Thursday, April 25, 2024

පහර දී ඝාතනය කළැයි කියවෙන නෙත්තිකුමාර නිවසේ සිටි ආර්. රාජ්කුමාරි අත්අඩංගුවට ගත් බව පොලිස් (diet role) පොතේ නෑලු!

ඡායාරූපය: අද පැවැති නඩු විභාගයෙන් පසු නීතිඥ සේනක පෙරේරා සහ සෙල්ලදුරේ යේසුරාසා මාධ්‍යට අදහස් දක්වයි.
පසුගිය 11 දා පොලිස් අත්අඩංඟුවට ගත් සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය වූ ආර්. රාජකුමාරි නම් 41 හැවිරිදි තිදරු මවගේ මරණය පිළිබද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අලුත්කඩේ අංක හතර දරණ අධිකරණයේදී විනිසුරු හර්ෂන කැකුලාවල ඉදිරියෙහි පැවැත්වුණි.
ඇයගේ සැමියා වන සේයුරාසා අද අධිකරණය හමුවට පැමිණ සිටියේය. ඔවුන්ගේ ළමයින්  සියල්ලන්ම පාසල් යන අතර 13, 11 සහ 07ක් වියැතිය.
ඇය අත්අඩංඟුවට ගන්නා ලද්දේ රන් මුදුවක් සොරකම් කළේය යන චෝදනාව මතය.
සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිය බිරිඳට බරපතළ ලෙස පහර දී ඇති බව ඇයගේ ස්වාමි පුරුෂයා වන සෙල්ලදුරේ යේසුරාසා පවසන බව ටයම්ඩොට්එල්කේ වාර්තා කර තිබුණි.
රෝහලේදී තමන් බිරිඳගේ මළ සිරුර දුටු බවත්, එහි පහරදීමෙන් ඇති වූ සලකුණු සහ තැලීම් රැසක් තිබූ බවත් සඳහන් කළ යේසුරාසා, බිරිඳ පොලිසියේ සිටියදී  තමන්ට පහර දෙන බව සහ අමාරු බව  පැවසූ බවත්  වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
11දින අත්අඩංඟුවට ගත් ආර්. රාජකුමාරී 12දින ජාතික රෝහලේදී  මිය ගොස් ඇතැයි යේසුරාසාට දන්වන ලද්දේද වැලිකඩ පොලිසිය විසිනි.
එසේ නමුත් සුදර්මා නෙත්තිකුමාර බලගතු ගැහැණියක් බැවින් ප්‍රධාන පෙළේ  කිසිදු ජනමාධ්‍යක් මෙම මරණය/ඝාතනය වාර්තා කර නැත.
එපමණක් නොව මෙරට කඳුරට දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව කියන කිසිදු දේශපාලනඥයකුද  මේතාක් මේ ගැන කට ඇර නැත.
මියගිය ආර්. රාජකුමාරිගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ ප්‍රධානී නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ මංජුල පතිරාජ, තම්බයියා ජෙයරත්නරාජා, තිසර චාමර ඇතුලු නිතිවේදී පිරිසක් පෙනී සිටියහ.
සුදර්මා නෙත්තිකුමාර කොතරම් බලගතු ගැහැණියක් ද යත් 2013 නොවැම්බරයේදී ඇයට අයිතිව තිබූ ‘සලාකා රෙජිනෝ’ කැසිනෝ ශාලාව පොලිසිය වැටලූ අවස්ථාවෙහි ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 23 දෙනෙකු  පැය විසිහතරක් තුල මාරු කර යවන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් පළ කළ දිවයින පුවත්පත ඇය සතු එම බලගතු සබඳතා විස්තර කර තිබුණි. ඒ කෙතෙක්ද යත් ඇයගේ විවාහක පුරුෂයා පදිංචිව සිටි නිවසටල පුරුසෂයාගේ විරෝධය මැද ඇවන්ගාඩ් මුරකරුවන් පවා යොදවන ලදී. එමගින් ඔහු නිවාස අඩස්සියට පත් විය.
එකල ඇයගේ ආරක්ෂකයා වූයේ ආරක්ෂක ඇමැති වූ ගෝඨාභය රාජපක්ෂගේ අගසව්වකු වූ ‘පිනි හුලා’ යැයි පටබැදි ලක්ෂමන් හුලුගල්ලය.
යේසුරාසා අත්අඩංඟුවේ සිටි සිය බිරිදගේ දුරකතනයට කතා කළ විට පොලිසියේ සිට එයට පිළිතුරු දී ඇත්තේ සුදර්මා නෙත්තිකුමාරය. පසුව ඇය එම දුරකතන ඇමතුම රාජකුමාරිට දී තිබේ. සිය බිරිඳගේ දුරකතනය පොලිසියේදී  සුදර්මාට දුන්නේ කව්රුන්දැයි  යෙසුරාසා ප්‍රශ්ණ කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ආර්. රාජකුමාරී වැළිකඩ පොලිසිය අත්අඩංඟුවට ගත් බව සනාථ කර තිබුණි.
එසේ නමුත් පුදුමයකට මෙන් අද අධිකරණය හමුවෙහි වැළිකඩ පොලිසිය පැවසූවේ  අත්අඩංඟුවට ගන්නා සැකකරුවන් හෝ සැකකාරියන් පිළිබඳ සටහන් තබන ලේඛනයෙහි   ඇය ගැන කිසිම සඳහනක් නැති බවයි. සැකකරුවකුට පොලිසියේදී ලබා දෙන කෑම පිලිබඳව පවා එම පොතේ සටහන් කළ යුතු එම ලේඛනය Diet role ලෙස හැදින්වේ .
මෙම ඩයට් රෝල් ලේඛනය ඇත්තේ අත්අඩංඟුවට ගන්නා සැකකරුවන් හෝ සැකකාරියන් බාර දිය යුතු උපසේවා අංශය සතුවය.
මේ අනුව පෙනෙන්නේ එක්කෝ ඇයගේ මරණය සම්බන්ධයෙන් සිය වගකීමෙන් ගැලවීමට පොලිසිය එම වාර්තා ඉවත් කළේද නැත්නම් කිසිදු නිල තත්වයකින් තොරව ආර්. රාජකුමාරී අත්අඩංඟුවට ගත් බවද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
ඊටත් වඩා ප්‍රශ්ණ සහගත කාරණය නම් ඇයගේ මළ සිරුරු බදුල්ල දෙමෝදර කරා ගෙන යාමට පොලිසිය ඇයගේ පුරුෂයාට රුපියල් 10,000ක් දී තිබීමයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමුවෙන් 17වන දින අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර  අද පැවැතියේ ඊට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට කරන ලද නියෝගය පිළිබඳ පරීක්ෂණයයි. එහිදී මෙම මරණයට අදාළ පොලිස් කොට්ඨාශය බාර නුගේගොඩ පොලිස් අධිකාරීවරයාට ඊළඟ වතාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කරන ලදී.
ඇය නිරෝගී කාන්තාවක බවත්, දීර්ඝ කාලීන අසනීප තත්ත්ව කිසිවක් අයට නොතිබුණු බවත්  යේසුරාසා පවසයි.
මෙම හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙන ලද අතර මළ සිරුර අදාහනය නො කළ යුතු බවට ද නියෝගයක් පැනවින.
තවද මරණ පරීක්ෂණයේදී එකී මරණය පිලිබඳ තොරතුරු දන්නා සියලු දෙනාගෙන් සාක්ෂි ලබා ගත යුතු නමුත්, සිය බිරිදගේ නාසයෙන් ලේ ගලන බව සහ තැළුම් තුවාල දුටු ඇයගේ සැමියා වන යේසුරාසා සාක්ෂියට නොකැදවන ලදී.
එයද පුදුම සහගතය.
අතිශය අසරණ දුගී පවුලකට අයත් ආර්. රාජකුමාරී මෙහෙකාර සේවයට ආවේ සිය දරුවන්ට කෑම ඇදීම සහ අධ්‍යාපනයක් ලබා දීම පිනිසය. නීති ගරුක සමාජයක නම් පොලිසිය විසින් එවැනි ජනයාගේ ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා කළ යුතුය. නමුත් අද පොලිසිවල සිදුවන්නේ මෙවැනි මහ පොළව පවා නොඉවසන අපරාධ බව මෙම සිදුවීම සම්බන්ධ අදහස් දක්වන නීති අංශ පවසති.
ශ්‍රී ලංකාවේ පොලිසිය අත්අඩංඟුවට ගන්නා පුද්ලයින් ඝාතනය කිරීම සම්බන්දයෙන් කප් ගසා තිබේ. නිල අපරාධකරුවන්ට සහ වංචාකරුවන්ට මෙරට ඇති මුක්තිය නිසා ඝාතනය කැරෙන පුද්ලයින්ට සාධාරණයක් සිදු වන්නේ නැත.
අද රාජකුමාරිට වූ දේ හෙට ඔබගේ නැඟිනයට හෝ මවට සිදු විය හැක.
සේ. පියවර්ධන. 19.05.23

Archive

Latest news

Related news