Friday, February 23, 2024

මුහුදු වැදි ප්‍රජාවෙහි තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින ගවේෂණය කිරීම – සකී‍ෆ් සාම්

ඡායාරූපය: පරපුරෙහි දරුවෝ 

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින් සිටි දිව්‍යා නවත්වා ඇගේ නම ඇසුවෙමි.

පියා නොලියවුන පරම්පරාවක්!

ඇගේ දෑස්වල අල්ප මාත්‍රයක් හෝ බියක් නොතැවරුණු නමුත් ඇගේ දුප්පත්කම සඟවන්නට ඈ පැළද සිටි ඇඳුමට නොහැකි විය. අනතුරුව ඈ පාසලේ ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ගෙදර ඉන්නේ කවුද යන පැනය ඇසුවෙමි. සත්වන වසරේ ඉගෙන ගන්නා බව කී ඈ මිත්තනිය සහ අයියා පමණක් ගෙදර ඉන්න බව කීවා ය. “එතකොට කෝ අම්මා?” මම ඇසීමි. “අම්මා රට” ඇගේ පිළිතුර ප්‍රශ්නයට වඩා ඉක්මන් විය. “මොන රටේ ද? ” ඇසූ විට “දන්නෙ නෑ” කියා නැවතත් දිව්‍යාගේ පිළිතුර කෙටි වූයේ මා මග හරින්නට දැයි සිතුනි. “එතකොට තාත්තා කෝ” කියා අසන විටද නොසැලකිල්ලෙන් මෙන් “දන්නෙ නෑ” කියා ඈ පිළිතුරු දුන්නා ය.

දිව්‍යා කවදාවත් ඇගේ පියා දැක නැත. දිව්‍යා පමණක් නොව ඈ ජීවත් වන ගමේ දරුවන් ගණනාවක්ගේම උප්පැන්න සහතිකයේ පියාගේ නම නැති අතර තම මව පමණක් හඳුනයි. මදුරන්කේනිකුලම ගම පිහිටා තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය.

ප්‍රශ්නවලට හේතු කුමක් වුවත් (ගුරු හිඟය, ගමේ යටිතල පහසුකම් සහ දෙමාපියන්ගේ ආකල්ප), මෙම සාධක සියල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාකප්පල් වී ඇත.

මුහුදු වැදි ප්‍රජාව

මෙහි ජීවත් වන ජනතාව පොදුවේ හඳුන්වනු ලබන්නේ මුහුඳු වැදි ප්‍රජාව යනුවෙනි. මොවුන්ගේ  විශේෂත්වය වන්නේ පැරණි වැදි ප්‍රජාවේ ව්‍යවහාර කළ වැදි භාෂාව වෙනුවට දමිළ භාෂාව කතා කරන වැදි ජන කොටසක් වීමයි. පැණි එකතු කිරීම, මාලු ඇල්ලීම, ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ය. තාක්ෂණික කුසලතා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් වැඩි වැඩියෙන් අගය කරන සහ විශාල නගරවල හොඳ වැටුප් සහිත රැකියා බහුලව දක්නට ලැබෙන ලෝකයක, මදුරන්කේනිකුලමේ හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය සහ ජීවිතයේ ඇති අවස්ථා මොනවාද?

මේ පිලිබඳව සොයා බලන්න මම මෙම පුරාණ වැදි ප්‍රජාව සොයා ගියෙමි.

සතීෂ්කරන් යාන්තම් වයස අවුරුදු 18 පිරෙන කඩවසම් ඉළන්දාරියෙකි. ගමේ පාසල වන මදුරංකේනිකුලම් රජයේ දෙමළ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු විෂයන් දෙකක් පමණක් සමත් වී ඇත. “අපේ ඉස්කෝලෙ සමහර විෂයන්වලට ගුරුවරු හිටියෙ නෑ. ගණිතයට හිටියෙ නෑ. ඉංග්‍රීසිවලට හිටියෙ නෑ.” කියා ඔහු මට පැවසී ය. තමාට වැඩිදුර අධ්‍යාපනය හෝ වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා තම පියාගේ අඩිපාරේ යමින් ගොවියෙකු වීමට සිදුවූ බවට සතිෂ්කරන් මැසිවිලි නගයි.

සතීෂ්කරන්ගේ ප්‍රකාශය ගැන මා සොයා බැලූ අතර, ඔහු ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ කිසිඳු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් නොමැත.  වැඩි දුර අධ්‍යාපනයට කැමැත්තක් දක්වන්නෙකු පවා සැතපුම් 50ක දුරක් ගෙවා වාලච්චේනෙ වෙත පැමිණිය යුතු ය. ඒනිසා අධ්‍යාපනයෙන් දුරස් වූ ඔවුහු නුපුහුණු ශ්‍රමිකයන් ලෙස බරපතල ශ්‍රම සූරා කෑමටකට ද ලක් වීමේ අවදානම දැන දැන කුලී වැඩට යොමුවේ.

මුතුවේ් රාසන්

පාසලේ පවතින දැඩි ගුරු හිඟයට ප්‍රධාන හේතුව ප්‍රවාහන දුෂ්කරතාවයි. පාසලට පැමිණෙන ගුරුවරු කි.මීටර 70කට වැඩි ඈත ප්‍රදේශවලින් පැමිණෙන අතර මදුරන්කේනිකුලම අතුරු මාර්ගය යනු නිතර අනතුරු සිදුවන, යතුරු පැදි අබලන් වන, වල් අලි තර්ජන බහුලව සිදුවන මාර්ගයකි. එම සියලු බාධක ගෙවා උදෑසන පාසලට පැමිණ පංති කාමරයට ඇතුලු වන ගුරුවරු කිසිඳු උද්යෝගයක් නොමැතිව ඉතා තෙහෙට්ටුවෙන් ඉගෙන්වීම් කටයුතු කරයි. බොහෝ දෙනෙක් වෙනත් තැන්වලට ස්ථාන මාරු ලබා ගැනීමට තැත් කරයි. ඊට අමතරව ඇතැම් ගුරුවරු මෙම පාසලට තාවකාලික අනුයුක්ත කිරීම් හෝ දඬුවම් වශයෙන් ස්ථාන මාරු ලැබූ අය වෙති.

“පාසලේ දැඩි ගුරු පුරප්පාඩුවක් තියෙනවා” මාර්කේනිකුලම් පාසලේ ද්විතීක අංශයේ ගුරුවරයෙක් වන මුත්තුවේල් රාසන් මහතා පැවසීය. “මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කලින් කිසි කෙනෙක් හිටියෙ නෑ. එතකොට ළමුන් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුණේ පංති කාමරය තුළ කාලය ගෙවලා ගෙදර යන තත්ත්වයක් තිබුණා. මේ විදිහට මූලික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබා ගත යුතු ප්‍රගතිය නොලබා ද්විතීක අංශයට ළමුන් පැමිණෙනවා.. ද්විතීක අංශයේ පංති කාමරය තුළ අකුරු පවා අඳුරන් නැති ළමුන් ඉන්නවා. උගන්වද්දි අපිට තියෙන ලොකුම අභියෝගය ඒක” ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ හිඟය මෙම සියලු ගැටලුවලට මුල බව රාසන් මහතාට හැඟෙයි.  මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමක් කළත් ඔහු අදහස් දැක්වීමට කැමත්තක් දැක්වූයේ නැත.

ග්‍රාම සේවක දයාලන්

මදුරන්කේනිකුලම අයත් කුංජාන්කුලම් ග්‍රාමයේ වසර හතක් පුරා සේවය කරන ග්‍රාමසේවක දයාලන් මහතාට අනුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ප්‍රධාන හේතුව දෙමාපියන් ය. “දෙමවුපියෝ හිතන්නේ ළමයි වැඩිය ඉගෙන ගත්තා කියලා අපි කරන රස්සාවම කරනවා විනා වෙන මොනවා කරන්න ද, ඒ නිසා දැන් ම අපි කරන රස්සාව කරපුවාවේ කියලා.” දයාලන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දෙමාපියන්ගේ පසුගාමී අදහස් ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමට බලපාන බවත්  දරුවන් තමන්ට බරක් යැයි දෙමාපියෝ සිතන නිසාත් හැකි ඉක්මනින් දරුවන් විවාහ කර දීමට කටයුතු කරන බවත් ය.

මේ දරුවෝ පාසල් අධ්‍යාපන කටයුතුවල කෙතරම් උනන්දුවෙන් යෙදී සිටියත් දිව්‍යා වැනි තරුණියන්ගේ ඉරණම අ.පො.ස. සා/පෙළින් පසු තවත් තරුණයකු විවාහ කර දීමත් සමඟ අවසන් වන බවක් පෙනේ. දෙමාපියන් විසින් සිදුකර දෙන කරන මෙම විවාහයන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරුම නීතිය යටතේ ලියාපදිංචි වන්නේ ද නැත. ලිංගික අධ්‍යාපනය හෝ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව අඩු වයසින් විවාහ වන මෙම තරුණියන් අතර බොහෝ බාලවයස්කාර ගැබ්ගැනීම් ඇතිවන බවත් ඔහු මට පැවසී ය.

සම්ප්‍රදායික ප්‍රශ්න

මදුරන්කේනිකුලම් ගම්වාසීන්ගේ උන්නතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව විවිධ විෂයන් භාර නිලධාරීන් 15ක් පමණ සිටියත් තවමත් ගමේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වී ඇතැයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන නිළධාරී කේ ජයවදනන් මහතා කියා සිටී. සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කිසිඳු දායකත්ව නැති බව ද ඔහු කීවේ ය. “මදුරන්කේනිකුලම ග්‍රාමයේ දෙමවුපියන් සිය දරුවන් ඔවුන් සිටින තැනින් එළියට ගෙනඒමට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කියා සිටී.

දෙදරු පියෙකු වන හතළිස් හැවිරිදි සෙල්ලයියා අන්නකුමාර්ගේ පරිශ්‍රමය හේතුවෙන් දෙමවුපියන්ට වරද පැටවීම පිළිබඳව එකඟ විය නොහැකි ය. ඔහු තම දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමට කැමති අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන නොසතුටින් සිටී. “ගුරුවරු දුර පළාත්වල ඉඳන් ඉස්කෝලේ එන්නේනවා. වැස්ස දවස්වලට ගමට එන්න බෑ. වතුර පිරිලා, ගංවතුර එනවා. ගමේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් බෑ. වැව පිටාර ගලනවා.”

උසස් අධයාපනය වෙනුවට කුලී වැඩ

වෘත්තීය අධ්‍යාපනය සඳහා පවා තම දරුවන් ගමෙන් පිටතට යැවීමට දෙමාපියන් මැලිකමක් දක්වන බව ජයවදනන් පවසන අතර, සෙල්ලයියා අන්නකුමාර් පෙන්වා දෙන්නේ මේ වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම පුතුට ආසන්න ප්‍රදේශයක උසස් පෙළ ඉගෙනීමට අවස්ථාවක් නොලැබෙන බවත්, ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා යැවීමට තම පවුලට වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුව ද සෙල්ලයියා දැන් සූදානම් වන්නේ තම දරුවන් කුලී වැඩට යැවීමටය.

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපල තුළ බොහෝ රැකියාවන් සඳහා උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබීම මූලික සුදුසුකමක් ලෙස සැලකෙයි. එහෙත් මදුරංකේනිකුලම්හි සෑම දරුවෙකු ම සිය පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් කළ යුතු වෙයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට ආශාවක් ඇති මදුරන්කේනිකුලම් සිසුන්ට, විකල්ප දෙකක් තිබේ : එක්කෝ දරුවා කිලෝමීටර් 13ක් පමණ වන ඉතා දුෂ්කර කැලෑ මාර්ගයකින් ඇවිද ගොස් තවත් කිලෝමීටර් 20ක් පමණ ප්‍රධාන මාර්ගයක ගමන් කර වැඩි පහසුකම් සහිත වාකරේ නගරයට ළඟා විය යුතු ය, එසේ නොමැති නම්, ඔවුන්ට කිලෝමීටර් 15 ක් පමණ ගමන් කර පහසුකම් සීමිත පැංචේන පාසලට යා හැකි ය.

එකම සිසුවිය 

මංකේනිකුලම්හි උසස් පෙළ අධ්‍යාපනය ලබන එක ම ශිෂ්‍යාව සින්නතම්බි පංචාතිරම්ගේ දියණියයි. ඇය ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා ය. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත් නොවූ ඇය මාංකේනි පාසලට මාරු කිරීමට ඇයගේ පියා කටයුතු කළේ ය. එහිදි සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු ඇය උසස් පෙළ සඳහා පාංචේනෙ පාසලට ඇතුළත් කරනු ලැබුවා ය. ඒ ඇගේ දෙමවුපියන්ගේ උනන්දුව නිසා ය. දෛනිකව පංචාතිරම්ගේ දියණිය වල් අලි ප්‍රහාරයෙන් මුදවා මහපාරට රැගෙන යාමේ සහ නැවත රැගෙන ඒමේ වගකීම පියා විසින් ම දරයි. “පාන්දර 5ට ගෙදරින් යන්නේ. එතකොට තමයි 6.30 බස් එකට පාරට යන්න පුළුවන්. අපි ගමට සී.ටී.බි. බස් එකක් ඉල්ලුවා. එයාලා කියනවා මේ පාරේ බස් දුවන්න බැහැලු දූවිලි නිසා” ඔහු පැවසීය. ප්‍රවාහන දුෂ්කරතාව මාංකේනිකුලම් ග්‍රාමවාසි ජනයාගේ ඉරණම බවට පත්වී ඇත. “දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන. මාසෙට 10,000ක් විතර වියදම් වෙනවා.” පංචාතිරම් මැසිවිලි නැගී ය.

මුහුදු වැදි නායක නල්ලතම්බි වේලායුදම්

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ආදිවාසි ප්‍රජාවේ නායකයා වන වේලායුදම් මහතා ද මදුරන්කේනිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව ඔහුට ද ඇත්තේ කනස්සල්ලකි. අධ්‍යාපන කාර්යාලයේ ලේකම් මුණගැසී සියලු විෂයන්ට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එයට විසඳුම් ලැබී නැත. තාවකාලික ගුරු අනුයුක්තිය වෙනුවට ස්ථිර පත්වීම් මදුරන්කේනිකුලම පාසලට ලබා දීම සාධනීය විසඳුමක් යැයි වේලායුදම් මහතා අවධාරණය කළේ ය.

පාසල් කටයුතු සහ අධ්‍යාපන තත්ත්ව සංවර්ධන සඳහා අදාළ අතිරේක ලේකම්වරුන් දෙදෙනාට කතා කිරීමට මම අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කළ අතර, එම නිලධාරීන් දෙදෙනාම විශ්‍රාම ගොස් ඇති බවත් එම තනතුරුවලට තවම කිසිවෙක් පත් කර නොමැති නිසා නිල ප්‍රකාශයක් ලබා දිය නොහැකි බවත් මට දන්වන ලදී. කෙසේ වෙතත්, ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති බවත්, මෙම ගැටලුව අවම කිරීම සඳහා ගුරු විද්‍යාලවලින් නිදහස් කිරීමට නියමිත කණ්ඩායම් දෙකක් ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් යොදවන බවත් ගුරු ආයතන ශාඛාවේ නිලධාරියෙක් මට පැවසී ය. එම නිලධාරියා යෝජනා කළේ මදුරන්කේනිකුලම් පාසලට පුරප්පාඩු පිරවීමට ගුරුවරුන් සඳහා විධිමත් ඉල්ලීමක් කළ හැකි බවයි.

කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ කේ.ජයවදනන් පවසන්නේ පාසලට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ගුරු නිවාස එම ස්ථානයේ ම ඇති බැවින්, මදුරන්කේනිකුලම් හි ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි අනිවාර්ය විෂයයන් කිහිපයක හිඩැස් පිරවීම සඳහා දෛනිකව ගමන් කිරීමට වඩා නව ගුරුවරුන්ට එම ගුරු නිවාසවල නතරවීමට උනන්දු කිරීමට තමන් කැමති බවත් ය.

මා ගමෙන් පිටව කොළඹට එන විට පසුකරමින් පැමිණි මදුරන්කේනිකුලම් ගම්මානය අවට වෙල්යායවල් දෙස බැලීමි. ඒවා අවට නගරබද ප්‍රදේශවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ඒවා ය. මදුරන්කේනිකුලම තරුණයන් නතර වීමට ඉඩ ඇත්තේ ද මේ යායවල්වල කම්කරුවන් ලෙෂ නොවේදැයි මට මතක් විය. 18 හැවිරිදි සතීස්කරන්ගේ වචන මා තුළ නැවත රැව්දුන්නේ ය “අපි වෙනත් රැකියාවකට යොමු වෙන්න කැමතියි, නමුත් අපට වෙන රැකියාවක් ලැබෙන්නේ නැහැ, පාසලේ මගේ පන්තියේ දහ දෙනෙක් හිටියා ඔවුන් දහ දෙනා ම දැන් කම්කරුවන් ලෙස වැඩ කරනවා.

ආපසු නගරයේ දී, මම දුටු සහ ඇසූ දේ ගැන ආවර්ජනය කළෙමි. මට හමු වූ තරුණ තරුණියන්ගේ අනාගතය කුමක් වේවි ද? පවතින අධ්‍යාපනික සංකීර්ණතා සහ ගැටලු හේතුවෙන් ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් දිනා ගැනීම බොහෝ විට හුදු සිහිනයක් පමණයි. රාජ්‍ය සේවයට ඇතුළත් වීම හෝ සාධාරණ රැකියා අවස්ථාවක් ලබා ගැනීම ද දුෂ්කර ය. කුඩා ආදිවාසි ප්‍රජාවක සාමාජිකයෙක් වශයෙන් ජීවත් වීම නිසා සුදුසු අධ්‍යාපනික අවස්ථාව අහිමි විය යුත්තේ ඇයි?

ප්‍රශ්නවලට හේතු කුමක් වුවත් (ගුරු හිඟය, ගමේ යටිතල පහසුකම් සහ දෙමාපියන්ගේ ආකල්ප), මෙම සාධක සියල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාකප්පල් වී ඇත.

මේ අතරම ග්‍රාමය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයන් අතලොස්සක් ගැන ද අසන්නට ලැබුණි (දෙමාපියන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන්, ග්‍රාමීය පාසල්වලට ගුරුවරු ලබා දීම, පාසලට නව විදුහල්පතිවරයකු යනාදිය) නමුත් ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සාමූහික ක්‍රියාමාර්ගයක් නොගතහොත්, මෙම ප්‍රජාව නිමක් නැති දරිද්‍රතාවයෙන් වටවුනු චක්‍රයකට නුදුරේ ම මුහුණ දීමට සිදු වෙයි.

සකී‍ෆ් සාම්

Archive

Latest news

Related news