මේ අතර මෙවර මැයි දිනයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහරගමදී සිදු කළ කථාවේ හොරු ඇල්ලීම පිළිබඳ කළ සඳහනක් විශාල ආන්දෝලනයක් නිර්මාණය කර තිබේ. එහිදී “මේ මැයි මාසයේ විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලඥයන්ගේ නඩු 15ක්. මේ මැයි මාසෙට විතරක්, සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මැයි මාසයේ අධිකරණය හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයේ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයේ ඇහුවා නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25” යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. මෙය ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් නොවේ. අධිකරණයේ කටයුතු ගැන අවධානයෙන් සිටින ඕනෑම පුරවැසියෙකුට මෙවැනි අනුමානයක් කළ හැකිය. විශේෂයෙන් අධිකරණ කටයුතු ආවරණය කරන අත්දැකීම් සහිත මාධ්‍යවේදියෙකුට ලෙහෙසියෙන්ම මෙවැනි ප්‍රකාශයක් කළ හැකිය.
විපක්ෂයට ආයුධ දෙන ජනාධිපතිවරයා
එහෙත් මෙය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොකළ යුතුව තිබූ ප්‍රකාශයකි. ඒ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයා අධිකරණයට බලපෑම් කරන බවට කිසිවෙකුට චෝදනා කළ හැකිය. මැයි දින වේදිකාවේදී නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරුවරයාට සංදේශයක් යොමුකළ බව එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පසුගිය අඟහරුවාදා (12) මාධ්‍ය හමුවකදී හෙළි කළේය. අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි තීන්දුව පිළිබඳව දන්නේ විනිශ්චයකාරවරයා පමණක් වන අතර එය තුන්වන පාර්ශ්වයකට හෙළිදරව් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බවත්, එය අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමක් බවත් මහාචාර්ය පීරිස් පවසයි. මේ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයා තමන්ට දමා ගැසීමට විපක්ෂයට නව ආයුධයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයේ ස්වාධීනත්වය මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකි. ජනාධිපතිවරයාට හෝ දේශපාලන නායකයෙකුට අධිකරණයට බලපෑම් කිරීම, විනිසුරුවරුන්ට තර්ජනාත්මක හෝ උපදේශනාත්මක ආකාරයෙන් කතා කිරීම, පවතින නඩු සම්බන්ධයෙන් බලපෑම් ඇතිවන ප්‍රකාශ කිරීම යනාදිය සිදු කළ නොහැකිය.
ජනාධිපති අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කළා ද?
එසේ කළහොත් එය නීතියේ පාලනය සහ අධිකරණ ස්වාධීනත්වයට පටහැනි වීමකි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව අධිකරණය ස්වාධීන ආයතනයකි. නඩු තීන්දු දෙන කාලය, දිනය සහ ක්‍රියාපටිපාටිය තීරණය කරන්නේ අධිකරණයයි. දේශපාලනඥයෙකු හෝ ජනාධිපතිවරයෙකු එයට බලපෑම් කරන ආකාරයේ ප්‍රකාශ කළහොත් එය අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් මතු කළ හැකිය. විපක්ෂය සූදානම් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකව අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ චෝදනාවට ගැට ගැසීමටය. ඒ හරහා ඉදිරියේදී විපක්ෂයේ දේශපාලඥයන්ට එරෙහිව ලබාදීමට නියමිත සියලු අධිකරණ තීන්දුහි විශ්වාසනීයත්වය විනාශ කිරීමය. ඒ හරහා අධිකරණ ක්‍රියාවලිය දුර්වල කිරීමය. සැබැවින්ම ජනාධිපතිවරයාගේ මහරගම මැයි දින කථාව ‘ඉල්ලං කෑමක්’ මෙන්ම එය විපක්ෂ උගුල වෙතට ස්වේච්ඡාවෙන් ගමන් කිරීමකි.
අනුර හොරු ඇල්ලුවා ද?
බැලූ බැල්මටම අනවශ්‍ය කථාවක් ලෙස හැඟෙන අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් වූයේ මන්ද? අනුර කුමාර දිසානායක යනු අත්දැකීම් සහිත දේශපාලන නායකයෙකි. එබැවින් ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ අහඹු ලෙසද, නැතිනම් දේශපාලන පීඩනයක ප්‍රතිඵලයක් ලෙසද යන ප්‍රශ්නය මතු වෙයි. මේ කථාවට හේතුව වන්නේ ඔහුට එල්ල වී ඇති දේශපාලන පීඩනය සහ ඔහු සිටින පරාජිත, මංමුළා වූ තත්ත්වයයි. ඔහු සංත්‍රාසයට පත්ව සිටියි. ජනාධිපතිවරයාගේ මැයි දින කථාව තමන් පත්ව තිබෙන අසරණ තත්ත්වය හරහා මතු වූ අඳෝනාවක් බව අපගේ තක්සේරුවයි. පෙර සඳහන් කළ පරිදි ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රකාශයේ ජනප්‍රියම අංගය වූයේ අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් මට්ටමට ගෙන ආ දේශපාලන හොරුන්ට දඬුවම් ලබාදීම හෙවත් “හොරු ඇල්ලීම” සහ අල්ලස, දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමය. මේ වන විට අනුර කුමාර දිසානායක විධායක ජනාධිපතිධූරයට පත්වී වසර එකහමාරකට අධිකය. එහෙත් තවම සැලකිය යුතු මට්ටමේ හොරෙකු අල්ලා නැත.
(ලංකා ඊ නිව්ස් හි පළ වූ “බලාගෙන ඉන්න මැයි 25 වන දා අත්පුඩි ගහන්න” ජනාධිපති අනුරගේ දේශපාලන සංත්‍රාසය හෙළි කළ මැයි දින අඳෝනාව..! ආනුභාවනන්ද ලියයි නම ලිපියෙන් උපුටා ගනනා ලදී.)

