වන උනන්දුව ඉතාමත් අල්ප ය.” යයි, රාහුල හාමුදුරුවෝ සත්‍යෝදයෙහි දක්වති. පෞද්ගලික ව සිදුවන පාඩුවක් ගැන “බලාපොරොත්තුවක් නොමැති ව නම්, සත්‍ය සෙවීමෙහි වැදගත්කමක් නැත. පාලි බසින් ලියා ඇති මොන යම් ම දෙයක් වුව, බුද්ධ භාෂිතය සේ පිළිගැනෙන්නේ විවාදයකින් තොර ව ය. අපේ චාරිත්‍ර ධර්මය හා සැසඳෙන්නේ දැ’යි කිසිවෙකුත් ප්‍රශ්න නොකරති. අපේ සම්ප්‍රදායයෙහි ගෞරවණීයත්වය නොතකා, සදාචාරය බිඳ වැටෙමින් තිබෙන්නේ ඇයි දැ’යි ප්‍රශ්න කිරීමට කිසිවෙක් කරදර නොවෙති. (75 වෙනි පිටුව)” යයි රාහුල හාමුදුරුවෝ පවසති. මේ 1930 තරම් කාලයෙහි සමාජය පිළිබඳ උන්වහන්සේගේ විමර්ශනය වුව ද, එය අදටත් එසේ ම ගැළපෙන බව පැහැදිළි ය.
බුදුන් වහන්සේගේ අවවාදය විවේචනයෙන් නොරිදවෙන ලෙසත් වර්ණනයෙන් උද්දාමයට පත් නොවන ලෙසත් ය…
රාහුල හාමුදුරුවන් මෙහි පවසන දෙය, විවේචනයන්ට සහ වර්ණනා කිරීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ ව දුන් අවවාදයෙහි දී  බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි දක්වන දේ ම ය. උන්වහන්සේ පවසන්නේ, කවරෙකු විසින් වුව ද බුදුන්වහන්සේ පිළිබඳ ව කරන විවේචනයෙහි දී භික්ෂුව උදහස් නොවිය යුතුවාක් මෙන් ම ප්‍රශංසාවෙහි දී ආඩම්බර ද නොවිය යුතු බව ය. ඉදින් උදහස් වන්නේ නම්, එයින් ඔවුනට සිදුවන යහපතක් නැත. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ, හේතු යුක්ති සහගත ව එම විවේචනයන් බුදුන්වහන්සේ සම්බන්ධයෙන් වලංගු නොවන බව පෙන්වීමයි.
ඒ අයුරින් ම, බුදුන් වහන්සේ පිළිබඳ ව මිනිසුන් කරන ප්‍රශංසාවෙහි දී ද ඔවුන් උද්දාමයට පත් නොවිය යුතු ය. එවන් ආහ්ලාදයක් ඔවුන්ට නොගැළපේ. ඒ වෙනුවට කළ යුත්තේ, එම ප්‍රශංසා සැබෑ ද වලංගු ද යන්න විමසා බැලීමයි. මේ මේ තත්ත්වයන් යටතේ එම ප්‍රශංසා නිවැරදි බවත්, මේ තත්ත්වයන් යටතේ ඒවා වලංගු නොවන බවත් භික්ෂූන් වහන්සේලා ඔවුනට පැහැදිළි කළ යුතු ය. එයින් අදහස් වන්නේ, බුදුන්වහන්සේ හෝ ධර්මය පිළිබඳ ව දැක්වෙන කිසියම් අදහසක් අවඥා සහගත යයි කිසිවෙකුට හැඟෙන්නේ නම්, ඔවුන් කළ යුත්තේ ඒ අයට කරුණු පැහැදිළි කිරීම මිස, ඔවුන් මර්දනය කිරීමට රාජ්‍ය බලය හෝ නීතිය පසුපස නොයා යුතු බව ය. වෙනත් වචනවලින් කියතොත්, බුදුන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මය විවේචනය කරන්නන්ට පිළිතුරු දිය යුත්තේ මර්දනකාරී ක්‍රියාමාර්ග හෝ අපහාසවලින් නොව, මිත්‍රශීලී හා සාධනීය විවාදයකින් ය. ඒ විවාදයන්, බුදුන් වහන්සේ මෙන් ම බෞද්ධ සම්ප්‍රදායයන් මගින් ද දිරිගැන්වෙයි. එය පැරණි විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් අපට ඉගැන්වූ බෞද්ධ ශිෂ්ටාචාරයේ අනිවාර්ය අංගයකි.

විවාදයෙහි දී විරුද්ධ මතධාරීන්ට ගෞරව කිරීම

විවාදයක දී විරුද්ධ පාර්ශවයන්ට සැළකිය යුත්තේ,  ඔවුන්ට අපහාස උපහාසයෙන් ද, එසේත් නැති නම් ශාරීරික ව රිදවීමෙන් ද? එයට පිළිතුර ප්‍රමුඛ බෞද්ධ රජතුමා වූ අශෝක අධිරාජයා විසින් ඔහුගේ එක් සෙල්ලිපියක දී ඇත. දූරදර්ශී හා උගත් අධිරාජ්‍යයා වාද විවාද පැවැත්වීමේ දී සහ ආරවුල් විසඳීමේ දී “සෑම අවස්ථාවක ම විරුද්ධවාදීන්ට සෑම ආකාරයකින් ම නිසි ගෞරවය ලැබිය යුතු ය,” යනුවෙන් නියම කර ඇත. ඔහු තවදුරටත් නියෝග කර ඇත්තේ “තමන්ගේ ආගම ආරක්ෂා කරන සහ අන් සියල්ලන් දෙස පහත් ලෙස බලන ඕනෑ ම අයෙකු තම ආගමට විශාලතම හානියක් කරන” කෙනෙකු වන බවයි. අශෝක අධිරාජයාගේ මේ නුවණැති උපදේශය සෑම බෞද්ධයෙකු ම මන්ත්‍රයක් මෙන් ජප කළ යුතු ය.

කතන්දර සහ සත්‍ය අතර ඇති වෙනස

කතන්දර සැළකිල්ලට ගත යුතු ය. ඔක්ස්ෆර්ඩ් වියතෙකු වූ යුවාල් නෝවා හරාරි පවසන්නේ, ශිෂ්ටාචාරයන් බිහි ව තිබෙන්නේ, විද්‍යාත්මක පර්යේෂණ මත නොව, කතන්දර මත බව ය. හාවඩ් මනෝවිද්‍යාඥ ඩේවිඩ් මැක්ලෙලන්ඩ් සාක්‍ෂි සහිතව ඔප්පු කර ඇත්තේ දරුවන්ට ඔවුන්ගේ මව සහ ආච්චි විසින් පවසන ලද වීර කතා පසුකාලීන ජීවිතයේ ඉහළ ජයග්‍රහණ කරා යාමට දරුවන් ව පොළඹවන බව ය. ළමුන් ලෙස මේ කතාවල හැම වචනයක් ම විශ්වාස කළ අපි ඒවායේ කියැවුණ ආකාරයට කටයුතු කරන්නට පෙළඹුණ මුත්, වැඩිහිටි වියට පත් වූ විට, ගෙතූ කථාන්තර සහ සත්‍ය අතර පවත්නා වෙනස වටහා ගතිමු.

 

වැඩිහිටියෙකු වූ පසුත් කෙනෙකු මේ කතන්දර විශ්වාස කරන්නේ නම්, එයින් හෙළිවන්නේ ඔහුගේ නොමේරූම්කමයි. එවන් නොමේරූ මිනිසුන් ඇතුළත් ජාතිය දියුණු නොවේ. කලෙකට ඉහත, 1970 දශකයේ මුල් භාගයේ  මාර්ටින් වික්‍රමසිංහයන් බුද්ධ චරිතය පාදක කරගෙන බවතරණය නවකථාව රචනා කළවිට, ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් රැසක් පොත තහනම් කර, වික්‍රමසිංහයන් සිරගත කරන ලෙසට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට බළපෑම් කළේ ය. සැබෑ රාජ්‍ය නායිකාවක වූ ඇය ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා ය.
නතාශාට ඇප ලැබූ දා
ඉවසීමේ ගුණය දේශනා කළ වැලිවිටියේ සෝරත, කොටගම වාචිස්සර, සහ වල්පොල රාහුල වැනි බෞද්ධ ශාස්‌ත්‍රඥයන් දේශනා කළේ, ලොව තුළ තමා දකින හැම දෙයක්‌ ගැන ම විචාරාත්මක විවරණයක වැදගත්කම ය. ඔවුන් තව දුරටත් අප අතර නැති මුත්, ඔවුනට පිළිගත නොහැකි කාරණා ඉස්මතු වන හැමවිට ම ඔවුන්ගේ නැණවත් මග පෙන්වීම සෑම ශ්‍රී ලාංකික බෞද්ධයෙකුට ම අනුගමනය කළ හැකි ය. විරුද්ධ මතධාරීන් පැරදවිය යුත්තේ කායික වධහිංසා පැමිණවීමෙන් හෝ මර්දනයට ලක් කිරීමෙන් නොවේ. විවේචනාත්මක විමර්ශනයෙනි.
නැගී එන විකට නිළියක සම්බන්ධ වත්මන් ව්‍යසනය ද හැසිරවිය යුත්තේ මර්දනකාරී පියවරයන් හරහා නොව නිර්මාණාත්මක විවාදයකින් ය. සනසවන තෙල් ගෑමෙන් වේදනාව නැති කර ගැනීමට හැකියාව තිබිය දී, ඇඟිල්ලක් කපා දමන්නේ ඇයි? එය ශ්‍රී ලාංකීය සමාජය තුළ පවත්නා වූ කිසියම් තත්වයක් ගැන හැදෑරීමට මහඟු අවස්ථාවක් ලබා දෙනු ඇත.
(කතන්දර සහ සැබෑ බුදුදහම: වියතුන් දුන් උපදෙස කුමක් ද? -Daily FT පුවත්පතට ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධනයන් සම්පාදනය කළ ලිපිය සිංහලට පරිවර්ථනය ලංකා ඊ නිවුස් කර්තෘ මාණ්ඩලික, කුඩගම්මන සීලරතන හිමි විසිනි.)

Archive

Latest news

Related news