” මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශ වලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම් වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුලත් කරන්න බැහැ. ” යැයි ප්‍රහසන ශිල්පිනී නතාශා එදිරිසූරිය ගේ ඇප ඇයදුම් පත විභාග කළ කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ජූලි 06 දින ප්‍රකාශ කළේය.
ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 5 වැනිදා ) නියෝග කරමිනි.
තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.
ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය.
ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ස දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කවරකු හෝ අත්අඩංඟුවට ගත හැක්කේ කෙසේද යන්න නිරවුල්ව සහ ඍජුව දක්වන මෙම තීන්දුව මෙරට අධිකරණ ඉතිහාසයේ රනු අකුරින් ලියැවෙනු ඇත. මේ තාක් කල් පොලිසිය සහ නීතිපති දෙපාර්තමෙන්තුව එක්ව ශස්තික සත්කුමාරගේ සිට අන්හෆ් ජසීම් දක්වා අත්අඩංඟුවට ගෙන මාස ගණන් රඳවා ගෙන සිටියේ මෙම පනත අවභාවිත කිරීමෙනි.
(නඩු තීන්දුව සම්පූර්ණයෙන් මෙම ලිපිය අගට දක්වා ඇත.)
විනිසුරුවරයාගේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමෙහි මෙසේ ද සඳහන් විය.
“එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසිනි. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ. ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ “වෛරී ප්‍රකාශ” පිළිබඳව සඳහන් වේ.
“මේ වෛරය ප්‍රකාශය මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වේ.
“එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබේ. ඒ සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම් වලට හේතු වන වෛරී ප්‍රකාශ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් “වෛරී ප්‍රකාශ” යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි.
“එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් “වෛරී ප්‍රකාශ” යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතු වේ. මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමයි. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවනි”.
මෙම නඩු විභාගයේදී විලම්භීත අදහස් දැක්වීමක් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කියා සිටියේ නතාශා මානසික ආතතියකින් පෙළෙන තැනැත්තියක බැවින් ඇය මෙවැනි ප්‍රහසන වැඩ සටහන් පැවැත්වීම භයානක බවයි!
ඔහු මෙසේ කීවේය: “ස්වාමීනී.. මෙම තැනැත්තිය “මෝඩාභිමානය” වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා”
ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා” ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවනි. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද? ” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.
දිලීප පීරිස් ” නැත ස්වාමීනි” යැයි කීයේය.
එපමණක් නොව පුද්ගලයකුගේ අතිශය රහස්‍ය සෞඛයට අදාළ හේතූන් ගණනාවක්ද කිසිදු වෛද්‍ය සහතිකයක් නැතිව දිලීප පීරිස් වීවෘත අධිකරනයේ දී ප්‍රකාශ කලේය. එසේ නමුත් ඇය ඕස්ට්‍රේලියාවේ වැඩි දුර අධ්‍යපපනය හැදරූබව හෝ ඇය මිනිස් සබඳතා පිළිබද උපදේශිකාවක් බව හෝ කී බවක් වාර්තා වී නැත.
ඊටත් වඩා පුදුමාකාර වන්නේ ඇයගේ මානසික සෞඛ්‍ය යහපත් නැතැයි කියා එවැනි අයකු ප්‍රහසන ශිලිපිනියක විම වරදක් බව කීමය. මෙවැනි නිගමනයකට ඒමට දිලීප පීරිස් ඉගෙන ඇති මනෝවිද්‍යා පාඩම කුමක්දැයි දැන ගැනීමට නතාශාට අයිතියක් තිබේ.
දිවිනසා ගැනීමට සිත්වීම අද වැනි සමාජයක පුදුමයක් හෝ එක් අයකුට සීමා වන දෙයක් ද නොවේ.
යූ ටියුබ් වීඩියෝ මගින් මුදල් උපයා ගැනීම ද නීතිපතිගේ නියෝජිතයා දකින්නේ වරදක් ලෙසය. බිලියන ගණන් හොරා කෑ දේශපාලනඥයින් වැජඹෙන රටක වඩා ලක්ෂ 14ක් යනු මහ ලොකු කජ්ජක් නොවේ.
මෙයට පෙර අත් අඩංඟුවට ගත් දේශපාලන යූ ටියුබ්කරුවකුවන සේපාල පිලිබඳවද ඔහු උපයාගෙන ඇති මුදල පිළිබඳව විශාල ඝෝෂාවක් නැගූ නමුත් අවසානයේදී එය පුස්සක් බවට පත් විය. මුදල් උපයා ගැනීම වරදක් ලෙස සැළකෙන ඊර්ෂා සහගත හැගීමක් මෙරට සමාජයෙහි ඇති අතර මෙවැනි ප්‍රකාශ මගින් කැරෙන්නේ එවැනි ප්‍රාථමික හැගීම් ඇවිස්සීමටය.
නීතිපති ගේ නියෝජිතයා වූ දිලීප පීරිස් මෙසේද තරක කළේය: “මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතන වලට සිදු වේ. “
එසේ නමුත් මුස්ලිම් සහ දෙමළ ජනයාට සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට විරුද්ධව යම් යම් භික්ෂූන් විසින් කරන ලද වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමෙන්තුව ගත් පියවරක් නැත. ඊට හොඳම උදාහරණයක් වන්නේ අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරය සමබන්ධයෙන් සහ එහිදී ඥණසාර භික්ෂුව විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමෙන්තුව කිසිදු පියවරක් නැත.
පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති “මෝඩාභිමානය” නැමැති වැඩ සටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව සඳහන් කළේය.
ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය.
එවැනි රටක දෙමළ ජනයාගේ ඉඩම් බලයෙන් අල්ලාගෙන සිටීම පළාත් සබා මැතිවරණ වසර ගණන් කල් දැමීම , වසර ගණන් නඩු නැතිව දෙමළ තරුණයින් ත්‍රස්ත පනත යටතේ රඳවා ගෙන සිටීම යනාදිය සාධාරණද නැද්ද යන්නද එවැනි ප්‍රකාශ කරන විට අප සිහියේ තබා ගත යුතුය.
නඩු විභාගය පිලිබඳ කරුණූ බීබීසී සංහල අඩවිය ඇසුරෙන් බවත් විග්‍රහ අපගෙන් බවත් සළකන්න)
සම්පුර්ණ නඩු තීන්දුව: