Thursday, April 25, 2024

ගෝටා හැංගූ තවත් වාර්තාවක් එළියට: 2021 ගැස් පිපිරීම් සහ මරණ වලට සමාගම් වගකිව යුතුයි!

ලෝහාන් රත්වත්තේ මරක රංගනය ගැන මෙන්ම ගෝටා පත් කළ තවත් කොමසමක වාර්තාවක් තොරතුරු කොමිසමේ මැදිහත් වීමෙන් දැන් ප්‍රසිද්ධියට පැමිණ තිබේ. එනම්  ගෑස් කාන්දුවීම් මගින් ඇතිවූ පිපිරීම් සහ මරණ වලට හේතුව පරීක්ෂා කිරීමට පත් කරන ලද කොමිසමේ වාර්තාවයි.
සිලින්ඩරවල තිබෙන්නේ ද්‍රව පෙට්‍රෝලියම්ය. එයට එල්පී ගෑස් කියන්නේ එනිසාය.
2021 වසරෙහි දී  ගෑස් පිපිරීම් සිය ගණනක් සිදු විය. එමගින් දේපල හා ජීවිතය හානි අති වී අවම වශයෙන් මරණ ගණනාවක්ම ඇති විය. එහෙත් අද වනතුරු එම පිපිරීම් නිසා ජනයාට සිදුවූ පාඩුව පිළිබඳ නිල තක්සේරුවක් කර නැත.
2021 නොවැම්බර් 1 සිට දෙසැම්බර් 15 දක්වා කාලය තුළ ගෑස් පිපිරීම් සිද්ධීන් 730කට අධික ප්‍රමාණයක් පොලිස් වාර්තාවන්හි දැක්වේ.  පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය කියා සිටින්නේ එම පිපිරීම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්  පොලිසිය සතුව නැති බවයි.
ආණ්ඩුවේ බලධාරීන් එකළ කියා සිටියේ සෑම අවුරුද්දකම මෙවැනි පිපිරීම් සිදුවන බවත් එය සාමාන්‍ය දෙයක් බවත්ය.
තමන් ගැස්වල සංයුතිය වෙනස් නොකළ බවට ගැස් සමාගම් හිසේ අත් ගසා දිවුරා සිටියහ.
ඉහළ යන පිපිරීම් සහ උද්ඝෝෂන මැද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් සහ පිපිරීම්” පිළිබඳව විමර්ශනය කර විසඳුම් යෝජනා කිරීමට විද්‍යාඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළේය. එම වාර්තාව ඔහු සඟවා තැබුවේය. ගෝටා කොමිෂන් පත් කළේ ජනයා රැවටීමට මිස පියවර ගැනීමට නොවේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන ස්ථිර ලෙසම ක තර්ක කළේ ගෑස් සමාගම් පෙරට වඩා වැඩි ප්‍රොපේන් අන්තර්ගතයක් සහිත එල්පී ගැස් අලෙවි කරන බවත්, එය ගින්නට හේතු වූ බවත්ය.
ඇත්ත වශයෙන්ම නම් ඔහු කලින්ම බරපතළ අනතුරක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණි. ගෝටාගේ ආණ්ඩුව කට වසාගෙන සිටින ලෙස ඔහුට කී අතර විවිධ තර්ජන ගලා ආවේය.  එම තත්වය යටතේ ඔහු ඉන් ඉවත් වී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඔහු එරට රැකියාවක් කරයි. ඔහු පසුගියදා අභියාචනාධිකරණයට විභාග වෙමින් පවතින නඩුවක් සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තමා විසින් අනතුරු හැඟවු බව සනාථ කිරිමට ලියවිලි ඉදිරිපත් කළේය.
මෙම පිපිරීම් පිළිබඳව මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් කළේය.එහිදී ලිට්‍රෝ නියෝජිතයන් කියා සිටියේ ගෑස් සංයුතියේ වෙනසක් ගිනි හෝ පිපිරීම් ඇති කළ බවට තවමත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි.
සමාගම කීවේ බොරුය. ඒවා දැන දැනම විනාශයකට මඟ පෑදිය.
ලිටරෝ සහ ලාෆ් යන ගැස් සමාගම් දෙකම ගැස් සංයුතියෙහි බියුටේන් ප්‍රමාණය සියයට 80 සිට 50 ක් දක්වා තරම් අඩුකර  ප්‍රොපේන් ප්‍රමාණය වැඩි කර තිබූ බව ගෝටා පත් කල  කමිටුව පරීක්ෂන මගින් සොයා ගෙන තිබේ. එමගින් සිදු වන්නේ සිලින්ඩරය තුල පීඩනය වැඩවී පිටවන ගෑස් අනපෙක්ෂිත වේගයකින් පිටවීමයි. මෙම වැඩිවන පීඩනයට ඔරොත්තු දීමට ලංකාවෙහි පාවිච්චි වන සමාන්‍ය ගෑස් ලිප් සහ උපකරණ වලට නොහැක. පිපරීම් සිදු වූයේ ඒ නිසා බව ගෝටාගේ කමිටුවේ වාර්තාව කියයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන කල් තියා මේ බවට අනතුරු හඟවා තිබුණි. සමාගම් ඒ බව දැන ගෙන සිටියේය.
ගෑස් පිපිරීම් වලටත් සිදු වූ මරණ වලටත් මෙම සමාගම් වගකිය යුතුය. මේ වනාහී අනියම් මිනී මරුම්ය.
2021 දෙසැම්බර් 01දා පළ කල රොයිටර් පුවත්සේවා වාර්තාවක් කීවේ සාමාන්‍යයෙන් දිනකට පිපිරීම් 10ක් වාර්තා වන බව පාරිභෝගික කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.
නොවැම්බර් 20 වැනි දින කොළඹ අගනුවර මැක්ඩොනල්ඩ් අවන්හලක් ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වූ ගින්නකින් දැවී ගියේය.
ශ්‍රී ලංකාවේ මිලියන 5.1ක පවුල්වලින් ගෑස් පාවිච්චි කරන සියයට 40කට වැඩි ප්‍රමාණයක් මේ නිසා ජීවත් වූයේ බියෙනි.  එතරම් ජනකායකට බිය කා වැද්දූ ලිට්රෝ සහ ලාෆ් ගැස්  සමාගම් ප්‍රධානීන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
සිලින්ඩරවල ප්‍රොපේන් සහ බියුටේන් මිශ්‍රණයේ වෙනසක් හේතුවෙන් පිපිරීම් සිදු වූ බවට කරන ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සිලින්ඩරවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ගෘහාශ්‍රිත සහ වාණිජ භාවිතය සඳහා සපයන රජය විසින් පවත්වාගෙන යනු ලබන ලිට්‍රෝ ගෑස් ප්‍රතික්ෂ්ප කල බවද ඉහති කී රොයිටර් වාර්තාව දක්වයි.
ගෝඨාභය රාජපක්ෂ සති දෙකක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දීමට නියෝග කර අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද්දේ  එක් දිනක් තුළ අවම වශයෙන් පිපිරීම් 14ක් සිදු වූ බවට පොලිස් සහ මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුවය 2021 නොවැම්බර් අගදීය.
නමුත් එම වාර්තාව ගෝටා සඟවාගෙන සිටියේය.
ගෝටා ගේ අවසාන මාසය වූ 2022 ජූනි මාසයේ දී ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමට ” එවැනි තොරතුරු හෙළිදරව් කිරීම කිසියම් අපරාධයක් වැලැක්වීමට හෝ අනාවරණය කර ගැනීමට හෝ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට බරපතල අගතියක් ඇති කරන”  බැවින් වාර්තාව ප්‍රසිද්ධ කළ නොහැකි යැයි ජනාධිපති කාර්යාලය කියා සිටියේය.
නමුත් කිසිම නඩු පැවරීමක් සිදු වූයේ නැත.
රනිල් රාජපක්ෂ ජනාධිපති කාලය වූ 2022 දෙසැම්බරයේදී යළී එම ඉල්ලීම් අභියාචනයක් සේ ඉල්ලා සිටි විට ජනාධිපති කාර්යාලය කීවේ එවැනි වාර්තාවක් නැති බවයි.
එසේ නමුත් තොරතුරු ඉල්ලීමේ අභියාචනයකට පසු එම වාර්තාව ලබා දීමට රනිල් රාජපක්ෂගේ කාර්යාලයට සිදු විය.
අට දෙනෙකුගෙන් යුත් කමිටුව සොයා ගත් තවත් කරුණක් නම් එල්පී ගෑස් වල  සුවිශේෂී ගන්ධය ලබා දීම මගින් කාන්දු වීම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සපයන එතිල් මර්කැප්ටන් ප්‍රතිශතය ප්‍රශ්න ගත කාල සීමාව තුළ අලෙවි කරන ලද සාම්පලවල නිර්දේශිත ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබූ බවයි.
ගෑස් පිපිරීමකින් පසු ((pic by Eshan Fernando))
ගෑස් කාන්දු වන බව ජනයාට දැන ගැනීමට බැරි වූයේ මේ කූඨ වෙනස නිසාය.
කමිටුව විසින් ප්‍රශ්න කළ විට, සමාගම් නැවත නැවතත් පැවසුවේ (වාචිකව) ඔවුන්ගේ LPG සංයුතියේ වෙනසක් සිදුවී නොමැති බවත්  ප්‍රොපේන් ප්‍රතිශතය 30 ක් ද බියුටේන් ප්‍රතිශතය 70 ක්  ද වන බවයි.
නමුත් කමිටුව සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල එකතු කරන ලද සාම්පලවල පරීක්ෂණ වාර්තාවලින් ප්‍රොපේන් ස්කන්ධය සැලකිය යුතු ලෙස වැඩි බව සොයා ගත්තේය. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ රසායනාගාරයේදී පරීක්‍ෂා කරන ලද තවත් ලිට්රෝ එල්පී ගෑස් සාම්පල හතකින් ප්‍රොපේන් සියයට 40-46ක් පමණ ප්‍රමාණයක් ඇති බව අනාවරණය විය.
මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේදී ලාෆ්ස් සිලින්ඩර පහක් පරීක්‍ෂාවට ලක් කළ අතර එහි සියයට 42-46 අතර ඉහළ ප්‍රොපේන් ස්කන්ධයක් තිබෙන බව ද එම කමිටුව සොය ගත්තේය.
අනෙකුත් සොයාගැනීම් අතර, කමිටුව හෙළි කළේ, මෙම සමාගම්වල එල්පී ගෑස් සැබෑ විදේශීය නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු සඳහා ලිට්‍රෝ සහ ලාෆ්ස් යන සමාගම් දෙකටම ලියූවද, සමාගම් එහි නම හෙළි නොකළ බවයි. එබැවින් සැපයුම්කරුවෙකු අසාදු ලේඛනගත කළත් නිෂ්පාදකයාට විකල්ප පාර්ශ්වයක් හරහා තොග අලෙවි කිරීමේ හැකියාවක් තිබූ බව කමිටුව අනතුරු අඟවා තිබේ.
මානව හිමිකම් කොමිසමේ එක් නිර්දේශයක් වූයේ සියලුම සිද්ධීන් පොලිසිය සමඟ එක්ව හඳුනාගෙන හානියට පත් උපකරණවල වෙළඳපල වටිනාකම යනාදිය පිළිබඳව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව නිසි සැලකිල්ලක් දක්වමින් තක්සේරු කිරීම් හැකි ඉක්මනින් සිදු කළ යුතු බවයි. රජයේ ප්‍රධාන තක්සේරුකරු කියන්නේ තමන්ට එවැනි ඉල්ලීමක් නොපැමිණි බවයි.
ඔහු තවම බකං නිලා ගෙන සිටී.
මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන නිර්දේශයක් වූයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) LPG කර්මාන්තයේ නියාමකයා බවට පත් කළ යුතු බවයි. එය ද සිදු කර නැත.
මානව හිමිකම් කොමිසම පහත සදහන් නිර්දේශ ද කළේය: ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම සෑම සිලින්ඩරයක උපරිම ප්‍රොපේන් ප්‍රතිශතය (බර අනුව) මුද්‍රණය කළ යුතුය; සෑම වසර පහකට වරක්  සිලින්කඩර වල කපාට වෙනස් කර ඒ පිළිබඳව වාර්තා තබා ගත යුතුය; පූර්ව අනුමැතියකින් තොරව ගෑස් සංයුතිය වෙනස් නොකළ යුතුය; මූලික තත්ත්ව පාලන උපකරණ ලබා ගෙන  තත්ත්ව පාලන සැලැස්මක් සකස් කර  එය අනුගමනය කළ යුතුය.
පෙනෙන විදිහට ගෑස් සමාගම් මෙම නිර්දේශ ක්‍රියාවට නඟා නැත.
මෙම නිර්දේශ ක්‍රියාවට නඟා ඇත්දැයි කරන ලද විමසුම් වලට සමාගම් පිළිතුරු දී නැත.
සේ. පියවර්ධන විසිනි.
( සන්ඩේ ටයිම්ස් පුවත් පතට නාමිනී විජේදාස ලියූ ලිි දෙකක කරුණුද  ඇසුරු කෙරිණි. ගෝටා පත් කල කමිටුවේ වාර්තාව,තොරතුරු අයිතිය යටතේ  ලබා ගෙන ඇත්තේ ද සන්ඩේ ටයිම්ස් පුවත් පත විසිනි)

Archive

Latest news

Related news