Monday, May 20, 2024

ගර්භනී ගුරු ඇදුමට වැට බැඳි අධ්‍යාපන අධ්‍යක්ෂක ඉගෙන ගත් පාඩම

හලාවත කලාපයේ ගර්භනී ගුරුවරියක් ගර්භනී ඇඳුමින් සැරසී පාසලට පැමිණීම ට එරෙහිව හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා ඇය සේවය කරන පාසලේ ලොග් සටහනක් තබමින් නැවත එම ඇඳුම ඇඳීම නොකරන ලෙස දැනුම්දී ඇති පුවතක් හලාවතින් වාර්තා වෙයි.
හලාවත කලාපයේ මට්ටාකොටුව කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන ගර්භනී ගුරුවරියක් මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර එම සිදුවීම මගින් ඇය දැඩි මානසික කම්පනයට පත්වී ඇත. ඇයගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල සංසරණය වන බවට ප්‍රකාශ කරමින් හලාවත කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරියක් ද මෙම ගුරුවරියට රාජකාරී වේලාව තුළ දුරකතනයෙන් බැණ වැදී ඇති අතර එම අවස්ථාවේදී කම්පනයට පත්වූ අදාල ගර්භනී ගුරුවරිය ක්ලාන්ත වී ඇති බවද වාර්තා වෙයි
පසුව එම ගුරුවරිය අනියුක්තව සේවය කරන කාක්කපල්ලිය සිරි සුජාත විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා ඉහත ආකාරයේ ලොග් සටහනක් තබමින් අයට සාරියෙන් සැරසී පාසල් පැමිණෙන ලෙස දන්වා ඇත මීට අමතරව ගර්භණී සමය සඳහා අධ්යාපන අමාත්යාංශය චක්‍රලේකයකින් ලබාදී ඇති ඇඳුමින් සැරසී පාසල් පැමිණීම සම්බන්ධයෙන් මෙම ගුරුවරිය ට එරෙහිව මුලික විමර්ශනයක් ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආරම්භ කර ඇත.
පසුව මේ සිද්ධියට මුහුණදුන් ගුරුවරිය ගේ ස්වාමිපුරුෂයා මාදම්පෙ පොලීසිය ට මේ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව මාදම්පේ පොලීසිය විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා හා මට්ටකොටුව විදුහලෙ විදුහල්පතිවරියව පොලිසියට කැඳවා ඇති නමුත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා වෙනුවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා ඉදිරිපත් කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා කට්ටි පැනීමක් සිදු කර ඇත.
කෙසේ වෙතත් මාදම්පේ පොලිසියට පැමිණි විදුහල්පති වරියට හා හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පොලීසියේ මහත්වරුන් විසින් නීතිමය තත්වයන් ඉතා හොඳින් පැහැදිලි කර දී ඇති අතර ඔවුන් අධ්‍යාපන නිලධාරීන් නිසා චක්‍රලේඛ මීට වඩා බුද්ධිමත්ව තේරුම් ගැනීම සිදු කරන ලෙසටද උපදෙස් ලබා දී වහාම අදාළ ලොග් සටහන ඉවත් කර ගන්නා ලෙසත් ගුරුවරියට ගර්භනී ඇඳුමක් ඇඳීමට බාධා නොකරන ලෙසත් නියෝග කර ඇත කලාප කාර්යාලයේ පැමිණි නිලධාරීන් එයට එකඟ වී පොලිසියෙන් පිටත් වී ගොස් ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක රවින්ද්‍ර රණවීර මහතා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම සහ ගර්භනී ගුරුවරියන්ගෙ ඇඳුම පිළිබඳව නිකුත් කර ඇති චක්‍රලේඛ අවබෝධය කර ගැනීමේ දුර්වලතාවයක් නිසා මෙය සිදුවී ඇති බවයි නිලධාරියෙක් තම නිලය බලය භාවිත කිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතු බවත්ය. මෙහිදී තවදුරටත් අදහස් දක්වන ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කළේ දැනට රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳව බලපාන එකම චක්‍රලේඛය 08/89 චක්‍රලේඛය පමණක් බවත් 2019 දී ඇතිවූ ආරක්ෂාව පිළිබඳ ගැටළුව වෙනුවෙන් රාජ නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳව 13/2019,13/2019(i),හා 03/2022 ලෙස චක්‍රලේඛ තුනක් නිකුත් කළ ද 2022.11.30 දිනැති 26/2022 චක්‍රලේඛය මඟින් ඉහත චක්‍රලේඛ සියල්ලම අවලංගු කර ඇති බවත්ය.
ඉහතින් සඳහන් කළ රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳව නිකුත් කර ඇති දැනට බලාත්මක එකම චක්‍රලේඛය වන 08/89 චක්‍රලේඛයෙන් ද උපදෙස් ලබාදී ඇත්තේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳව පමණක් වන බැවින් එය කිසිසේත්ම ගුරුවරුන්ට අදාල නොවන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය 2018.05.23.දින නිකුත් කල 21/2018 අංක දරන චක්‍රලේඛයෙන් ඉඩ ලබා දී ඇති ගර්භනී ඇඳුමින් පාසලට පැමිණි ගුරුවරියට එරෙහිව ලොග් සටහන් තබමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා බරපතළ රාජකාරි මය වැරදි කිහිපයක් කර ඇති බවද හෙතෙම පැවසීය.
එනම් චක්‍රලේඛන උල්ලංඝනය කිරීම, තම ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීම, තම නිලය බලය තමාගේ සේවාවේ අනිත් අය වෙත අනීතික ව පැතිර වීම මෙන්ම ගුරුවරියට අයුතු බලහත්කාරය පෑම යන වැරදි සියල්ල මෙම සිද්ධියේදී ඔහු විසින් සිදු කර ඇති බවත් ගුරුවරියට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මූලික විමර්ශනය ද අනීතික එකක් වන බවත් රාජ්‍ය නිලධාරීන්ගේ විනය බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වන අතර ලේකම්ගේ බල පැවරීමකින් තොරව මූලික විමර්ශනයක් පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ට නීත්‍යනුකූල බලයක් නොමැති බවද ඔහු සඳහන් කරයි. ඒ නිසා මෙම ය ඉවත් කිරීමට කටයුතු නො කරන්නේ නම් එයට විරුද්ධව සාධාරණය පතා අධිකරණ ක්‍රියාවලියට යොමු වීමට ලංකා ගුරු සංගමය කටයුතු කරන බවද ජාතික සංවිධායක වරයා ප්‍රකාශ කර සිටි.
මෙම සිද්ධියේදී මාදම්පේ පොලීසිය ප්‍රසංසනීය කාර්යක් කර ඇති බවත් මෙවැනි අනවබෝධයෙන් කටයුතු කරන නිලධාරීන් නිසා මේ රටේ අධ්‍යාපනය තවදුරටත් අගාධයෙන් අගාධයට ඇද වැටෙන බවත් මෙවැනි හැසිරීම් නිසා ගුරුවරුන් වෘතිය ක්‍රියාමාර්ග වලට එළඹීමෙන් රටේ අධ්‍යාපන ක්‍රියාවලිය අඩාල වීමට ඉඩකඩ ඇති බවත් දරුවෙකු ලැබෙන්නට සිටින කාන්තාවක් දෙස සමස්ථ සමාජයම සංවේදී සිතින් බලන නමුත් අධ්‍යාපන බලධාරීන් මේ ආකාරයෙන් ගර්භනී ගුරුවරියන් ශාරීරිකව මෙන්ම මානසිකව පීඩාවට ලක් කිරීම සදාචාරාත්මකව ගත් කල ද ඉතාමත් බරපතළ තත්ත්වයක් බව ද තම නිල බලයෙ සීමාව නො දැන කටයුතු කරන අනෙක් නිලධාරීන්ට ද මෙම සිද්ධිය හොඳ පාඩමක් බවද ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක වරයා තවදුරටත් ප්‍රකාශ කර සිටී.

(උපුටා ගැනීමකි)

Archive

Latest news

Related news